ඔබ ගැන කියන ඔබේ අත්අකුරු
අප අවට සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාප එකිනෙකාගෙන් එකිනෙකාට විවිධාකාර වේ. මේ අයුරින් වෙනස්වෙන ගතිගුණ හා ක්‍රියාකලාප පිළිබඳව අපට දැනුමක් ලබාගත හැක්කේ ජන්ම පත්‍ර අධ්‍යයනය, දේහ ලක්ෂණ විද්‍යාව මඟින් පමණක් නොවේ. යම් අයෙකු අත් අකුරු ලියන ආකාරය මඟින්ද ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ පිළිබඳව යම් යම් කරුණු දැන ගත හැකිය.
හස්ත රේඛා මෙන්ම අත් අකුරුද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එක හා සමාන ලෙස අත් අකුරු බොහෝවිට දකින්නට ලැබුණත් එසේ වන්නේ බාහිර පෙනුමෙන් පමණි. එවැනි ලිපි දෙකක් පරීක්ෂා කිරීමේ දී අකුරේ රේඛා විහිදයන ආකාරයෙන්, අකුරු ලියන හැඩයෙන්, කොම්බුව, ගැටය, ඉස්පිල්ල, පාපිල්ල අකුරට සම්බන්ධ කරන ස්ථානය හා ස්වරූපය ලියන ශෛලියේ එකකට එකක් වෙනස්කම් තිබෙන බව පැහැදිලිය. මේ වෙනස්කම් ඇතිවන ක්‍රියාකාරීත්වයේ ස්වරූපය තේරුම් ගැනීමෙන් අකුරු සමාන වූවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල වෙනස්කම් ඇති බව හඳුනාගත හැකිය.
ලිවීමට තෝරාගත් කඩදාසියේ දෙපස තීරු ඉහළ සිට පහළට සමාන්තරව මෙන් වෙන් කොට තිබේද, අකුරුවල ශෛලිය හා හැඩය පැහැදිලි වේද, එය ආයාසයෙන් තොරව ලියන ලද්දේ වේද, එසේ නම් එම තැනැත්තා ක්‍රමානුකූල හැඩ ගැස්මක් ඇති මනාව තුලනය වූ මනසකින් යුක්ත අයෙකු බව නිගමනය කළ හැකිය. වම්පස තීරුව වඩා පළල්ව පවතී නම් බිය, ප්‍රවේසම් රහිත බව වැනි චරිත ලක්ෂණ ද වඩා පටුනම් ලෝභකම, අරපිරිමැස්ම, විපරම් සහිත බව යනාදී ස්වභාවයක් ද පවතී.
එමෙන්ම ඉහළ සිට පහළට ඇති දෙපස තීරුවල ඉහළත් පහළත් අතර ඇති පරතරය බොහෝ සෙයින් අඩු හෝ වැඩිනම් හෝ ප්‍රශ්න හමුවේ නොබියව ඉදිරියට යන කෙනෙක්ද, පසුබාන කෙනෙක්ද යන්න නිගමනය කෙරේ. දකුණ පස තීරුව වඩා පළල්ව දැක්කේ නම් අනාගතය කෙරෙහි බියක් පවතින බව පැහැදිලි වේ.
ප්‍රමාණයට වඩා ලොකු අක්‍රමවත් අකුරු මානසික දුර්වලතාවයකින් යුත් මනසක ලක්ෂණයකි. කුමන ආකාරයේ දුර්වලතාවයක්ද යන්න නිගමනය කළ හැක්කේ අකුරුවල ස්වභාවය අනුවයි. වචන එකට බැඳී පවතීනම් බොහෝවිට වංචාකාරී බව පෙන්නුම් කරන්නෙකි. කෝණාකාර ලෙස අත් අකුරු ලියන්නේ හොඳ ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෝය. අවංක සෘජු වැරදි නියම ආකාරයෙන් අවබෝධ කරගත් තැනැත්තා සිරස්ව තනි පේලියට අකුරු ලියා ගෙනයයි. එහෙත් ඔහු සිතිවිලිවලට තරමක් වහල්ය. තිරස්ව පේලියකට අකුරු ලියාගෙන යනවිට යම් යම් අකුරු උඩ අතට ගමන් කරයි නම් එවැනි අය නිතර අන් අය අතරින් කැපී පෙනී සිටීමට උත්සාහ දරන අය වෙති. එසේ අකුරු ලියාගෙන යනවිට යම් යම් අකුරු පහළට පහළට ගමන් කරයි නම් එවැනි අය නිතරම රෝග පීඩාවලින් පෙළෙන නිතරම යම් විශේෂ දෙයක් බලාපොරොත්තුව සිටින අයයි.
එක් එක් අකුරුවල ප්‍රමාණ සහ හැඩය වෙනස්වෙයි නම් ඔහු ස්ථිර සාර ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙකු බව තේරුම් ගන්න. ඔහු විටන් විට අදහස් හා ගතිගුණ වෙනස් කරන්නෙකි. රවුම් වටකුරු අත් අකුරු කරුණාවන්ත අනුකම්පා සහගත අයෙකුගේ අතින් ලියවේ. අසරණ අයට පිහිටවීම අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට එවැන්නෝ දක්ෂයෝ ය.
ඉතා කුඩාම ප්‍රමාණයට අත් අකුරු ලියන්නා ලජ්ජාශීලීය. එම අකුරු පසු පසට ඇලවුණ ස්වභාවයක් ගනීනම් බොහෝ ලජ්ජාශීලිය.
සාමාන්‍ය ප්‍රමාණයට කුඩාවට අත් අකුරු ලියන්නේ නිතර නිතර පර්යේෂණාත්මක සිතිවිලි පහළවන පුද්ගලයෝ ය.
ඉතා පිරිසුදුව සාමාන්‍ය ප්‍රමාණයට චාම් ලෙස ලියන අත් අකුරු උසස් ගතිගුණ ඇති පුද්ගලයන් අතින් ලියැවෙයි.
උත්සාහයෙන් විවිධ වෘත්තීන්හි නියැළී ලෞකික දියුණුව කෙරෙහි සිත් යොමු කරන ස්ත්‍රීන්ගේ අත්අකුරු බොහෝ දුරට පිරිමි අකුරු හා සමාන ස්වරූපයක් ගනී. එසේම ප්‍රමාණයට වඩා විශාල අකුරු ලියන්නේ දොඩමලු විශාල මිතුරු පිරිසක් ඇති අයයි. ඔවුහු අන් අය අතර කැපී පෙනීමටද උනන්දුවෙති.
එක් එක් අකුරුවල හැඩය හා ප්‍රමාණය වෙනස් වෙයි නම් හේ ස්ථිර අදහස් නැති පුද්ගලයෙකු බව තේරුම්ගත යුතු ය.
අක්‍රමවත් අකුරු බුද්ධිමතුන් අතින් ලියැවෙන නමුත් ඔවුන්ගේ අදහස් හා ක්‍රියා ඉක්මන් බව තේරුම් ගන්න. බොහෝ අවස්ථාවල ක්ෂණික තීරණ ගනී. ඉතා අලංකාර ක්‍රමවත් අත්අකුරු ලියන්නෝ දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් හා තිර හැඟීමෙන් යුක්ත වූවෝ වෙති. කපටි වංක පුද්ගලයින් ලියන අකුරු වම් අතට බර ගතියක් පෙන්නුම් කරන අතර දකුණට බරව අකුරු ලියන පුද්ගලයා පරිත්‍යාගශීලී අනුකම්පා සහගත අයකු වේ.
Advertisements