Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනුහස් ගෙනෙන දුර්ලභ යෝග

1 month ago 7 Min read
Subha.lk

අංගුල යෝගය

ලග්න කේන්දර පරීක්ෂා කරන කල කලාතුරකින් ජන්ම පත්‍රයක දක්නට ලැබෙන යෝගයක් ලෙස අංගුල යෝගය හඳුන්වාදිය හැකිය.

අංගුල යෝගය ලග්න කේන්දරයක යෙදෙන අන්දම විමසා බලමු.

කේන්දරයේ පස්වැන්න අධිපතියා සිටින නවාංශකය අධිපතියා උච්චව රාශියක යෙදීමත්, එහි බුධ සහ දහවැන්න අධිපතියා යෙදීමත් මේ යෝගය ඇතිවීමට හේතු වේ.

අංගුල යෝගයෙන් උපන් තැනැත්තෙක් නම්, ඔහු හෝ ඇය ධනවත්ය. හැමවිටම තරමක් අහංකාරත්වයෙන් ද යුතු ය. අංගුල යනු සිරුරේ රැස්විහිදීම ලෙසද අර්ථ දැක්විය හැකිය. එනිසාම අංගුල යෝගය යෙදුණු ජන්මියා පිළිවෙළට, ලස්සනට, අලංකාරයෙන් යුතුව සිටීමට හැමවිටම උත්සාහ දරනු ඇත. අලංකාරත්වයෙන් යුතු ඇඳුම් පැලඳුම් නිතැතින්ම මේ යෝගය යෙදුණූ ජන්මියාට හිමිවේ. නිතර ආභරණ පැලඳීමට, මිලදී ගැනීමට කැමැතිය. ඉඩකඩම් ද යානවාහන ද නිතැතින්ම හිමි වේ. එලෙසම කෘෂිකාර්මික ව්‍යාපාර අංශයෙන් ද ඉහළට ගමන් කිරීමට මෙකී යෝගය යෙදුණු ජන්මීන්ට වාසනාව ගෙන දෙනු ඇත.

විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන ජන්මියකු නම් ඔහුට ගවයින්, එළු, බැටළු, කුකුළු ආදි කෘෂිකර්මයට ප්‍රයෝජනවත් සතුන්ගෙන් අඩුපාඩුවක් නොවනු ඇත.

ඔවුන්ගෙන් කිරි, බිත්තර, මස්මාංශ හිමි වනු ඇත. ආදායම් ද ලැබෙනු ඇත. එලෙසම අංගුල යෝගය යෙදුණු ජන්මීන්ට සොරසතුරු උවදුරු ඉතාම අවම වනු ඇත. සොර සතුරන් මෙන්ම තමා හමුවට එන සියලු අභියෝග මඬිමින් ඉදිරියට ගමන්කිරීමට වාසනාව උදාවනු ඇත. තවද විශාල ගොඩමඩ ඉඩකඩම් හිමිකර ගැනුමට ද මොවුන් වාසනාවන්ත වනු ඇත. කුඹුරු, වතුපිටි ගස්වැල් මඟින් ආදායම් ලැබීමට වාසනාව ඇති බව පැවසිය යුතුය. එහෙත් අංගුල යෝගය යෙදුණු ජන්මීන් මධ්‍ය ආයුෂ වලඳන බවද කිවයුතුව ඇත.

මොවුන් නිතරම විෂ්ණු දෙවි පිහිට පැතීමට, දුගී මගී යාචකයන්ට දන්දීම, සතුන්ට ආහාරපාන ලබාදීම කළ යුතුය. දැහැමිව දිවිපෙවෙත ගෙවීමෙන් දීර්ඝායුෂ ලැබීමේ භාග්‍යය හිමිවේ.

 

අමෝඝ යෝගය

අමෝඝ යෝගය ද කේන්දරයක කලාතුරකින් දක්නට ලැබෙන යෝගයකි. මෙකී අමෝඝ යෝගය යෙදුණු තැනැත්තා ද වාසනාවන්තයකු ලෙස ඡ්‍යොතිෂයේ හැඳින්වෙයි.

අමෝඝ යෝගය ජන්ම පත්‍රයක යෙදීමට නම් පහත සඳහන් ග්‍රහ පිහිටීම් එකී කේන්දරයේ තිබිය යුතුය. ඔබගේ ජන්ම පත්‍රයේත් අමෝඝ යෝගය යෙදී ඇත්දැයි විමසා බලමු.

ජන්ම පත්‍රයක ග්‍රහයන්ගෙන් සුබ ග්‍රහයන් බහුතරයක් උච්චව, මූල ත්‍රිකෝණව හෝ ස්වක්ෂේත්‍රව, මිත්‍රක්ෂේත්‍රව සිටින්නේ නම්, එවිට අමෝඝ යෝගය යෙදෙයි.

අමෝඝ යනු සඵල හෙවත් සාර්ථකත්වය යන්නයි. අමෝඝ යෝගයෙන් උපන් ජන්මියා උපතින්ම වාසනාවන්තයකු බව ඡ්‍යොතිෂයේ සඳහන් වේ. දීර්ඝායුෂ හිමි ඔවුහු ධනයෙන් අගතැන්පත් වූවන් වේ. රාජ්‍ය අනුග්‍රහය මත රැකිරක්ෂාවල නියැළෙන ඔවුන් ව්‍යාපාර සාර්ථකව සිදුකර ගනු ලබයි.

නිතරම විනෝදජනක කටයුතුවල නිරත වීමට කැමැති ඔවුන් යහපත් කල්ක්‍රියාවෙන් යුතුව කටයුතු කරනු ලබයි. අන්‍යයන්ට ද උදව් උපකාර කිරීමට නිතැතින්ම පෙලඹෙන ඔවුන් කාරුණික අය වේ.

 

ඉෂ්ට ඵල යෝගය

ඉෂ්ටඵල යෝගය යමෙකුගේ කේන්දරයක යෙදීමට නම් එකී ජන්මියාගේ කේන්දරයේ 3,6,9,12 යන ස්ථාන ශුභ ග්‍රහයන්ගෙන් සැදුම්ලත් විය යුතුය. 3,6,9,12 යන ස්ථාන අපෝක්ලිම ස්ථාන ලෙස හඳුන්වනු ලබයි. මේ යෝගය ද බොහෝ කේන්දරවල දක්නට නොලැබෙන කලාතුරකින් කේන්දරයක පිහිටන යෝගයකි. ඉෂ්ටඵල යනු යහපත් අනුහස් යන්නයි. ශුභ විපාක, හොඳ ප්‍රතිඵල යන අදහස ගෙන දෙයි.

එම අදහසම යථාර්ථයක් බවට පත් කරමින් ඉෂ්ටඵල යෝගය යෙදුණු තැනැත්තා වාසනාවන්තයෙක්ම වන්නේය. කුසල් පින ඇති එකී පිනම කුසල් වැඩීමට යොදන තමා අදහන ආගමට දහමටළැදි මොවුන් ධනයෙන් ද පොහොසත් වෙයි. පාලකයකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යය මොවුනට නිතැතින්ම හිමි වෙයි. තමන් වාසනාවන්තයෙක් වූවා සේම අනුන්ද වාසනාවන්තයන් බවට පත් කිරීමට මෙකී යෝගය යෙදුණු තැනැත්තන් වෙහෙසේ. කාරුණික බවෙන් අගතැන්පත් මොවුහු අන්‍යයන්ට පිහිට වෙති. මෙවැනි අයද විෂ්ණු දෙවියන්ගේ, ශිව දෙවියන්ගේ පිහිට පැතීම යෝග්‍යය.

 

රජ්ජු යෝගය

රජ්ජු යෝගය යම් කේන්දරයක යෙදුණේ නම් පිහිටන ග්‍රහ තත්ත්වය මෙසේය. එනම්, පස්වැන්න අධිපතියා නවවැන්න අධිපතියාගේ ද්වාදශාංශකය සිටින පූර්ණ චන්ද්‍රයා සමඟ සිටි විට මෙකී රජ්ජු යෝගය යෙදෙයි. මීට අමතරව තවත් රජ්ජු යෝගයක්ද ඡ්‍යොතිෂයේ වෙයි. ඒ පිළිබඳව ඉදිරි ලිපියකින් විමසා බලමු.

අප කතාබහට බඳුන් කරන මෙකී රජ්ජු යෝගයෙන් සැදුම්ලත් කේන්දරයක් හිමි ජන්මියකු වේ නම් ඔවුහු උපතින්ම වාසනාවන්තයන් බවට පත්වෙති. මොවුන් දර්ශනීය අඟ පසඟකින් යුක්ත අය වෙති. විශේෂයෙන්ම දුටු පමණින් කෙනෙකු ආකර්ෂණය කරගන්නා දෑස් මොවුන් සතුය. ධනයෙන් බලයෙන් යුක්ත මොවුන් මධ්‍ය ආයුෂ හිමි වූවන් වේ. ලොවට වැඩදායි දරුවන් බිහිකිරීමට වාසනාවන්ත වන මොවුන්ගේ දරුවෝ තුන් ලොවේම තම නාමය බබළවන්නට සමත් වනු ඇත.

 

නල යෝගය

ද්වි ස්වභාවයෙන් යුතු ලග්නයක් වී සියලුම ග්‍රහයන් ද්විස්වභා රාශිවල පිහිටීමෙන් නල යෝගය උදාවේ.

මේ යෝගය යෙදුණූ තැනැත්තෝ බොහෝ සම්පත් ලබන උගත්කමින් දැනුමෙන් හා වෘත්තීය භාවයෙන් පරතෙරට ගිය අය බවට පත්වේ. මනා හික්මීමෙන් යුතු සංවර අය වේ. ඔවුන්ගේ ශරීර ලක්ෂණ ගත්විට දීර්ඝ අවයව ඇත්තන්ය. කාර්යක්ෂමව තම කටයුතු ඉටුකරන්නන් වේ. ධනවත්ය. පී‍්‍රතියෙන් යුතුව කාලය ගත කිරීමට වාසනාවන්ත වෙයි.

 

නෘප යෝගය

ලග්නාධිපති සිටින නවාංශකයේ අධිපතියා චන්ද්‍රයා සිටින රාශියේ අධිපතියා සමඟ සංයෝගව සිටිය දී දසවැන්න අධිපතියා විසින් දකිනු ලැබේ නම් ඊට නෘප යෝගය ලෙස ව්‍යවහාර වෙයි. නෘප යෝගයෙන් උපන් ජන්මියා නිර්භීතය. ඕනෑම කටයුත්තක් අභියෝගාත්මක වේවා නොවේවා නොපසුබටව ඉටුකරන්නට සූදානමකින් යුක්ත වෙයි. හමුදාවල අණදෙන්නන්, ප්‍රධානීන් මේ යෝගයෙන් ඉපදී ඇත. මොවුන් රටේ තොටේ ප්‍රසිද්ධියට පත්වේ. කුඩා කල සිටම වාසනාවන්තයන් බවට පත්වේ.

නෘප යෝගය යෙදුණු ජන්මින් කතරගම දෙවියන්ගේ පිහිට පැතීම යෝග්‍යය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk