අංජනමක් බලන්න ඔබටත් පුළුවන්

“යථා නදී නදී සර්වේ - සාගරේසමුපාගතං
තථා සර්වානි ශාස්ත්‍රානී -ඉන්ද්‍රජාලස්ථිතානි ච”
(සෑම ගංඟාවන්හි ද ඇළ, දොළ ආදියෙහිද දිය පහර මහමුහුද කෙළවර කොට තිබෙන්නේ යම්සේද එමෙන්ම සියලුම ශාස්ත්‍රයන්හි ඉන්ද්‍රජාල නම් වූ මායාවන් ස්වල්පයක් හෝ ඇත.)
මෙම පුරාණ ශ්ලෝකයෙන් කියවෙන ගැඹුරු අර්ථය විමසාබැලූවිට එහිඇති සත්‍යතාව මැනවින් පසක්වන බව විද්වතුන් හට අමුතුවෙන් කිව යුතු නොහේ.
අපගේ පුරාණ හෙළදිව ජීවත් වූ මුතුන්මිත්තන් හට උරුමව තුබූ නක්ෂත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, තත්කාලය, වාස්තුශාස්ත්‍රය, පේන කීමේ ශාස්ත්‍රය, කර්ණ මුණ්ඩය, නිමිති ශාස්ත්‍රය, සංඛ්‍යා ශාස්ත්‍රය, අංග ලක්ෂණ ශාස්ත්‍රය, නාගවල්ලී නොහොත් තාම්බූල ශාස්ත්‍රය, අංගම් ශිල්පය, විෂ විද්‍යාව ආදී ඉපැරණි ශිල්පශාස්ත්‍ර අතර අතිශය වැදගත්කමක් ඉසිලූ විද්‍යාවක් හැටියට පුරාණ අංජනම් එළි බැලීමේ ශාස්ත්‍රය” පෙන්වාදිය හැකිය.
ඒ සෑම ශිල්ප ශාස්ත්‍රයක්ම උගත් හැටියෙන් සිද්ධි නොවන හෙවත් නොපිහිටන ගතියක් ඇත. යම් විද්‍යාවක් උගෙනීමේදී එය හදවතින්ම දරාගත යුතු වෙයි. එපමණක් නොව ගුරු ගෞරවය, ආගමික වත්පිළිවෙතට නැඹුරු බව, මහජනයා කෙරෙහි කාරුණිකත්වය හා තත් ශාස්ත්‍ර ඉගෙනගන්නාවූ තැනැත්තාගේ යහපත් ආකල්පය එම ශාස්ත්‍ර පිහිටීමට හේතුවන බව අපි ද අත්දැකීමෙන්ම දනිමු.
විශේෂයෙන් ඉපැරණි ගුරුන් සතුව තුබූ ගුරුමුෂ්ඨි නම්වූ දෙයක් පිළිබඳ අපි සෑම දෙනාම අසා ඇත්තෙමු. මේ ගුරු මුෂ්ඨිය නම්, යම් ශාස්ත්‍රයක රහස්ම කොටස් හෙවත් සාරවත්ම කොටස් වේ. තවත් අර්ථයකින් බැලූකළ ඉහත ශ්ලෝකයෙන් සඳහන් කළ මායාවන් විය හැකිය.
ගුරු මුෂ්ඨි නොතබා තම සිසුන් හට සියලුම දේශනා දෙසූ ගුරුවරයකු ලෙස අප භාග්‍යවතුන් වහන්සේ තිලොව සුප්‍රකටය. එසේම අප මහා බෝධිසත්වයන්ගේ අතීත ජීවිතයක් වූ ගුත්තිල ඇදුරුතුමන්ද දිසාපාමොක් ආචාර්‍යතුමන් ද ප්‍රසිද්ධ සෝවියට් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය” නම් ප්‍රකට නවකතාවෙහි සඳහන් දුයිෂේන්ද මේ ගුරු මුෂ්ඨි නොතබා ඉගැන්වූ ගුරුවරුන් ලෙස ප්‍රසිද්ධය.
අතීත ගුරුවරුන් ගුරුමුෂ්ඨිය හෙවත්කිසියම් ශාස්ත්‍රයක රහස් උගන්වන්නේ තම සිසුන් අතර වැඩිපුරම පරාර්ථකාමීත්වය හා ගුණදම් වැඩූ හික්මීමෙන් යුතු සිසුවාට බව තවදුරටත් පසක් වේ. යම් ශාස්ත්‍රයක ප්‍රවීණයකුවීමට නම් එහි සාරය මෙන්ම රහස් ඉගෙනීම අනිවාර්‍ය බව දත යුතුය. යම් ග්‍රන්ථයකින් හෝ සටහනකින් එම ශාස්ත්‍රයෙහි සඳහන් රහස් ඉගෙනිය නොහේමය. එසේ වන්නේ එම ශාස්ත්‍රයන්හි රහස් ඉගෙනීමට නම් ඒ පිළිබඳප්‍රවීණ ඇදුරකුගේ ආභාසය ලැබීම අත්‍යාවශ්‍ය කරුණක් වන හෙයිනි.
අංජනම් එළි බැලීමේ මූලාරම්භය අතීත භාරත යුගය දක්වාම දිවයයි.එය රාමරාවණ යුද්ධයෙන් පසුව ඇරඹි බවද පෙනෙන්නට ඇත. මීට ප්‍රධානවන දෙවි දේවතාවෝ අංජනම් දේවියත්, හනුමන්තාත් ය. රාමරාවණ යුද්ධයේදී වීරයකු ලෙස සැලකූ හනුමන්තා අංජනම් දේවියගේ පුත්‍රයා ද වෙයි. මේ මවු පුතු දෙදෙනා අංජනම්වල නායකත්වය දරන බව තත් ශාස්ත්‍රය පිරික්සීමෙන් පෙනීයන කරුණකි. එහිදී හනුමන්තා වායුවටත්, අංජනම් දේවිය අවකාශයටත් හිමිකමක් දරයි. යම් අරමුණු ස්ථානයකට යැවීම අංජනම් බැලීමේදී කෙරෙන ප්‍රධානතමකර්තව්‍යයි. එය තවදුරටත් පැහැදිලි කරතොත් නූතනයේ අප ස්මාට් ජංගම දුරකතනයක් භාවිතයෙන් ගන්නා වීඩියෝ කෝල් එකකට සමාන බව හැඟේ.
එහෙත් ඊටවඩා විශාල පරාසයක් ඔස්සේ මෙය විහිදී ඇති බව කිවයුතුය.
භාරතීය ඍෂිවරයන් විසින් නිපදවන ලද මන්ත්‍ර ශාස්ත්‍රය ඇසුරු කොට කරනු ලබන ක්‍රියාවන් අටක් අෂ්ටකර්ම නම් වෙයි. මේවා වශීකරණ, ආකර්ෂණ, මෝහන, ස්තම්භන, විද්වේෂණ, මාරණ, උච්චාටන, ආප්‍යායන යන ලෙස සඳහන්වේ. ආකර්ෂණ, මෝහන දෙක හැර ඉතිරි සය ෂට්කර්ම ලෙසින් අථර්වවේදාදියෙහි හඳුන්වා තිබේ. එහි ආප්‍යයනය යන්න ශාන්තිකර්ම නම් වෙයි. ආකර්ෂණ, උච්චාටන, මාරණ, මෝහන, ස්තම්භන යන පස සුසැට කලාවන්ට ද ඇතුළත් ය.
වශිකරණය නම් මන්ත්‍රාදි බලයකින් අන්‍යයන් තම කැමැත්තට නතුකර ගැනීම හෙවත් වසඟ කර ගැනීමයි. රජ ඇමති ප්‍රභූ ස්ත්‍රී පුරුෂාදීන් මෙන්ම ඇත් අස් ආදි සතුන් ද මේ ක්‍රමයෙන් වසඟ කළ හැකි බව සඳහන් වේ.
මන්ත්‍රාදි බලයකින් අන්‍යයන් තමා වෙත ඇද ගැනීම ආකර්ෂණයයි. ආකර්ෂණය නවීන ශාස්ත්‍රඥයන්“මැස්මරිස්ම්” නමින් හඳුන්වන ශාස්ත්‍රයට තරමක් සමානය. මන්ත්‍රාදි බලයකින් අන්‍යයන් මුළාවට පැමිණවීම මෝහන නම් වේ.
ජන, ජල, ශුක්‍ර, ඛඩ්ගධාරා, සේනා, ප්‍රතිවාදී වචන අග්නි මාරුත ආදියට ඒවායේ ව්‍යාපාරයන් නොපැවැත්විය හැකි සේ මන්ත්‍ර බලයෙන් බාධා කිරීම ස්තම්භන නම් වේ.
අන්‍යෝන්‍ය සබඳකම් ඇත්තවුන් අතර මන්ත්‍ර බලයෙන් ද්වේෂ ජනනය කිරීම හෙවත් ඔවුනොවුන් විරුද්ධ කරවීම විද්වේෂණයයි.
මන්ත්‍රාදි බලයෙකින් ප්‍රාණීන්ගේ ජීවිත නාශනය නොහොත් ප්‍රාණහරණය මාරණ නම් වේ.
මන්ත්‍රෟෂධාදි බලයකින් ගෘහ, ග්‍රාම, නගර දේශාදියකින් යමකු පලවා හැරීම හෙවත් සිය තැනින් ඉගිළවීම උච්චාටනය නම් වේ.
ආප්‍යයනය යනු ශුභසිද්ධිය දියුණු කිරීම, ශක්තිමත් කිරීම, අභිවෘද්ධියට පැමිණවීම ආදි අර්ථයන්හි වැටෙන නාමයකි. ශාන්ති, පෞෂ්ටික, මෝක්ෂ යන කර්ම මෙහි ඇතුළත් වේ.
ඉහත අෂ්ටකර්ම අතුරින් මේ අංජනම් ශාස්ත්‍රය උච්චාටන කර්මයට අයත් වන්නේ තැනකින් තවත් ස්ථානයකට එළියක් යැවීමට මෙය භාවිත කරන බැවිනි.
අංජනම් බැලීමට නුසුදුසු අය
ඖෂධ සොයා අඳුනක් සකසා ජීවම් කරගත්තද එළිය පෙනෙන අයෙකු නොමැතිනම් ඉන් පලක් නැත. එබැවින් අංජනම හොඳීන් පෙනෙන අයෙකු සොයාගැනීම අතිශයින්ම වැදගත් කරුණකි. සුනඛයන් සපාකෑ, සර්ප දෂ්ටනයට ලක්වූ, ගින්නෙන් පිළිස්සුණ, කිඹුලෙකු ස්පර්ශ කෙරූ, කිලිවලින් යුතු අය හට අංජනම් නොපෙනෙන බැවින් ඔවුන් අංජනම් බැලීමට නුසුදුස්සන් ලෙස පුරාණ අංජනම් එළි සංග්‍රහය නම් ඉපැරණි ග්‍රන්ථයෙහි විද්‍යමානය. එහි සඳහන් පරිදි මනුෂ්‍ය ගණයෙන් හෝ වානර යෝනියෙන් උපන් අයටත් දුඹුරු නේත්‍ර සහිතවූවන් හටත් වැඩිපුර අංජනම් එළි පෙනන බව දැක්වේ. එමෙන්ම අවු12 අඩු වයස අවුරුදු50 ඉක්මවූවන් මෙන්ම ඇස්‍රෝග සහිතවූවන් ලවා අංජනම් එළි බැලීම නොකළයුතුය.
අංජනම් එළියෙහි ප්‍රභේද
සර්වාංජ නම්, පාතාල අංජනම්, යක්ෂ ප්‍රේත අංජනම්, භූත අංජනම්, දිව්‍ය අංජනම්, දේවතා අංජනම්, හස්ත අංජනම්, නේත්‍ර අංජනම්, සූර්‍ය අංජනම්
Advertisements


