Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දැනගෙන නටමුද කාවඩි පූජාව

1 day ago 7 Min read
Subha.lk

කතරගම යන බොහෝ ජනයා කාවඩි නර්තනය දැක ඇතත්, එය කුමන අරමුණක් උදෙසා පවත්වන්නේද යන්නත් එහි උපතත් එහි ඇති කාවඩි ප්‍රභේදත් නොදන්නවා විය හැකිය.
මේ හා සැබැඳි ජනප්‍රවාද කිහිපයක්ම වෙයි. ඉන් වඩාත් ප්‍රචලිත ජනශ්‍රැතිය නම් කතරගම දෙවිඳුන්ගේ බිරිය වල්ලි අම්මා මාතාව ලංකාවේ ආදීවාසී සනුහරෙන් පැවත එන්නියක වීමය. එනිසා ආදිවාසීන්ගේ ප්‍රධානතම ආයුධය වන දුන්න විවිධ දේ සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. ආදී වැදි පරපුරෙන් හැදී වැඩුණු වල්ලි මාතාව එම දුන්න සුරතට ගෙන එම දුන්නේ දෙපසින් මොනර පිල් සවිකර ගෙන එය තම කරමත තබාගෙන සෙල්ලකතරගම ප්‍රදේශයේ නර්තනයෙහි යෙදී තිබේ.
තුරුණුවියේ අතිසුන්දර රුවින් හෙබි වල්ලීව අහම්බෙන් දුටු කතරගම දෙවියන් ඇයගේ නර්තනයට වශීවූ බව සඳහන්වෙයි. පසුකාලීනව දෙදෙනා පේ‍්‍රමයෙන් බැඳුණු පසු කතරගම “සෙල්ලන්දූව“ ප්‍රදේශයේදී දුන්නෙහි දෙපස මොනරපිල් සවිකර එය කරෙහි තබාගෙන දර්ශනීය ලෙස නර්තනයේ යෙදුණු බවද පැවසේ.
කතරගම දෙවිඳුන් සහ වල්ලි මාතාව එක්ව අතීතයේ කරන ලද නර්තනයක් බැවින් මෙය එක්තරා පූජා විධික්‍රමයක් ලෙස ලංකාව පුරා විකාශනය වූ බව දැනට පිළිගත් මතයයි.
භක්ති කාවඩි, මුරුගන් කාවඩි, කිරි කාවඩි, ගිනි කාවඩි, පරෙවි කාවඩි, කරත්ත කාවඩි, මත්ස්‍ය කාවඩි ආදී ලෙස කාවඩි වර්ග රාශියක් දක්නට ඇත.


භක්ති කාවඩි
මේ කාවඩිය ලීයෙන් තනනු ලබන අතර මොනරපිල්වලින් සකසන ලද කුඩා කාවඩි කූඩුවක්ද කරෙහි තබා ගෙන කරනු ලබන නර්තනයකි. මෙය දෙවියන් උදෙසා තම භක්තිය ප්‍රකාශ කිරීමට බැතිමතුන් විසින් සිදුකරනු ලබන්නේය. කාවඩි නර්තනයේදී දෙවියන් කෙරෙහි ඇති භක්තිමත් බව නිසා කාවඩිය බිම නොවැටී කරෙහි රැඳෙන බවත් එය සමබරව පවතිනුයේ දේව බැල්ම හෙළීම නිසාම බවත් බැතිමතුන්ගේ විශ්වාසයයි.


මුරුගන් කාවඩිය
මෙයද භක්ති කාවඩියට බොහෝදුරට සමාන වෙයි. එහෙත් මුරුගන් කාවඩිය දරන්නා නැතහොත් බැතිමතා වෙත දේව ආරූඪයක් වැනි විශේෂ ශක්තියක් ලැබෙන බව විශ්වාස කරයි. ඇතැම් විටෙක ආවේශයෙන් මෙන් දඟලමින් භක්තිය මුසු වේගවත් නර්තනයක යෙදීම මුරුගන් කාවඩියේ දක්නට ලැබෙයි. බැතිමතාගේ ශරීරයට පූජා නර්තනයක් සමඟ අපූරු ජවයක් ජනිත වෙතැයි විශ්වාසයක් පවතියි.


කිරි කාවඩි
මෙය සකසනු ලබන්නේ කළු උක්ගසක දෙපස කිරි කල දෙකක් බැඳීමෙනි. මේ සඳහා දී කිරි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බැතිමතා වෙත කළු එළදෙනක් පැටියා සමඟ පැමිණෙන බවත් එහිදී බැතිමතා එළදෙන නහවා, පලතුරු, ආහාරපාන ආදියෙන් සංග්‍රහකොට මල් මාලා ආදිය පලඳවා නළලේ තිලකයක්ද තබා දුම්අල්ලා කිරි දොවා භාජනවලට දමා කටබැඳ කාවඩියේ එල්වා නර්තනයේ යෙදී ඇති බවත් සඳහන් වෙයි. ඒ අනුව කිරි කාවඩියද කිසියම් හාස්කම් සහිතව සිදුවන්නක් බව පෙනී යයි.


ගිනි කාවඩි
මේ කාවඩිය දරන්නා මාස4ක්වත් නිර්මාංශව පේවී ආ යුතුයි. මෙහිදී සාමාන්‍ය කාවඩියකට වඩා වෙනස් ආකාරයට කාවඩියේ දෙපස නාගපෙණ ආකාරයට සාදන ලද ගිනිපන්දම් 6ක් බැගින් සවිකර ගනු ලබයි. මේ ගිනිපන්දම් පත්තු කිරීමේදී ගිනිජාලාවක් සමඟ සිදුකරන කාවඩි පූජාවක් වෙයි.
කිසියම් ලෙසකින් බැතිමතා නිසි පරිදි පේවී නොමැති නම් ඔහුට හෝ ඇයට එම ගින්නෙන් විවිධ වූ අනතුරු විපත් හානි සිදුවන බව විශ්වාසයයි . එයින් නොනැවතී විවිධ අමනුෂ්‍ය උවදුරුවලටද ලක්වීමට අවකාශ ඇති බව පැරණී ග්‍රන්ථවල කියැවෙයි. ගිනි කාවඩිය දරන්නාවූ තැනැත්තා අත්පා ආදී තම ශරීරයේ විවිධ ස්ථානවල වේලායුධ 108ක් සවිකර ගෙන නර්තනයෙහි යෙදෙයි. මෙය දැඩි භක්තිවන්තව ඉතා බිහිසුණු වර්ගයේ කාවඩි දැරීමක් ලෙස පෙන්වා දිය හැකිය.


පරෙවි කාවඩි
තම ශරීරයේ වේලායුධ කිහිපයක් සම විදීමෙන් ඇතුළු කොට එම කොකු සහිත වේලායුධවලට ලණු දමා එම ලණු කරත්තයක බඳින ලද විශාල පුවක් ගසකට සම්බන්ධ කොට භක්තිවන්තයා එහි එල්වා පද්දවා රුකුල් දෙමින් රැගෙන යන ක්‍රමවේදයකි. මෙය වේල් උත්සවවලදී වත්මන්හි දැකගත හැකිය. කෝවිල්වල පවත්වන විවිධ පූජාවලදී, විශේෂයෙන්ම කෝවිල්වල විටින්විට පවත්වන උත්සවවලදී කරත්තයක සවිකරන ලද විශාල උණ ගසක හෝ පුවක් ගසක කොකුවලින් එල්ලන ලද මිනිසකු පද්දමින් රැගෙන යනු දක්නට ලැබෙයි. මෙය පරෙවි කාවඩි ක්‍රමයකි.


කරත්ත කාවඩි
කරත්තයක සරසන ලද දේව පිළිමයක් තබා දෙවියන් සහිත එම සුවිශේෂී කරත්තය පිටෙහි කටුගැසූ මිනිසෙකුට සවිකර ඔහුට ඇදගෙන යෑමට ඉඩ සැලැස්වීම මෙමඟින් සිදුකරනු ලබයි. මෙය කරත්ත කාවඩියෙන් සිදු කෙරෙයි. අතීතයේ මෙය බහුලව භාවිත කර තිබේ. බැතිමතා දෙවියන් කෙරෙහි ඇති භක්තිවන්තකම මින් ප්‍රදර්ශනය කෙරෙයි.


මත්ස්‍ය කාවඩිය
මෙය සාමාන්‍ය කාවඩියක් සේම සාදාගත් කාවඩියකින් සිදුකරනු ලබන විශේෂ නර්තනයකි. එසේ වුවද ඒ සඳහා උපයෝගීවන අද්භූත සිදුවීම් රාශියක් ඇතැයි විශ්වාස කෙරෙයි. මේ මත්ස්‍ය කාවඩි දරන අවස්ථාවේදී කිසියම් මනුෂ්‍යයකු පැමිණ ඔහුට මත්ස්‍යයන් කිහිප දෙනෙකු ලබාදෙන බවත්, ඔහු ඒවා පිරිසුදු කරන විට ස්ත්‍රියක පැමිණෙන බවත්, ඇය විසින් එය පිසීම සඳහා අවශ්‍ය කරන අඩුම, කුඩුම සපයාදෙන බවත්, මත්ස්‍ය කාවඩි දරන්නා විසින් ඒවා හොඳ හැටි උයා පිහා කාවඩියෙහි දෙපැත්තේ එල්ලා ශරීරයේ කොකු ආදිය දවටා ගෙන ගම වටා ඇවිදිමින් මිනිසුන්ට ආශිර්වාද සිදුකරන බවත් දැක්වෙයි.
මෙය විශේෂයෙන්ම ශාන්තිකර්මයක් වැනි ක්‍රියාවකි. මේ මත්ස්‍ය කාවඩි දරන්නාගේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා වාදන කණ්ඩායමක් ද දේවාඥාවෙන් පැමිණෙන බවත් විශ්වාස කෙරෙයි. වත්මන්හි මෙය දක්නට නැත.


කාවඩි දැරීමට යෝග්‍ය දින 4ක් පිළිබඳ මහාභාරතය සහ හින්දු දර්ශන අධ්‍යයනවල පැහැදිලිව සඳහන්ව ඇත. එසේ වුවද යමෙකු දේවභක්තියෙන් කාවඩි දැරීමට බලාපොරොත්තු වන්නේ නම් අවම වශයෙන් දින 120ක් වත් මස්මාංශවලින් තොරව පේවී සිටිය යුතුය. ඊට අමතරව බ්‍රහ්මචාරීව ජීවත්වීමත් දෙවියන් පි‍්‍රයකරන උඳු, කොල්ලු, මුරුංගා ආදිය කෑමට නොගැනීම, සුරාපානය, මස් මාළු, දුම්බීම ආදි සියලු දුරාචාරවලින් වැළකී පේවීම අනිවාර්ය බව පැරණි සංස්කෘත ග්‍රන්ථවල සඳහන්ව තිබෙයි.
 

අපි ප්‍රථමයෙන් කාවඩි දැරීමට ඉතා සුදුසු දින 4 කවරේදැයි සොයා බලමු.
01. අසුර සංග්‍රාමය සිදු කළ ඉල්මහ මංගල්‍ය දිනය
02. කතරගම ස්කන්ධකුමරු දේව සේනාධිපති තනතුර ලැබූ වෘශ්චික රාශියෙහි කැති නැකත යෙදෙන දිනය
03. කතරගම සුරිඳුගේ උපන්දිනය වූ මකර රාශිය යෙදෙන පසළොස්වක දිනය හෙවත් තෛපූයම් දිනය
04. වල්ලිමාතාව විවාහ කරගත් දිනය වූ රවි ග්‍රහයා මීන රාශියේ ගමන්කරන බක්මාසයේ උත්‍රපල් නැකැත යෙදෙන දිනයද ඉතා යෝග්‍ය වෙයි.


නිසි ලෙස පේවී කාවඩියක් කරට ගැනීමට නම් මැණික් ගඟෙන් නා පිරිසුදු වී තෙත ඇඳුම් සහිතව එය සිදුකළ යුතු බව පුරාතනයේ සිට පැවැත එන චාරිත්‍රයයි. ඉහත සඳහන් දින 04හි කාවඩි දැරීමට අපොහොසත් වූ බැතිමතකු වෙනත් සාමාන්‍ය දිනකදී වුවද කාවඩි නර්තනයේ යෙදෙමින් දෙවියන් තෘප්තිමත් කිරීමට කැමැති නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම මැණික් ගඟෙන් ස්නානය කොට තෙත වස්ත්‍ර සහිතව කාවඩි නර්තනය කළ යුතුය. එසේ වුවද මේ පිළිබඳ කිසිදු වගවිභාගයකින් තොරව අන්‍ය පුද්ගලයන් භක්තියට වඩා විනෝදයට බරව සිදුකරන කාවඩි දැරීම නිසා බොහෝ දෙනා ඉන් අවැඩක් සිදුකර ගෙන වස්දොස් වැදීමෙන් ඔවුන්ගේ වටිනා ජීවිත පවා අකාලයේ විනාශවී ගිය අවස්ථා සුලබය. මෙවැනි පිරිස් දේව උදහසටත්, දේව කෝපයටත් ලක්වීමෙන් සිදුවන බොහෝ විපත් වූ අවස්ථා එමටය.
කාවඩි කර්මාන්තයේ යෙදුණූ පුද්ගලයන්ද එය නිසි ලෙස නොකිරීමත් බැතිමතුන්ට අවශ්‍ය උපදෙස් නොදී අධික ශබ්දයන් යොදා ගනිමින් අමනෝඥව උමතුවෙන් මෙන් හැසිරෙමින් බෝධිපූජා ආදියට බාධා පමුණුවමින් කාවඩි දැරීම නිසා මහා විපත් සිදුකර ගනී. එනිසා දැනගෙන යා යුතු කතරගමදී කාවඩි නැටුමද දැනගෙනම කළ යුතු බව සිහි තබාගත යුතුය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk