දිගු නිල් කෙස් කලඹක් හිමි කරදෙන ග්‍රහයෝ

අඩ සඳවන් නළල, දේදුනුවන් දෙබෑම, කොඳ කැකුළුවන් දත් කොපමණ තිබුණත් ලතාවට වැටුණු කාල වර්ණ දිගු කෙස් කලඹක්, කාන්තාවක් සතු නොවේ නම් එය ඇයගේ රූප ශෝභාවට අඩු පාඩුවකැයි බමුණන් සිතති. සමහර කාන්තාවෝ තම කේශ කලාපය වෙනුවෙන් දස දහස් ගණන් මුදල් වැය කරති. තමා බලාපොරොත්තු වන පරිදි දිගු කෙස් කලඹක් ලබා ගැනීමට නොහැකිව දුක්වෙති. දිගු හුරු බුහුටි ලස්සන කෙස් කලඹක් ලැබූ අය වාසනාවෙන් පිරුණු ළඳකි. එවැනි අය විවාහ කර ගැනීමට බොහෝ අය කැමැත්තෙන් සිටිති. කාලවර්ණයෙන් යුතු රැලි ගැසුණු දැකුම් කළු කෙස් කලඹක් ඔබට ලබා ගැනීමට ඉවහල් වන ග්‍රහ බලය කෙබඳුදැයි විමසා බලමු.
වෘෂභ, මකර, කටක, වෘශ්චික, මීන යන ලග්නයකින් උපත ලබා ලග්නාධිපතියා ත්‍රිකෝණගතව සිටියදී ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබුවහොත් ඇගේ කේශ කලාපය ඝන කෙස් කලඹක් ලෙස දැකිය හැකිය.
සඳු හෝ කිවි ලග්නයේ සිටියදී මේෂ හෝ ධනු ලග්නයෙන් උපත ලැබුවේ නම් එම කෙස් රැළි සහිතය. තරුණ වයසේ අඟහරු මහ දශාව ලැබුවොත් එම කේශකලාපය තව තවත් හැඩ වැඩ වනු ඇත. ලග්නාධිපති 5 වැන්න, 7 වැන්න, 9 වැන්න, 11 වැන්න යන භාවයක සිටියදි බ්‍රහස්පතිගේ හෝ සඳුගේ දෘෂ්ටියට ලක්වූවානම් දිගු කෙස් කලඹක් ලබා ගැනීමේ භාග්‍යය ඇය උපතින්ම හිමිකර ගනී.
ලග්නාධිපති හා 5 වැන්න අධිපති සංයෝගව ලග්නයේ හෝ 7 වැන්නේ සංයෝගව සිටීමෙන් ලස්සන කෙස් කලඹක් ලැබීමේ භාග්‍යය හිමිකර ගනී. සිකුරු බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානවල සිටියදී පුර පක්ෂයේ සඳු හා ගුරු දෘෂ්ටියට ලක්වීමෙන් අලංකාර කේශ කලාපයක් ලැබේ.
කේශ කලාපයට හානි කරන ග්‍රහබල කවරේදැයි දැන් අපි විමසා බලමු. කටක රාශිය ලග්නය වී එහි කේතු සමඟ කුජ සංයෝග බලවත් පාපීන්ගේ දෘෂ්ටියට ලක්වූවේ නම් තරුණ වයසට එළඹීමට පෙර සිටම පැසීමටත් ගැලවීයෑමටත් බලපානු ඇත. ධනු හෝ මීන ලග්නයෙන් උපත ලබා ලග්නාධිපති ගුරු 2 වැන්න 3 වැන්න 8 වැන්න සිටි නම් තරුණ වයසේදී හිසකෙස් දිගට පිහිටා තිබුණත් ඉතා කෙටි කලකින් කෙස් ගැලවී තට්ටය පෑදීමට බලපානු ඇත. ධනු, කුම්භ, මිථුන රාශියක කුජ සිටියදී සිකුරුගේ අශුභ දෘෂ්ටියට ලක්වීමෙන් අකලට කෙස් ගැළවී යනු ඇත. තරුණ වයස එළඹීමත් පෙර කුජ ලග්නයේ සිටි නම් කේශ කාලවර්ණය අඩු කෙරේ.
කන්‍යා, වෘෂභ, කටක, මකර, මීන, වෘශ්චික ලග්නයකින් ඉපදි ලග්නයේ කුජ ශනි සංයෝගය වූවානම් කාල වර්ණ දුර්වල කොට තඹ පැහැයට කෙස් හැරෙනු ඇත. ධනු ලග්නයෙන් උපත ලැබ රවි මේෂ රාශිය වූ 5 වැන්නේ සිටීමෙන් කෙස් අකීකරුව හැඩ ගැසෙන අතර තමාට වුවමනා අයුරින් සකස් කර ගැනීමට අපහසුවනු ඇත. “කෙස් කලඹ” ලස්සන හෝ අවලස්සන වීමට මෙවැනි ග්‍රහයෝග සමත්වනු ඇත.
Advertisements


