මඟුල් පෝරුවක වටිනාම චාරිත්‍ර

රන්පනන්පත් පඬුරු දලු මුර ඔප්පු කර ජය මංගලම්
සංතොසින් මේ පුද දිවැස් ලා සිවුවරම් දෙවි මංගලම්
ගන්න දලුමුර ඉන්න නෑයෝ පිරිවරා දෙවි මංගලම්
පෝරුවෙන් බැස යන්න අවසර දෙන්න දෙවියනි මංගලම්
මෙලොව උපදින පුතාට, දුවට ජීවිතයේ සන්ධිස්ථාන 3ක් තිබෙනවා. ඒක පිරිමි දරුවාට දැනුම්වත්ව නොපිහිටියත් ගැහැනු දරුවන්ට ප්‍රායෝගිකව පිහිටා තිබෙනවා. සමහර විට ශරීර අවයව වෙනස්වීම, ග්‍රහ කල පරිවර්තන වැනි දේවල්.
ගැහැනු දරුවකුට සිදුවන ප්‍රථම සන්ධිස්ථානය කිව්වේ ඇයගේ මල්වරයයි. ඒ ගැන බොහෝදුරට ඔබ දන්නවා. එය චාරිත්‍රානුකූලව මවුපියන් සමරනවා. ශාරීරික වෙනස්වීම් වශයෙන් ළැම පෙදෙස ඉස්සීම වැනි දේ සිදුවන නිසාම ගැමියෝ ඇයට ළමිස්සි යනුවෙන් ව්‍යවහාර කරනවා. සාමාන්‍යයෙන් උගුරුදණ්ඩේ කිසියම් විපර්යාසයක් ඇතිවීම පිරිමි දරුවන්ට සිදුවන විශේෂයක්. ඒත් මේ වෙනස්වීම ඔවුන්ට නොදැනෙන තරම්.
විවාහය ගැහැනු, පිරිමි අප කාගෙත් වටිනා සන්ධිස්ථානයක් වුවත් එය ගැහැනු දරුවකුට විශේෂවනවා. විවාහය යනු ජීවිතයේ දෙවැනි සන්ධිස්ථානයයි. විවාහයෙන් පසු ජීවිතය බොහෝදුරට වෙනස් වනවා. දුක සැප දෙකම එක ලෙස මෙතැන් සිට වර්ධනය වෙනවා. අප ඉගෙන ගන්නා කාලය සාමාන්‍යයෙන් නිශ්චිත දිනයකදී අවසන් වනවා. ඒත් විවාහයෙන් පසු හැම දෙයක්ම ජීවිතාන්තය දක්වා ගෙන යනවා. විවාහයට පෙර නොසිතූ, නොලැබූ බොහෝ දේවල් විවාහයට පසු ලැබෙනවා. විවාහය හරියට අතුරේ යන ගමනක් දැයි වරෙක හිතෙනවා. ඒ ඇයිද යත් වරෙක ලැබෙන කම්කටොලු, දුක සැප හරිහැටි බෙදාගෙන ගමන ගියොත් දිනුම් කණුව ළඟට යා හැකියි. නොහැකි වුණොත් ජීවිතය ගිනි ජාලාවක් විය හැකියි. එම කරුණූ නිසාම විවාහයකදී සෙසු සියලුම චාරිත්‍ර නිවැරදිව හරිහැටි කරදීමට මවුපියන් වගබලා ගන්නවා.
විවාහයේ උත්තරීතර කරුණ වන “පෝරු චාරිත්‍රය” ඉතා වැදගත් බව සිදුහත් කුමරු, යසෝධරා, පෝරු පුවත් ඔක්කාක බැමිණි කුල පෝරු පුවත ගැන අධ්‍යයනයේදී අවබෝධවනවා. මේ පෝරු චාරිත්‍රයේදී බොහෝ සෙයින් අප නොදන්නා බොහෝ දේවල් වැදගත්ව සිදුවනවා. ඒත් ඒ දේවල් පළපුරුද්දෙන් කරගෙන ගියාට ඒවා එසේ කරන්නේ ඇයිද යන්න සමහර පෝරු චාරිත්‍ර කරන්නන් පවා දන්නෙ නැහැ. වර්තමානයේ සුපුරුදු පරිදි කා, බී, දවස ගෙවන අය හෙට දිනයේ විවාහය නම් අද දිනයත් සුපුරුදු පරිදිම කාලය ගත කරනවා. එයද නොදන්නාකමින් සුපුරුදු පරිදිම කරන බව අවබෝධ වනවා.
කුල චාරිත්‍රය අනුව කන්‍යා දුවක් කරන වැදගත්ම චාරිත්‍රය පෝරු චාරිත්‍රයයි. බොහෝ කුල දැරියන් එය දැනගෙන සිටිනවා.
ඡ්‍යොතිෂයට අනුව නියමිත නැකැත් දිනයට, සුබ හෝරාවට සුබ දිශාව බලා ඇය පෝරුවට නඟින නිසා නියමිත ආකාරයට පෝරුව සකස් කරනවා. මේ දිනයට දින 14ක් වත් අඩුම තරමින් යෝජිත දුවත්, පුතාත් ඉතා නිදහස් ආගමානුකූල දිවිපෙවෙතක් ගත කළ යුතු වනවා. එනම් කිලි ආහාර නොගැනීම, සීල භාවනාවල යෙදීම වැනි දේ වනවා.
නියමිත දිනයේ නියමිත වේලාවට විනාඩි 2කට වත් කලින් මනාල මහතා පෝරුව සමීපයට එනවා. ඔහු සාමාන්‍ය ගමන් විලාසයෙන් පැමිණියද මනාලිය පැමිණෙනු ලබන්නේ “ඇත් ගමන්” විලාසයෙන්. එනම් ඇතෙක් පෙරහරේ යන විලසින් ඉතා ආඩම්බරව හා සෙමින්. මෙසේ පැමිණ මනාලයාගේ වම් අත දෙසින් සිටගත යුත්තේ ඇගේ දකුණු පස මනාලයා සිටින ලෙසින්ය. විශේෂයෙන්ම ඇගේ දකුණු පසින් මනාලයා සිටින්නේ හැමදා ඇයට ශක්තිය ඔහු බව ඇඟවීමටයි.
මෙසේ යුවළ පෝරුවට නැඟි මොහොතේ සිට ස්වල්ප වේලාවක් සතරවරම් දෙවියන්ට, මහේශාඛ්‍ය හා අල්පේශාඛ්‍ය දෙවිවරුන්ට, සහම්පති දිව්‍ය රාජයාණන්ට ස්තෝත්‍ර මඟින් කන්නලව් කිරීම කරන්නේ නව යුවළට සෙත් ශාන්තිය, වාසනාව පතායි. එකල මේ පෝරුවට උඩුවියන් බඳවා පරසතු, කඩුපුල්, මදාරා, ඇඹුල, ඉපුල, ඕලු, නෙලුම්, නා, පනා, කොබෝලීල වැනි මල්දම් අතුරා තිබූ බව පුරාණ පොත පතේ සඳහන් වනවා.
පුරාණ විවාහයේදී සතර වරම් දෙවිවරු මල් වර්ෂාව කළ අයුරින් මල් වැස්සවීම සමහර පෝරු චාරිත්‍රවල අදත් දැකිය හැයිය. බොහෝ විට වර්තමානයේ මල්වැල් පෝරුව හැඩ කරන බවක් දැකගත හැකියි. අනතුරුව මාල, මුදු, තැලිපිලි ඇන්දවීමෙන් පසු අතනූල් ගැට ගැසීම, අතපැන් වත්කිරීම හා අතනූල් ඉවත් කිරීම හා ජයමංගල ගාථා සජ්ඣායනය කිරීම සිරිතයි.
‘කිරිකඩ හේලය’ පිදීම මේ පෝරු චාරිත්‍රයේ දුක්මුසු ස්ථානය වුවත් වැදගත්ම ක්‍රියාවයි. දස මසක් කුසේ තබාගෙන උස් මහත් කළ දුවණිය විසින් කරන ලද පාපෝච්චාරණයයි. ඔක්කාත බැමිණියගේ දුක් අඳෙීනාව මෙසේ විය.
‘අනේක දුක් වින්දා –
කුමරුනේ මේ දුව හින්දා
දෙතනෙ කිරි කංදා –
මගෙන් කොපමණ බොන්න ඇද්දා.
මෙසේ දුක වේදනාව බැමිණිය විසින් කරද්දී මනාල බමුණු කුමරා විසින් මෙසේ කිරිකඩ හේලය පූජා කරයි. එනම්
දසඑකඩ මස සරි – උපන්දා සිට පෙව් කිරි – කච්චියක් රෙදි සරි – තෙමෙන්නට ඇති දුවට දුන් කිරි යනුවෙනි.
අවසානයේ පෝරු චාරිත්‍රකරු දෙවැනුවත් දෙවියන්ට ස්තෝත්‍ර කර අවසානයේදී දෙවියන්ගෙන් අවසරද ගත යුතුමය. එනම්
රන්පනන්පත් පඬුරු දලු මුර ඔප්පු කර
ජය මංගලම්
පෝරුවෙන් බැස යන්න අවසර දෙන්න
දෙවියනි මංගලම්
යන කවිය ගයා අනතුරුව යුවළ පෝරුවෙන් බසිද්දී පොල්ගෙඩියක්ද බිඳීම පුරාණ චාරිත්‍රයට අනුව කරන වස් දුරු කිරීමකි.
Advertisements


