Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙවත්තේ දෙවියන් වැඩවසන ගස්

2 days ago 7 Min read
Subha.lk

පෘථිවි තලයේ ජීවත්වන මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට වෘක්ෂලතාදිය උපකාර වන්නාක් මෙන්ම සිවුපා, පක්ෂි, මත්ස්‍ය ආදීන්ටත් එකසේ සම්බන්ධතාවක් පවතී.
වනාන්තරයේ ජීවත්වන වැදි ජනයාටත් ග්‍රාමීය ජන ජීවිතයේ ජනතාවට පමණක් නොව නාගරිකව ජීවත්වන ජනයාටත් වෘක්ෂලතාදිය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවතී.

කොන්ක්‍රීට් කාන්තාරවල ජීවත් වනවාට වඩා ගස්වැල් මල්පලින් පිරුණ ක්ෂේමභූමියක ජීවත්වීම කොතරම් ආස්වාදජනකද? මිනිසාට ආශ්වාසය සඳහා අවශ්‍ය කරන අම්ලකර වායුව හෙවත් ඔක්සිජන් පරිසරයට එක්කරනුයේ වෘක්ලතාදියයි.

මානව සම්භවයේ පටන්ම වන්දනාවට, ආහාරයට, සෞඛ්‍යයට සෙවණට උපකාර වූයේ තුරුලතාය. බොහෝ දුරට ඉන්දීය හා ශ්‍රී ලංකික ජනයා අතර වෘක්ෂ වන්දනාවට යොමු වූ ඉතිහාසයක් ඇත. බෝගස, නුග ගස, බෙලිගස, කොහොඹ ගස, අඹ ගස, නා ගස බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ ඒවාය.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ග්‍රහයන්ට අයත් රුක් වන්දනාවක්, නැකැත්වලට අයත් වෘක්ෂ භාවිතයත් දෙවියන්ට අයත් වෘක්ෂ වන්දනාවත් ආගමික ඇදහිලි හා විශ්වාස පදනම් කරගෙන පවතී. එසේම වාස්තු ශාස්ත්‍රයට අනුවත් වෘක්ෂලතාදිය නිවාස ආශි‍්‍රතව හා ඉඩකඩම්හි රෝපණය කළ යුතු ආකාරය හඳුන්වා දී ඇත. වෛද්‍ය ශාස්ත්‍රයට අනුවත් තුරුලතා මල්ඵල රෝග නිවාරණය සඳහා භාවිත කරන අන්දම පහදා දී ඇත. මෙසේ බලන විට මිනිසාගේ දිවිපැවැත්මට රුක් රෝපණයේ වැදගත්කම වටහා ගත හැකිය.

බෞද්ධ ශාසනික ඉතිහාසය දෙස බලනවිට සිද්ධාර්ථ බෝධි සත්ත්වයන්ගේ උපත සිදුවී ඇත්තේ සල් ගසක් අසලය. බුද්ධත්වය අවබෝධ කර ගැනීමේදි සෙවණ දුන්නේද, අනිමිසලෝචනයෙන් පිදුවේද බෝගසකි. පරිනිර්වාණය සිදුවූයේද සල් ගසක් යටය.

දුටුගැමුණුූ රජතුමා රුවන්මැලි මහා සෑය තැනීමට තෝරාගත් භූමියේ පිහිටා තිබුණේද රන්තෙළෙඹු ගසකි. එය විමානකොට වැඩසිටියේ ස්වර්ණමාලි දෙවඟනයි.

බෞද්ධ ශාසනික වශයෙන් වැදගත් වෘක්ෂය වූ ඇසතු ගස හෙවත් බෝගස බුදුන්ගේ කාලය පටන් අද දක්වාත් බෞද්ධ බැතිමතුන්ගේ භක්ති ප්‍රණාමයට හා පුද පූජාවට ලක් වූවකි. අපල උපද්‍රව දුරුකර ගැනීමටත්, දෙවි දේවතාවුන් වැඩසිටින, බැල්ම වැටෙන, පින් ගන්නට පැමිණෙන වෘක්ෂයක් ලෙස බෝ ගස ප්‍රසිද්ධය.

බෝගස ග්‍රහයින්ගෙන් ගුරු ග්‍රහයාට අයත් වන අතර පුෂ නැකතටද අයත් වෙයි. තවද ඇතැම් හින්දු දේවාලවලද දෙවියන්ගෙන් පිහිට ලබාදෙන ගසක් ලෙස බෝ ගස වවා ඇත. පෑලියගොඩ ගණදෙවි කෝවිල පිටුපස කැලණි ගඟ සමීපයේ බෝගසක් තිබෙන අතර එහි ඊශ්වර පාර්වති සහ ගණදෙවි රූප තබා ඇත. බැතිමතුන් ගඟෙන් කළවලට වතුර ගෙනැවිත් බෝගසට දමන අතර දේව රූපද ස්නානය කරවනු ලැබේ. තවද කොළඹ ආමර්වීදියේ දේවාලයක් මැද බෝගසක් ඇති අතර එහි කුඩා තොටිලි එල්වා ඇත. එහි අරුත වනුයේ දරු සම්පත් පතා කෙරෙන බාරහාර වීමකි.

දෙවියන් වඩින ගස් අතර විෂ්ණු දෙවිඳු සහ ලක්ෂ්මී දෙවඟන වඩින, සක්මන් කරන ගසක් ලෙස බෙලිගස සැලකේ. බෙලිපත්‍ර දේව පූජාවලදී පාදුකාවට දමනු ලැබේ. දෙවියන් සඳහා කෙරෙන අෂ්ටෝත්තර නාම සහ සහස්‍ර නාම පූජාවලදි බෙලිපත්‍ර පමණක් නොව නෙළුම් පෙති, තුල්සි පත්‍ර, මිශ්‍ර මල් පාදුකාවට දමනු ලැබ්. මහා ලක්ෂ්මි පූජාවලදී ලඝු පොල් මෙන්ම බෙලි පිළිල ජීවම් කර පුද පූජා කෙරේ.

පොල් ගසේ ගෙඩි දෙවියන්ගේ පිහිට පතා පොල් ගැසීමට ගන්නා අතර පළි දැරීමටද පොල් ගනු ලැබේ. පොල්ගෙඩිය මත කපුරු පෙත්තක් දල්වා දෑතින් තුන්වරක් දකුණූ අතට හිසවටා කරකවා පොල්ගෙඩිය බිඳීම පිහිට පතා කෙරේ.

ගණදෙවි පූජාවේදී පොල්ගෙඩිය බිඳ පළු දෙක පූජාවට තබයි. පොල්ගස ගැන කතා කරන විට ගොක් අත්ත මල් යහනටත්, පාපිස්නටත්, පිරිත් මණ්ඩපයටත් භාවිත කෙරේ.

ඊශ්වර හෙවත් ශිව දෙවියන්ට අයත් වෘක්ෂයක් ලෙස සැලකෙනුයේ රුද්‍රාක්ෂ ගසයි. ඊශ්වර දේවරූපයක් දෙස බලනවිට ගෙලෙහි, බාහුවෙහි හිසෙහි රුද්‍රාක්ෂ මාලා දරා ඇති බව දක්නට ලැබේ. උතුරු ඉන්දියාවේ හිමාල අඩවියේත් උතුරු ඉන්දියාවේත් දකුණුූ ඉන්දියාවේත් රුද්‍රාක්ෂ ගස් රෝපණය කර ඇති අතර එහි රුද්‍රාක්ෂ බීජ, මාල, වළලු සඳහා භාවිත කෙරේ.

ශ්‍රී ලංකාවේ රක්වාන, ගෙලිඔය, පේරාදෙණිය, මාතලේ, අත්තනගල්ල, බොරැල්ල යන ස්ථානවල රෝපණය කර ඇති අතර යාපනයේ නල්ලූර් කෝවිල අසලද රුද්‍රාක්ෂ ගස් ඇත. රුද්‍රාක්ෂ බීජය මොනර පිලේ නිල් පැහැය ඇති වටකුරු ගෙඩියක් වන නිසා ‘නිල් වෙරළු’ කියා ලංකාවේ ව්‍යවහාර කෙරේ.

අඹගස සහ කොහොඹ ගස පත්තිනි මාතාවට සම්බන්ධ ගසකි. ඊට පුද පූජා තැබීමෙන් පත්තිනි මාතාවගේ පිහිට ලැබෙන බව බැතිමත්හු දනිති.

කේන්දර සටහනක ප්‍රධාන ග්‍රහයින් නව දෙනෙක් නියෝජනය වේ. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ශනි ආදි කිසියම් ග්‍රහයකුගෙන් අපල උපද්‍රව ගෙනදේනම් හෝ සෙතක් පතා හෝ ග්‍රහ පූජාවලදී ග්‍රහයන්ට අයත් වෘක්ෂ ස්පර්ශ කිරීම, ස්තෝත්‍ර කියා පුද පූජා පැවැත්වීම, ඊට පැන්වත් කිරීම සිදු කෙරේ. කෝවිල් සහ දේවාල භූමිවල නවග්‍රහයන්ට අයත් ගස් සිටුවා ඊට පැන් වත්කිරීමේ පහසුකම් සලසා ඇත. කොළඹ සිට නුවර පාරේ එනවිට දළුගම විෂ්ණු දේවාලයක් පිහිටුවා ඇත. එහි දේවාලය පිටුපස නවග්‍රහයින්ට අයත් ගස් සිටුවා.

නවග්‍රහයින්ට අයත් වෘක්ෂ වනුයේ රවිට -ඉඹුල්, චන්ද්‍රයාට -දිඹුල්, කුජට-කොළොන්, බුධට-කොහොඹ, ගුරුට-බෝ, සිකුරුට-කරඳ, ශනිට-නුග, රාහුට-වැටකේ, කේතුට-කෙසෙල් වශයෙනි.

කේන්දර හිමියාගේ මහ දශා කාලයේදීද ඊළඟට ගෝචර ගමනේ ශනි, රාහු, කේතු සිටින විටදී අදාළ වෘක්ෂය ස්පර්ශ කිරීම, පැන් වත් කිරීම ස්තෝත්‍ර කීම, අපල උවදුරු දුරුකර ගැනීමට හේතු වේ.

එපමණක් නොව සෑම පුද්ගලයකුම නැකත් 27න් එකකට අයත් වේ. පළමු නැකත වූ අස්විද නැකතේ සිට අවසන් නැකත වූ රේවතී නැකත දක්වා 27කි. වෘක්ෂ පොරොන්දම් බැලීමේදී ස්ත්‍රී පුරුෂ දෙදෙනා කුමන නැකතකට අයත්දැයි විනිශ්චය කරනු ලැබේ. වෘක්ෂ 27 කිරි වෘක්ෂ සහ හරවෘක්ෂ වශයෙන් දෙවර්ගයකට බෙදේ.

අස්විද – ගොඩක, බෙරණ – නෙල්ලි, කැති – අත්තික්කා, රෙහෙන – මාදන්, මුවසිරස – කළුවර, අද-කිහිරි, පුනාවස – උණ, මේවා හර වෘක්ෂ වේ.

කිරි වෘක්ෂ වර්ගයට අයත් වනුයේ පුෂ – බෝ, අස්ලිස – දොඹ, මා – නුග, පුවපල් -කෑල, උත්‍රපල් – අලරි, යන ඒවාය.

නැවතත් හත – දඹුල්, සිත – බෙලි, සා-කුඹුක්, විසා – සපු, අනුර – මූණමල්, උත්‍රපුටුප-කොහොඹ හර වෘක්ෂ ගණයට වැටේ.

දෙට – වැටකේ, මුල – ඉඹුල්, පුවසල – හෝපළු, උත්‍රසල-කොස්, සුවණ – වරා, පුවපුටුප – මීඅඹ, රේවතී – මී, කිරි වෘක්ෂ ගණයට අයත්ය.

දෙනට- සමදරා, සියාවස-කොළොන්, උත්‍රපුටුප-කොහොඹ හර වෘක්ෂ ගණයට වේ.

කිරිවෘක්ෂ වී නම් දරුපලවලට හොඳය. විශේෂයෙන් පිරිමියා හර වෘක්ෂ වී ස්ත්‍රිය කිරිවෘක්ෂ වීම පොරොන්දම්වලදී දරුපල ගෙනදේ.

වර්තමාන යුගයේ නාගරික පරිසරය තුළ වෙන්දේසි ඉඩම්වල පර්චස් 7,8,10 වැනි භූමි තුළ නිවාස ඉඳුවා තිබේ. මේවායේ නිවෙසක් ගොඩනැඟූ පසු වෘක්ෂ රෝපණයට ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. එහෙත් පර්චස් 20ට වැඩි ඉඩම්වල නිවෙසක් තනා ඇත්නම් වෘක්ෂ රෝපණයට සීමිත ඉඩක් ලබා ගත හැකිය. විශාල ඉඩම්වල අතුපතර ඇති වඩා උසයන ගස් සිටුවිය හැකිය.

නිවෙසක් පිහිටි කුඩා ඉඩම්වල සෙවණ පතා හිරුඑළියට ආවරණය වීම පිණිස ගස් සිටුවති. මේවායේ කඳ මුල් විශාලව වැඩෙන බැවින් අත්තිවාරම බිත්ති සහ වහලයට හානි කෙරේ.

නිවෙසට කිට්ටුව බෙලි, මූනමල්, දොඹ, සපු වැවීම ශුභ පල දේ. තවද සපු, පළොල්, කෙසෙල්, දෑසමන්, වැටකේ, ශුභය. මෙහිදී ගෙඩි හටගන්නා ගස්වලින් බෙලිගස අඩි 25ක් 30ක් වත් නිවෙසින් ඈත් වනසේ සිටුවිය යුතුය. ගෙඩි වැටීමෙන්ද හානියක් වන බැවිනි.

තරමක් විශාල ඉඩම්වල, කොස්, වැල, වරකාගස් වැවීමද ශුභපල ගෙන දේ. කිරි දෙන මවුවරුන්ටද කොස්, පොළොස් ගුණදායක වන බැවිනි.

නිවෙසින් දිසාව අනුව ගස් සිටුවීමෙන් ද ශුභාශුභ පල දැනගත හැකිය. බටහිර දිසාවේ බෝගසද, නැඟෙනහිර දිසාවේ නුග ගසද, ඊසාන දිසාවේ නෙල්ලි ගසද, නිරිත දිසාවේ සියඹලා ගසද, වයඹ දිසාවේ බෙලිගසද, උතුරු දිසාවේ පුළිල ගසද දකුණට අට්ටික්කා සිටුවීම ශුභපල ගෙන දේ.

නිවාස සමීපයේ සිටුවීමෙන් ශුභපල දෙන ගස් අතර අඹ,පොල්, නා, සුදුසුය. එමෙන්ම මදාරා ගසද ලක්ෂ්මී ප්‍රසාදය ලැබෙන්නකි.

නිවාස සමීපයේ කටු සහිත ගස්වැල් අශුභපල දේ. විශේෂයෙන් සතුරු කරදර ගෙනදේ.

රතුමල් සහිත ගස් සිටුවීමෙන් ගෙහිමියාට සහ දරුවන්ට විපත් කරදර ගෙනදේ. විශේෂයෙන් බෝගන්විලා, පතොක්, සුදුසු නොවේ.

බටහිර දිසාවේ නුග සිටුවීමෙන් රාජභංග පීඩාද උතුරු දිසාවේ අට්ටික්කා සිටුවීමෙන් නිවැසියනට ඇස්රෝග ද වැලඳේ.

වත්තෙහි දෙළුම්, කරාබු, මදටිය, මිදි වැවීමද ශුභපල ගෙන දේ. දෙහි, නාරන්, දොඩම්, ජම්බෝල, නිවෙසින් අඩි 12කට වඩා දුරින් නිවෙසට පිටුපස ප්‍රදේශයේ සිටුවීම යහපත්ය. සෙම් නසන ගුණයක් හා විටමින් සී බහුල වීම නිසාය.

දෙහි වින කැපුම්වලට ගන්නා අතර කහ මිශ්‍ර කර ගෙදර ඉසීමෙන්ද කිළිකුණු දුරු වේ. දෙහි ගස්වල හටගන්නා එක නටුවේ දෙහි ගෙඩි 3ද වින කැපුම්වලට ගනු ලැබෙන බැවිනි.

අල්පේශාක්‍ය වෘක්ෂ දේවි දේවතාවන් බෝ ගස, නුග ගස, බෙලිගස, අඹගස, කොහොඹ ගස, නාගස ආදියේ විමාන මවාගෙන සක්මන් කිරීම වැඩසිටීම, බෙහෙවින්ම සිදුවන්නකි.

බෝගසට පැන්වත් කර පින්දීම බෞද්ධයාගේ සිරිතකි. පොහොය දිනවල බෝගස අසල සිටින දෙවිදේවතාවෝ පින් ගනිති. පින් දෙන බැතිමතුන්ට පිහිටවෙමින් ප්‍රාර්ථනා ඉටුකරති.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk