හරියටම බැලිය යුතු නැකැත් සහ පොරොන්දම්

වැඩි දෙනෙක් ඡ්‍යොතිෂය උපයෝගී කරගන්නේ තමාගේ හෝ පවුලේ වෙනත් කෙනකුගේ පලාපල දැන ගන්න. ඒ වුණාට ජීවිතයේ සමහර අවස්ථාවන්හිදී නැකැත් හා පොරොන්දම්වලින් වෙනත් ප්‍රයෝජන ගන්නවා නැතුව නොවේ. පලාපල බලලා ඒක වැරදුණොත් ඡ්‍යොතිෂය එපා වෙන තත්ත්වයක් උද්ගතවන්නෙ ඉතාම ටික දෙනාටයි. එහෙත් නැකතක් වැරදිලා හෝ පොරොන්දමක් වැරදුණොත් බොහෝ දෙනෙකුට මුළු ඡ්‍යොතිෂයම එපා වනවා.
ඔබට ඒ නැකත හෝ පොරොන්දම නිසා වැරදුණා කියලා අවබෝධ වුණ දවසට මුළු ඡ්‍යොතිෂයම එපා වනවා විතරක් නොව ඡ්‍යොතිෂය ගැන කලකිරීමක්ද ඇතිවනවා. එතකොට ඔබ ප්‍රමාද වැඩියි. ඒ කිවුවේ නැකතටයි, පොරොන්දමටයි එච්චර බලයක් තිබෙනවා. මම මේ ගැන කිහිප වතාවක්ම ලිව්වේ ඒක නිසාමයි.
අපි හිතමු කවුරු හරි ඡ්‍යොතිෂඥයකුගෙන් ඔබේ පලාපල බලාගත්තා කියලා. ඔබට වැය වන්නෙ සුළු මුදලක්. ඒ පලාපල වැරදියි කියල හිතුණොත් නැවත වෙන කෙනෙකුගෙන් බලාගන්න පුළුවන්. විශේෂ වෙන මුදලක් වැය වෙන්නේ නැහැ. යම් හෙයකින් සුළු මුදලක් වැයකරල නැකැතක් බලලා ලොකු මුදලක් යට කරලා ව්‍යාපාරයක් ආරම්භ කළා හෝ නිවෙසක් හදන්න ගියා කියලා. දුන්න නැකැත වැරදිලා ඒ කටයුත්ත අතරමඟ නතර වුණොත් ඔබ ඉතා අසරණ වනවා. කොටි වලිගයක් වනවා. අත්හරින්නත් බැහැ. අල්ලන් ඉන්නත් බැහැ. ඒත් ඒ වැඩේ ආරම්භ කළේ බැංකු ණයකින් හෝ ෆිනෑන්ස් ණයකින් නම් කියලා වැඩක් නැහැ. ඔබ ඉතාම අසරණ වනවා. ඔබ නිවෙස හැදුවත් නැතත්, ව්‍යාපාරය කළත් නැතත් නියම වෙලාවට වාරික ණය ගෙවන්න වෙනවාමයි. අන්න එවිටත් ඡ්‍යොතිෂය ගැන කලකිරෙනවා. මොකද ඔබට ඒ තත්ත්වය උදා කළේ වැරදි නැකතයි. නැකතක් වැරදුණොත් යළි ගොඩනඟන්න හරි අමාරුයි. මේ වගේ ගොඩක් අවස්ථාවලදී සියදිවි හානිකර ගැනීම් පවා ඇතිවනවා.
ඒ වගේම තමයි පොරොන්දම. වැරදි කෙනෙක් පොරොන්දම බැලුවොත් ඔහුගේ හෝ ඇයගේ අඩු ඡ්‍යොතිෂ දැනුම නිසා ලැබෙන්න හිටි මනුෂ්‍ය සුරංගනාවී නැතිවී යක්ෂ ගැහැනියක් ලැබෙනවා. එතකොටත් සදාකාලි ව ගැටලු කිහිපයකට මුහුණ දෙනවා. අනිත් පැත්ත වුණත් එහෙමයි. මේ වගේ වූ පවුල් රාශියක් මම අත්දැක තිබෙනවා. සමහර විට ඒ දරුවො කලකිරිලා රට හැර යනවා. එහෙම ගිය අය රාශියක් ඉන්නවා. එහෙම නොවන්නට අපි දැනුම්වත් වෙමු.
නැකත කියනකොටම නොනැකත මතක් වනවා. සිංහල අලුත් අවුරුදු දිනයේදීත් මෙහෙම නොනැකතක් තිබුණා. නොනැකතට කිසි වැඩක් කරන්නෙ නැහැ. කරන එකම වැඩේ ආගමානුකූල වැඩ විතරයි. ඒක නිසාමයි ඉදිරියට බ්‍රහ්ම මූර්තිය පාවිච්චි නොකරන්නෙ. වැරදි නැකැත් දෙන්නෙ, පොරොන්දම් වරදින්නෙ. පොත පතේ තිබූ පළියට, පන්තිවල ඉගැන්වූ පළියටම ඡ්‍යොතිෂය ප්‍රායෝගිකව කරන්න බෑ.
පරිගණකයෙන් ඡ්‍යොතිෂය කරන බොහෝ අය මේ වැරැද්ද කරනවා. ඒ වැරදි නැවත නිවැරදි කරන්න බැහැ.
පුංචි උදාහරණයක් ගනිමු. ඡ්‍යොතිෂයේ තිබෙනවා දෘෂ්ටි කියල පාඩමක්. පොරොන්දම් බලනකොට කේන්දරයේ 7 වැන්නෙ එනම් විවාහක ස්ථානය කොච්චර හොඳ වුණත් ලග්නයේ නරක ග්‍රහයන් ඒ කිවුවේ විශේෂයෙන් අඟහරුවා, හෙනහුරා ගෝචර වුණොත් ඒක සත්වැන්නට පෙනෙනවා. අපි ඒකට ශප්තම් දෘෂ්ටිය කියනවා. අපි ඒවා වටහාගන්න ඕනෑ. එතකොට විවාහය මඟදි කැඩෙනවා. හත අයිති සෙනසුරාට දකින්නෙත් සෙනසුරාට නම් ඒක ඒ තරමටම නරක නැහැ. ඒකත් ඡ්‍යොතිෂයේ රහසක් තමයි.
ඕනෑම නරක ග්‍රහ පිහිටීමක දෝෂය චන්ද්‍රයා, බ්‍රහස්පති දැක්ක පළියටම භංගවන්නෙ නැහැ. ඒක දීප්තිමත් චන්ද්‍රයාට හෝ දීප්තිමත් බ්‍රහස්පතිට පෙනුණොත් විතරයි දෝෂ භංග වන්නේ. මේවා අලුත් පොත්වල සඳහන් නෑ. පරණ පොත්වල තිබෙනවා. තවත් ග්‍රහ දෘෂ්ටීන් නැතුවා නොවේ. ඒවා එච්චරම බලවත් නැහැ. එනම් රවි, සඳු හා සෙනසුරුට ඉන්න රාශියේ සිට 3,7,10 රාශි පෙනෙනවා. අඟහරුට බුධට 4,7,8 රාශින් පෙනෙනවා. බ්‍රහස්පතිට 5,7,9 හා සිකුරුට 7,9,12 යන රාශින් පෙනෙනවා. මේ ග්‍රහ දෘෂ්ටීන් ඉගෙන ගන්න එක වටිනවා.
කෙනෙකුට නැකතක් දෙනකොට ඒ නැකත ස්වල්ප වශයෙන් හෝ වැරදුණොත් නොනැකත වනවා. අන්න එතකොට නැකත වැරදිලා අයහපත සිදු වනවා. එතකොට ඒ විපාක දෙන්නෙ නැකත දුන් ග්‍රහයාට අනුවයි. අනික තමයි පොරොන්දම් බලනකොට සමහර අය හිතාමතාම වැරදි කරනවා. දස පොරොන්දම් විසි පොරොන්දම්වලදී වැරදි ලකුණු දමනවා. ඔය පොත්වල සඳහන් කරන අයුරු දෙදෙනකුගේ පොරොන්දම් පරීක්ෂාවේදී සංසන්දනය කරන්නෙ එක්තරා ලකුණු මට්ටමක්. එහෙම විතරක් බැහැ. ලිංග පොරොන්දම, යෝනි පොරොන්දම, වෘක්ෂ පොරොන්දම සීහුම් වන්නම ඕනෑ. එසේ නොමැති වුණොත් මංගල්‍යය කෙරේවි. පසුව දෙපාර්ශ්වයම තැවෙන දේවල් සිදුවේවි.
පොරොන්දම් පරීක්ෂාවෙන් පසු පරීක්ෂා කර බලන්ට ඕනෑ ලිංග පොරොන්දම් සීහුම, යෝනි පොරොන්දම් සීහුම හා වෘක්ෂ පොරොන්දම් සීහුම. ලිංග පොරොන්දම් සීහුම කියන්නෙ විවාහයෙන් පසු යුවළ යහපත් විදිහට සම්භෝගයේ යෙදීම ගැනයි. එසේ පැවතීමෙන් පසු දෙදෙනාට දරුවකු ලබන්නට ස්ත්‍රියට යහපත් යෝනියක් තිබේද යන්න සීහුම් වන්නෙ යෝනි පොරොන්දම් පරීක්ෂාවෙනුයි. ඊළඟට පරීක්ෂා කරන්නේ වෘක්ෂ පොරොන්දමයි. එනම් දරුවෙක් පිළිසිඳ ගැනීමට පෙර භවයේ පින් ඇත්ද යන්නයි.
තවද ඕනෑම පොරොන්දමක දස පොරොන්දම් හා විසි පොරොන්දම් පරීක්ෂාවේදි මේ ඉහත කී පොරොන්දම් ත්‍රිත්වය යහපත් නම් විවාහය බොහෝ දුරට යහපත් වනවා.
මේ පොරොන්දම් බලා කෙරෙන විවාහය විවාහාපේක්ෂිත යුවළකගේ තුන්වැනි සන්ධිස්ථානය බව පොතපතේ සඳහන් වන්නේය. විශේෂයෙන් බොහෝ විවාහ මඟදි කැඩෙන්නේ හිතුවක්කාර ලෙස කරන නිසා බව පැහැදිලි වී ඇත. ගැමි විවාහ බොහෝදුරට ඉතා ශුභ මඟුල් බව පුරාණ ඡ්‍යොතිෂවේදීහු පවස.
Advertisements


