තනිකඩ ජීවිතවලට වගකියන කේන්දර

ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ විවාහ සහ ඡ්‍යොතිෂ විද්‍යානුකූල කරුණු අතර ඇත්තේ අනාදිමත් කාලයක සිට පැවැත එන බරපතළ සම්බන්ධයකි. අනෙක් අතට ජීවිතයේ බොහෝ දේ තරමට ම දෛවය පිළිබඳ කාරණාවක් වන විවාහය පිළිබඳ තොරතුරු සෙවිම ද පරිගණකයට බාර දී ඇති යුගයකි මේ.
එහෙත් පෙර සඳහන් කළ පරිදි ජංගම පරිගණකයක් බඳු ස්මාර්ට් දුරකතන අතැතිව සිටින තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක්ද විවාහ ජීවිතය සඳහා සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයාගත නොහැකිව අද ළතැවෙමින් සිටිති. මේ ප්‍රශ්නය මේ තරුණ තරුණියන්ටත් වඩා ඔවුන්ගේ මව්පියන්ට බලවත් ගැටලුවක් වී තිබේ.
එයින් පෙනී යන්නේ දෛවෝපගත වූ මේ තත්ත්වය පිළිබඳව නිශ්චිත විසඳුමකට පැමිණීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවය. ඒ සඳහා බලපාන හේතු විභාග කිරීමට පෙර අදාළ පුද්ගලයාගේ පෞරුෂත්වය සහ චරිතය පිළිබඳ එම කේන්ද්‍රය විමසා බලා අවබෝධයක් ලබාගත යුතුය.
සඳු, සිකුරු සහ කේන්ද්‍රයේ සත් වැන්නේ ග්‍රහ පිහිටීම පුරුෂයකුගේ විවාහය සඳහා බලපාන ප්‍රධාන කරුණ ලෙස පෙන්වා දිය හැකි ය. මේ ග්‍රහයන් පාප පීඩිත වී සිටීනම් එය විවාහය කෙරෙහි ඉතාම තදින් බලපානු ඇත. එම ග්‍රහයන් බරපතළ අයුරින් දුර්වල තත්ත්වයක සිටීමද විවාහ ජීවිතයට ඇතුළුවීමේ අපේක්ෂාව හදවතින් ඈත්කර දැමීමට හේතු වෙයි.
ඡ්‍යොතිෂවේදයට අනුව පුරාණ සෘෂිවරයන් විසින් ඵලදායි රාශී ත්‍රිත්වයක්ද, වඳ රාශී ත්‍රිත්වයක්ද හඳුන්වා දී තිබේ. එම පෙන්වා දීම අනුව කටක, වෘශ්චික මීන යනු ඵලදායි රාශි තුනය. මිථුන, සිංහ සහ කන්‍යා යනු වඳ රාශින් ය. රාශි 12 අතරින් මේ කාරණා අරබයා ප්‍රධාන ස්ථානයක් ගන්නේ මේ රාශි වන හෙයින් ඡ්‍යොතිෂයේ දී ඒවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. එහෙත් ඉතිරිව ඇති සෙසු රාශි 6 ද, යම් පමණකට මේ කාරණා දෙක කෙරෙහි වෙන් වෙන් වශයෙන් බලපෑම් ඇති කරයි.
ඒ හේතුවෙන් පුරාණ ඡ්‍යොතිෂවේදීන් සෙසු රාශීන් ද මේ ආකාරයට වර්ගීකරණය කර තිබේ. ඒ අනුව මේෂ, ධනු සහ මකර අර්ධ වඳ රාශි වශයෙන්ද, වෘෂභ, තුලා සහ කුම්භ අර්ධ ඵලදායි රාශි ලෙසද හඳුන්වනු ලැබේ.
මේ මූලික කාරණා ගැන සලකා බලන විට පෙනී යන්නේ කේන්ද්‍ර සටහනෙහි ඵලදායි රාශි ප්‍රධානව පැවතීමත්, වඳ රාශි ඊළඟට ඉස්මතුව තිබීමත් විවාහයක් ඇතිවීමට ප්‍රධාන වන බවය. ඊළඟට චන්ද්‍රයා සහ සිකුරු පිහිටා තිබෙන්නේ කවර නම් රාශිවලද යන්නත්, කවර භාවස්ථානවලද යන්නත් පරීක්ෂා කිරීම වැදගත් ය. විවාහ පරීක්ෂාවක් සඳහා කටයුතු ආරම්භ කළ යුතු හොඳම ස්ථානය වශයෙන් විද්වතුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ මේ අවස්ථාවය.
අප විසින් ඉහත සඳහන් කළ වඳරාශි, ඵලදායි රාශි, අර්ධ වඳ රාශි සහ අර්ධ ඵලදායි රාශි පිහිටා ඇති ආකාරයත්, කේන්ද්‍රයේ 7 වැන්න කෙරෙහි ඒවා දක්වන්නේ කවරාකාර සම්බන්ධයක්ද යන්නත් අධ්‍යයනය කිරීම විවාහ පරීක්ෂාවකදී ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කළයුතු කරුණකි. විවාහ පරීක්ෂාව අරබයා වූ ප්‍රතිපල කිව හැක්කේඉන් අනතුරුවය.
සිකුරු සහ සඳුගේ පිහිටීම පෙන්නුම් කෙරෙන රාශිය සහ භාව මෙහිදී වැදගත් තැනක් අත්පත් කර ගනී. කේන්ද්‍රස්ථානය සහ ත්‍රිකෝණස්ථානවල බලපෑමද මෙහිදී අමතක නොකළ යුත්තකි. විවාහය අරබයා සිකුරු සහසඳු යන ග්‍රහයන්ගේ පිහිටීමට සුබදායක භාව වන්නේ 1,4,5,7,10 සහ 11 ය. එහෙත් මෙහිදී ද සැලකිල්ලට ගත යුක්තක් තිබේ. එනම් මෙහි සඳහන් වන5 සහ7 යන භාවස්ථාන දෙක පිළිබඳවය. එනම් විවාහයකදී මේ ස්ථාන දෙක යහපත් වන්නේ එම රාශි කොතෙක් ඵලදායි වන්නේද යන කාරණා මතය. එමෙන්ම මේ ස්ථානවලට එල්ල වන දෘෂ්ටීන්ගේ තීව්‍රතාවයද ඒ සඳහා බලපානු ඇත. මන්දයත් එම යහපත්වීම සිදුවන්නේ එම රාශිවල ඇති ඵලදායිතාවය සහ එම රාශි වෙත එල්ල වන දෘෂ්ටියේ ස්වභාවය අනුවය. යමකුගේ ජීවිතයේ අනුරාගය සහ විවාහය සඳහා වඩාත් සංවේදී කරුණ ලෙස මේ තත්ත්වය පෙන්වා දිය හැකිය. විවාහය ප්‍රමාද කරවන හා අහිතකර තත්ත්වයක් ලෙස 12,06 සහ 08 යන භාවවලදී චන්ද්‍රයා සහ සිකුරුට කරන බලපෑම තවදුරටත් පෙන්වා දිය හැකිය. කේන්දරයේ මේ භාව යනු යම් පුද්ගලයෙකුගේ තනිකම සහ හුදෙකලා දිවි පෙවෙත සංකේතවත් කරන්නකි. එමෙන්ම සඳුට සහ සිකුරුට යුරේනස්ගෙන් පීඩනයක් එල්ලවී තිබෙන්නේ නම් එයද අසුබදායකය. තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ ඒ සඳහා වඳ රාශීන්ද සම්බන්ධ වුවහොත්ය.
සඳුට සහ සිකුරුට කුජගෙන්ද බලපෑම් එල්ලවිය හැකි නමුත් එය කෙනෙකුගේ විවාහය වළක්වන්නට තරම් ප්‍රබල නොවේ. එසේ වුවද එම තත්ත්වය ජන්මියාගේ අනුරාගී හැඟීම් උත්සන්න කරයි. මේ හේතුවෙන් බොහෝ විට ගෘහ ජීවිතයේ ගැටුම් නිර්මාණය වෙයි. එසේ වුවද, මේ තත්ත්වය කෙනෙකුගේ විවාහය වළක්වාලන තරම් දුරදිග යන්නක් නොවනු ඇත. මේ ආකාරයට යම් පුද්ගලයෙකුගේ විවාහය ප්‍රමාද කරවන ග්‍රහ පිහිටීම් ගණනාවක් ඇති කරවන අතර, ඒවා දීර්ඝව සඳහන් කළ යුතු තත්ත්වයක් පවතී.
දැන් අප කෙනෙකුගේ විවාහයට බලපාන ග්‍රහයෝග මොනවාදැයි සලකා බලමු. ලග්නාධිපති සහ7 වැන්නාධිපති ලෙස සිටින ග්‍රහයන් අතර, පැවතීම මෙන්ම ගුරු සහ කුජ අතර ද සුබදායක දෘෂ්ටියක් පැවැතීම විවාහයක් ඇතිවීම සඳහා ඉතා යෝග්‍ය තත්ත්වයකි. කාන්තා පක්ෂයේ විවාහය සඳහා බලපාන ඡ්‍යොතිෂ කාරණා පුරුෂයෙකු අරබයා වූ ප්‍රධාන ග්‍රහචාරයට වඩා තරමක් සංකීර්ණය. පුරුෂ පක්ෂයේ විවාහය සඳහා සඳු සහ සිකුරු මුල් වුවද, කාන්තා පක්ෂයේ විවාහය සඳහා මුල් වන්නේ රවි සහ කුජය. මේ සලකා බැලීමේදී පහත සඳහන්කරුණු නිසි පරිදි දක්නට ලැබේ නම්, සුබ විවාහයක් සිදුවේ.
මූලික වශයෙන් රවි සහ සඳු ඵලදායි රාශීන්හි පිහිටා සිටීම. සෙනසුරු සහ යුරේනස්ගෙන් පීඩාවට පත් නොවීම ඒසඳහා බලපානු ලැබේ. රවි සහ කුජ අතර දෘෂ්ටියක් පැවැතීම, මේ ග්‍රහයන් දෙපළ වඳ රාශිවල සහ දුර්වල භාවයන්හි නොපිහිටීම, යන කාරණාද විවාහයක් නිසි පරිදි සිදුවීමට කාන්තා පක්ෂයට බලපාන කාරණා වේ.
මේ ලිපියේ සඳහන්ව ඇත්තේ ස්ත්‍රී පුරුෂ විවාහය අරබයා ඡ්‍යොතිෂයේ දැක්වෙන පොදු කාරණා කීපයක් පමණි. එහෙත් කේන්දර පරීක්ෂාව නම් සංකීර්ණ කාරණයේ දී කෙනෙකුගේ හෝ යුවලකගේ විවාහය පිළිබඳ කාරණා මීට වඩා වෙනස් විය හැකිය. එය කේන්ද්‍ර සටහන පරීක්ෂාවෙන්ම දැනගත යුතු දෙයකි.
Advertisements


