නළල් තලයේ ලියැවුණු ඔබේ ජීවන රහස්

ස්ත්‍රියකගේ හෝ වේවා පුරුෂයකුගේ හෝ වේවා යම් අයකුගේ දේහ ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් පැවසීමට පැරණි ඉසිවරු සමත්වූහ. ඔවුන් පැවසූ එම අනාවැකි පිළිබඳව යම්කිසි දැනුමක් ලබා තිබීම අප කාටත් ප්‍රයෝජනවත් වෙයි.
කාන්තාවකගේ නළල් තලය සාහිත්‍යධරයන් විසින් මහත් අභිරුචියෙන් වර්ණනා කරන ලද්දේ වෙයි. අඩසඳක් මෙන් ශෝභමාන අඟල් තුනක් පමණ වූ පුළුල් නළල සෞභාග්‍යවත් නාරි ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. මුදු මොළොක් වදන් පවසන ඇය මහත්වූ සැප සම්පත් ලැබීමේ පින්බල ඇති තැනැත්තියකි. ඇය සැබැවින් කාරුණිකය. මනුෂ්‍යත්වය හොඳින් හඳුනන්නීය. අඩසඳවන් නළල්තලය මැද්දේ ස්වස්තික රේඛාවකුත් පිහිටා තිබුණහොත් ඇය මහා භාග්‍යවන්තියක් වනවා නිසැකය. මිහිපිට බිම් අඟලක් නොමැතිව උපන්නත් නිරවුල් දේපළ රාශියක හිමිකාරියක වන බැව් එම ලකුණින් කියවෙයි. එසේ නමුත් නළල් තලය අධික රෝමයන්ගෙන් ගැවසී ඇත්නම් නියත වශයෙන්ම නොයෙකුත් රෝග පීඩාවන්ට ලක්වනු ඇත. කෙළවරක් නැති දුක් දොම්නස් ඉහවහා ගිය දිළිඳුකම ඇය අසරණ කරයි. ඉහත කී අනිටු ලකුණුවලින් තොර අඩසඳකට සමාන නළලක් පිහිටි කතුන් සැබැවින්ම අවංක ගුණ යහපත්කමින් ද පොහොසත්ය. නැණ නුවණ ඇතිවේ. ශරීරය ශක්තිමත්ය. අවංක ආදරයෙන් බැඳී සිටියි. නළල මඳක් පැතලි වී ගිය ආකාරයෙන් පිහිටා ඇත්නම් නිර්භීත ගතිය හා අනුකම්පා සහගත බව ඇය කෙරෙන් ඈත්වී ඇත. තමන්ට ප්‍රශංසා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අනුන්ගේ අඩුපාඩු හා රහස් සෙවීමට උත්සාහ කරයි.
ඉදිරියට නෙරාගිය නළලින් හෙළිකරන්නේ කවදත් අහංකාර උඩඟුකමින් යුක්ත බවකි. ඔවුන් වාද විවාදවලින් පරාජය දකිනවිට ඉක්මනින් කිපේ. අනවශ්‍ය වචන භාවිතයෙන් මිතුරන් සතුරන් කර ගනී.
නාසයේ මුල සිට ඉරක්මෙන් ලකුණකින් දෙකට බෙදී ගිය ආකාරයෙන් යුත් නළලක් පිහිටි කතුන් නිර්භීතකමින් යුක්ත ඥානවන්තව කටයුතු කරන අය වේ. සණ්ඩු දබර කිරීමට සමත් මොවුන් සැහැසි ගතියෙන් ද යුතු වේ.
නළල මැද දීප්තිමත්ව බැබළේ නම් වස්තු සම්පත්, සැප විහරණ නොමඳව ලැබීමේ වරම්ලත් සුපින්වත් අය වෙති. රජයේ උසස් තනතුරු දැරීමට භාග්‍යය උදාවේ. නළල මුදුනින් ඉදිරියට නෙරා පිහිටීම ද බොහෝ රේඛා පිහිටීම ද ස්වල්ප රෝම ඇතිවීම ද යන ලක්ෂණවලින් එකක් හෝ ඇති නම් කාමාශාවෙන් පෙළෙන අය වෙති. දුටුවන් පි‍්‍රය කරන ශරීර ලක්ෂණවලින් ද යුක්ත වන්නේය.
උල් තුනක් ආකාර ලකුණක් නළලේ විද්‍යමාන වේ නම් ඇය කුමන ක්ෂේත්රයක හෝ කැපී පෙනෙන ප්‍රසිද්ධ කාන්තාවක් විය යුතුය. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ භාර්යාවන් කෙරෙහි ද බොහෝවිට මේ ලකුණ පිහිටා තිබෙනු දැකිය හැකිය.
ලොමින් ගැවසීගත් නළල් තලය බෙහෙවින්ම අනිටු පල උදාකරන ලකුණක් බව ඍෂිවරුන්ගේ මතයයි.
එය විශේෂයෙන් මෙහෙකාරියන්ට පිහිටන ලක්ෂණයක් බව පැවසේ. නළල තලය මධ්‍යයේ ලෝම සුළියක් පිහිටීම වැන්දඹුවීමේ පූර්ව ලක්ෂණයක් වන අතර, එවන් සුළියක් නළල් තලයේ වෙනත් තැනක පිහිටා ඇත්නම් ඇයට දරුවන් අහිමි වේ.
නළල දෙපැත්තේ ගැට පිහිටා ඇත්තේනම් ඇඟේ චරිතය අපිරිසුදුය. මායාකර කුහක කතුන්ට එවන් ලකුණුූ පිහිටයි.
බෙහෙවින් දිගටි හැඩයක් ගන්නා නළල් තලය ද අසුබය. එය ඇගේ ස්වාමිපුරුෂයාට අපල ගෙන දෙයි. බුද්ධිමතුන්ගේ නළල් තලය එක අයුරකින් ද, බුද්ධිහීන අයගේ නළල් තලය වෙනත් අයුරකින් ද පිහිටයි. කිසියම් අයකුගේ නළල් තලය පුළුල්ව රැළි සහිතව පිහිටා ඇත්නම් ඔහු බුද්ධිමතෙකි. දීර්ඝායුෂ ඇති අයෙක් වේ. පටු නළල් තලයක් ඇති තැනැත්තා බුද්ධිහීන අයෙකි. ඉක්මන් තීරණවලට එළඹෙන අයෙක් වේ. නෙරාගිය නළල් තලයක් ඇති අය හිතුවක්කාරය. කෙසේ වුවද කොයිකාගේත් ආධාර උපකාර ලබමින් තම සිතැඟි ඉටුකර ගැනීමට සමතෙකි.
වළගැසුණු ස්වභාවයකින් යුතු නළල් තලයක් හිමි අය වංචනිකයෝය. බෙහෙවින් පටු නළලින් නොමේරූ මනසක් ඇති, පහත් වැඩ කරන පුද්ගලයා හඳුනාගත හැකිය. කොතැනක ගියත් කාගෙත් අවඥාවට ලක්වනුයේ මොවුන් තුළ සහජයෙන්ම පිහිටා ඇති අවගුණ නිසාමය. ඔවුන් ඉගෙනීමට ද අදක්ෂයෝය. අභාග්‍යය ඔවුන්ගේ ජන්ම දායාදයක් වේ.
තියුණු වින්දන ශක්තියකින් යුත් හදවතකට හිමිකම් කියන කලාකාමී, බුද්ධිමත් පුද්ගලයනට සම චතුරස්රාකාර හැඩයක් ගන්නා නළල් තලයක් හිමිවන්නේය. එවැනි අය ඕනෑම වැඩක් ආරම්භ කිරීමට පෙර ඒ ගැන විමර්ශන බුද්ධියෙන් යුතුව සිතා බලයි. කොතරම් පහත් තත්ත්වයකින් ජීවිතය ආරම්භ කළ ද කාර්යශූරත්වය හා අචල අධිෂ්ඨානය නිසා දියුණුවට පත්වීමට ඔවුහු සමත් වන්නාහ.
නළලක උස මනින්නේ ඇහිබැම දෙක අතර සිට නළලේ කෙස් ආරම්භ වන රේඛාව දක්වාය. නිකටේ කෙළවර සිට නාසය ආරම්භ වන ස්ථානය දක්වා දුර මෙන්ම නාසයේ දිග ද බොහෝවිට නළලේ උසට සමානය. දිග නාසයක් හිමි කෙනකුට එම නිසා ස්වභාවයෙන්ම උස් නළලක් හිමිවේ. පෙර සඳහන් මිමිවලට වඩා නළල උසින් අඩුවීම යහපත් නොවේ. බුද්ධිය හීනවීමේ ලකුණකි. දීප්තිමත් අයකු නොවේ. එසේම උස නළලක් හිමිවීම බුද්ධිමත් බවේ පමණක් නොව වාග්චාතුර්යය පිළිබඳව ද හොඳම සාක්ෂියකි. තමා සතු සුපිරි බුද්ධිමත් බව නිසාම අනුන්ගේ අදහස් නොවිමසා සිටීමට පෙළඹේ. එම හේතුවෙන් එම අය ඒකාධිපතීන් හෝ උඩඟු අය ලෙස පිළිගැනේ.
ශ්‍රීමත් වෝල්ටර් රැලේට (. Water Raleigh )උස්වූ නළලක් හිමිව තිබුණි) ඔහුගේ චරිතාපදානය ලියු ජෝන් ඕබ්රි (John Aubrey) ශ්‍රීමත් වෝල්ටර් රැලේ උස හා කඩවසම් කෙනෙකි. නිර්භීතය. එහෙත් දුර්වලකමකට වූයේ අසීමිත උඩඟුකම වේයැයි සඳහන් කර ඇත.
උපදින විට යම් දරුවකුගේ නළලේ කුරුසයක් වැනි සටහනක් පිහිටියේ නම් එම දරුවාගේ ආයුෂ අඩුය. දරුවා උපදින විට නළලේ හරිමැදින් ත්‍රිශූලයක්, නයි පෙනයක් වැනි සලකුණක් පිහිටා ඇත්නම් එම දරුවා අනාගතයේදී බොහෝ ඇසූ පිරූ තැන් ඇති රට ජාතියට හිතැති ශ්‍රේෂ්ඨ අයකු වන බව ඉසිවරුන් පවසා ඇත.
අත්ලෙහි හෝ යටිපතුල්වල රේඛා පිහිටන්නාක් මෙන් බොහෝ අයගේ නළල් තලයෙහි ද විවිධාකාර රේඛා පිහිටා ඇත. නළල උස්සා රැලි ගැන්වූ විට ඒවා වඩාත්ම පැහැදිලිව දර්ශනය වේ. නළල් තලයේ දිග් අතට වැටී ඇති එවැනි රේඛා උපයෝගී කරගෙන කෙනෙකුගේ ආයුෂ ගණන් බැලිය හැකිවේ. යමකුගේ නළලේ රේඛා වඩා ඇත්තේ නම් රාජකීයභාවය හා අනූපස් වර්ෂයක් ජීවත්වේ. එකදු රේඛාවකුදු නැත්නම් අනූ වර්ෂයක් ද රේඛා 5,6,7 ආදී වශයෙන් රේඛා ඇත්තේ නම් වර්ෂ පනහක් හෝ වර්ෂ 60ක් පමණ ආයු වලදන්නෝ වෙති. ඇහිබැම දක්වා විහිද යන රේඛා ඇත්තේ නම් තිස් වර්ෂයක් පමණ ආයුෂ වේ. ඉහත සඳහන් ආකාරයේ රේඛා බැම දක්වා පිහිටියේ ද ඒවා නව දිශාවකට විහිදී යයි. නම් දීර්ඝායුෂ වේ. කොට වූ රේඛා ඇත්තේ නම් අල්පායුෂ වේ.
Advertisements


