වාස්තු දොස් නැතිව ගෘහ භාණ්ඩ පිහිටුවමු
ඉතා නිවැරැදි ලෙස ගොඩනැඟිල්ලක් ඉදි කළ පසුද විවිධ දුර්විපාකයනට මුහුණ දෙන පුද්ගලයන් පිළිබඳව යම් යම් අවස්ථාවන්හිදී විවිධ අත්දැකීම් ලැබී තිබේ. එයට හේතුව සදොස් ගෘහභාණ්ඩ භාවිතය බව පර්යේෂණ අනුව තහවුරු වී ඇත.
මේ නිසා නිවෙසක ගෘහභාණ්ඩ පිහිටුවිය යුතු ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අපට අවබෝධ විය. එහිදී විශේෂයෙන් සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේදි ගෘහභාණ්ඩ පිහිටුවිය යුතු ආකාරය පිළිබඳව දක්වා ඇති තොරතුරුද අප විසින් විශේෂ අවධානයකින් සොයා බැලිය යුතුයි.
ඒ අනුව කිසිදු නිවෙසක මාධ්‍යයෙහි බරැති භාණ්ඩ නොතැබිය යුතුයි. එසේම නිවෙසේ මැද කොටස අවහිර වන පරිදි ගෘහභාණ්ඩ තැබීමෙන් ද බරපතළ ලෙස නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්තිය වියවුලට පත්වන බව පැහැදිලි කොට තිබේ. එබැවින් වාස්තු ශිල්පයේදි ගෘහභාණ්ඩ හැකිතාක් අඩුවෙන් භාවිත කිරීමට පෙලඹිය යුතුයි. එසේ වුවත් නිවෙසකට අත්‍යවශ්‍ය වන භාණ්ඩ භාවිතය අත්හැරිය නොහැකිය. මේ නිසා නිවෙසේ ඒ ඒ ගෘහ අංගවල ගෘහ භාණ්ඩ තැබිය යුතු ආකාරය පිළිබඳව සැකෙවින් යමක් ඉදිරිපත් කරන්නෙමු.
නිවෙසක සාලය හැකිතාක් අන්තරීක්ෂ ශක්තිය ඇතුළු වීමට හැකිවන පරිදි පිහිටුවිය යුතු බව මීට පෙරත් අපි සඳහන් කර ඇත්තෙමු. එසේ නිවෙස වෙත ලැබෙන අන්තරීක්ෂ ශක්තියේ ප්‍රමාණය වියවුල් නොවන පරිදි හා මනාව නිවැසියන් අතර සංසරණය වන පරිදි සාලයේ ගෘහභාණ්ඩ පිහිටුවීම සිදුකළ යුතුවේ. එනම් සාලයේ ජනේල, දොරවල් අවහිර නොවන පරිදි මේස, පුටු ආදිය බිත්තිවලට ළංවන ආකාරයට තැබිය යුතුය. ඊශාන, උතුර, නැඟෙනහිර දිශාවලට පිහිටුවා ඇති ජනේලයක් ආවරණය වන ලෙස යම් ගෘහභාණ්ඩයක් පිහිටුවනු ලැබුවහොත් එය නිවෙසට ඇතුළුවන අන්තරීක්ෂ ශක්තිය ඉතා පහසුවෙන් ආපසු හැරී ඉඩකඩ ඇති තැනකින් ඉවතට යෑම සිදුවිය හැකිය. මෙසේ දිශාගත කරනු ලැබුවත් තදබදයක් ඇතිවන පරිදි ගෘහභාණ්ඩ සාලයෙහි පිහිටුවීම නොකළ යුතුය. එසේම අලංකාරය පිණිස හෝ ප්‍රෞඪත්වය විද්‍යමාන කිරීම අරමුණු කොටගෙන හෝ පෞරාණික බරැති ගෘහභාණ්ඩවලින් සාලය පිරවීම නොකළ යුතුය. මෙසේ කිරීමෙන් බාහිරින් අප වෙත ලැබෙන සුබපල ගෙන දෙන අන්තරීක්ෂ ශක්තියෙන් වැඩි කොටසක් ගෘහභාණ්ඩවලට උරාගැනීම හෝ ගෘහභාණ්ඩවලින් ඉවතට හැරීයෑම සිදුවිය හැකිය.
නිවෙසක නිදන කාමර පිහිටුවීමේදී එයට අත්‍යවශ්‍ය වන නිදන ඇඳ, ඇඳුම් සහිත අල්මාරි හා වෙනත් ගෘහ භාණ්ඩ කාමරයේ ප්‍රමාණය සමඟ ගැළපෙන පරිදි මිස විශාලත්වයෙන් වැඩි ඒවා නොවන්නට වග බලා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම නිදන කාමරයේ ඇඳ උතුරට හිස පිහිටන පරිදි නිදා ගැනීම සඳහා පිහිටුවිය යුතු නොවේ. දකුණට හිස දමා නිදා ගැනීම වඩාත් යහපත් වන අතර නැඟෙනහිර හෝ බස්නාහිර දිශාවලට වන පරිදි ඇඳ පිහිටුවීමෙන් හානියක් සිදුනොවේ. ඇඳුම් අල්මාරිය ආදිය පිහිටුවීමේදි දකුණ හෝ බස්නාහිර බිත්තිවලට හේත්තුවන පරිදි හෝ ළංවන පරිදි හෝ ඒවා පිහිටුවිය යුතුවේ. එහිදීද කාමරයේ ජනේ්ල අවහිර නොවන ලෙස ගෘහභාණ්ඩ පිහිටුවීම පිළිබඳ මූලික අදහසට එකඟව එය සිදුකළ යුතුය.
මුළුතැන්ගෙයක් නිවැරැදි දිශාවේ පිහිටුවීමෙන් පසු ඒවායේ ගෘහභාණ්ඩ පිහිටුවීමේදි ද විශේෂයෙන් සේදුම් බේසම හා ළිප ඇතුළු රත්වන මෙවලම් හැකිතාක් දුරින් පිහිටුවීම වඩාත් යෝග්‍යය. ගෘහිණියට හෝ අන් අයෙකුට විවේක ගැනීම සඳහා පුටුවක්, බංකුවක් ආදිය තැබීමේදී පවා ඔවුන්ගේ ඇස් ඊශාන උතුර, නැඟෙනහිර දිශාවනට ඉලක්ක වන පරිදි තැබීමට හැකි නම් වඩා උද්යෝගයෙන් යුතුව කටයුතුවල යෙදීමට හැකියාව ලැබෙනු ඇත. සම්ප්‍රදායිකව කාලයක් තිස්සේ ළිප දැල්වීමේ කාර්යය නැඟෙනහිරට හැරී සිදුකළ යුතු යැයි දක්වා ඇතත් විදුලිය හෝ වායු ඉන්ධන (ගෑස්) භාවිතයෙන් ඉවුම් පිහුම් කටයුතු සිදුකිරීමේදී ඉහත කී නැඟෙනහිර දිශාවට හැරී එය සිදුකළ යුතුය යන අදහස එතරම් සැලකිල්ලට ගත යුතු කාරණයක් නොවේ. එයට හේතුව වන්නේ මෙවැනි නව මෙවලම් සමඟ දර ළිපක මෙන් වැඩි වේලාවක් රැඳී සිටීමට අවශ්‍ය නොවන බැවිනි. එසේම ළිප දල්වා ඇති අවස්ථාවලදී ඉවුම් පිහුම් කටයුතුවල යෙදී සිටින්නන් අනවශ්‍ය ලෙස ළිප ඉදිරිපිට රැඳී සිටීමද සුදුසු කාර්යයක් නොවේ. එයට හේතුව ළිපෙන් ලැබෙන තාපය ශරීරයට අහිතකර වීම පිළිබඳ කාරණාව පමණක් නොවේ. සත්‍ය හේතුව වන්නේ ළිපෙන් නිකුත්වන තාපය නිසා ළිපට ඉහළින් ඇති අවකාශයේ අන්තරීක්ෂ ශක්තිය වඩාත් ඉහළට ගලායෑම හේතුකොට ගෙන ළිප අවට අඩු අන්තරීක්ෂ ශක්ති ප්‍රමාණයක් ඇතිවීමේදී ගෘහිණියගේ ශක්ති ශරීරයේ (ඕරාව) යම් ප්‍රමාණයක් ළිප දෙසට ගලායෑම සිදුවිය හැකිවීමයි. එසේ ඇතිවන ශරීරයේ ශක්ති ඌනතාව බරපතළ විඩාබර තත්ත්වයකට පත්වීමට බලපෑ හැකි බව සැලකිල්ලට ගත යුතු වේ. එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් පිහිටුවා හැකිතාක් මුළුතැන්ගෙය හිස්ව තැබීමට කටයුතු කළ යුතුයි.
වැසිකිළියට ඇතුළත්වන භාණ්ඩ පිළිබඳව වගකීමක් අත්‍යවශ්‍ය නොවුවද එහි කැඩපත් පිහිටුවීමේදී උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවන්හි බිත්තිවල ඒවා සවිකිරීම පිළිබඳ නම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුව තිබේ. මේ අනුව නිසි පරිදි ගෘහභාණ් ස්ථානගත කිරීමෙන් නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති ස්වභාවය ඉතා හිතකර පරිදි සකස්කරගත හැකිවේ. මේ නිසා මනා චර්යා රටාවකින් යුතුව ජීවත්වීමේ වාසනාව නිවැසියන්ට හිමිවනු ඇත.
Advertisements