පවුලේ දියුණුවට ජපාන වාස්තු රහස්
හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් පස්සේ ජපානය බොහෝ සෙයින් බිඳ වැටුණා. ඒත් අද වන විට ලෝකයේ ඉතාම දියුණුව රටවල් අතරින් එකක් බවට එරට පත්ව තිබෙනවා. ඒ ඔවුන්ගේ ඉපැරැණි සාම්ප්‍රදායික පුරුදු රටක් හැටියට ගොඩනගීමට භාවිත කිරීම නිසා. ජපාන ජාතිකයන් තනි තනිව පවුල් වශයෙන් පුරුදු පුහුණු කළත් අවසානයේ ඔවුන් සමස්තයක් ලෙස යළි නැඟී සිටියේ ලෝකයම විස්මයට පත් කරවමින්. ඒ දියුණු වීමේ සරල රහස් අපේ නිවෙස්වලටත් යොදා ගත හැකි ආකාරය අපි දැන් බලමු.
සෑම භාණ්ඩයක්ම නිශ්චිත ස්ථානයක තබන්න
මේ පුරුද්ද ඔබේ නිවෙසට පිළිවෙළ ගෙන දෙන අතරම ඉතාමත් ක්‍රමවත් බවක් පවුලේ සාමාජිකයන් අතර භාණ්ඩ පරිහරණයේදී ඇති කරනු ඇත. එසේම ඔබ නොදැනුම්වත්ව ඔබේ වටිනා කාලය ඉතිරි කර දෙනු ඇත. නිවෙසේ ඇතිවන කලබලකාරී ගතිය සහ අපිළිවෙල නිසා වන මානසික පීඩනය වළක්වා පහසු දායක පරිසරයක් නිර්මාණය කරනු ඇත. එපමණක් නොව අපිළිවෙළ නිසා ඇතිවන අසුබ ශක්තිය වළක්වා සුබ ශක්තිය නිවෙස් පුරා සංසරණය වීමට හේතු වනු ඇත. එය දියුණුවන පවුලකට අත්‍යවශ්‍ය සාධකයකි. ඔබට පහසුවෙන් ඔබේ කටයුතු කරගැනීමට උපකාරී වන පරිදි කතුරක්, පොතක් වැනි සරලම දෙයක් පවා භාවිත කිරීමෙන් පසු නැවත එය තිබුණු නිසි ස්ථානයේම තබන්න.
මිනිත්තුවකට අඩු කාලයක් වැය වන දේ එම මොහොතේම කරන්න
ඇතැම් දේ කිරීමට අපට ගත වන්නේ විනාඩියකටත් අඩු කාලයක්. එහෙත් එය එම මොහොතේම නොකර පසුවට කල් දැමීම නිසා අවසානයේ වැඩ රාජකාරි ගොඩ ගැසී මහත් අපහසුවක් දැනෙන්නට පටන් ගන්නවා. ආහාර ගැනීමෙන් පසු පිඟාන සෝදා පිඟන් රාක්කයේ තැබීමට අපට ගත වන්නේ තත්පර කීපයක් පමණයි. එහෙත් ඒවා කුස්සියේ ගොඩ ගැසුණු පසු සේදුම් වලට පැය ගණන් ගත වනවා. පවුලේ සාමාජිකයන් තම තමන්ගේ පිඟාන කෝප්පය තත්පර කීපයකදී සෝදා නවා තැබීමට පුරුදු වීම ඉඳුල් භාජන වැඩි වේලාවක් රැඳී මෙන් ඇතිවන අසුබ ශක්තීන් මඟ හැර සුබදායී පිරිසුදු සුවඳවත් පරිසරයක් නිවෙස තුළ ගොඩනඟනවා. එය මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයට ඉතා වැදගත් වන අතර සුවපත් දිවිය දියුණුවන පවුලකට ඉතා වැදගත් බව ඔබ දන්නවා. එබැවින් විනාඩියකට අඩු කාලයක් ගතවන ඕනෑම කටයුත්තක් එසැනින් අවසන් කිරීම පුරුද්දක් කරගන්න.
සෑම වැඩකටම නිශ්චිත ස්ථානයක්
සමහරු කෑම කන්නෙ පොත් කියවන්නෙ නිදියන ඇඳ මතමයි. එය ජපන් වාස්තු අනුව ඉතාම අසුබ ක්‍රියාවක්. එසේම සෝදන්න තිබෙන රෙදි කෑම මේසය හෝ ඇඳ මත ගොඩගහන අය ඉන්නවා. එවැනි නොගැළපෙන කටයුතු පවුලේ දියුණුව අඩාළ කරන බවයි ජපන් වාස්තු විශ්වාසය. ගෙදරක සෑම කටයුත්තක් සඳහාම නිශ්චිත ප්‍රදේශයක් වෙන් කර ගැනීම ඉතාම අවශ්‍යයි. ඉවුම් පිහුම් මුළුතැන්ගේ කරනවා වගේම පොත් කියවීම පාඩම් මේසය මතත්, ආහාර ගැනීම කෑම මේසය මතත් කළ යුතුයි. එහෙත් අපේ නිවෙසට ඇත්තේ එක මේසයක් පමණක් නම්, ආහාර ගැනීමෙන් පසු එය හොඳින් පිරිසුදු කර පාඩම් සඳහා භාවිතයට ගන්න. එවිට පොත්පත්වල ඉඳුල් වදින්නේ නෑ. එසේම රෙදි සෝදන ස්ථානයටම අදාළ කිලිටි රෙදි එකතු කරගන්න. සැම දේම සැම තැනම කිරීමට යෑමෙන් ඇතිවන වියවුල් ගතිය එයින් පාලනය වනවා මෙන්ම එයින් නිවස තුළ ශුභ ශක්තිය සංසරණයට පහසු වීම ඔබගේ දියුණුවට මඟ පාදයි.
පිරිසිදුකම රකින විනාඩි පහක්
ඔබේ නින්දට යෑමට පෙර විනාඩි පහක් යොදා නිවෙස පිරිසිදු කිරීම පුරුද්දක් කරගන්න. දිවා කාලයේ කොපමණ ශුද්ධ පවිත්‍ර කළත් අතපසු වූ යමක් තිබෙන්නට පුළුවන්. නිවෙස පුරා සෝදිසියෙන් බලා පුංචි පුංචි දේවල් අහවර කර තබන්න සුළු වේලාවක් යෙදවීමෙන් පසුදින ඔබ අවදි වන්නේ ඉතාම ප්‍රසන්න පරිසරයක් සහිත නිවහනකයි. එය උදා වූ දිනයේ උද්යෝගය, වාසනාව ඇති කිරීමට හේතු වෙයි. එසේම රාත්‍රී කාලය පුරා සුබ ශක්තීන්ට නිවෙස තුළ ගමන් කිරීමට මඟපාදයි. මෙය අපේ ක්‍රමයට පවසන්නේ නම්, රාත්‍රියේ නිවෙසට පැමිණෙන සිරිකත තුටු කරවා ඇයගේ ආශීර්වාදය ලබා ගැනීමට හේතුවක් වෙයි.
හෙට වෙනුවෙන් විනාඩි දහයක්
අද කෙතරම් මහන්සි දවසක් වුව ද හෙට දවසේ ද අප ප්‍රබෝධමත්ව අපේ කටයුතු කළ යුතුයි. රැකියාවට යා යුතුයි.පාසල් යා යුතුයි. ඒ නිසා දියුණු වන පවුලක සියලු දෙනා තම තමන්ගේ හෙට දවස වෙනුවෙන් තම රාත්‍රි කාලයෙන් විනාඩි දහයක් වැය කිරීම දියුණු වීමේ ජපන් රහසක්. හෙට තමන් රැකියාවට, පාසලට, වෙළෙඳපොළට ගෙන යා යුතු දෑ මෙන්ම ඇඳුම් පැලඳුම්, සපත්තු ආදිය සුදුසු පරිදි සකස් කර ගැනීම ඉතා වැදගත් දෙයකි. එය ඔබට හෙට දවසට සූදානමක් සහිත මනසක් සමඟ සුව නින්දක් ලබා දෙයි. එමෙන්ම පාන්දර අවදි වූ පසුව ඔබගේ මනස නිරවුල්ය. ඔබට ඇත්තේ කලබලයකින් තොරව යහපත් මානසිකත්වයකින් නිවෙසින් පිටත්වීමටයි. එය රැකියාව මෙන්ම අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමට පහසු කරයි. ඒ ක්ෂේත්‍රවල දියුණුවට මඟපාදයි.
අත්‍යවශ්‍යම භාණ්ඩ පමණක් තෝරාගන්න
ඔබේ නිවසේ සරල බව පවුලේ සැමගේ මනසට සහනයක් ගෙන දෙනු ඇත. එසේම ඔබට අස්පස් කිරීමට ගතවන කාලය අඩු කරනු ඇත. නිදසුනකට ඔබ නිතර භාවිත කරන්නේ එක පිහියක් නම් මුළුතෙන්ගෙයි පිහි හතරක් පහක් තැබීම ඉඩකඩ මෙන්ම අනතුරුදායකබව වැඩි කරයි. අත්‍යවශ්‍යම භාණ්ඩ හැර අනවශ්‍ය බඩු ගොඩ ගසා ගැනීම ඉඩකඩ අහුරනවා පමණක් නොව, ඒ මත අසුබ ශක්තීන් තැන්පත් කර ඔබේ දියුණුවට බාධා කරයි. ඇඳුම් අල්මාරියේ ඉඩ ඇහිරෙන්නේ නිතර භාවිත නොකරන ඇඳුම් පුරවා ඇති විටය. ඒවා පරිත්‍යාග කිරීම හෝ වෙනත් කබඩයක තැන්පත් කිරීම ඔබට මහත් සහනයක් ගෙනෙයි. නිවෙස දැකුම්කළු ස්ථානයක් බවට පත් කරයි. සරල බව, ඉඩකඩ නිදහස් මනසක් ගොඩනඟයි. කාලය ඉතිරි කරයි.මහන්සිය අවම කරයි.
ඔබ සතු සෑම දෙයකටම කෘතඥ වන්න
ඇතැම් විට ඔබ රෙදි සෝදන විට, වළං පිඟන් සෝදන විට, ගේ අතුගාන විට සිතන්නේ එය කරදරයක් ලෙස විය හැකියි. බිම ඇමදූ කොස්ස පිරිසුදු කිරීම අනවශ්‍ය දෙයක් ලෙස ඔබ සිතනු ඇති. එහෙත් ඔබට පිළිවෙළට රැකියාවට යන්නට උපකාර කළේ ඒ ඇඳුම් පැලඳුම්ය. රස ආහාර වේලක් සකසා ගත්තේ මේ වලන් පිඟන් ආධාරයෙනි. පිරිසුදු ගෙබිමක් ලැබුණේ කොසු ආදිය නිසාය. එනිසා ඔබ සතු සෑම කුඩා උපකරණයක් වෙතම කෘතඥ වන්න. එබේ මනා පැවැත්ම වෙනුවෙන් ඒවා අවශ්‍ය වූ බව අවබෝධ කරගන්න. ඒ කෘතඥතාවයෙන් ඔබ ඇති කරන යහපත් තරංග ඔබේ නිවෙස පුරා පැතිරෙනු ඇත. එය සුබ ශක්තිය ඔබේ නිවස පුරා සංසරණයට හේතුවක් වනු ඇත. පවුලක සියලු දෙනා මේ ආකාරයෙන් යහපත් තරංග ඔබේ වටපිටාවට මුසුකරන විට සතුට, ප්‍රීතිය මෙන්ම අභිවෘද්ධිය එමගින් ඇතිවනු ඇත. සතුට පිරුණු තැන සෙනෙහස, සාමය, සෞභාග්‍යය පවතිනු ඇත. එය දියුණුවේ රුවන් දොරටුවයි.
සියලු දෙනා සමඟ එක වේලක්
පවුලක සමගි සමාදානය, සතුට, දුක බෙදාගැනීම ආදි සියලු දේට පවුලේ සාමාජිකයන්ගේ එකමුතුව වැදගත්. එනිසා කොපමණ කාර්යබහුල ජීවන රටාවක සිටියත් දවසේ එක් වේලක් පවුලේ සියලු සාමාජිකයන් එක්ව කෑම මේසයේ ගැනීම සහ එමඟින් ඇති කරන සුබ තරංග නිවෙසට සුබ ශක්තීන් ආකර්ෂණය කිරීමට හේතු වන බව ජපන් ජාතිකයන්ගේ විශ්වාසයයි. සතියේ එක් දිනක් සියලු දෙනා එක්ව නිවෙසේ ගත කිරීමද එවැනිම සුබ කටයුත්තක් ලෙස සලකයි. සැබැවින්ම එය පවුලේ බැඳීම තහවුරු කරන බව අමුතුවෙන් කිව යුතු නැත.
විද්‍යුත් උපකරණ සීමා කිරීම
ජපානය තරම් විද්‍යාවෙන් තාක්ෂණයෙන් දියුණු රටක වුවද විද්‍යුත් උපකරණ භාවිතය සීමා කරන අවස්ථා පවතී. රාත්‍රී නින්දට පැයකට පෙර ජංගම දුරකථන ආදියෙන් බැහැර වීම සුව නින්දක් සහ යහපත් මානසික, ශාරීරික සෞඛ්‍යයකට හේතු වන බව ජපන් ජාතිකයන්ගේ විශ්වාසයයි. එසේම පවුල එකතුව ආහාර ගන්නා මොහොතේ රූපවාහිනී නැරඹීම, ජංගම දුරකථන භාවිතය වැනි යන්ත්‍ර සූත්‍රවලින් තොර හුදෙක් මිනිස් ඇසුර පමණක් පවත්වා ගැනීම සුබ ශක්තීන් ආකර්ෂණයට හේතුවන බවත් ධනාත්මක සිතිවිලි පැතිරීමට උපකාරවන බවත් එය වාස්තු විද්‍යාත්මකව මෙන්ම මනෝ විද්‍යාත්මක වශයෙන් සුබදායී බවත් සැලකෙයි.
දිගුකාලීන පුරුද්දක්
කිසිදු උත්සාහයක් එක රැයකින් එළි නොවන බව අප දන්නවා. එනිසා මේ දේවල් එක දවසක් කිරීමෙන් පමණක් ඔබේ ජීවිතයට දියුණු ලැබේ යැයි සිතීම සාධාරණ නොවේ. එබැවින් ඕනෑම වාස්තු නියමයක් ක්‍රියාත්මක වීමෙන් ප්‍රතිපල ලැබෙන ඉක්මන්ම කාලය වන සති දෙකක් මේ පුරුදු ඔබ පුහුණු කළ යුතුය. ඖෂධයක පවා ගුණ බැලීමට මාස තුනක් ගතවන බව ඔබ දන්නවා ඇති. යහපත් පුරුදු මඟින් සැබැවින්ම ඔබේ දියුණුව ඇති වූ බව ඔබට ප්‍රායෝගිකව දැනෙන්නටද එවැනි කාලයක් ගත වීම සාධාරණ බව ඔබ අවබෝධ කරගන්න. එවිට ඔබ නොදැනුම්වත්වම ඔබේ දියුණුව අත්පත් වනු ඇත. ජපානය මෙතරම් දියුණු රටක් බවට පත්වන්නේ ඒ රටේ අති බහුතරයක් ජනතාව වසර ගණනක් මෙවැනි පුරුදුවලින් තමන්ගේ දියුණුව සලසාගෙන ප්‍රබෝධමත්ව, කෘතඥපූර්වකව මෙන්ම ධනාත්මකව තම ජීවිතය දෙස බලන නිසාය. ඔබටත් දියුණු වීමට අවශ්‍ය නම් කළ යුත්තේ වාස්තුමය කරුණු ලෙස ගැනෙන මෙවැනි යහපත් පුරුදු ඔබේ නිවෙසේ දිගුකාලීනව පවත්වා ගැනීමයි.
Advertisements