Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවැසියන්ට සැප දුක දෙන ගස් වැල් මල්

6 days ago 7 Min read
Subha.lk

නිවෙස අලංකාරවත්ව දුටුවන් මන පිනවන අයුරින් තබා ගැනීමට සෑම කෙනකුම දක්වන්නේ මහත් උනන්දුවකි. මේ නිසා ගෙවත්තේ වැවීමට සුදුසු නුසුදුසුකම් නොබලා මල් පැළ, ගස්, වැල් හා පඳුරු රැගෙන විත් සිටුවති. පැල  කරති. ගෙවත්තේ නිවෙස ඉදිරියේ හෝ නිවෙස ආසන්නයේ සුදු පාට, රතුපාට රෝස මල් මෙන්ම කටු සහිත  රෝස හා බෝගන්විලාද සුබ නොවන බව සමහර විට ඔවුහු නොදනිති.

 

නිවෙසේ ප්‍රධාන උළුවස්සට කෙළින් ගසක්, පැළයක් සිටුවීම සුබ නැත. එය හඳුන්වනු ලබන්නේ වෘක්ෂවේද දෝෂයනමිනි. ගෙට ආසන්නයේ මුරුංගා, කතුරුමුරුංගා හෝ කටු සහිත ගස් වැල් තිබීමත් අසුබය. රතුපාට රෝස මල් නිවෙසට අලංකාර වුවත් එය කටු සහිත බැවින් සමගියට බාධා ඇතිවේ. පවුලේ අඬදබර මතභේද නිතර ඇතිවිය හැකිය.

 

රතුපාට මල් නිවෙස ඉදිරියේ වැවීමද සුබදායක නැත. ඉන් සතුරු කරදර මතභේද ඇතිවිය හැකිය. නිවෙස ඉදිරියේ ඊතණ පදුරක් තිබීම සුබය. ඊතණ ගසට දේව බැල්ම ඇතිවේ. නිවැසියන්ට නිරෝගීතාවය ඇතිවේ.

 

අද සමාජයේ බොහෝ දෙනකු යම් යම් ස්ථානවල අලවියට තබා ඇති මල්ගස්, මල් පඳුරු රැගෙන විත් පැළකිරීම  සිරිතක් වී ඇත.

 

රැගෙන එන ගස් නිවෙසේ ප්‍රධාන දොරට කෙළින් හෝ නැතහොත් මල් පෝච්චියක සිටුවා නිවෙස ඉදිරියේ තබති.සමහර මල් ගස්වලට අමනුෂ්‍ය බැල්ම පවා ඇතිවේ.

 

එමෙන්ම යම් යම් රෝගාබාධ මෙන්ම දියුණුවටද බාධා පැමිණේ. දේව බැල්ම නොලැබෙන අතර භූත දෝෂ පවා  ඇතිවේ. නිවෙස ආසන්නයේ කිරි සහිත ගස්, කටු සහිත ගස් සහ ගෙඩි හටගන්නා ගස් සිටුවීමත් සුදුසු නැත.

 

ගෙවත්තට අසුබ ගස්

කිරිහර ගස් සිටුවීමෙන් සිදුවන්නේ නැතහොත් එම ගස් තිබීමෙන් සිදුවන්නේ මිල මුදල් හිඟවීම, පවුලේ අඬදබර ඇතිවීමත් කටුසහිත ගස් එසේ තිබීමෙන් පවුලේ ආරවුල් වියවුල් වගේම දරුවන් අතර ආරවුල් වියවුල් ඇතිවීම  නිමක් නැති රෝගාබාධ නිසා ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවීමක්ද වේ.

 

මේ පිළිබඳව පැරණි පොත්වල මෙසේද සඳහන් කොට ඇත.

 

එරබදු වතුසුදු කතුරු කුරුම් බා

එරඬුද එවරා තල කපු නිම් බා

පෙර දොර ගෙ අසල ඇතිවුව පුම් බා

පුර රදුගේ වත් ඉසුරු කලම් බා

 

සපු නා කිනිහිරි තැඹිලි එරම් බා

එප නා කජු බෙලි දිවුල් කදම් බා

තිබුණා එම ලෙස අරලුද ජම් බා

නිතිනා සවු සිරියාය කලම් බා

 

රතුමල් පිපෙනා ගස් දොරකඩ වැවෝති නා

හැම කල් පැමිණේය රජ බිය නොසිතූ මෙනා

වියවුල් කටුගසින් ගව බිය කිරි ගසි නා

එබුල් ගසින් ගෙය බිදුම්ද කිවු පෙර නා

 

නිවෙසකට ඇතිවන යම් යම් දෝෂ නිසා නිතර නිතර ආරවුල් වියවුල් ඇතිවීමට මූලික වන අතර ගස් සඳහා ඔබේ අවධානය යොමු කළ යුතුව ඇත. ගෙවත්තේ මිදුලේ රත්මල් පඳුරක් අන්නාසි පඳුරක් මෙන්ම කිරි සහිත අරලිය  මල් ගසක් තිබීම බොහෝ කරදරවලට මුහුණ පෑමට සිදුවේ. මේ හේතුන් නිසා අඹුසැමි අඬදබර, දරුවන් හා  අනෙකුත් අය අතර නොසන්සුන්තා, නිමක් නොමැති ලෙඩ රෝගවලින්ද දුක් කරදර සිදුවේ. සමන්පිච්ච මෙන්ම දෙළුම්ගස්ද සුවදායකය. මිදුලට සුවඳවත් බවක් ලබාදෙන ඉන් මිහිරි සුවඳක්ද පැතිරේ. ඉන් ගෙමිදුලට අලංකාර  ගතියක්ද ඇතිවේ.

 

ඖෂධීය වශයෙන්ද ගෙමිදුලෙහි වැවිය හැකි ගස් බොහෝය. නිවෙස ඉදිරිපිට විශාල අතු සහිත නුග, බෝ, මාර  වැනි ගසේ තිබේ නම් එම ගස්වල බලපෑමෙන් නිවෙස තුළට යක්ෂ, පේ‍්‍රත ආදි අමනුෂ්‍ය දෝෂවලින් කරදර ඇතිවිය හැකිය. නිවැසියන් නින්දෙන් භයවීම අඳුරු වැටෙන විට නිවෙසෙන් දුගදක් දැනීම ඇතිවිය හැකිය. බෙලිගස  නිවෙස අසල වැවීම හෝ තිබීම සුබදායක නොවේ. බෙලිගස දේව බලයක් ඇති ගසකි.

 

පුලිල දෙළුම් සැම හෝ පලු දොඹ සපු ද

පළොල මුහුණ මල් මිදිවැල් ද බදුව ද

පියල කොසඹ පුවකුත් පොල් බෝලිද් ද

පතල පනස නෙල්ලිද සීනුක් අඹ ද

 

නෙළුම් සමන් මහනෙල් සාදික්කා ද

දොඩම් කෙසෙල් සහ සුවඳැති වැටකේ ද

වැවුම් කළහොතින් ගෙමිදුලෙහි රිසි ලෙ ද

නොහිමි සිරි සැපත නිරෝ බැව් ලබයි සො ඳ

 

සමහර ඉපැරැණි පොත්පත්වල ගෙමිදුලෙහි නිවෙස ඉදිරිපිට ගස් තිබීම හා ගස් වැවීම ගැන විස්තර කර ඇත.

 

ඒ සමහර සටහන්වල කෙසෙල් ගෙමිදුලේ වැවීම නුසුදුසු බව සඳහන් වේ.

 

කිරි ලැබෙන ශාකයක් වන කොස් සහ අඹ වැනි ගස් ගෙවත්තේ පිටුපස කොටසකට වඩාත්ම සුදුසු වේ.

 

කොසඹ ගස ඉතාම සුබ ගසකි. කොසඹ ගසින් දොස් දුරුවේ. බෝවන රෝගවලට ප්‍රබල ඖෂධයක් ලෙස ගණන් ගැනේ. කොසඹ ගසේ සුවඳ නිවෙසට මෙන්ම අවට පරිසරයට පැතිරයාම ඉතාම සුවදායකය.

 

දිසාවලට ගැළපෙන ගස්

 

නුගය පෙරදිගට දකුණට දිඹුල් ගස

ඩෙබර සොමිදිගට වරුණට එ බෝ ගස

සොඳය හැම කලට වැවුමට මෙකී ලෙස

සැපය සිතු ලෙසට වේ සහ හැම දවස

 

නිවෙසක් ඉදිරිපිට ගෙවත්තක පැළයක් සිටුවීම ගසක් හෝ පඳුරක් සිටුවීමේදී ඉන් ඇතිවන හොඳ නොහොඳ  පිළිබඳව සොයා බලන බව අදටත් ගම්බද ජනතාව තුළින් දැන ගන්නට ඇත. විශේෂයෙන් ප්‍රයෝජනවත් ඵලදාව ඇති ගස් සිටුවීමේදී දිසාව සහ සිටුවිය යුතු සුබ නැකැත බැලීමත් සිදු කෙරේ. ජනප්‍රවාදයෙන් දැනගන්නට  ලැබෙන්නේ අතීතයේ හොඳ නොහොඳ වගේම ඇතිවන විපත් ගැනත් සොයා බලා ගස් වැල් පඳුරු සිටුවා ඇති බවයි.

 

කනේරු, නියඟලා මල් ඉතාම සුන්දරට ලස්සනට වැවෙයි. ඒත් කනේරු වගේම නියඟලාද විෂ සහිත මරණය  ගෙන දෙන මල් වැල් වේ. නියඟලා මල ලස්සනට වර්ණවත්ව පවතී. එය නිවෙස ඉදිරිපිට හෝ ගෙවත්තේ වැවීම නොකළ යුතුය. විෂ සහිත මල් ගස්වලින් වඩාත්ම විපත්ති ගෙන දෙන්නේ දරුවන්ටය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk