Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනුරාගී චුම්භනයට ඇල්මැති හත්වැන්නේ සිකුරු

3 days ago 7 Min read
Subha.lk

සිකුරු – පස්වැනි භාවයෙහි
නුවණින් සපිරුණු ජන්මියා ඇමැතිවරයකු හෝ සෙනවියකු හෝ වනු ඇත. මිත්තණිය ජීවත්ව සිටිය දී දැක ගන්නට තරම් වාසනාව ඇති ජන්මියාට දරුවන් ද තරුණ බිරිඳක ද සිටිනු ඇත. නුවණැ’ති ඇමැතියකු වී රජයෙහි ගරු සම්මාන ලබන ජන්මියාගේ බිරිඳ සතුටු වාසනා සපිරිව සිටිනු ඇත. සිකුරු පාපියකු සමඟ සංයෝග නම් හෝ පාපියකුට අයත් භාවයක හෝ නීච රාශියෙහි සිටී නම් හෝ දරුවන් නොමැති ජන්මියා උදාසීන මන්ද බුද්ධිකයකු වනු ඇත. සිකුරු ශුභයකු සමඟ හෝ ස්වඋච්ච රාශියෙහි හෝ සිටී නම් බොහෝ නුවණැ’ති ජන්මියා ලෞකික වූ කටයුතුවලට නිපුණ, දරුවන් ද ඇති වාහන ද හිමියකු ද වනු ඇත.
පස් වැන්නෙහි සිකුරු පිළිබඳ දක්වන භෘගු සූත්‍ර අදහස් සිකුරු ග්‍රහයා හා පස්වැනි භාවයට අදාළව සැසඳේ. කන්‍යා, මකර හා කුම්භ ජන්මීන්ට යෝග කාරක වූ සිකුරු කවර ග්‍රහයකු වූව ද ශුභ වූ පස්වැනි ත්‍රිකෝණයෙහි සිටීම වඩාත් ශුභා’නුකූල වග තහවුරු කරනු ඇත. පස්වැන්නෙහි සිකුරු පුතුන්ට වඩා දියණියන් ලබාදෙනු ඇති වග අපගේ අදහසය.
වෘහත් ජාතකය ජන්මියා බුද්ධිමත් වනු ඇත.
ඵලදීපිකා ධනවත් ජන්මියා රජකු වැනි ගරු පුද ලබන දරුවන් කෙරෙන් වාසනාව හිමිකර ගන්නා බොහෝ නුවණැ’තියකු වනු ඇත.
සාරාවලිය වාසනාවන්ත ජන්මියා දරුවන්, මිතුරන් ඇති විනෝදයට පි‍්‍රය ධනවත් වූ ඇමැතිවරයකු හෝ විනිසුරුවරයකු හෝ වනු ඇත.

චමත්කාර චින්තාමණී දරුවන් ඇතත්, ජන්මියාට ඔවුන්ගෙන් වාසනාව නොලැබෙනු ඇත. නිර්භීත නොවන ඔහු මහත් වෙහෙසින් කටයුතු කර සඵලත්වය ලබාදෙනු ඇත. උගත් වෙතත් කවියකුවීමට නොහැකි වේ.
චමත්කාර චින්තාමණී හැර අනෙක් කතුවරු පස් වැන්නෙහි සිකුරු ඉටු විපාක ලබාදෙන වගට එකඟ වෙති. සුපුරුදු ලෙස වෘහත් ජාතකය භාව විපාක සියලු අයුරින් ආවරණය නොකරයි. චමත්කර චින්තාමණී අදහස්වලට කවර ශාස්ත්‍රීය නියමයන් පාදක වී දැයි පැහැදිලි නැත.


සිකුරු – සය වැනි භාවයෙහි
සිකුරු සයවැනි භවයෙහි සිටී නම් සෑහෙන පමණ ඥාතීන් සිටිනු ඇති ජන්මියාට දරු මුනුපුරන් සිටිනු ඇති අතර ඔහුගේ සතුරන්ගෙන් විනාශය සැලසෙනු ඇත. නාස්තිකාර වියදම් ඇති ප්‍රයෝගකාරී ඔහු රෝගයෙන් පෙළෙනු ඇත. සයවැන්නාධිපති බලවත් නම් නෑයන් ද, සතුරන් ද එකසේ වැඩෙනු ඇත. සයවැන්නාධිපති පාප සංයෝග හෝ නීච රාශියෙහි හෝ සඳු සමඟ නම් හෝ නෑයන් හානිය ද, සතුරන්ගේ විනාශය ද සිදුවනු ඇත.
භෘගු සූත්‍රය දක්වන බොහෝ අදහස් ඡ්‍යොතිෂානුකූල වෙතත් ඇතැම් අදහස් ව්‍යාකූල වේ. ඇතැම් විට කටපාඩමින් ගුරු ශිෂ්‍ය පරම්පරානුගතව විත්, පොත් ලියැවෙන කාලය වන විට මුල් අදහස් වෙනස් වී කෙළෙසී ගියා විය හැකිය. වෙනත් කරුණු සමඟින් සයවැන්නෙහි සිකුරු පුත්‍ර පෞත්‍රාදීන් ලබාදෙන වග පැවසේ. කිසිම ඡ්‍යොතිෂ නියමයකට අනුව සයවැන්න හෝ සිකුරු හෝ දරු මුනුපුරන් නිවේදනය නොකරයි. සයවැන්නාධිපති බලවත් නම් සතුරන් වැඩිවනු ඇත. ඔහු දුබල නම් සතුරන් වැනසෙනු ඇත. මෙහි ඇති තර්කය නම් සයවැනි භාවය බලවත් වී නම් සතුරන් ද රෝග ද වැඩිවන වගත්, සයවැන්න දුබල නම් සතුරන් ද රෝග ද වැඩිවන වගත් ය.
වෘහත් ජාතකය ජන්මියා සතුරන් නැත්තෙකි.
ඵලදීපිකා ජන්මියා සතුරන් නැත්තෙකි. එහෙත් දිළිඳු අවාසනාවන්ත අයකු වනු ඇත. ස්ත්‍රීන් කිහිප දෙනකු සමඟම සබඳතා පවත්වනු ඇත.
සාරාවලිය බිරිඳ කෙරෙහි කලකිරීමෙන් හා දොම්නසින් ජන්මියා සිටිනු ඇත. බොහෝ සතුරන් ඇති, පහත් මනසකින් යුතු ඔහු විපත් පීඩාවන්ට පත්වනු ඇත.
චමත්කාර චින්තාමණී
අන්තරායකාරී සතුරන් ඇති ජන්මියාට බොහෝ වූ වියදම් යෙදෙනු ඇත. සියලු උත්සාහ නිෂ්ඵල කරගනු ඇති ඔහු පියාගෙන්, ගුරුවරයාගෙන් සතුටු වාසනා නොලබනු ඇත.
සතුරන් පිළිබඳ භෘගු සූත්‍රය දක්වන අදහස් සමඟ වෘහත් ජාතක හා ඵලදීපිකා කතුවරු එකඟ වෙති. එහෙත් සාරාවලිය හා චමත්කාර චින්තාමණී කතුවරු පටහැනි වෙති. වෘහත් ජාතක හා ඵලදීපිකා මත සහේතුක ද, නියමානුකූල ද වේ.


සිකුරු – සත්වැනි භාවයෙහි
සිකුරු සප්තම භාවයෙහි සිටී නම් අධි අනුරාගී ජන්මියා මුවට මුව තබා ලවන් යුග උරා බොන නුරා පරෙවි චුම්බනයට මහත් ඇල්ම දක්වනු ඇත. ධනවත් ඔහු බිරිඳට අන්‍ය වූ ස්ත්‍රීන් කෙරෙහි ඇල්ම දක්වනු ඇත. වාහන හිමි, කාර්යශූර, බිරිඳ හා සොහොයුරන් සහිත පවුලක් ඇති ඔහු ස්ත්‍රී ඇසුරෙහි දී ඔවුනට ද්‍රෝහී වනු ඇත. සිකුරු පාපියකු සමඟ හෝ පාපියකුට අයත් හෝ නීච රාශියෙහි හෝ සිටී නම් බිරිඳ මියයනු ඇති ඔහු යළි විවාහයකට එළඹෙනු ඇත. පාපීන් වැඩි ගණනක් සිටී නම් බිරියන් මියයාම නිසා යළි යළි විවාහවීමට ජන්මියාට සිදුවනු ඇත. මේ තත්ත්වය යටතෙහි ජන්මියාට දරුවන් නොසිටිනු ඇත. සිකුරු ස්ව හෝ උච්ච හෝ ක්ෂේත්‍රයෙහි නැදි මයිලන්ගෙන් ලබන දායාද හේතුවෙන් බොහෝ ධනවත් වනු ඇත. බිරිඳගේ උපකාරයෙන් බලගතු අයකු වන ජන්මියා කාන්තාවන් පිරිවරා සිටිනු ඇත.
සිකුරු, ආලය, අනුරාගය හා උද්වේග නොහොත් හැඟීම් පිළිබඳ ග්‍රහයාය. 7වැනි භාවයෙන් ද මේ කරුණු නිවේදනය වේ. ඒ නිසා සිකුරු සප්තම භාවයෙහි සිටින ජන්මියා අධි රාගියකු වෙමින් බොහෝ වූ පෙම් බැඳුම්වල පැටලෙනු ඇත. සත්වැන්නෙහි සිටින සිකුරු ලග්නයට දෘෂ්ටි විහිදුවයි. ජන්මියා ඒ නිසා කාන්තාවන් වෙත වසඟ වේ. ධනවත් ද වන ඔහු වාහන හිමිව සියලු සැප සම්පත් විඳිනු ඇත. සිකුරු පීඩාවට පත්වී සිටී නම්, භාර්යා හානි සිදු වී කිහිප වරක් විවාහවීමට සිදුවනු ඇත. බලවත් සිකුරු බිරිඳගේ මව්පියන් වෙතින් ජන්මියාට දායාද ලබා දෙයි. කාන්තාවන්ගේ පි‍්‍රයතමයකු වනු ඇති ඔහු හැමවිටම ඔවුන් විසින් පිරිවැරී සිටිනු ඇත.
කෙසේ වුවද සිකුරු ගුරු සමඟ සංයෝගව හෝ ගුරුගේ පූර්ණ දෘෂ්ටිය ලැබ හෝ සිටී නම් පති බැතියෙන් සැමියා ද බිරිඳ ද උනුන් කෙරෙහි පෙම්වත්ව වාසනාවන්ත යුගදිවි ගෙවනු ඇති වග අපගේ හැඟීමය.
වෘහත් ජාතකය අඬදබරවලට අනුබල දෙන ජන්මියා කාම සේවනයට මහත් ඇල්මක් දක්වනු ඇත.
ඵලදීපිකා යහපත් බිරිඳක් ඇතත් ජන්මියාට ඇයගේ වියෝව විඳ ගැනීමට සිදුවනු ඇත. ධනවත් වනු ඇති ජන්මියා දුරාචාරී, කාමුක, ස්ත්‍රී ඇසුරට පත්වනු ඇත.
සාරාවලිය රූමත් ජන්මියා වාසනාවන්ත යුග දිවියක් ගත කරනු ඇත. සියල්ලන්ටම හිතවත් වනු ඇති ධනවත් ඔහු භාග්‍යවත් අයෙකි.
චමත්කාර නිත්මාණී ආකර්ෂණීය වන ජන්මියාගේ බිරිඳ පුත් රුවනක් බිහිකරනු ඇත. හැකි හැම ආකාරයෙන්ම ජීවිතය විනෝදයෙන් ගත කිරීමට ඔහු ඇල්ම දක්වනු ඇත.


සිකුරු – අටවැනි භාවයෙහි
අටවැනි භාවයෙහි සිකුරු සිටී නම් ජන්මියා වාසනාවන්ත වනු ඇත. ඔහුට වයස වසර හතරෙහි දී මව උගුරෙහි ආබාධයෙන් පෙළෙනු ඇත. රෝගී ජන්මියා මධ්‍ය ආයුවලට ද අඩු ආයු කාලයක් ගෙවනු ඇත. කැප වූ පෙම්වත් බිරිඳක ඇතත් ඔහු අසතුටෙන් කලකිරී සිටිනු ඇත. සිකුරු, ශුභ ග්‍රහයකුට හිමි අටවැනි භාවයෙහි හෝ ශුභ ග්‍රහයකු සමඟ හෝ සිටී නම් ජන්මියා සම්පූර්ණ ආයු කාලය ගත කරනු ඇත. සිකුරු පාප ග්‍රහ සංයෝග හෝ දෘෂ්ටියෙන් පීඩා වී සිටී නම් අල්පායු වේ.
මෙහි ද ව්‍යාකූලතා පවතී. ජන්මියා සතුටු වාසනාවෙන් සිටිනු ඇතැයි කියන කතුවරයා ඔහු අසතුටින් කලකිරී සිටිතැයි තවත් තැනෙක දී පවසයි. මේ දෙකම කෙසේ සිදුවිය හැකිද? අට වැන්න දුෂ්ඨස්ථානවලින් ද අනිටුම භාවය නිසා එහි සිකුරු සිටීමෙන් සිකුරුට අයත් භාව විපාක වැනසී යනු ඇත.
වෘහත් ජාතකය ජන්මියා අධම අයකු වනු ඇත.
ඵලදීපිකා ධනවත්, ඉඩම් හිමි ජන්මියා දීඝායු විඳිනු ඇත.
සාරාවලිය දීඝායු විඳිනු ඇති බොහෝ ධනවත් ජන්මියා රජෙකු වැනිව සියලු ආකාර සැප විඳිමින් සතුටින් වෙසෙනු ඇත.
මත්කාර චින්තාමණීය සියලු වර්ගයෙහි වාහන පහසුකම් ලබනු ඇති ඔහු දීඝායු විඳිනු ඇත. එහෙත් ඔහුගේ කතාව රළු කටුක වනු ඇත. හැම විටම ණයගැතිව සිටිනු ඇත.
ඵලදීපිකාව හා සාරාවලිය අට වැන්නෙහි සිටින සිකුරු විපාක උසස් ලෙස වර්ණනා කරයි. එම අදහස් සමඟ එකඟ විය හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk