Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ ලග්න පලාඵල අ‍ගෝස්තු 01 දින සිට අ‍ගෝස්තු 07 දක්වා

1 year ago 7 Min read
Subha.lk

මේෂ

 

චිත්ත ධෛර්යයද නිර්භීතකමද උත්සාහවන්ත බවද ඇතිවන බවක් මේෂ ලග්න හිමියන්ට දැනෙන සතියකි. හිතවතුන්ගේ උදවු උපකාර ලැබීමටද හේතුයි. තදබල අපල කාලයක් නොවුණත් මිශ්‍ර පලදායක සතියක් බැවින් විටින් විට සුළු සුළු ගැටලු මතුවිය හැකිය. සිතට කනගාටුවක් ඇතිවේ. එය තම බලාපොරොත්තුවක් අවසාන මොහොතේ කඩාවැටීම නිසා හෝ හිතවතකුට සිදුවූ විපතක් නිසා වියහැකිය. කොපමණ අසාර්ථක වුවත් තම අරමුණ කරා එක එල්ලේ ගමන්කරන බවක්ද දැකිය හැකිය. අන් අයකුගේ ආරාධනාවක් නිසා යම් ගමනක් යෑමට සිදුවේ. වැඩිහිටියෙක් හෝ උසස් අයකු සමඟ අමනාප වීමක් හෝ බහින්බස් වීමක් ඇතිවීමට පුළුවන. ප්‍රඝාතය, කාමමිථ්‍යාචාරය, අදත්තාදානය යන අකුසල සිතිවිලි ඇතිවීමට වැඩි ඉඩක් ඇති කාලයක් බැවින් නිතරම සිත ශීලයෙහි පිහිටුවා කටයුතු කිරීම මැනවි. ශරීර ශක්තිය හීනවී යයි. සුළු හෝ අලාභහානියක් විය හැකිය. උණ, අධික රුධිර ධාවනය, හිසේ කැක්කුම ඇතිවිය හැකිය.

 

ශුභ දිනය - අඟහරුවාදා

ශුභ වර්ණය - දම් පාට

ඡය අංක - 03, 12

 

 

වෘෂභ

 

තදින් සිත් නරක් වීමකට කරුණක් යෙදෙන දෙයට නිෂ්ඵල ලෙස වියදම් කිරීමට සිදුවේ. රහස් සතුරන් ඇතිවීම නිසා අවුල් වියවුල් ඇති විය හැකිය. ඇස්වල ආබාධ, පිත් කෝපය, හදිසි වැටීම්, කකුල්වල තුවාල ආදිය සිදුවීමට නියමයි. බිරිය හෝ සැමියා සමඟ විරෝධතා මතුවිය හැකිය. උස්තැන්වලට නැඟීමෙන් වැළකී සිටීම මැනවි. තිබුණ ගෞරව සැලකිලි අඩුවී යයි. ස්ත්‍රීන් හේතුවෙන් ආරවුල් මතුවේ. මිත්‍රයෙක් හෝ සහෝදරයෙක් විරුද්ධ වීමට හෝ අමනාප වීමට පුළුවන. නිකරුණේ නමුත් දෝෂාරෝපණ අසන්නට සිදුවේ. වංචා ප්‍රයෝගවලටද හසුවීමට ඉඩ ඇත. යටත් සේවකයන්ගේ නැඟී සිටීමක් හෝ විරෝධතාවක් ඇතිවීමට නියමයි. ලෝහ වර්ගවලට හා වාහනවලට මුදල් වියදම් කිරීමට සිදුවේ. නිතරම ශරීරයට පණ නැති ගතියක්, වෙහෙස ගතියක්, ධෛර්යමය උනන්දුව අඩු ගතියක් දැනෙන්නට පුළුවන. සමහරවිට තෑග්ගක් ලැබීමට හෝ ආදර සංග්‍රහයක් ලැබීමට ඉඩ ඇත.

 

ශුභ දිනය - සඳුදා

ශුභ වර්ණය - සුදු පාට

ජය අංක - 07, 16

 

 

මිථුන

 

කරන කියන කටයුතු සාර්ථකත්වයටත් දියුණුවටත් පත්වෙන බවක් මිථුනයෙන් දැකිය හැකිය. දරු ශිෂ්‍ය ලාභද ලැබෙන්නට පුළුවන. ලාභ ප්‍රයෝජන හා ගරු සැලකිලිද වැඩිවේ. ප්‍රසිද්ධියට පත්වීමට නියමයි. දේපළ ලැබීම්ද පෙන්වන බැවින් ඒ ගැන උනන්දු වීම වටියි. අලුත් මිත්‍රයන් මුණගැසෙනු ඇත. මිතුරන් හා ක්‍රීඩාකාමීව කටයුතු කිරීමට සිතෙනු ඇත. රජයේ සේවකයන්ටද යහපත් කාලයකි. රජයෙන් හෝ මිතුරන්ගෙන් යම් වැඩක් කරගැනීමට සිටියේ නම් එය සාර්ථක වේ. සාමාන්‍ය දියුණුව වැඩි වන අවධියකි. ආදායම් තත්ත්වය යහපත් අතට හැරේ. සතුරු කරදර අඩු වී යයි. දේශපාලන කටයුතුවල නිරත අයට මේ දිනවල විශාල දියුණුවක් ඇති කරයි. හොඳ ජනප්‍රසාදයක් ලබාගැනීමට හැකිවේ. අලුත් හොඳ ආරංචි පැතිරයයි. අලුත් ඇඳුම්ද වාහන අමතර කොටස්ද ක්‍රීඩා භාණ්ඩද යකඩ බඩුද මිලදී ගැනීමට සිදුවිය හැකිය. නමුත් මෙම ශුභඵලයන් පළමුවරට ලග්න අෂ්ටම ඒරාෂ්ටකය යෙදෙන අයට නොලැබීමට පුළුවන.

 

ශුභ දිනය - බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය - රන්වන්

ජය අංක - 09, 18

 

 

කටක

මෙම සතිය කටක ලග්නයෙන් උපන් අයට මිශ්‍ර පලදායක වුවත් වැඩි වශයෙන් අපල යෙදෙන බවක් දැකිය හැකිය. සිත් වේදනාවකට හේතු යෙදෙනු ඇත. සමහරවිට වැඩිහිටියකුට සිදුවූ විපතක් අසන්නට සිදු විය හැකිය. ස්ථානීය වෙනස්කම් ඇති කළ හැකි බවක් පෙනේ. ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළහොත් එය යහපත් අතට හරවා ගැනීමට හැකිවනු ඇත. වාසනාවන්ත සිදුවීමක්ද පෙන්නුම් කරයි. රැකී රක්ෂාවල ප්‍රගතියක් ඇතිවිය යුතුය. ගින්දර, පුපුරණ ද්‍රව්‍යද, යකඩ ආදිය හා සම්බන්ධව කටයුතු කරන අයට විශාල ලෙස ලාභ ප්‍රයෝජන අත්විය හැකි සතියකි. ණය තුරුස්, ගණන් හිලව් ආදිය පියවාගැනීමට හැකිවනු ඇත. ඒ අතරම කරන කියන කටයුතුවලට බාධා, කරදර ඇතිවීමට පුළුවන. එබැවින් ඉවසිලිවන්තව නුවණින් කටයුතු කිරීම වටියි. තම බලය වැඩිවේ. බර වැඩ කිරීමට හෝ බර ඉසිලීමට සිදුවිය හැකිය. ආදායමද වැඩිවිය හැකි අතර නැතිවූ යම් යම් දේවල්ද නැවත ලැබෙනු ඇත. බලාපොරොත්තු ඉටුකරගත හැකිය.

 

ශුභ දිනය:- සඳුදා

ශුභ වර්ණය:- සුදු පාට

ජය අංක:- 07, 25

 

 

සිංහ

 

මූල්‍යමය කරදර වැඩි වන බවක් සිංහ ලග්න හිමියන්ට දැනෙනු ඇත. තැන්පත් ධනයටද හානිවිය හැකිය. නිරපරාදේ සිත් තැවුල් ඇතිවිය හැකිය. ශරීර සනීපය දුර්වල විය. හැකිය. අමුතු අසනීපයක් වැලදෙනු ඇත. නිතර ගමන් බිමන් යෙදේ. කෑම, නෑම, නිදාගැනීම ආදියටද බාධා ඇතිවේ. කරගෙන යන වැඩ වෙනස් වීමට හෝ නතර වීමට පුළුවන. පරාජයට පත්වියහැකි සතියකි. වාද විවාද තරග නඩුහබ ආදියට ඉදිරිපත් වීමට එතරම් ශුභ කාලයක් නොවේ. අවි අයුධ භාවිතයේදී වඩාත් ප්‍රවේශම් විය යුතුය. තුවාලවීම්, හදිසි අනතුරු සිදුවීමට බොහෝ ඉඩ ඇත. ශක්තිය ධෛර්යය, උනන්දුව අඩුවී යයි. වැඩිහිටියන්ට, විශේෂයෙන් පිය පාර්ශ්වයේ ඥාතීන්ට ඇතිවන අසනීපාදී කරදර නිසා දුක්වීමට හෝ දුක් විඳීමට සිදුවේ. දූ දරුවන්ගෙන්ද කරදර ඇති විය හැකිය. මිතුරන් හා නෑනලා මස්සිනාලාගෙන් ප්‍රශ්න මතු වීමට ඉඩ තිබේ. ආදර බන්ධනවලින් ප්‍රගතිය ඇතිවේ. පෙම් සබඳතා තරවේ. පෙම්වතුන්ට විනෝද ගමනක් යෑමට අවස්ථාව උදාවෙනු ඇත.

 

ශුභ දිනය - අඟහරුවාදා

ශුභ වර්ණය - රතු පාට

ජය අංක - 03, 21

 

 

කන්‍යා

 

වඩාත් ප්‍රවේශම් සහගතව කටයුතු කළයුතු සතියක් කන්‍යා ලග්නයට උදාවී ඇත. ධන අතර ණය වීමටද සිදුවනු ඇත. කරගෙන ආ වැඩපිළිවෙළ වෙනස්වීමට හෝ අවුල්වීමට පුළුවන. නරක ආරංචි පැතිර යයි. තිබුණ ගෞරවය, සැලකිල්ල හීනවනු ඇත. පදිංචිය වෙනස් වීමට හෝ ඒ හා බැඳුණු කරදර වැඩිවිය හැකිය. උණ, රක්තහීනතාව, ලේ විසවීම, ලේ ගැලීම, ශරීරයට හානි, සීම් වැනිදේ ඇතිවිය හැකිය. උගුරේ ආබාධ හා බඩේ උෂ්ණය අධික කරයි. අර්ශස් රෝගීන්ද දැඩිව ප්‍රවේශම් වියයුතුය. වෙහෙසකර ගමන්බිමන් ඇතිවේ. ආරවුල්වලට මැදිවන්නට සිදුවිය හැකිය. සතුරු පීඩාවකින් බය ඇතිවීමට නියමයි. ඉඳහිට වරින් වර වාසනාවද මතුවෙන බවක් දක්නට ඇත. ලස්සනට ඇඳ පැලැඳ සමාජයට පෙනෙන්නට හැසිරෙන බවක් පෙන්වයි. සහෝදරියන්ගෙන්ද මවගෙන්ද උපකාර ලැබීමට නියමයි. අමුතුවෙන් ආරම්භ කරන කටයුතුවලින් දියුණුව උදාකරගත හැකිය. ඉඳහිට හොඳ මිතුරන් හමුවනු ඇත.

 

ශුභ දිනය - බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය - ක්‍රීම් පාට

ජය අංක - 09, 36

 

තුලා

 

මිතුරු මිතුරියන් සමඟත් ඥාතීන් සමඟත් අමනාපකම් අසමඟිකම් ඇතිවිය හැකි සතියක් තුලාවට උදාවේ. දරු ශිෂ්‍යාදීන් නිසාද සහෝදර සහෝදරින් නිසාද සිත්තැවුල් හා කනගාටු ඇතිවේ. පරම්පරාවේ වැඩිහිටි ඥාතියකුට තරමක අපලයක් පෙන්නුම් කරයි. රැකී රක්ෂා තනතුරු, වෙළෙඳ ව්‍යාපාර ආදිය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. නොසන්සුන්කම සහ ඉක්මන් කෝපය නිසා කල කෝලාහලවලට පැටලීමට නියමයි. නඩු හබ වලටද හේතුයි. අසතුටුදායක ආරංචි අසන්නට සිදුවෙනු ඇත. වැඩකරුවන් සමඟ ආරවුල්, ගැටුම් ඇතිවේ. ප්‍රසිද්ධ සතුරන් ඇතිවන කාලයකි. ගෙදර දොර සමඟිය අඩුවේ. හදිසි අනතුරු සිදුවිය හැකි වැඩකටයුතුවලින් හැකිතාක් දුරස්ව වාසය කිරීම මැනවි. විවාහක අය අතර අධිකව හැඟීම් ඇති විය හැකිය. ගොවිතැන්වලින් ලාභ අත්වීමටද නියමයි. අලුතින් ගොවිතැන් ආරම්භ කිරීමටද ශුභදායක බවක් පෙනේ. මධ්‍යම වයස් ප්‍රමාණයේ ස්ත්‍රීන්ට වෙළෙඳාම් කටයුතුවලින් වාසි අත්වේ.

 

ශුභ දිනය - සිකුරාදා

ශුභ වර්ණය - නිල් පාට

ජය අංක - 06, 15

 

වෘශ්චික

 

කරදර හිංසා පීඩා ආදියෙන් නිදහස ලැබෙන සතියක් වෘශ්චික ලග්න හිමි ඔබට උදාවේ. සුළු සුළු අසනීප වැලඳෙන නමුත් ඒවා වහා සුව වනු ඇත. අනුන්ට යටත් නොවී තම අභිමතය පරිදි කටයුතු කරගෙන යා හැකිය. ධනලාභවලට හේතුයි. සිතට සතුටක් ඇතිවේ. මුදල්වලින් අපහසුතා නොදැනේ. ගෙදරට අවශ්‍ය බඩු ලැබීමක් හෝ මිලදී ගැනීමක් සිදුවිය හැකිය. ලාභ ප්‍රයෝජන වැඩිවේ. සතුරු කරදර පහවයයි. මෙතෙක් තිබුණු දුෂ්කරතා ක්‍රමයෙන් පහවයනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුව ලැබෙන කාලයකි. දේපළ ලැබීමටද ඒවායෙහි දියුණුවටද හේතුයි. වාහන සිහින සැබෑවිය හැකිය. කාර්යාල කටයුතුවල දියුණුව මෙන්ම පහසුවද සැලසේ. නම හොඳ වේ. ආදායම වැඩිවනු ඇත. අනුන්ගේ වැඩකට මහන්සි වී කටයුතු කිරීමට සිදු වේ. ප්‍රීතිමත් උත්සව ප්‍රිසම්භාෂණ ආදියට සහභාගි වීමට අවස්ථාව උදාවන සතියකි. තම සුරතල් සතුන්ට තුවාල හෝ ලෙඩ සෑදීමට පුළුවන. සේවකයන්ගේ යම් මුරණ්ඩු ගතියක් දක්නට හැකිවේ.

 

ශුභ දිනය - සඳුදා

ශුභ වර්ණය - සුදු පාට

ජය අංක - 06, 33

 

ධනු

 

ධනු ලග්න හිමියන් හිතුමතයට ආලයට හෝ විවාහයට සම්බන්ධවන බවක් දක්නට හැකිය. ත්‍රාසජනක වැඩවලට හිතයයි. ගමන් බිමන් අධික වනු ඇත. ආදායම පහළ බසින කාලයකි. අරවුල්වලට පැටලීමට ඉඩ ඇති බැවින් කල්පනාකාර්ව විසීම මැනවි. දෝෂාරෝපණ එල්ලවන බවක්ද දක්නට ඇත. ශරීරයේ විවිධ අසනීප ගති මතුකරයි. දැනට පවතින අසනීප වැඩි වීමට පුළුවන. හදිසි අනතුරුවලින් තුවාල ඇතිවීමට හේතුයි. දරුවන්ටද තරමක් අපල යෙදේ. විශේෂයෙන් ලේ සම්බන්ධ රෝග වැලදෙනු ඇත. නිෂ්ඵල දේවල් සඳහා බොහෝ වියදම් කරන්නට සිදුවේ. විරුද්ධකරුවන් හෝ තරගකරුවන්ගෙන් පීඩාවට පත්වීමට සිදුවනු ඇත. හදිසි කරදරයකින් බේරෙන්නටද වාසනාව ඇතිවේ. ඉන්ද්‍රීය ආබාධ තත්ත්වයක් මතුවිය හැකිය. වාහන ලාභ ලබන්නටද හැකිවනු ඇත. ගොඩනැගිලි වැඩක් ආරම්භ කිරීමට හෝ අලුත්වැඩියා කටයුත්තක් කරන්නට සිදුවේ. මවුපියන්ට යහපත සැලසෙන සතියකි. ගමන් බිමන් සඳහා වාහන පහසුකම් ලැබෙනු ඇත.

 

ශුභ දිනය - සිකුරාදා

ශුභ වර්ණය - නිල් පාට

ඡය අංක:- 15, 34

 

 

මකර

 

බලාපොරොත්තු නොවූ අය හා ඇසුරු කරන්නට මකර ලග්න හිමියන්ට සිදුවනු ඇත. අප්‍රියයන් හා ආශ්‍රය ඇතිවේ. ශරීර විඩාව වැඩිපුර දැනෙන සතියකි. පවුලේ අය නිසා හෝ ඥාතීන් නිසා දුක්විඳීමට සිදුවනු ඇත. අගහිඟකම් වැඩිවන බවක් දැකිය හැකිය. මිතුරන් කෙරෙහි තබා සිටින බලාපොරොත්තු කඩවීමට පුළුවන. පපුවේ කැක්කුමක් හෝ බඩේ කැක්කුමක් ඇතිවීමට හැකි බැවින් ඒ ගැන අවධානය යොමුකිරීම මැනවි, පාචනය, උණ, ලේ දෝෂ වැනි රෝග තත්ත්වයන්ද මතුවිය හැකිය. අලුත් අමුතු අසනීපද වැලඳිය හැකි කාලයක් බැවින් ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන්න. චරිත ගුණය නරක්විය හැකි අතර තම තත්ත්වයද පහළ වැටෙනු ඇත. සිතේ සතුට, සැනසිල්ල නැතිවීමට කරුණු යෙදේ. දේපළ සම්බන්ධ ගැටලු ඇති විය හැකිය. පදිංචි ස්ථානය වෙනස් කිරීමට සිදු විය හැකි කාලයකි. සමහරවිට තම දේපළ විකුණා දැමීමට හෝ සිදුවේ. මේ අතරම රැකී රක්ෂා ලැබීම්ද තනතුරු උසස්වීම්ද සිදුවීමට නියමයි.

 

ශුභ දිනය - සෙනසුරාදා

ශුභ වර්ණය - ඇළු පාට

ජය අංක - 08, 17

 

කුම්භ

 

ශරීර සනීපය යහපත් වන අලුත් මිත්‍රයන් ලැබෙන සතියක් කුම්භයට උදාවේ. ධනලාභ සහිතයි. වෙළෙඳාම් කරන අයගේ කටයුතුවල හොඳ දියුණුවක් ඇතිවේ. රැකියා කටයුතුද යහපත් අතට හැරේ. තත්ත්වය බලය ආයාසයකින් තොරවම උසස්වන ලකුණු ඇත. දූ දරුවන් සිටින අයට ඔවුන් නිසා සතුට, ප්‍රීතිය අත්වෙන බවක් පෙන්නුම් කරයි. අලුත් ඇඳුම් පැලඳුම්, ආභරණ ආදිය ලැබීමට හෝ මිලදී ගැනීමට හැකි වේ. බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවනු ඇත. නව පෙම් සබඳතා ඇතිවීමට හේතුයි. අමුතු අමුතු ලාභ ලබාගැනීමේ ක්‍රම පිළිබඳව අදහස් පහල වේ. අලුත් අරමුණක් ඇතිකර ගැනීමට හොඳ කාලයකි. තම උදව්වට සහෝදරයන්ගේ සහයෝගය හොඳින් ලබාගත හැකි සතියකි. අසල්වැසියන්ගේ සහයෝගයද ලැබෙනු ඇත. නොයෙක් දෙනාගේ ගෞරවය සැලකිල්ල ලැබෙන්නට නියමයි. ශිල්පීය වැඩකටයුතුවලට හා හස්ත කර්මාන්තවලට යහපත් සතියකි. අඹු සැමියන් අතර සමඟිය වර්ධනය වන බවක් පෙන්නුම් කරයි.

 

ශුභ දිනය - සිකුරාදා

ශුභ වර්ණය - නිල් පාට

ජය අංක - 06, 24

 

මීන

 

මහන්සියෙන් කරන කටයුතුවලින් ලාභ උපයාගත හැකි සතියක් මීනයට උදාවනු ඇත. මෙහෙකරුවන්ගේ කටයුතුද සතුටුදායක ලෙස කෙරෙනු ඇත. එහෙත් ධනහානි මෙන්ම සැමියාට හෝ බිරියට විපත් හා අසනීප ඇතිවීමටද නියමයි. සතුරු පීඩාද නැත්තේම නොවේ. නින්දා අපහාස විඳින්නට සිදුවීමද හිතවතුන් සමඟ අමනාප වීමද සිදු විය හැකිය. දත්වල හෝ උගුරේ ආබාධ ඇතිවීමට නියමයි. මුහුණ, බෙල්ල ආශ්‍රිතව සුළු හෝ ආබාධ තත්ත්වයක් මතු වීමට පුළුවන. කැඩී බිඳී යනදේට වියදම් කිරීමට සිදු විය හැකිය. නුසුදුසු අය හිතවතුන් ලෙස ආශ්‍රය කරන්නට සිදුවන බවක්ද පෙන්නුම් කරයි. තමා සතු වටිනා යමක් නැතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් සහගතව කටයුතු කිර්ම වටියි. ඉක්මනින් කේන්ති යන ගතියක්ද දැකිය හැකිය. ලැජ්ජාවක් හෝ අවනම්බුවක් වීමටද කරුණු යෙදේ. බඩුමුට්ටු කැඩී යෑමද, වාහනවල කොටස් කැඩීයෑමද සිදු වීමට නියමයි. උසස් ප්‍රධානියෙක් හෝ ගුරුවර මවුපිය අදී අයෙක් සමඟ අමනාප වියහැකිය.

 

ශුභ දිනය - බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය - ළා කහ පාට

ජය අංක - 09, 36

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk