Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ධනවතුන්ගේ වාස්තු රහස්

12 hours ago 7 Min read
Subha.lk

ධනවත් වීම හෙවත් ආර්ථික ශක්තිය වඩවා ගැනීම සඳහා මනුෂ්‍ය ශක්ති ශරීරයේ පහළ කොටස් විශේෂයෙන් සාධිස්ථාන, මූලාධාර ආදි චක්‍ර බලවත් විය යුතුය. එහිදී අනාහත චක්‍රය අක්‍රීයව හෝ අපහැදිලි අයුරින් පිහිටන්නේ නම් අකාරුණික ලෙස ධනය රැස් කරගැනීමට පෙලඹීමක් ඇති වේ. අනාහත චක්‍රය ඉතා බලවත් හෝ විධිමත් වූ ශක්ති ශරීරයක් යමෙකුට පිහිටියේ නම් සාධාරණ ලෙස මහත් ධනයක් හිමිවන බව පෙන්වා දිය හැකිය.
ස්වාභාවිකව තමන්ට උරුම වූ ශක්ති ශරීරය බලවත් වුවත් එය පවත්වා ගැනීම හා සකස් වීම සඳහා නිවෙසේ වාස්තු ස්වභාවය ඍජුවම බලපාන බව නිසැකය. ඒ අනුව නිවෙසේ නිරිත දිශාව පොළොවේ ඉහළ මට්ටමින් පිහිටා ඇත්නම් හා ප්‍රධාන නිදන කාමරය වැනි බොහෝ සෙයින් වැසුණු ගෘහාංගයක් පිහිටා ඇත්නම් හෝ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව බලවත් වීමක් සිදුවන බැවින් ශක්ති ශරීරය පොදුවේ බලවත් වීම සිදුවන බව පෙනේ.
සාලයක් වැනි විවෘත පිහිටීමක් නිරිත දිශාවේ පවතී නම් නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව අඩු වීමට ඉඩ තිබේ. එසේ වීමට බොහෝ සෙයින් බලපාන්නේ නිරිත දිශාවේ බිත්තිවල පිහිටා ඇති කවුළු ආදී විවෘත ගෘහාංග බව වටහා ගත යුතුය. ඒවා තිර රෙදි රහිතව හෝ තුනි විනිවිද පෙනෙන පරිදි වූ තිර රෙදි නම් අන්තරීක්ෂ ශක්තිය බැහැරට යන බැවින් ද මේ තත්ත්වය ඇති විය හැකිය. එවිට අන්තරීක්ෂ ශක්තිය අඩුවීම හේතු කොටගෙන නිවැසියන්ගේ ශක්ති ශරීර හෙවත් ඕරාවන් දුර්වල විය හැකිය.
මේ සඳහා කෙටි පිළියමක් ලෙස නිරිත කොටසේ පිහිටා ඇති ජනේල කවුළු ආදියට ඝන තිර රෙදි යෙදීම සුදුසු වුවත් එය දිගු කාලීන පිළිවෙතක් ලෙස සැලකිය යුතු නොවේ. මේ සඳහා ගොඩනැඟිලි කැඩීම් බිඳීම්වලින් තොරව යොදාගත හැකි උචිතම පිළියම වන්නේ නිරිත දිශාවෙන් අන්තරීක්ෂ ශක්තිය බැහැරට නොයන පරිදි පිරමිඩ 9ක් යොදා අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්තිය රඳවා ගැනීමයි.
මෙය වඩාත් සාර්ථකව සිදු කිරීමට ඊශාන දිශාවේ පිරමීඩ 3 බැගින් පිහිටුවා නිරිතේ රඳවන අන්තරීක්ෂ ශක්තිය විධිමත් ප්‍රවාහයක් ලෙස නිවෙසේ ඇතුළතට ගෙන ඒම සිදුකළ යුතුය.
මෙවැනි කෘත්‍රිම වුවත් ලාභදායී පිළියමකට නොයා සාලය වැනි කොටසක් වෙනුවට නිරිත දිශාවේ ප්‍රධාන නිදන කාමරය ගොඩනඟා ගත හැකි නම් නිවෙස පවත්නා තාක් කල් දෝෂ නිවාරණය කිරීමේ හැකියාව ලබාගත හැකිය. එහිදී ද නිදන කාමරයේ ජනේල උපරිම වශයෙන් කුඩාවටත් ඊට අමතරව ඝන තිරරෙදිවලින් හෝ ආවරණය කිරීම්වලින් හෝ වඩා සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැකිය.
එසේම තමන් විසින් ආර්ථික ප්‍රතිලාභ අරමුණින් සිදුකරන කටයුතු අනුව ඒවායේ සාර්ථකත්වය සඳහා ඉවහල් වන විශේෂිත වාස්තු උපායමාර්ගද මෙහිදී ඉදිරිපත් කිරීම වටී. අධික ශාරීරික වෙහෙසක් දරා මුදල් ඉපැයීමට සිදුවන වෘත්තියක යෙදෙන්නේ නම් එය දුර්වල අලස ක්‍රියාකාරිත්වයකින් යුතුව සිදු කිරීම වෙනුවට වාස්තු ක්‍රම මඟින් වඩා සක්‍රීය තත්ත්වයට පත් කළ හැකිය. මේ සඳහා ගිනිකොන දිශාව ඉතා පවිත්‍රව හා උණුසුම්ව පවත්වා ගැනීම මෙන්ම ඊශාන, උතුර සහ නැගෙනහිර වඩාත් විවෘතව පිහිටුවීම වඩාත් සුදුසු වේ. මෙයට අමතරව නිවෙසේ අභ්‍යන්තර ගෘහ භාණ්ඩ වැඩිපුර තබා ගැනීම හෝ බිත්තිවල දිශාවලට සමාන්තරව හෝ ලම්භකව නොපිහිටීම ධනය හානි කරවන්නක් විය හැකි නිසා ගෘහභාණ්ඩ විධිමත්ව පිහිටුවිය යුතුය.
එසේම සියුම් සංගීතය සහ සැර අඩු සුවඳ නිවෙස පුරා පැවතීම ද වඩා යහපත් බව කිව යුතුය. නිවෙසේ පිරිත් සජ්ඣායනා නිරන්තර සිදු කරකන භවතුන් සැලකිය යුතු කරුණක් වන්නේ භාවිත රිද්මයේ ස්වභාවය ද පෙර කී පරිදි විය යුතු බවය.
මෙවැනි භෞතික ක්‍රියාවලට අමතරව සුබවාදී සිතිවිලවලින් කටයුතු කිරීමෙන් ද මේ ප්‍රතිඵල වඩවඩාත් බලවත් කරගත් හැකිය. ධනාත්මක වචන භාවිතය ඇතිව සිදු කරන ප්‍රාර්ථනා හා චිත්තවේගීය නියෝග තමන්ගේ මනසටම ලබා දීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකිබව පර්යේෂණ මඟින්ද සනාථ වී තිබේ.
 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk