Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වරදේ නොබැඳෙන ළඳුන් සොයාගනිමු

4 days ago 7 Min read
Subha.lk

පුරාණ සාමුද්‍රික ශාස්ත්‍ර නම් ග්‍රන්ථයෙහි ස්ත්‍රීන්ගේ ශරීර ලක්ෂණ පිළිබඳ සාකච්ඡා කෙරෙන කොටසෙහි පෙනෙන පරිදි පද්මිනී, චිත්ත්‍රිණී,සංඛිණි,හස්තිනී යැයි ප්‍රභේද සතරක්ද උත්තම,මධ්‍යම,අධම යන ත්‍රිවිධාකාරයක්ද ඔවුන්ගේ ලක්ෂණ,සොබාගති,ගුණාංග යනාදී කරුණු රැසක්ද එහි විද්‍යමාන වේ. ඒ අතරින් කරුණු කිහිපයක් මෙතැන්සිට සාකච්ඡා කරමු.


පද්මිනී වර්ගයේ ස්ත්‍රී ලක්ෂණ


මැය වනාහි දික්වූ කෙස්වැටියද, නීලවර්ණයෙන් හෝ ඕලු මුවන්ගේ වැනි නේත්‍ර යුග්මයෙන්ද කුඩා නාසය සහ පෙරට නැමුණ උරහිස් පිහිටීමද, ප්‍රීති ජනක රාගවචන බිණීමද, අනුශාසනාවට දක්ෂ බව හා උතුම් තෙපුල් කීමද, අවංක ගතිය හා කුළුණු ගුණයෙන් අනුන්ගේ කටයුතු ඉෂ්ටකරදීමද, ලක්ෂණ වූ සුවඳවත් ඇඳුම් පැලඳුම් භාවිත කරන, ඍජු ශරීරය හා නිතර බොහෝ පිරිසුදු ආභරණයෙන් සැරසීමද, අලුතෙන් පිබිඳුණු මලක් සේ පියකරු මුහුණද , ප්‍රාණය සේ කුලදම් රැකීම හෙවත් පතිව්‍රතාව රැකගන්නාවූද, සමාජයේ තරමක් ප්‍රසිද්ධවීමද යන මේ ලකුණු හා ලක්ෂණ ඇති ස්ත්‍රිය පද්මිනී නම් වේ.
මේ ස්ත්‍රිය වසන ස්ථානයට කිරි උතුරන්නාක් මෙන් සියලු සම්පත් ඇතිවීම හා දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇතිවන්නේය. මෙවැනි ස්ත්‍රීන් ලැබීමට පෙර පින්කළ පුරුෂයන්ම වියයුතු අතර එසේ වීමෙන් පුරුෂයන්ගේ දිවිය සරුවන්නේයැයි සාමුද්‍රික ශාස්ත්‍රයෙහි පෙන්වා දෙයි.

 

චිත්ත්‍රිණී වර්ගයේ ස්ත්‍රී ලක්ෂණ


මේ වර්ගයේ ස්ත්‍රිය සුනීලවර්ණ දෙනුවන් හා රතුවන් නාසයද, දුටුවන් ප්‍රියකරණාකාරයෙන් ළමැද පිහිටීමද, වඩා උසනොවූ ඉතා මිටිද නැති වටකුරු අවයවයන් හා දුටුවන් පිනවන සෞම්‍ය වූ ලක්ෂණ සිරුරද, දුටු දුටුවන් විසින් ප්‍රේමය කරන ගතියද, යහළු ස්ත්‍රීන් බොහෝ ඇතිවීමද, සැප ලැබීමෙහි ආශක්තවීමද, අනාචාර හැසිරීම් නැත්තාවූද, ගේ දොර වැඩකටයුතු සතුටින් කරන ගතිද, සියලු දෙනාට කාරුණිකවීමද, තම ස්වාමියා කළ කියූ දේ අසනසුලුවූ ද, වරදට මවක් මෙන් සමාව දීමද, අන්‍ය පුරුෂයන්ට ආලය නොබඳීන ගතිද, මිහිරි තෙපුල් කීමෙහි බිණීමෙහි ආසා ඇතිවීම සහ නිතර දෙවි බඹුන් පිදීමද යන මේ ලක්ෂණ ඇති ස්ත්‍රිය චිත්ත්‍රිණී නම් වන බව දතයුතුය.


සංඛිණී වර්ගයේ ස්ත්‍රී ලක්ෂණ


නීලවර්ණයට සම වූ ඇස් පිහිටීමද, කරවට ඉරිතුනක් හෝ රැලි තුනක් පිහිටීමද, ළමැද විශාල වීමද, ශරීරය උස් වීමද, ඇඟෙන් තරමක දුඟදක් විහිදීමද, යහපත් චාරිත්‍රධර්මයන් නොදැනීමද , ඇසුවන් ප්‍රියකරන මිහිරි බස් කීම සහ කවට වචන බිණීමද, දිවා රාත්‍රී දෙකෙහි ක්ෂුධාව (බඩගිනි) නොබලා නිෂ්ඵල කථාකීම හා මායා සහිත සිනහ පහළ කිරීමද, ලස්සන පුරුෂයකු දුටුවිට ඔහු කෙරෙහි ඇලීමද, ඉඩක් ලැබුණ විටකදී ඔවුන් සමඟ කාමාශක්ත වීමද, ඊර්ෂ්‍යා මාන්නය නොසොයා තම පුරුෂයා හට රහසේ පර පුරුෂ සේවනයේ යෙදීමද, බොරු බස් කීමද, රති ක්‍රීඩාවෙහි ලොල්වීම ආදී මේ ලක්ෂණ ඇති ස්ත්‍රිය පාවාගත් පුරුෂයාහට අනේක විධ දොම්නස් හා නොයෙක් විපත්ති සිදුවන්නේ යයි දතයුතුය.


හස්තිනී වර්ගයේ ස්ත්‍රී ලක්ෂණ


හිසකෙස් අඩුවීමද, රක්තවර්ණ දෙනුවන් සහිතවීමද, ලොකු වූ නාස්පුඩු හා ඝනවූ දෙතොලද, පිරුණා වූ පයෝධරද්වයක් හා ලෙලදෙනාකාර පිඬුමස ද, රක්තවර්ණ සහිත මිටිවූ මහත් සිරුරකින් හෙබිවීමද, තම පුරුෂයාහට ප්‍රිය නොවීම මෙන්ම අකටයුතුකම් කිරීමද, නිතරම සිතේ සැකයක් තිබීමද, සල්ලාල පුරුෂ ඇසුර හා තම පුරුෂයාට අකීකරු වීමද, පාප ක්‍රියාවන්හි ඇලීමත් කාම සම්පත්තියෙහි ලොල්වීම නොහොත් කාමාශක්ත වීම මිස අන් කිසිවක් වුවමනා නොකරන ගතිද, නම්බුකාරියක් මෙන් පිටතට පෙන්වා සල්ලාල ක්‍රියාවෙහි යෙදෙන්නාවූද යන මේ ගති සිරිත් ඇති ස්ත්‍රිය තම පුරුෂයාට සැතිරියකක වන බව පුරාණ සාමුද්‍රික ශාස්ත්‍රය තුළදක්වා ඇත.
එමෙන්ම උතුම් ශරීර ලක්ෂණ හා ගති සිරිත් ඇති ස්ත්‍රියක් සරණපාවා ගැනුමෙන් අල්පායුෂ ඇති පුරුෂයකු නමුදු දීර්ඝායුෂ ලබමින් සැපවත්ව කල්ගෙවන බවත් නපුරු ශරීර ලක්ෂණ හා අධම කල්ක්‍රියා ඇති ස්ත්‍රියක සරණපාවා ගැනුමෙන් දීර්ඝායු ඇති පුරුෂයකු නමුදු අල්පායුෂ බවට පත්ව මාරයා කරා යන බවත් පුරාතන ඍෂීන් විසින් විශද කොට ඇත.
විශේෂයෙන් මිල මුදල දේපල සම්බන්ධව කෙසේමුත් යහපත් ගතිගුණ හා සිරිත්විරිත් ඇති ස්ත්‍රියක සරණපාවා ගෙන තමාගේ ජීවිතය සාර්ථක කරගැනුමෙහිලා අවබෝධය ඇති පුරුෂයන් විසින් කළයුතු බව තවදුරටත් පැහැදිලිවේ.
 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk