Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මානසික රෝග කේන්දරයෙන් හඳුනාගනිමු

2 weeks ago 7 Min read
Subha.lk

අතීත සමාජයට වඩා වර්තමාන සමාජයේ මානසික රෝගවලට ගොදුරු වන ජන සංඛ්‍යාව ඉහළය. එසේ වර්තමාන සමාජයේ මානසික රෝගීන් වැඩිවීමට හේතු වන ප්‍රධාන කාරණා 04ක් ඇත.

ඉන් පළමුවැනි කාරණය නම් මත්ද්‍රව්‍ය භාවිතයයි. දෙවැනි කාරණය නම් ස්වභාව ධර්මයෙන් ඈත්ව කෘත්‍රිම පරිසරයක ජීවත්වීමයි. තෙවැනි කාරණය නම් වේගවත් ජීවන රටාව නිසා ඇතිවන මානසික පීඩනයයි. සිව්වැනි කරුණ නම් ආගම ධර්මය කෙරෙන් ඈත්ව ජීවත්වීමයි.

ඉහත කී කාරණා සහ මෙහි සඳහන් නොකළ අනෙකුත් කරුණු හේතුකොටගෙන වැලඳෙන විවිධ මානසික රෝග කෙනකු උපත ලබන වේලාවට අනුව ගොඩනඟන ලද ජන්ම පත්‍රයක් මඟින් හඳුනාගත හැකිය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ලග්න කේන්දරයක හිස නිවේදනය කෙරෙන ලග්නය සහ එහි අධිපතින් සිත නිවේදනය කෙරෙන සඳු සහ සිව්වැන්නත් එහි අධිපතීන්, තාර්කික බුද්ධිය නිවේදනය කෙරෙන 5 වැන්න සහ එහි අධිපති සහ තාර්කික බුද්ධියට කාරක බුධ යන සාධකයන් ඇතුළු මිථුන, කන්‍යා, ධනු, මීන යන ඥාණ කාරක රාශිවල අධිපතින් වන බුධ, ගුරු යන ග්‍රහයන් 6, 8, 12 යන දුෂ්ට භාවාධිපතියන් 22 වැනි දෙර්කාණාධිපති, බාධක ස්ථානාධිපති 64 වැනි නවාංශකාධිපති හෝ රවි, කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාපින් වැඩි දෙනකුගේ දෘෂ්ටියෙන් හෙබි සංයෝගයෙන් පීඩා වූ කල එවන් ග්‍රහ පිහිටීම් ඇති ජන්මීන් මානසික රෝගීන් බවට පත් වන්නේය.

දැන් අපි ඉහත විග්‍රහ කළ කරුණු පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට උදාහරණ කේන්දරයක් වෙත අවධානය යොමු කරමු.

අංක 01 උදාහරණ කේන්දරය අයත් වන්නේ මානසික රෝගියකුගේ එම වෘශ්චික ලග්න කේන්දරයේ මුළු මහත් ජන්මියා පිළිබඳ කරුණු නිවේදනය කෙරෙන භාවයක් මෙන්ම සාමාන්‍ය බුද්ධිය ගැන කරුණු හෙළිදරව් කෙරෙන ලග්නයේ අධිපති අඟහරු දුෂ්ට භාවයක් වන 6වැන් වූ මේෂයේ ස්වක්ෂේත්‍රව, ගජ කේෂර මෙන්ම, හර්ෂ නම් විපරිත රාජ යෝගය උදාකරමින් බලවත්ව සිටියත්, 9 වැන්නෙහි සතුරුව සිටින බුද්ධිකාරක බුධ සමඟ යෝග වූ සතුරු සිව්වැන්නාධිපති සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය 6වැන්න යාමක් රෝග ස්ථානයේ සිටින ලග්නාධිපති අඟහරුට වැටීම ජන්මියා මානසික රෝගියෙක් බව ඉඟි කෙරෙන ග්‍රහ බලයකි. නමුත් මෙහිදී ස්ථිර වශයෙන්ම ඉහත වෘශ්චික ලග්න කේන්දර හිමියා මානසික රෝගියෙකු යැයි නිගමනයකට එළඹීමට සඳු ග්‍රහයාගේ බල දුබලතා ගැන පිරික්ෂා කර බැලිය යුතු වන්නේ ය. ඒ අනුව කරුණු පරීක්ෂා කර බලන කල සඳු ග්‍රහයා බුද්ධිය ගැන නිවේදනය කෙරෙන භාවයක් වන 5 වැන්නෙහි රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩාවීම, සඳු ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති බුධගේ නැකතක, එනම් රේවතී නැකතේ 3 වැනි පාදයේ ශනිට අයත් කුම්භ නවාංශකයේ පතිතව සිටියි. මෙකී සඳු තැන්පත් නවාංශක සහ නැකැත් අධිපතින් වන බුධ සහ ශනි ලග්න කේන්දරයේ සතුරුව සිටින හෙයින් ඉහත වෘශ්චික ලග්න කේන්දර හිමියාට මානසික රෝගියකු යැයි ස්ථිර නිගමනයකට එළැඹිය හැකිය.

දැන් අපගේ අවධානය දෙවැනි උදාහරණ කේන්දරය වෙත යොමු කරමු.

ඉහත ලග්න කේන්දරය අයත් වන්නේ කාන්තාවකටය. ඒ අනුව එම ධනු ලග්න කේන්දරයෙහි සාමාන්‍ය බුද්ධිය ගැන කරුණු හෙළිදරවු කෙරෙන භාවයක් වන ලග්න අධිපති ගුරු තමාට සතුරු රැසක් වන 7 වැන්න වූ මිථුන රාශියෙහි තැන්පත්ව සෙනසුරුගේ සප්තම දෘෂ්ටියට ලක්ව රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පාපකර්තරිත යෝගයකට මැදිව පාප පීඩිතව සිටියි. එය මානසික රෝගියකු බව ඉඟිකරන ග්‍රහ පිහිටීමකි. මෙහිදී මෙකී ගුරු සිත ගැන කරුණු හෙළිදරව් කෙරෙන 4 වැන්න වූ මීන රාශියෙහිත් අධිපති වන නිසා ලග්නය මෙන්ම සිව්වැන්නත් පීඩා වී ඇත. මෙහිදී මෙකී කේන්දර හිමිකාරිය ස්ථිර වශයෙන්ම මානසික රෝගියකු යැයි නිගමනය කිරීමට 5 වැන්න එහි අධිපති සඳු සහ බුධ යන ග්‍රහයන්ගේ බල දුබලතා පරික්ෂා කර බැලිය යුතුය. ඒ අනුව කරුණු පරික්ෂා කර බලන කල 5 වැන්න වූ මේෂ රැස රාහු, කේතුගේ කේන්ද්‍රීය දෘෂ්ටියෙන් සහ 3 වැන්නේ සිටින සතුරු රවිගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වී ඇත. එහි අධිපති අඟහරු දෙවැන්න වූ මකරයේ උච්චව ඇතත් රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වී රවි ශනි යන පාප ග්‍රහයන්ට මැදිව පාප කර්තරී යෝගයකට මැදිවීමෙන් පීඩා වී ඇත. 5 වැන්නට කාරක බුධ ග්‍රහයා 3 වැන්නේ සතුරු රවිට අස්තව ලග්නයේ සිටින ශනිගේ පූර්ණ දෘෂ්ටියට ලක්ව පීඩාවී ඇත. අවසාන වශයෙන් සිව්වැන්නට කාරක සඳුගේ බල දුබලතා පරික්ෂා කර බැලිය යුතුය. දෙවැනි දෙර්කානාධිපති සඳු 10 වැන්නෙහි මාන්දි සමඟ සිටීමෙන් සහ තෙවැන්නෙහි සිටින සතුරු රවිට අස්ත වූ බුධගේ පූර්ණ දෘෂ්ටියෙන් මෙන්ම 2 වැන්න වූ මකර රැසෙහි සිටින රාහුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වී ලග්න කේන්දරයේ සතුරු වූ රවිට අයත් නවාංශකයක තැන්පත් ව සිටියි. සඳු පාපපීඩිත වීමත් 22 වැනි දෙවැනි දෙර්කාණාධිපති වීමත් යන කරුණුවලින් පැහැදිලි වන්නේ ඉහත කේන්දරයේ මානසික රෝග ඇති කරන අනෙක් ග්‍රහයන්ට වඩා සඳු අතිශයින්ම දුර්වලව පාප පීඩිත වී ඇති බවයි. ඒ අනුව ඉහත විග්‍රහ කළ පරිදි ධනු ලග්න කේන්දරයේ මානසික රෝගවලට සම්බන්ධ සියලුම ග්‍රහයන් සහ භාව පීඩා වී ඇති හෙයින් අපට ඉහත ධනු ලග්න කේන්දරය හිමි කාන්තාව මානසික රෝගියකු යැයි ස්ථිර නිගමනයකට එළැඹීය හැකි වන්නේ ය.

ඉහත උදාහරණ කේන්දර දෙකෙන් අපට පැහැදිලිව විද්‍යමාන වන තවත් කරුණක් වන්නේ ලග්න කේන්දරයක මානසික රෝග ඇතිවීම කෙරෙහි බලපාන 1, 4, 5 යන භාව සහ එහි අධිපතියන්ට වඩා සිතට කාරක නැතිනම් සිතුවිලිවලට කාරක සඳු සහ තාර්කික බුද්ධිය කාරක සඳු පීඩාවීම මානසික රෝග ඇතිවීම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන බවයි. ඒ පිළිබඳව කරුණු විමසා බලන කල පළමු උදාහරණ කේන්දරයේ බුධ 22 වැනි දෙර්කානාධිපතිව පාප පීඩිත වී ඇති අතර සඳු එම 22 වැනි දෙර්කාණාධිපති බුධ අයත් රේවති නැකතේ 3 වැනි පාදයේ පතිතව ඇත. දෙවෙනි උදාහරණ කේන්දරයේ බුධ 64 වැනි නවාංශකාධිපති පාප පීඩිත වී ඇති අතර, සඳු 22 වැනි දෙර්කාණාධිපතිව පාප පීඩිත වී ඇත. ඒ අනුව කේන්දරයක් අතට ගත් හැටියේ සඳු, බුධ යන ග්‍රහයන් පාප පීඩිත වී සිටියදි එකී සඳු, බුධ යන ග්‍රහයන් 22 වැනි දෙර්කාණාධිපති හෝ 64වැනි නවාංශකාධිපති වී සිටියදී බුධත් 22 වැනි දෙර්කාණාධිපති හෝ 64 නවාංශකාධිපති වී ඇත්නම්, ජන්මියා මානසික රෝගයකින් පීඩා විඳින බවට කිව හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk