කේන්දරවල යෙදෙන සැඟවුණු රාජ යෝග

ඕනෑම ජන්මියකුගේ කේන්දරයක ග්‍රහයෝග දක්නට ලැබේ. මේ අතරින් කලාතුරකින් යම් ජන්මියකුගේ කේන්දරයක විශේෂ රාජ යෝග පිහිටා ඇති අන්දම දක්නට ලැබේ. මේ කාල සීමාවේද රාජ යෝග පිළිබඳ වැඩි වශයෙන් කතා බහට බඳුන් වන ආකාරය ද දක්නට ඇත. එනිසා රාජයෝග පිළිබඳ වැඩිදුරටත් විමර්ශනාත්මක විග්‍රහයක යෙදීම මේ ලිපියේ අරමුණ වෙයි.
විශේෂයෙන්ම රාජ යෝගයක් යෙදුණු විට ජන්මියාගේ වැදගත් බව පුද්ගල පෞරුෂය නිතැතින්ම ඉහළ නැංවේ. මේ රාජ යෝගවල තත්ත්වය එකී ජන්මියාගේ විවිධ ග්‍රහචාරයන් මත රදා පවතින බව කිව යුතුය. ජන්මියකුට තම සාර්ථකත්වය උපරිමයෙන් ලැබීම සඳහා රාජ යෝගයන්හි බලපෑම ඉවහල් වෙයි. එනිසා රාජ යෝග පිළිබඳ හඳුනාගැනීම වැදගත් වෙයි.
කේන්ද්‍ර ස්ථාන හා ත්‍රිකෝණ ස්ථාන මඟින් පැන නඟින රාජයෝග
කේන්ද්‍රයක, 1,4,7,10 යන කේන්ද්‍රස්ථානයක අධිපතියකු හා 5, 9 යන ත්‍රිකෝණස්ථානයක අධිපතියකු එකට එක් වී සිටින්නේ නම් එය රාජ යෝගයකි. මෙය විෂ්ණු ලක්ෂ්මී යෝගය ලෙසද සලකයි. මෙහිදී එම දෙදෙනා සංයෝගවීම ම පමණක් නොව කවර ආකාරයෙන් හෝ සම්බන්ධයක් ඇත්නම් ඒ අනුවද මේ යෝගය යෙදෙයි. මේ සම්බන්ධව ක්‍රම තුනකට යෙදිය හැකිය.
1. මේ කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති ග්‍රහයෝ එක් භාවයක සිටීම.
2. මේ ග්‍රහයෝ අන්‍යෝන්‍ය දෘෂ්ටියෙන් දැකීම.
3.එකී භාවාධිපතියන් දෙදෙනා ස්ථාන මාරු කර ගෙන සිටීම.
මේ ක්‍රම තුනෙන් කුමන ආකාරයක යෙදුණත් එය යහපත් බලපෑමක් ලෙස සැලකේ.
අවධාරණයෙන් දත යුතු කරුණක් නම් මේ කේන්ද්‍රස්ථාන ත්‍රිකෝණ ස්ථාන අධිපතියෝ එකට එක් වී සිටින්නේ නම් ඔවුහු එවැනිම සුබ ස්ථානවල සිටින තරමට යහපත් ප්‍රතිඵල ලැබෙන බවයි. මේ භාවාධිපතියෝ 6, 8, 12 ආදී ස්ථානයක සිටින්නේ නම් එම ප්‍රතිඵල කිසියම් ප්‍රමාණයකින් ඌණතාවයකට පත්වේ.
එහෙත් මුළුමනින්ම දුර්වලත්වයක් ගෙන නොදේ. අප දැක ඇති හැටියට එවැනි ස්ථානයක සිටියත් පෙර සඳහන් කළ කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති යෝගයේ ප්‍රතිඵල නොදී සිටින්නේ නැත. එහි අඩුවක් සිටින්නේ නොමැත. එහි ප්‍රතිඵල ගෙන දේ. මෙලෙස කේන්ද්‍ර හා ත්‍රිකෝණ අධිපතියන් අතර පවත්නා සංයෝග මත රාජ යෝග යම් ප්‍රමාණයක් සෑදිය හැකිය.
ඒ අනුව, ලග්නාධිපතියා 04, 05, 07, 09, 10 අධිපතියන් සමඟ සංයෝග වීම, 04 අධිපතියා 05, 09 සමඟ හෝ 07 හෝ 10 අධිපති සමඟ 05 අධිපති සංයෝග වීම 07 අධිපති සහ 09 අධිපති සමඟ යෝගවීම, 09 අධිපති 10 අධිපති සමඟ සංයෝග වීම වැනි යෝග දැක්විය හැකිය.
ආත්මකාරක හා අමාත්‍යකාරක යන දෙදෙනා එකට එක් වී යෙදෙන විශේෂ රාජ යෝගයක්
මේ රාජ යෝගය හඳුන්වා ඇත්තේ ආත්මකාරක හා අමාත්‍යකාරක යන දෙදෙනා එකට එක් වී සිටීමෙන් යහපත් බලයක් ජන්මියාට උදා කරන බවයි. මේ යෝගය ඇති පුද්ගලයා, ගෞරවය, කීර්තිය, ප්‍රසිද්ධිය ඇති සමාජයේ වටිනාකමක් පවතින විශේෂ නමක්, තැනක් ඇති අයකු බවට පත්වේ. ඔහුගේ වෘත්තීය කටයුතුවලදී සමාජයේ, රටේ ප්‍රසිද්ධියක් ඇති කර ගනී. නම කියූ පමණින් බොහෝ දෙනා දන්න අයෙක් බවට පත්වේ. මෙහිදී ආත්මකාරකයා කවරෙක් දැයි මුලින් තේරුම් ගත යුතු ය.
ආත්මකාරකයා යනු කේන්දරයේ වැඩිම අංශක ගණනක් ගත කළ ග්‍රහයා වේ. කවර හෝ ග්‍රහයකු වැඩිම අංශක ගණනක් ගතකොට ඇත්නම් එම ග්‍රහයා ආත්ම කාරකයා වෙයි.
අමාත්‍යකාරක ආත්මකාරක ග්‍රහයාට වඩා අඩු වශයෙන් අංශක කලා ගණනත් ගතකර ඇති ග්‍රහයායි. මේ ග්‍රහයෝ දෙදෙනා එකම රාශියක සිටීනම් එය රාජ යෝගයක් ලෙස පොත පතේ දැක්වේ.
ඒ අනුව එම පුද්ගලයා කිසියම් වාසනාවකින් යුක්ත අභිමානවත් අයකු බවට පත් කරනු ඇත. මෙහිදී සාමාන්‍යයෙන් පිළිගන්නා කාරක ක්‍රමය නොව චර කාරක ක්‍රමය මත මෙසේ සඳහන් කරන බව දත යුතුයි. පොදු ඡ්‍යොතිෂයෙහි ආත්ම කාරක යනු රවිය. මෙය ඊට අදාළ නැත.
මේ චර කාරක න්‍යාය බොහෝ සෙයින් මෙයට වැදගත් වේ. ජෛමිණි ඡ්‍යොතිෂය පරිදි මේ චර කාරක න්‍යාය වැදගත් කොට සැලකේ.
මේ න්‍යායන් භාවිතයට ගනිමින්, පස්වැනි තැනට වැඩි අංශක ගණනක් ඇති ග්‍රහයා සහ පළවෙනි තැනට වැඩි අංශක ගණනක් ඇති ආත්ම කාරකයා එක ස්ථානයක සිටියි ද එමෙන් ම, ලග්නාධිපතියා හා පහ අධිපතියා එකට එක් වී සිටී ද එවිට රාජයෝගයක් යෙදෙන බව දැක්වේ. මේ යෝගයෙන් යුතු පුද්ගලයා බලය, සෞභාග්‍යය ඇති, තෘප්තිමත් භාවයෙන් යුතු අයකු බවට පත්වන්නේ යැයි සඳහන් වෙයි.
නවවැන්නාධිපතියා හා චර ආත්මකාරකයා ගෙන් යෙදෙන තවත් රාජයෝගයත්
9 වැන්නාධිපතියා හා චර ආත්මකාරකයා යන දෙදෙනා ලග්නයේ වේද නැතහොත් 5 වැන්නේ හෝ 7 වැන්නේ වේද සුබයන්ගේ දෘෂ්ටියට ලක්වේද එය බලවත් රාජයෝගයකි. මෙය බොහෝ සෙයින් වැදගත්කමක් ඇති රාජයෝගයක් සේ සැලකුවාට කම් නැත.
කේන්ද්‍රයේ භාග්‍ය ස්ථානය 9 වැන්නයි. මේ අනුව 9 වැන්නාධිපතියා ආත්ම කාරකයා සමඟ එක් වී ලග්නයේ 5, 7 සිටියි නම් ප්‍රතිඵල වඩ වඩාත් උද්දීපනය වෙයි.
මෙවැනි අවස්ථාවක සුබයන්ගේ දෘෂ්ටියට ලක්වීමෙන් යහපත වර්ධනය කරන්නේ ය. ජෛමිණී ඡ්‍යොතිෂය හා පරාශර ඡ්‍යොතිෂය ඒකාබද්ධ කරමින් යෙදී ඇති මේ යෝගය සාමාන්‍යයෙන් ඡ්‍යොතිෂඥයන්ගේ අවධානයට යොමු වී නැතත් මෙය සුවිශේෂ විමර්ශනයට ලක් කළ යුතු යෙදුමක් වේ.
විපරීත රාජ යෝගය
උත්තර කාලාමෘතය ලියූවේ කාලිදාස පඬිවරයාය. කාලිදාස පඬිවරයා මේ විපරීත රාජ යෝග පිළිබඳ සවිස්තරාත්මකව දක්වයි.
1. 6 අධිපතියා 6, 8, 12 හේ සිටීනම් එය හර්ෂ යෝගයයි.
2. 8 අධිපතියා 8, 6, 12 සිටී නම් ඒ සරලා යෝගයයි.
3. 12 අධිපතියා 12, 6, 8 සිටී නම් ඒ විමල යෝගයයි. මේ තිදෙනාම එකට එක් වී සිටීම හෝ අන්‍යොන්‍ය වශයෙන් ස්ථාන මාරු කරගෙන සිටීම යෙදී ඇත්නම් එය මේ යෝග තුනෙන්ම උත්පාද වී ඇති විපරිත රාජ යෝගය වේ. මේ විපරිත රාජයෝගයෙන් උපන් අය දේශපාලනයේ නියුතු නම් රාජ්‍ය බලය ලබති. ව්‍යාපාරවල නියුතු නම් ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයෝ වෙති. කිසියම් විදියකින් ලේඛන, ප්‍රකාශන, දේශන හෝ ශාස්ත්‍රිය අංශයක නියුතු නම් ඒ අංශයෙහි ප්‍රවීණත්වය ලබයි. තමා නියුතු වනුයේ කුමන අංශයක ද ඒ අංශයෙන් නමක් නැතත් ප්‍රසිද්ධියක් ගෞරවයක් ලබා ඉහළ මට්ටමට පත්වේ. එම ක්ෂේත්‍රයේ අනෙක් අයට වඩා ඉහළින් ගේ දොර, ඉඩකඩම්, යානවාහන, වස්තු සම්පත් ඇති කිසියම් වටිනා තැනක් හිමිකර ගන්නා අයකු බවට පත්වන්නේය.
Advertisements


