Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලස්සන මිනිස්සු දායාද කරන පුදුම මාසය

1 day ago 7 Min read
Subha.lk

මතකද අප්‍රේල් මාසේදී අපේ සුබසෙත යූටියුබ් නාළිකාව ඔස්සේ අංක 1-9 සියල්ල ආවරණය වන පරිදි පෞද්ගලික අංකයෙන් කල්පවතින අනාවැකි කියන හැටි කියලා දුන්නා?

අපි මාස ගණනාවක් තිස්සේ පෞද්ගලික අංකය ඇසුරින් ලබාගන්න හුරු වුණේ සුළුපටු දැණුම් සම්භාරයක් නම් නෙවෙයි. ඒකට සුබසෙත පාඨක ඔයාටම වුණත් සාක්ෂි දරන්න පුළුවන්.

අද මම ඔයාලාගේ දැණුම් නිම් වළලු තව තවත් පුළුල් කරමින් පෞද්ගලික අංකය හා එක්ව කියවිය යුතු තවත් සිද්ධාන්තයක් කියලා දෙන්නම්. මතක තියා ගන්න හරිම පහසු සිද්ධාන්තයක්! මේකට තමයි මාසයේ අංකය කියන්නේ.

ඉදිරියට එන සුවිශේෂී ඔක්තෝබර් මාසයෙන්ම අනුපිළිවෙලින් මාසේ කතාව කියන්න පටන් ගනිමු. පෞද්ගලික අංකයෙන් කෙනෙකුගේ පෞරුෂය ගැන අල්ල ගන්න පුළුවන් වුණා වගේම මාසේ අංකයෙන් අදාළ මාසයටම සුවිශේෂී පොදු කරුණු බොහෝමයක් අපේ ජීවිතයට බද්ධ වන ආකාරය අපට පහසුවෙන්ම අනාවරණය කර ගන්න පුළුවන්.

හෙළ බසින් ‘වප්’ ද දමිළ බසින් ‘ඵෙප්පසි’ කියන ඔක්තෝබරය කියන්නේ ආදරය සිය ජීවිතයටත් වඩා උසස් හැටියට තකන ආදරණීය ගැහැනුන් හා මිනිසුන් වඩ වඩාත් මේ මිහිපිට ජන්ම ලාභය ලබන මාසයයි. හැබැයි කැලැන්ඩර් දින නෙමෙයි චන්ද්‍ර මාසය පදනම් කර ගෙන අපි ඇත්තටම අයිති මාසය ගළපා ගැනීමකුත් අනිවාර්යයෙන් මෙහිදී කරගත යුතු වනවා.

කැලැන්ඩරේ ඔක්තෝම්බර් 01 වෙනිදායින් මාසය පටන් ගත්තාට අංක විද්‍යාවේ හැටියට ඔක්තෝම්බර් මාසේ පටන් ගන්නේ සැප්තැම්බර් මාසේ 28 වැනිදායින්. ඉවර වන්නෙත් 31 න් නෙවෙයි 27වැනිදායින්. එය හොඳින් අවධාරණයට ගන්න.

දැන් අපි නිකමට හිතමු අපට සැප්තැම්බර් 28 වැනිදා උපන් කෙනකු ඇත්තටම මුණ ගැහුණොත් මොකද වෙන්නේ කියලා. නෑ. මොකුත් වෙන්න තරම් අසාමාන්‍යය තත්වයක් එතැන ඇත්තේ නෑ. අංක 2 හා 8 සංයුක්තව එකට එකතු කළාම 10 ලැබෙනවා. එයින් බින්දුව හලලා දාලා තනි ඉලක්කමකට ගත්තම ඔක්තෝබරයේ පෞද්ගලික අංකය 1 කියන්න පුළුවන්.

ඊළඟට ඔක්තෝබර් 1 වෙනිදා, 10 වෙනිදා හා 19 වෙනිදා බැලුවා වුණත් ලැබෙන්නේ ඔක්තෝබරයේ පෞද්ගලික අංක 1 ට ගැනෙන දිනයි. පෙර මාසයෙන් එක් දිනකුත් අදාළ මාසයෙන් දින 3 කුත් ඊට අයත්ව තිබෙනවා කියලා බැලූ බැල්මටම පෙනේවි.

දැන් අපි ඔක්තෝබරයේ ජන්මලාභය ලද අයගේ සුවිශේෂීතා බලමු. මේ කාලයේ උපදින අය බොහෝම ලස්සන ප්‍රියමනාප අය වනවා. මොකද, ඔක්තෝබරය තමයි සිකුරුගේ සෘණ මාසය! මේ නිසා සිකුරුට ආවේණික බොහෝ කරුණු කාරණා අඩු වැඩි වශයෙන් ඔක්තෝබරයේ උපන් අයටත් බලපවත්වනවා. ලස්සන ඇස්, ලස්සන හිනාව, මූනේ ඩිම්පල් එක, සුදු හෝ දැකුම්කලු දිගැටි මූණ, දේදුණු ඇහැබැමි, ලස්සන විශාල දත් මේ සියල්ලම සිකුරුට ආවේණික කරුණු. ඒ වගේම ප්‍රිය වචනය, ආගන්තුක සත්කාරය, සාත්තු සේවය, හෝටල් කර්මාන්තය, මනාළියන් ඇන්ඳවීම, මෝස්තර නිරූපණය, ගෘහ අලංකරණය, ප්‍රවාහනය, වන්දනා සංවිධානය වැනි අංශත් සිකුරුගෙන් වෙන් කරන්නම බෑ.

ඔන්න දැන් තමයි හොඳම හරිය. අංක විද්‍යාවෙන් යමක් කියනවා නම් ඊටම ආවේණික ගුප්ත කොටසක් කියැවෙන්නේ නැත්නම් කියන්නත් එපා – අහන්නත් එපා! ඒක මගේ මතය විතරක් නෙවෙයි වෛද්‍ය බන්දුල සිරිවර්ධන ගුරුකුලයේ මතය. මේ කියන කරුණු ටික රත්තරං ගාණට හිතේ ධාරණය කර ගත්තත් අහක යන එකක් නෑ.

ඔක්තෝබරයේ තමයි තමයි ලස්සනම අය උපත ලබන මාසය කියලා විතරක් අපි නිකම් ඉන්නේ නෑ. අපි සුවිශේෂි දිනයකුත් නම් කරනවා. ඒ ඔක්තෝබර් මාසේ 14 වැනිදා. නියතියක් හැටියට මේ ලෝකෙට ආදරණීයම සංවේදීම උපත් සිදු වෙන්නේ අන්න ඒ වගේ දිනයකදියි. ඔක්තෝබරයේ උපදින අය කොච්චර සංවේදීද කියනවා නම් ඒ අය එක්ක ළඟින්ම ආශ්‍රය කරන අයට පවා ඒ අයව තේරුම් ගැනීම තමයි හිතා ගන්නවත් අමාරු. මේ අය ආදරයට හරිම පිපාසිතයි. ඒ පිපාසය කොච්චර ද කියනවානම් ඒ අය තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම වුණත් ආදරයේ මිරිඟුව ලුහු බඳීන්නේ කිසිදු විඩාවක් නොමැතිවමයි. හැබැයි, දෛවයේ සරදමක් වගේ කොච්චර ලුහුබැන්ඳත් මේ අයට තමන්ගේ ජීවිත කාලය පුරාම සිත් සේ අත් විඳීන්න නොලැබෙන එකම සාධකයත් ආදරය විතරමයි. බාලකාලයේ වුණත් මහ ගෙදර ඇතුළේ මාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ ආදරේ බෙදා හදා ගන්න මේ අය පුදුමාකාර අරගලයක තමයි නිරත වෙන්නේ. ඊට පස්සේ යොවුන් වියට එළඹුණාමත් ප්‍රේමවන්තයන් හෝ ප්‍රේමවන්තියන් එක්කලත් ආදර දබර බොහෝමයි. කුල දිවියට එළැඹුණා, දරුමුණුපුරන් ලැබුණා කියලත් මේ අයගේ ආදර පිපාසයේ අහවරයක් නෑ.

ඒ විතරක් නෙවෙයි මේ මාසෙන් උපදින කාන්තාවෝ ලස්සන වගේම හරිම අහංකාරයි. මේ බව නුවණින් අවබෝධ කර නොගත්තොත් මේ අයගේ පවුල් ජීවිතය පවත්වාගෙන යාම ඉතාම අසිරු කාරණයක් වනවා. ඒ විතරක් නෙවෙයි මේ අය දැන හෝ නොදැන ලුහුබඳීන ප්‍රේමයම මේ අයට ජීවිත කාලය පුරාම නැවත නැවතත් ශෝඛය හිමිකරනවා.

තම ජිවිතයේ වැඩි වශයෙන් හැදී වැඩෙන්න සිදු වෙන්නේ තමන්ගේ මවු රැකවරණය යටතෙයි. බොහෝ දෙනකුගේ පියා විදේශගත වෙලා. නැත්නම් හමුදා සේවයේ. එක්කෝ මියැදිලා නැත්නම් ජීවත් වෙලා හිටියා වුණත් දරුවන් සමඟ ආදරය බෙදා හදා ගන්න තරම් වෙලාවක් නෑ.

කතාවටත් කියනවා ඔක්තෝබරයේ උපන් ගණිකාවක් වුණත් තම රස පහසට අමතරව ප්‍රණීත ආහාර-පානාදිය හා ප්‍රිය වචනයෙන් පවා හැකි හැම විටම තම ගැනුම්කරු සතුටු කිරීමට සැදී පැහැදී ඉන්න බව.

මේ අයට වැලඳිය හැකි ලෙඩ රෝග ගැනත් අපි ඉඟියක් ගමු. සුරාවෙන් අපට ලැබෙන්න පුළුවන් හෘද්‍යාබාධ, ලිංගික අප්‍රාණිකත්වය හා සිරෝසීස් වැනි රෝග. නුරාවෙන් ඔයාට ඔයාවම නැති වෙන්න පුළුවන්. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගාබාධවලට ලේසියෙන් ගොදුරු වන්න පුළුවන්. කලින් කිව්ව දෙකටම වඩා බලවත් කාරණයක් තමයි සුඛෝපභෝගී දිවි පැවැත්ම. එයින් හිතන්නත් අකමැති කරුම රාශියක් අපට උරුම වන්නේ නොදැණුවත්වයි. ඒත් සරල ජීවිතය, සරල ආහාර හා එළිමහන ඇත්නම් ඔබට සැණෙකින් සෞඛ්‍ය තත්ත්වය යථාවත් කර ගැනීමත් දුෂ්කර දෙයක් නොවේ.

ඔක්තෝබරය සූර්‍ය මාසයක් හැටියට පිහිටන්නෙත් තුලාවෙයි. තුලා රාශියට අදාළ ගති ලක්ෂණ පවා මේ අය තුළින් ඉස්මතුවීම ස්වභාවික කාරණාවක් වනවා. ඒ වගේම තුලාව කියන්නේ ශනි උච්ච රාශියක් කියලා දන්නවානේ? එහෙම බලන කොටත් ඔක්තෝබරයේ උපදින අයගේ ළමා කාලය සුවදායක එකක් වෙන්නේ බොහොමත් කලාතුරකින්. සාර්ථක විවාහයක් සඳහා විවාහය හැකි පමණ කල් දැමීම පවා ඔබට යහපත්. එපමණක් ද නොවේ, ආගමික හා විවාහ උපදේශන සේවාවන්ගෙන් පවා උපරිම පල ඔබ විසින් නෙළාගත යුතුව ඇති බව මෙහිදී අවධාරණය කළ යුතු වෙනවා.

ඒ වගේම ඔයා සතු සංවිධාන ශක්තිය විසින් දවසක ඔයාව ජීවිතයේ ඉහළ තැනකට ඔසවා තැබීමට නියමිතයි. ඒත්, පුරුද්දට වගේ ඔයාගේ වාග් ප්‍රහාරයන්ගෙන් බැට කන ප්‍රති පාර්ශ්ව විසින් නිතරම කුමන්ත්‍රණය කරමින් පසුවන්නේ ඔයාට කොයි මොහොතේ ඇණ ගහනවද කියලයි. එහෙව් කතන්දරයක් මෙතෙක් ඔයාට ඉව වැටිලා තිබුණාද?

වයෝවෘද්ධ, රෝගී දෙමාපියන්, සහකරුවන් හෝ දරුවන් වෙනුවෙන් ඔට්ටුවීමට ඔබේ ජීවිත කාලයෙන් වැඩි ඉඩක් වෙන්කර තිබීමත් මහා පුදුමයක්. ඊටත් වඩා පුදුමය වෙන්නේ කුමන බාධක හෝ දුෂ්කරතා මැද වුණත් තමන් සතු යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට නොපැකිළෙන ඔයාගේ ඔය ප්‍රභාවත් හද මඬලයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk