Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නායකත්වයටම උපන් අංක 1 හිමියෝ

18 hours ago 7 Min read
Subha.lk

අපි වෙසෙන මේ ග්‍රහ මණ්ඩලේ ප්‍රධානියා තමයි හිරු. රටක නම් රජ්ජුරුවෝ නැත්නම් පාලකයා. ඒ වගේම ගෙදරක ගෘහ මූලිකයා. ආයතනයක නම් ආයතන ප්‍රධානියා. පාසලක විදුහල්පති. පංතියක පංති නායකයා. ඉහත කී-නොකී නායකත්වය අවශ්‍ය කරනා ඕනෑම තැනක දී නිරායාසයෙන් ම ඉස්මතු වෙන්නේ හිරු දෙවියන්ගේ ආකර්ෂණයට නතු පෞද්ගලික අංකය 1 යි.

1,10,19.28 උපන් දින හැරුණාම ජූලි මාසයේ 27 ත් අගෝස්තු මාසයේ 26 ත් අතර කාලයේ උපදින අයගේ, භාවිත නාමය අංක 1 ට යෙදෙන අයගේ වගේම දෛව අංකය 1ක් වන අයගේ ජීවන වෘතාන්ත ඇතුළේ පෞද්ගලික අංකය 1 එහෙමත් නැති නම් රවිගේ බලය ඉස්මතු වෙනවා. ඒ විතරක් නෙවෙයි සූර්යයාගේ බලය උපරිම ලෙස සැලකෙන බක්මහා නැකැත් මාසයේදී පවා පෞද්ගලික අංකය හොඳීන් ඉස්මතු වන බවත් විශේෂයෙන්ම මතක් කර දිය යුතු වනවා.

ඔබ උපන්නේ 1 වෙනිදාවක නිසා තමන් ගැන අධිතක්‍සේරුවකින් කටයුතු කරනවා ඇති. ඒ වගේම වෙන කෙනකුගේ අදහසක් ඉස්මතු කරන්න පුංචිම පුංචි හරි අනුබලයක් දෙන කෙනෙකුත් නෙවෙයි නේ. ඒ කොහොම වුණත් ඔයා සතු ඔය ආත්ම ශක්තිය දවසක ඔයාව සමාජයේ ඉහළ තලයකට ඔසවා තබනවා ඒකාන්තයි.

10 වෙනිදා උපන් ඔයාගේ මූණේ නිතරම හිනහා මල් දෝර ගලනවා නේද? මහෝෂධ පඬිතුමන් වගේ බුද්ධිත් උපශාන්ත ස්වභාවයත් දුටුවම කවුදෑ ඇලුම් නොකරන්නේ? මොනවා වුණත් ඔයාගේ හිතේ තියෙන දෙයක් එළියට ගන්න මහන්සි වෙනවාට වඩා නම් ලේසියි, ඒ අයට ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ල ගන්න එක. ඔයාගේ හැඩ උපැස් යුවලත් බොහෝ විට මුහුණට අලංකාරයක් ගෙන දෙනු ඇති.

19 වෙනිදා උපන් දිනය සමරන ඔයා වගේ තව දහයක් හිටියොත් හොඳටෝම ඇති, රටක් ගොඩ දාන්න වුණත්. මොකද කියනවා නම්, පෙනුමෙන් කිරි දරුවකු වගේ වුණත් ඔයාව නරක් කර ගත්තෝතින් ඊට වඩා සාහසික සිත් ඇත්තකු මේ තුන් ලෝකයේම තවත් නැති තරම්? ඒ වගේම, ඔයා සතු මහා ප්‍රඥාවේ බල මහිමයත් කියා නිම කරන්න බැරි තරම්.

28 වෙනිදාවක කේක් කපන ඔයත් නිතර සිනහාමුසුව ඉන්න කැමැති උපශාන්ත කෙනෙක් වුනත් විරුද්ධ ලිංගිකයන්ගේ මර උගුල් වල දවල්-රෑ වෙනසක් නැතිව වැටෙන්නේ ජාති ණයකාරයකු ගාණටයි. හැමදාම අනාගතේ සරුකර ගන්න අලුතින් පිළියෙල කරන සැලසුම් හරි යන්න නම් ඔයා මුලින්ම මනුසතාව විශ්වාස කරන එක අඩුකර ගන්න වෙනවාමයි.

ජම්බෝලේ වගේ, නිතරම සිනහා මුහුණින් පසුවෙන කෙනෙක් දැක්කාම ඒ නම් හිරුගේ ප්‍රභාවය ඇති අංක එකේ කෙනෙක් තමයි’ කියලා අනුමාන කරන්න පැකිළෙන්න එපා. ගෘහ පරිසරය තුළදී අංක 1 හිමි දරුවන් පවා නිතරම දුවලා-පැනලා නායකත්වය ගන්නා බව කැපී පේනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ අම්මා අප්පාගේ වුණත් වරදක් දැක්කම, ඒක පෙන්නලා දෙන්න දෙපාරක් හිත හිත ඉන්නෙත් නෑ. ඇරත්, මේ අය වරදක් පෙන්වා දෙන කතා විලාසය වුණත් හැම විටම කරුණාබර වන්නෙත් නෑ. අංක 1 අය ඒ පමණටම අවංකයි. ‘රාජකාරියේදී යාළුවෝ-නෑයෝ නෑ’ කියන එක ඒ අයගේ උදාන වාක්‍යය ගාණයි. ඒ නිසා නියම වැඩකරුවන්ට සැලකීම මිසක් නිකම්ම නිකම් හෙංචයියෝ නඩත්තු කිරිල්ල මේ අයට ‘ඇලජික්’ ගානයි. ඒ වගේම කරන දේ කියන-කියන දේ කරන සෘජු ගුණේටයි මෙයාලාට බොහෝ අනුගාමිකයන් ගොඩනැගෙන්නේ. ඇත්තටම, මමත්වයෙන් ඉහළ පෞද්ගලික අංක 1 වන අයට අනුගාමිකයෝ මිසක් යාළුවෝ නැති ගානයි. මේ අය තමන්ගේ යුතුකම් කොටස සමාජය වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරනවා මිසක් ඒ තුළින් තමන්ට අත්වන අනිටු ප්‍රතිපලය ගැන කලින්ම හිත හිතා ඇඹරෙන අය නෙවෙයි. නායකත්වයේ ප්‍රතිමූර්තියක් බඳු නිසාම, තමන් පෙනී ඉන්නා මතවාදය වෙනුවෙන් දිවි හිමියෙන්මයි පෙනී ඉන්නේ. මේ ගොල්ලන්ගේ මේ වහා ගිනි ඇවිළෙන සුලු ස්වභාවය නිසා ළඟින් ඉන්න යාළුවොත් හතුරු වෙන්නේ විදුලි වේගෙන්, කපන්න බැරි අත ඉඹගෙන තවත් කොටසක් ළඟ නැවෙද්දී. මේ අය අවංකව රාජකාරිය කරනවා වගේම තමයි ඉහළ බළධාරියකුගෙන් සුළු හෝ බාධාවක් එල්ල වුණත් ඇති කොච්චර වරප්‍රසාද ඇති රස්සාවක් වුණත් දමලා ගහලා ගෙදර එන්නත් දෙපාරක් හිතන් නෑ.

ඔයාලා හිතන්නේ අංක 1 ඇති ඔක්කෝමලා රජ වෙන්න ඕනේ කියලාද? නෑ. අපි හැමෝම දෛව ශක්තිය අනුව උප්පත්තියෙන් යොමු වෙච්චි ප්‍රධාන දිශානතීන් කිහිපයක් තියෙනවා. හැබැයි කෙනෙක් මොන මට්ටමක හිටියා වුණත්, ඒ හැමෝම තුළ නිර්මාණශීලී බවත් නායකත්වයත් නිරායාසයෙන් ගැබ් වෙලා තියෙනවා නොඅඩුවම. අංක 1 හිමි දිසාපතිවරයකු තමන්ගේ රාජකාරිය රත්තරන් ටිකට කරද්දී ඒ කාර්යයාලයේම ආරච්චිලා වුණත් අංක 1 කින් ඉන්න පුළුවන්. ඒ ඇත්තා වුණත් තමන්ට පහළ පියන් මල්ලිලා විතරත් නෙවෙයි තමන්ට ඉහළ ඒ. ඕ මහත්තයා වුණත් ඇඹරිලා යන ගානට ගැම්මක් තියං ඉන්න බැරි කමක් නෑ.

දැකලා නැද්ද ඔය සමහර ඔෆීස්වල බොස්ලා වුණත් සමහර තීන්දු තීරණ ගන්න කලින් තමන් යටතේම වැඩ කරන කෙනෙකුගෙන් අහලා ගැම්මක් අරගෙන වැඩ කරන පුරුද්දක් තියෙන්නේ? හැබැයි මේ වගේ මනුස්සයෝ කට කෑවත් කියන්න දෙයක් තියෙනවා නම් ලොක්කගේ වුණත් මූණටමයි නේද කියන්නේ?

අයේ ඉතිං ඉර දෙයියන් වගේම තමයි. අංක 1 න් සුපිරියටම රවි බලවත් වෙච්චි උදවිය තමන්ට තියෙනවා නම් දෙන්නේ අත දිගෑරලා. හැබැයි බඩගින්නේ ගෙදර මැරුණත් තමන්ට නැති දවසට වෙන අය ළඟ වැඳ වැටෙන්න නොයන්නේ අරිබඩගිනි වුණත් සිංහයා තණකොළ කන්නෑ’ කියූ කියමන යළි තහවුරු කරලයි.

රවි බලවත් උදවිය තමයි උජාරුවටම අඳීන්න වුණත් වියදම් කරන්නේ. ඒ වගේම තමයි සාදයක් දෙනවා වුණත් දෙන්නේ දැනෙන්නම. මේ රාජකීය ස්වරූපේ නඩත්තු කරන්න සුළු පටු ධනස් කන්දරාවක් නෙවෙයිනේ නේද වියපැහැදම් කරන්ට වෙන්නෙත්? උගත් අය වගේම වැඩිහිටියන් ගැනත්, නීතිය සබැඳීව වුණත් මේ අයට තියෙන්නේ පුදුම ගරුසරුවක්. මනුෂ්‍යයකුගේ දුකකදී කරදරයකදී උණු වන තරම් අහිංසක හදවතක් මේ අයට තියෙනවා. මේ අය උපතින්ම නිර්මාණශීලී වගේම ඉහළ යාමේ ආශාවෙන් යුතුයි. ඔවුන් මෙලොවට එන්නෙම හොඳ ආත්ම ශක්තියකුත් එක්කලමයි. තමන් යටතේ ඉන්නා අයෙකුගේ වරදකදී, තමන්ගේ මට්ටමින් ඊට නිසි දඬුවමක් පනවනවා විනා, එක එක බළධාරියාට අභිමත හැටියට තමනගේ මිනිස්සුන්ව තලන්න පෙළන්න වගේ නම් අංක 1 හිමියන් ගෙන් ඉඩක් ලැබෙන් නෑ, කිසිදාකත්.

දේහ ලක්ෂණ පැත්තෙන් බැලුවත් ආකර්ෂණීය කුඩා නෙතු යුවල මේ අයගේ ප්‍රතාපවත් බව වැඩි කරන්න සමත් වෙනවා. ඒ වගේම ගොඩක්ම උස-මහත නැතත් රවි හිමියෝ උසට සරිලන මහතකට වගේම හතරැස් ස්වරූපයේ සිරුරකට හිමිකම් කියනවා. පිරිමින්ගෙන් දිලිසෙන තට්ටයත් හොඳීන් කැපී පේනවා. කාන්තාවන්ගේ වුණත් කොණ්ඩය අඩු වෙනවා. කිරිදරුවන් වගේම අහිංසක හිත් ඇති මේ ඈයෝ හැම වෙලාවකම හිනාවෙලා ඉන්නවා වගෙයි පේන්නේ. නායකත්වය වුවමනා කරන ඕනෑම කටයුත්තකට වගේම පරිපාලනයට මේ අය හොඳීන් ගැළපෙනවා. නිතරම සෘජු තීන්දු තීරණ ගැනීමේ ස්වභාවයත්, තමන් විහින් නඩත්තු කරන ආත්මාභිමානයත් නිසා මේ අයට නිතරම දිවි ගෙවන්නෙ පුදුමාකාර ආතිතයක් මැද්දෙයි. මෙහි කූඨප්ප්‍රප්තිය වෙන්නේ හෘද්‍යාබාධ සම්බන්ධයෙන් අධි අවදානමක මැදිවීමයි. මේ අයගේ සිංහ සෙයියාවෙත්, මූලග්ගායේ ප්‍රතිපල වලට බොහෝ විට අඹු-දරුවන්ට තමයි ගිනි උහුලන්න වෙන්නේ. පවුල තුළ ඇති කරන ආදිපත්‍යවාදී බව නිසා විවාහ ජීවිතයේ ගැටලු පවා ඇති කරන්නත් පුළුවන්.

තවත් සුවිශේෂී කාරණාවක් තමයි, අංක 1 හා 4 අතර ඇති විභේදනය කරන්න බැරි තරමේ සම්බන්ඳයත්. ඒ නිසා 1/4 එකක් හැටියට සලකා තමයි මේ අංක දෙක අර්ථකතනය කරන්න කියන්නෙත්. ඒ කියන විදිහට අංක 1 හෝ 4 ට ගැනෙන අයගේ පෞරුෂ ලක්ෂණ එක්කෝ 50-50 ක් සමානව තියෙන්නත් පුළුවන්. නැත්නම් 06-40 හරි 04-06 හරි පිහිටන්නත් පුළුවන්. අංක 4 කෙනෙක් වුණත් හිරු සේම ප්‍රභාවත් පෞරුෂයක් හිමිනම් එයා බර වෙන්නේ අංක 1ට. අංක 1ක කෙනෙක් වුණත් වැඩක් නෑ, එයා තුළින් අඳුරු ස්වභාවය විතරක් ම ශරීරයෙන් වගේම හුරු අතේ රේඛාවලින් වැඩි වැඩියෙන් ඉස්මතු වෙනවා නම්! ඒ වගේ අවස්ථාවක දී අපට යුරේනස්ගේ අඳුරු සෙවණැලි මිස රවිගේ ප්‍රතාපවත් බව ඒ වගේ කෙනකුගෙන් අපේක්‍ෂා කරන්න නම් බැරි වෙනවා. හිරුගේ දුර්වල ආකර්ෂණයට නතු ඈයෝ යන යන තැන අසාර්ථක වෙවී, බොරු පුරසාරම් ඇද බබා, තමන් නොකළ වැඩ කටයුතුවලින් පවා කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙවී විහිළුකාරයන් හැටියට දිවි ගෙවන ආකාරය හරිම ඛේදණීය වනවා.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk