දැනගෙන කළ යුතු යෝගාසන

ඉන්දියාවේ පහළ වූ ෂඩ් දර්ශන (Sixorthodox) වන න්‍යාය, වෛශේෂික, ශාංඛ්‍ය, යෝග, පූර්ව මීමංසා සහ වේදාන්ත අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගන්නා යෝග දර්ශනයට අතීතයේ සිටම ඉතා වැදගත් තැනක් හිමි විය.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට තපස්වරුන් රැකගෙන ආ යෝග දර්ශනය ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී යෝග දර්ශනයේ පියා ලෙස සැලකෙන්නේ පතංජලී සෘෂිවරයා විසින් ග්‍රන්ථාරූඪ කරන ලදී. පතංජීලී යෝග සූත්‍රවලට අමතරව සමකාලීනව ලියැවුණු හථයෝග ප්‍රදීපිකා, ශිව සංහිතා සහ භගවන්ශීතාව, යෝග ගැන සඳහන් වේද ග්‍රන්ථ වේ. ක්‍රි.පූ. 1700 ට පෙර පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ද යෝග ආසන ක්‍රමයක් පැවැති බවට සාක්ෂි සොයාගෙන තිබේ. පුද්ගලයන් යෝග ආසනවල සිටින රූප 11 ක් එම පුරාවිද්‍යා කැණීම් භූමිවලදී හමුවී තිබේ. පුරාවිද්‍යාඥ ග්‍රෙගරි පොසෙල් පවසන පරිදි එම රූප අඹා ඇති ආකාරය අනුව ඔවුන් යෝගාසනවලට සමාන ආකාරයකින් සිටින බවට හඳුනාගත හැකිව තිබේ. ක්‍රි.පු. 600 දී උපනිෂද් ග්‍රන්ථවල සහ ක්‍රි.පු. 500 දී භාගවත්ගීතාවේ ද යෝග දර්ශනය පිළිබඳව සඳහන්ව තිබේ. යෝග පිළිබඳ සෘෂිවරුන් ඉදිරිපත් කරන දර්ශන සියල්ලේ සංක්ෂිප්තයක් ලෙස ගනිමින් මිනිසාගේ එදිනෙදා ජීවිතය යහපත් කරගැනීමට සඳහා විවිධ ගුරුවරුන් විසින් මේ යෝග දර්ශනය භාවිතයට ගනු ලබමින් තිබේ.
යෝග යන්න ‘යුග්‘ යන සංස්කෘත වචනයෙන් සෑදී ඇති අතර එහි තේරුම ‘සම්බන්ධ කිරීම’ යන්නයි. මිනිසාගේ ජීව ශක්තිය ‘විශ්ව ශක්තිය’ ට සමකරන්නා වූ මාර්ගය යෝග වේ. මූලික ග්‍රන්ථවල ශක්තිය, ධාරණය, සමාධි සහ ප්‍රාණ ආදිය යෝගවලින් ඇති වන බව පැහැදිලි කරයි. වර්තමානයේ යෝග යනු ආසන ක්‍රමයක් නැතහොත් ශරීර හා මානසික සුවතාව ලබාගැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ දෙනා වටහාගෙන ඇතත් යෝග දර්ශනය යනු ඊට වඩා පුළුල් විෂයක් වන අතර යෝග දර්ශනය අධ්‍යාත්මික වශයෙන් පුළුල් ලෙස ප්‍රගුණ කරන්නකුගේ ඉලක්කය වනුයේ මෝක්ෂය නැතහොත් නැවත ඉපදීමක් නැති කරගැනීමයි. යෝග දර්ශනය ඔස්සේ මොක්ෂය වෙත ළඟා වීමට බුද්ධිමත් විය යුතුය. රාජයෝග
අධ්‍යාත්මිකව සිත දියුණු කිරීමෙන් ඉහළ මානසික මට්ටමකට ළඟා වීමයි.
හථ යෝග
සුසුම්නා පද්ධතියේ ශක්තිය ස්ථාන හයක සැඟව තිබේ. ඒවා අවදිකර ඉහළ මානසික මට්ටමක් ළගා වීම හථයෝග මගින් සිදු කෙරේ. ඉඩා හා පිංගලා යන නාඩි 2 සුසුම්නාවේ වම් හා දකුණු පැත්තෙන් දිවෙන අතර එහි මූලය මූලාධර චක්‍රය නම් වේ.
මූලාධරයෙහි කුණ්ඩලනී නම් ශක්තිය ඇත. ‘ප්‍රාණයාම’ මගින් මේ ශක්තිය නිදහස් වේ. මේ ශක්තිය සුසුම්නාවේ චක්‍ර මගින් ‘බ්‍රහ්ම රන්ද්‍රය’ දක්වා ඉහළට යයි. මේ තත්ත්වයට පැමිණි විට යෝගී සත්‍යය (මෝක්ෂය) අවබෝධ කර ගනී. චක්‍ර හය වන්නේ මූලාධර චක්‍ර, ස්වාධිෂ්ඨාන චක්‍ර, මහිපුර චක්‍ර, අනාගත චක්‍ර, විශුද්ධ චක්‍ර සහ ආශ්‍ර චක්‍රයි.
මන්ත්‍ර යෝග
මන්ත්‍ර ජප කිරීම හා දෙවියන් පිදීම මඟින් සමාධිය කරා ළඟා වීමයි. ගුරුවරයකු මාර්ගයෙන් සම්පූර්ණ ශ්‍රද්ධාව සහිතව ඉගෙනගත යුතු ශාස්ත්‍රයකි. එසේම මන්ත්‍ර පිළිබඳ විශ්වාය සහ ශක්තිය ඇතිව පුහුණු කළ යුතුය.
ළය යෝග
ශබ්ද පිළිබඳ ඒකාග්‍රතාව ඇති කොට සමාධි සිද්ධි කරා ළඟාවීමයි. එවිට, වීනා, බටනලා ආදී වාද්‍ය භාණ්ඩවලින් ධ්වනිත නාදයන් තුළ සමාධිගත වේ.
කර්ම යෝග
පින්දහම් කිරීමෙන් අධ්‍යාත්මික හැකියාව වැඩිදියුණු කරගැනීමයි. නිදසුන් ලෙස දක්වතොත්, අසරණයන්ට උදව් කිරීම, ආගමික ස්ථාන වැඩිදියුණු කිරීම, පරෝපකාරය ආදිය දැක්විය හැකිය.
භක්ති යෝග
දෙවියන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ළඟාවන අධ්‍යාත්මික තත්ත්වයයි. උදාහරණ ලෙස දක්වතොත් දේවාලවල රාජකාරී කිරීම හා ආවතේවකම් කිරීම ආදිය දැක්විය හැකිය.
ඥාන යෝග
ඥානය දියුණු කිරීමෙන් ලබන අධ්‍යාත්මික වර්ධනයයි. විවිධ සෘෂිවරුන් යෝග පිළිබඳ විවිධ අර්ථ නිරූපණය කර ඇත. පතංජලී යෝග සූත්‍ර අනුව පහත සඳහන් අෂ්ඨාංග යෝග මෝක්ෂය වෙත ළඟා වීම සඳහා උපකාරී වේ. 1. යම 2. නියම 3. ආසන 4. ප්‍රාණයාම 5. පුන්‍යාහාර 6. ධාරණ 7. ධ්‍යාන 8. සමාධි
‘යම’ සහ ‘නියම’, මමත්වය නැතිකර ශරීරයේ හා මනැසේ ප්‍රථමික ශෝධනය කෙරේ. වර්තමානයේ බොහෝ දෙනා කතා කරන ‘ආසන’ අයත්වන්නේ මේ අෂ්ඨාංග යෝගවල තුන්වැනි කරුණටය.
යම (සමාජ විනය)
පොදුවේ සමාජයට අහිතකර නොවන ආකාරයෙන් නැතහොත් වැරදි නොවන ආකාරයෙන් ජීවත්වීමයි. සමාජ විනය රැකගැනීම සඳහා පිළිවෙත් පහක් ‘යම’ යටතේ සඳහන් වෙයි. එනම් අහිංසා, සත්‍ය, ආස්තේය, බ්‍රහ්මචාර සහ අපරිග්‍රහ යන පහයි. එහි ‘අහිංසා’ යනු කිසිදු ජීවියකුට කයින්, මනැසින් හෝ වචනයෙන් හිංසාවක් හෝ පීඩාවක් නොකිරීමයි. සත්‍ය (සත්‍යවාදී වීම) යනු ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පංචේන්ද්‍රන් කවර ආකාරයක හෝ අසත්‍ය පැවැසීමට යොදා නොගැනීමයි. ‘ආස්තේය’ යන්නෙන් අදහස් කෙරෙන්නේ තමන්ට අයත් නොවන දේ නොගැනීමයි. මෙහිදී සොරකම පමණක් නොව තමන්ට අයිති නැති කිසිම දෙයක් නොගැනීම ද සිදුකළ යුතුය. නිදසුනක් ලෙස දක්වතොත් බිම වැටී තිබෙන භාණ්ඩයක් වුවද ගැනීම නොකළ යුතුය. ‘බ්‍රහ්මචාරි’ නම් බඹසර හැසිරීමයි. අපරිග්‍රහ ලෙස හඳුන්වන්නේ අයුතු, අසාධාරණ, මාර්ගයන්ගෙන් ධනය හෝ වස්තුව ලබා ගැනීම හෝ උපයා ගැනීමෙන්ද තමන්ට උරුම නොවන ධනය හෝ සම්පත් ලබාගැනීමෙන් ද වැළකීමයි. එමෙන්ම තමන්ට උරුම නොවන ආස්වාද ලබාගැනීමට පවා නොකළ යුතුය.
නියම (පුද්ගල විනය)
නියම යනුවෙන් හැඳීන්වෙන්නේ පුද්ගලයකු පිළිපැදිය යුතු විනයානුකූල පිළිවෙත් පද්ධතියකි. එහිදී කියවෙන ‘සෞච’ යන්නෙන් අදහස් කෙරෙන්නේ පුද්ගලයාගේ බාහිර සහ අභ්‍යන්තර පිරිසිදුකම රැකගැනීමයි. කිසියම් කෙනකු තම සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවන්නේ නම් ඔහු නිසැකයෙන්ම රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්වයි. ලෙඩ රෝග ඇතිවීම මඟින් තමන් ද අනුන් ද කරදරයට පත්වෙයි. එමෙන්ම සියල්ලන්ගේ පිළිකුලට ද ලක්වෙයි. එම නිසා තමන් ද අනුන් ද කරදරයට පත් නොවීමට නම් අනුන්ගේ පිළිකුලට ලක්නොවීමට නම් තම සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.
එම පිළිවෙත් පද්ධතියේ එන සන්තෝෂ (තෘප්තිමත් බව) යනු කවර තත්ත්වයක් යටතේ වුවද සතුටින් වැටකටයුතු කිරීම සහ ජීවත්වීමයි. ‘තපස්’ යනු භාවනාදියෙන් ලබන සංවරයයි. පවිත්‍ර චේතනා, පවිත්‍ර වචන, පවිත්‍ර ක්‍රියා සහිතව ජීවත් වීමයි. එකී පිළිවෙත්වලට අයත් වන ‘ස්වාධ්‍යාය’ යනු තමන් පිළිබඳ අවධානයෙන් යුතුව ජීවත් වීමවේ. ජීවිතයේ ඒ ඒ අවධියේ දී කළ යුතු දේවල් සහ ලබාගත යුතු දේවල් ලබාගැනීමයි.
නිදසුනක් ලෙස ළමා කාලයේ දී ඉගෙනීම් කටයුතු නිසි පරිදි කරගැනීම දැක්විය හැකිය. නැතිනම් ඉදිරි අවධිවලදී බොහෝ කරදරවලට මුහුණ දීමට සිදුවේ. ‘ඊශ්වර ප්‍රතිදාන’ යනු ද මේ පිළිවෙත්වලම අංගයකි. එනම්, සියලු ආකාරයෙන් පවිත්‍රව දෙවියන් වෙත යෑමයි. හින්දු දර්ශනය අනුව ඊශ්වර දෙවියන්ගේ වචනය විශ්වාස කිරීමය. මෙය වෙනත් ආගම්වල අයට ඔවුන්ගේ ශාස්තෲවරුන්ගේ දේශනා පිළිපැදීම ලෙස දැක්විය හැකිය.
ආසන
සිත සහ කය එකඟ කර ගනිමින් නිශ්චිත ඉරියව්වක පහසුව රැඳී සිටීමයි. මෙම ඉරියව්වල රැඳී භාවනානුයෝගීව සිටීමෙන් ශාරීරික මානසික, අධ්‍යාත්මික සුවය ළඟා කරගත හැකිය. යෝග ආසන 86000 ක් පමණ පැරණි සූත්‍රවල සඳහන්ව තිබෙන අතර භාවිතයේ තිබෙන්නේ යෝගාසන 86 කට ආසන්න සංඛ්‍යාවකි.
ප්‍රාණයාම
ප්‍රාණයාම යන පදයෙහි අර්ථය වනුයේ ප්‍රාණ ශක්තිය නැතහොත් ජීව බලය විහිදුවා හැරීමයි. මෙහිදී සුදුසු ආසනයක සිට සිහිකල්පාවෙන් හුස්ම ගැනීම, රඳවා ගැනීම, පිටකිරීම සිදුකරයි. ප්‍රාණය සහ මානසික ශක්තිය අතර ඇත්තේ ගැඹුරු සම්බන්ධයකි. ප්‍රාණයාමෙන් ශරීරයේ රුධිරය පිරිසිදු වන අතර මනැසේ පාර්ශුද්ධිය ද ඇති වේ. එසේම ප්‍රාණයාම, යෝග ආසනවල නිවැරැදි ප්‍රතිඵල ලබාගැනීමට උපකාරී වේ.
ප්‍රත්‍යාහාර
විවිධ අරමුණු ඔස්සේ ගමන් කරන සිතුවිලි බාහිර ලෝකයෙන් ඉවත් කොට ගෙන තම අභ්‍යන්තරයට යොමුකරවමින් පංචේන්ද්‍රියයන් සංසුන්කරවීම ප්‍රත්‍යාහාර නම් වේ. ඉහත යෝග පිළිවෙලින් අනුගමනය කරමින් පැමිණෙන යෝගීවරයා මේ මට්ටමේදී බාහිර ඇලීම් ගැලීම් සහ බැඳීම් අවම කළ යුතුය. නැතහොත් අනගාරික තත්ත්වයට පත් විය යුතුය.
ධාරණ
ධාරණ යනු මෙනෙහි කිරීමයි. පිළිවෙලින් ඒකාග්‍ර වූ මනැස කිසියම් දෙවියකු, දේව වචනයක හෝ තමන් අභිමත පූජ්‍ය වස්තුවක හෝ නිශ්චලව පිහිටුවා ගැනීමයි. නොඑසේනම් තම ශරීරය වෙතම සිත යොමුකර ගැනීමයි. පිටින් පැමිණෙන අරමුණු මනැසට ඇතුළු කරගැනීම නොකරයි. එම අරමුණු බැහැර කරමින් මනැස එක ස්ථානයට රඳවාගෙන මෙම මට්ටමේ දී සිදුකරයි. ධ්‍යාන
ධාරණ මට්ටම තවදුරටත් වැඩිදියුණු කිරීමෙන් ධ්‍යාන මට්ටමට පත් වේ. ධ්‍යාන තත්ත්වයට පත් වූ පුද්ගලයාට කාලය හා අවකාශය ඉක්මවා මනැස මෙහෙයැවීමේ හැකියාව ලැබේ.
ධ්‍යාන තත්ත්වයට පත්වූ පුද්ගලයාට තව කෙනකුගේ සිතේ ජනිත වන සිතුවිලි හඳුනාගැනීමේ හැකියාව ලැබේ. කාලය සහ අවකාශය ඉක්මවා මනැස මෙහෙයැවිය හැකි හෙයින් ප්‍රාතිහාර්ය පෑම් කළ හැකිය. සමාධි ඉහත යෝග නිසි ආකාරයට පිළිපැදීමෙන් ඒකාග්‍ර වන සිත සහ කයත් බාහිර ලෝකයත් සමඟ පවතින වෙනස තුරන් වී තමාත් සමස්ත විශ්වයත් එකක්ම ලෙස අවබෝධ කරගන්නා අවස්ථාවයි. සමාධි යෝගයට පිවිසෙන්නට පරම සන්තුෂ්ටියහිමි වේ. සුඛ,දුක්ඛ, වේදනා රහිත වේ. නැතහොත් මෝක්ෂය උදාකර ගනී.
Advertisements


