Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඇය සරාගී මැය නඨාංශකයි

2 weeks ago 7 Min read
Subha.lk

පසුගිය අපේ‍්‍රල් මාසයට තමයි බක් මාසය කියන්නේ. ඒ මාසෙ ඉතා වැදගත් මාසයක්. සිංහල ක්‍රමයට අලුත් අවුරුද්ද ආරම්භ වන මාසේ. හැම ගහකම මල් පිපිලා ලස්සනයි. බක් මල් නැතහොත් බකිනි මල් ගස් මැස්සෝ වට කරගෙන හැම කෙනෙකුගෙ මුහුණේ හිනාව පිරිලා. පසුගිය14 වෙනිදා අවුරුදු කිරිබත් කාල, කැවුම්, කොකිස් රස බලල වැඩිහිටි අයට බුලත් හුරුලු පිරිනමල අපි ගියේ මාමාලෑ ගෙදර.

ඒ කිව්වේ අම්මගේ ලොකු අයියා. එහෙ කොළඹට වඩා අවුරුදු ජයයි. පුරා අපේ‍්‍රල් මාසයම ඒ අයට අවුරුදු. ඔක්කොම සිරිත් නැකැතට. එහෙ විදුලිය නැහැ. බොහෝ නිවස්වල තිබෙන්නෙ කුප්පි ලාම්පු. අවුරුදුවලට ලොකු කජු ගහේ බැඳපු ඔංචිල්ලාව හැම කෙනාටම සෙල්ලම් බඩුවක් වෙලා. හවස5 වෙන කොටම ලොකු මාමාගේ දූල පුතාලා පොඩි මාමාගේ දූලා පුතාලා මේ ඔංචිල්ලාව වට කරගෙන. ඔංචිලි වාරම් කිය කියා ඔංචිල්ලාව පදිනවා. 

 ඒකට කිසිම විවේකයක් නැහැ. ඒ අසලින් ලොකු ගිනිගොඩක් ගහල මුලු පැත්තම එළියයි. ඔන්න ඔය අතර තුරදීම තමයි මට ලොකු මාමාගේ දුව ඇහැ ගැහුණේ. ඇයත් අ.පො.ස. විභාගය කරල මහන්සි නිවනවා මම වගේ. ඇය හරි ලස්සනයි. හිනාවෙන කොට ඒ ලස්සන වැඩිවනවා.

ගමේ විදියට ඇය මට කතා කළේ අයියා කියලා. මම කතා කළේ මැනිකෙ කියලා. මොකද ඇගේ නම රන්මැනිකා නිසා. අපි ටිකෙන් ටික ආදරයෙන් වෙළුණා. වැඩිකලක්ම නොගොස් මමම ඇයට ආදරෙයි කියලා නොකිව්වත් වැඩ සිදු වුණේ ඒ විදියටමයි. මම ඇගේ සහකරුවම තමයි කියල මට හැඟුණා. ඒත් ඒ කිසිත් වචනයෙන් කිව්වේ නැහැ.

ඇගේ කටහඬ මිහිරියි හිනාවෙන කොට ඇස්දෙක පුංචි වනවා. කතා කරන්නේ හරිම වෙනස් විදිහකට. ඒක කැටයම් කතාව කිව්වොත් නිවැරැදියි. මම ඇය විවාහ කර ගන්න මගේ හිත දුන්නත් වරෙක කොහේදෝ නැති බියකුත් තිබුණා. මොකද දවසක් අපේ ලොකු අප්පච්චි කිව්වා ගැහැනියකගේ මුහුණේ පෙනුම, හිනාව, කතාකරන හැටියෙන් ඒ සලකුණ ඇගේ කේන්දරයේ ග්‍රහචාරයේ සලකුණු කරල තියෙනවා කියලා. මැණිකෙටත් තිබුණේ ටිකක් කාමයට බර හැඟීම් හා පෙනුම. ලොකු ආතා හරි දක්ෂයා. ඒ වගේම ගුරුකම්කාරයා කේන්දරයක ගුණාගුණ කියන්නෙ බලාගෙන හිටියා වගේ. ඒවා හරියට හරි. ඒක පුදුම ශාස්ත්‍රයක් නිසා. මම ඉඳල හිටලා එයාට වතුර එකක් උණු කරල දෙනවා නාන්න. වරෙක බුලත්විටක් කොටල දීලා කළු සුරුට්ටුවක් දෙකක් දෙන නිසා ඔය සමහර ඡ්‍යොතිෂ කාරණා මට කියල දෙනවා. දවසක් කියනවා.

“ඔය අඟහරුවා, සෙනසුරාගෙන් විවාහවන්න ඉන්න ඈයෝ පරෙස්සම්වන්ට ඕනෑ. මොකද දන්නවනේ? ඔය අඟහරුවා යහපත් විදියට ලග්නයේ හෝ විවාහකස්ථානයේ හිටියොත් ගෝචර වුණොත් විවාහය ඉක්මන්  කරනවා. සෙනසුරා කොරා එයා හිටියොත් විවාහය ප්‍රමාද කරනවා. හැබැයි ප්‍රමාද කරල හරි කරල දෙනවා.”

“අනික තමයි සෙනසුරා කොරා කිව්වනේ. එයා ඔය තැන්වල හිටියම විවාහය කරදෙනව තමයි. හැබැයි ඒකෙත් පුංචි කොරයක් තබනවා. ඒ කිව්වේ ලොකු වයස් පරතරයක් තබනවා. තව එකක් තමයි ගැහැනියකට ඊට වඩා  අඩු වයසේ කෙනෙක්ව තමයි ජෝඩු කරන්නෙ.

අනික තමයි රාශි පැත්තෙනුත් රාශි1 හා7 ඒ කිව්වේ ලග්නය හා විවාහකස්ථානයත් එහි ඉන්න ග්‍රහයොත් හොඳ වුණොත් විවාහයත් සාර්ථකයි. පාපි කේන්දර කියන්නෙ සෙනසුරා, අඟහරුවා වගේ පාපියො හිටල. ඒ අය පාපි  වන්නත් ඕනෑ. හිටපු පළියටම පාපි වන්නෙත් නැහැ. මේවා අලුත් ආධුනිකයො දැනගන්න ඕනෑ.

අනික තමයි. සහජ ගති පෙන්වන තුන්වැනි රාශිය විවාහක ස්ථානය හා අයස්ථානය. එනම්3,7,11යි. මේවා පුරුදු ඇති. මේ කාම ත්‍රිකෝණයයි. මේ රාශින් ගෝචරය වන ග්‍රහයොත් සුබවාදි වන්නත් ඕනෑ.

ජෝඩුව සතුටින් ගතකරන කොට පිරිමි කෙනාගේ කේන්දරයේ තත්කාල කේන්දරයේ සෙනසුරු12 වැන්න හතුරු වෙලා රාහු නීච නම්, අඟහරුවත් නරක නම් එයා ඔබට වඩා මත්වතුරට ආසා කරනවා. ඒක මුලින්ම කඩා නොගත්තොත් ග්‍රහයො ගියාට පසු පුරුද්ද පවතිනවා. විවාහක අයට මේක හරි ප්‍රශ්නයක්. එතකොට පිරිමියාට සරාගි උණාට භාර්යාවට නඨාංශක වනවා. ඒ කිව්වෙ කරදරය ආරම්භ වුණා කියලා.

තවත් එකක් තමයි භාර්යාව කොච්චර හොඳින් පුරුෂයාට සැැලකුවත් පුරුෂයාගේ තත්කාල කේන්දරයෙ8 වැන්න අධිපතිගේ ගෝචරය ලග්නෙ හෝ විවාහක ස්ථානයේ නම් මෙන්න මේ කාලයට ඔබ වැන්නෙකු ඔබට අමතරව තියාගෙන ඉන්නවා. මේවා ඡ්‍යොතිෂ කිරණවල බලපුළුවන්කාරකමින් සිදුවන හෝමෝනික ප්‍රශ්න. 

 ඉස්සර පාරම්පරික ඡ්‍යොතිෂවේදින් මේවා ගණන් බලලා කිව්වා. ඔබ ගණන් ගන්නෙ නැහැ. ඔබ එදා ලෙහෙසිය බලලා පරිගණකයෙන් නේ කේන්දරයෙන් හැදුවේ. පරිගණකයෙන් කේන්දර හදන්න කිසිම ඡ්‍යොතිෂ දැනුමක්  ඕනෙ නැහැ. පරිගණක දැනුම තිබුණොත් හොඳටම ඇති.

ඕනෑම කේන්දරයක බ්‍රහස්පතිට අයත් නැකැත්වල පලමු පාදයෙන් හෝ සෙනසුරුට අයත් නැකැත්වල දෙවැනි පාදයෙන හෝ සිකුරුට අයත් නැකැත්වල තුන්වැනි පාදයෙන් හෝ රවිට අයත් නැකැත්වල හතරවැනි පාදයෙන් උපන් අයට මඟුල් ගොඩක් ප්‍රමාදයි. ඒකත් මතක තබා ගන්න.

ඕගොල්ලො දන්නවද අලුත් විවාහ ඉක්මනින් කඩාගෙන දික්කසාද ඉල්ලා උසාවි යන්නෙ මොකද කියලා. මේවා ඡ්‍යොතිෂ බලපෑම්. නැත්නම් ග්‍රහ බලපෑම්. මෙන්න මේ ගතිගුණ මුහුණෙන් හා චරියාවෙනුත් පෙන්වනවා. එනම් ගැහැනු කේන්දරයක7 වැන්නේ අඟහරුවා හෝ හෙනහුරා ගෝචරය වුණොත් හා හත අයිතිකාරයා මේ  දෙදෙනාගෙන් එක් ග්‍රහයෙක්ගේ රාශියේ හිටියොත් ඇය රට ප්‍රසිද්ධ වෙසඟනක් වෙනවා. මේ විස්තර ජාතක රත්නාකරයේ තමයි සඳහන් වෙලා තිබෙන්නෙ කවියෙන්.

ගැහැනු ළමයෙක්ගේ කේන්දරයේ උපදින කොටම7 වැන්නෙ සිකුරා උච්ච වුණොත් ඇය කාමාධික කෙනෙක්. මේවා මෙහෙම කිව්වට මේ ග්‍රහයෝග කැපීම් සඳහා ග්‍රහ දෘෂ්ටි කියල දෙයකුත් ඡ්‍යොතිෂයේ තිබෙනවා. එක  පාරටම තීරණ ගන්ට එපා.”

ඔන්න මම ආතා මට කියපුවා ඔයාලාට කිව්වා. ඒ නිසා කේන්දරයක් පරීක්ෂා කරද්දි පරෙස්සමින් බලන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk