වාස්තු දෝෂ නිසා ඇතිවන රෝග
කිසියම් පුද්ගලයකු හෝ පවුලක් විසින් නිවෙසක් ඉදිකරගන්නේ වඩා යහපත් සතුට පිරුණු ජීවිතයක් ළඟාකර ගැනීම සඳහා විය හැකියි. එහිදී නිවැසියන්ගේ සුවතාව හෙවත් සෞඛ්‍යයට විශේෂ වටිනාකමක් හිමිවේ. මේ සඳහා මූලික වාස්තු සිද්ධාන්ත භාවිත කරන ආකාරය පිළිබඳව මෙහිදී සරල අවබෝධයක් ලබා ගනිමු.
වාස්තු ශාස්ත්‍රයට සමීපම වෛද්‍ය විෂයධාරාව වන්නේ ආයුර්වේදයයි. ආයුර්වේදයේ මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ ත්‍රිදෝෂය පිළිබඳවයි. එනම් වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයට අනුව බොහෝ දෝෂ හටගන්නා බව එහි කියැවේ. එසේ නම් නිවෙසක ත්‍රිදෝෂය කැපී යන පරිදි වාස්තු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී අපගේ අවධානය යොමුවිය යුතුව තිබේ. මේ පිළිබඳව මූලික අදහස් දැක්වීම සඳහා පංච මහා ධාතුන් සහ දිශානති සම්බන්ධවද දැන සිටීම වැදගත් වේ. ඒ අනුව ආපෝ ධාතුව හෙවත් වැගිරෙනසුලු ස්වභාවය ඊශාන දිශාව බවත්, සිසිලස මුසුව දනවන ගතිය හෙවත් තේජෝ ධාතුව ගිනිකොන දිශාවටත්, තද බව නිරූපණය වන පඨවි ධාතුවට හිමි දිශාව නිරිත බවත්, චලනය වන ස්වභාවයට අදාළ වන වායෝ ධාතුවට හිමි දිශාව වයඹ ලෙසත් මෙහිදී සැලකිය යුතුය.
මේ අනුව ඊසානයේ සහ මධ්‍යයේ දෝෂ විසින් සෙම් රෝගයත් ඊසානයේ සහ ගිනිකොන දෝෂ මඟින් පිත් දෝෂත් නිරිතේ හා වයඹේ දෝෂ අනුව වාත දෝෂත් හටගන්නා බව කියැවේ.
මේ අනුව නිවැසියන්ට පොදුවේ ඇතිවන රෝග තත්ත්ව නිරීක්ෂණය කිරීමෙන් අපට නිවෙසේ දෝෂ තත්ත්ව පිළිබඳව පවා අනුමාන කිරීමක් කළ හැකියි. මීට අමතරව නූතන සමාජය මුහුණ දෙන තවත් රෝග තත්ත්ව පිළිබඳවද යම් විනිශ්චයක් ලබා ගැනීම සඳහා වාස්තු සිද්ධාන්තවලින් අදහසක් ගොඩනඟාගත හැකියි. කිසියම් නිවෙසක මධ්‍යය පීඩාවීම නිසා රුධිරගත රෝග ඇතිවිය හැකි බව සැලකිය හැකියි. හෘදය ආශි‍්‍රතව යම් යම් රෝග ඇතිවීම කෙරෙහි නිවෙසේ නිවැරැද මධ්‍යය පීඩාවන්නේද නැද්ද යන්න සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතුව ඇත. මෙවැනි ශරීරගත දෝෂ පිළිබඳ විග්‍රහයක් සඳහා පුරාතන වාස්තුවලින් පවා යම් ආලෝකයක් ලබාගත හැකියි. මේ සඳහා වාස්තු පුරුෂයාගේ ශරීරාංග පිළිබඳව කර ඇති ඉදිරිපත් කිරීමෙහිද යම් ගතයුත්තක් තිබිය හැකියි. එනම් වාස්තු පුරුෂයාගේ ශරීරාංග අනුව ඊසානය හිස ලෙසත්, උතුර වම් උරහිස ලෙසත්, නැඟෙනහිර දකුණුූ උරහිස ලෙසත්, වයඹ බාහුව හා කලව ලෙසත් දකුණූ දිසාව දකුණු බොලටැහැ ලෙසත්, නිරිත පාද ලෙසත්, බටහිර වම් බොලටැහැ ආදී ලෙසත් දක්වා තිබේ. එකී දිසා දෝෂයන් නිසා නිවැසියන්ගේ ශරීරාංග පීඩාවන බවද පුරාතන වාස්තුවල දක්නට ලැබේ.
යම් පුද්ගලයකු නිදා ගැනීමේදි කවර දිසාවකට හිස දමන්නේද යන්න අනුව එම පුද්ගලයාට වැලඳිය හැකි ස්නායුගත දෝෂ හඳුනාගත හැකියි. යම් පුද්ගලයකු උතුරට හිස දමා නිදාගන්නේ නම් නොබෝ කලකින් පැහැදිලි කරගත නොහැකි රෝග තත්ත්වවලට මුහුණදීමට සිදුවිය හැකි බවත් තවදුරටත් එය විග්‍රහ කර ගැනීමේදි ඒ සියලු රෝග ස්නායුගත නිධානයකින් මතුවන බවත් දැකිය හැකියි. මේ නිසා උතුරට හිස දමා දීර්ඝ කාලයක් නිදාගන්නෙකුට ඉතා පහසුවෙන් චුම්බක බලපෑම නිසා ස්නායුගත රෝග තත්වයන් ඇති වන බව පෙන්වා දිය හැකියි. මීට අමතරව ඇතිවිය හැකි වෙනත් බොහෝ රෝගයනට වාස්තුමය පැහැදිිලි කිරීමක් ලබාදිය හැකි බව තවදුරටත් අධ්‍යයනය කිරීමේදී අවබෝධ කරගත හැකියි.
නිවෙසක ඊසාන දිසාව පීඩාවීමෙන් ඇතිවන රෝග සහ නිරිත පීඩා වීමෙන් ඇතිවන දෝෂ පුද්ගල ශරීරයේ හිස හා පහළ කොටස් සඳහා බලපාන බව පෙනේ. එසේම යම් උන්මාද රෝග තත්ව නිවැසියකුට මතුවන්නේ නම් ඊසානයේ වාස්තුමය බලපෑමද, නිරිතේ දෝෂයවලින් ගර්භාෂ, මූත්‍රාශ, බඩවැල්, ගුදමාර්ගයේ ආදියේ දෝෂ ඇතිවීම කෙරෙහිද බලපාන බව පෙනේ.
නූතන වාස්තු විද්‍යාව හා බැඳෙන පුද්ගල ශක්ති ශරීරයන් හා භෞතික වාස්තුමය බලපෑම් සියුම්ව සසඳමින් තවදුරටත් ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රියට දෝෂ හඳුනාගත හැක්කේ ශක්ති ශරීරයේ බලපෑම අනුව යමිනි. මේ අනුව ශක්ති ශරීරයේ ඇති විශුද්ධි චක්‍රමය දුර්වලතා තයිරොයිඩ් ග්‍රන්ථියටත්, උගුරටත් ඍජුව බලපෑ හැකි බව සඳහන් කළ හැකිය. මේ අනුව බොහෝ ශරීරාංග අන්තරාසර්ග පද්ධතිය හරහා ශක්ති ශරීරයේ ස්වභාවයට ඌනනය කොට දැක්විය හැකියි.
මෙවැනි සරල විවරණයකින් වුවද නිවෙසේ දෝෂ, පුද්ගල රෝග බවට පත්වන ආකාරය තේරුම්ගත හැකියි. මේ කරුණුූ සියුම්ව සලකා බැලීමෙන් වාස්තු දෝෂවලින් උපදන රෝගාබාධ පිළිබඳව තුලනාත්මක විවරණයක් සිදුකිරීමට පුළුවන.
Advertisements