Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුඵල නොමැති ළඳුන්ට පිහිටවන පුරාණ බලගතු යන්ත්‍රයක්

3 weeks ago 7 Min read
Subha.lk

මෙලොව අදෘශ්‍යමාන භූතාත්ම ජීවි කොට්ඨාසයක් වන දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව පැතීම බුදුන්  වහන්සේ අනුදැන නොවදාළ මිථ්‍යා මතයක් යැයි ඇතැම් ගිහිපැවිදි පිරිස් හෙළා දකින අතර එම ගතානුගතික  පිරිස් ඔවුන්ගේ මතය සාධනීය කරන්නේ දෙවියන් විජ්ජාකරුවන්ට සමාන කරමිනි. ඔය දෙවිවරුන්ට පුළුවන් ද  ළමයි නැති කාන්තාවන්ට දරුඵල දෙන්න, ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගවලින් පාස් කරන්න, ලෙඩ හොඳ කරන්න යනාදී වශයෙන් අනවබෝධයෙන් යුතුවය දේව සංකල්ප විවේචනය කර ගරහති. ඔවුන් ජීවිතය දකින්නේ ඔවුන්ගේ  පැතිකඩිනි. කවරකුගේ නමුදු දේව විශ්වාසයන්ට ගැරහීම අනුවණයන්ගේ ක්‍රියාවකි. බටහිර වෛද්‍යා ශාස්ත්‍රයේ දවෙද නළාව තබා රෝග ලක්ෂණ අනුසාරයෙන් යම් විනිශ්චයකට පැමිණ ඊට ප්‍රතිකර්ම කරයි. රෝගියාගේ පෙර කුසලාකුසල කර්මයන්ට අනුව රෝගය මර්දනය වී රෝගය සුවවීමට හෝ නැතිවීමට පුළුවන. “කොච්චරනම්  බෙහෙත් කළාද හොඳම ස්පෙසලිස්ට්ලගෙන් බෙහෙත් ගත්තත් වැඩක් නැහැ තාමත් එහෙමයි” යනුවෙන්  ඇතැමුන් කියනවා ඔබ අසා ඇත. ඒ වෛද්‍යවරුන්ගේ දෝෂයක් නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ රෝගියා සුවපත් කරවීමටයි.

 

රෝගියාගේ පෙර කර්ම දෝෂයක් වේ නම් එය කෙසේවත් යටපත් කළ නොහැකිය. ‘මැරෙන්න තියෙන එකා  මැරෙනවාමයි’ කියන්නේ ඒකයි. කවරකු රැවැට්ටුවත් මාරයා රැවැටිය නොහැකිය. එබැවින් ලැබූ දුර්ලභ මනුෂ්‍ය  ආත්මය නිවැරදිව අර්ථාන්විතව ගෙවන්න. පව් එකතු කරගනිමින් සංසාර ගමන දික්කර ගන්න එපා. හැකි තරම්වචනයකින් හරි කුසල් රැස් කරගනිමින් මේ සංසාරයට තිත තියන්න උත්සාහගන්න. කිසිවකුටත් ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් ගරහන්න, විවේචනය කරන්න එපා. රට හදන්න කලින් තමන් හැදෙන්න. එවිට ඉබේටම රට හැදේවි. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් ලැබෙන පඩිය පින් පඩියක් නොකරගෙන වැඩ කරන්න. පගා ගන්න, අල්ලස්  ගන්න එපා. ලැබෙන වැටුපට අමතරව ජනතාවගෙන් අදාළ රාජකාරිය ඉටුකරන්න කිසිවක් ගන්න එපා. ඔවුන්  තමයි ඔබේ වැටුපත් ගෙවන්නේ. රජයේ මහජනතාවගේ මුදල් සොරාකන වුන්, අල්ලස් පගා ගන්න වුන් බල්ලන්  කපුටන් වී ඉපදෙන බව පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල මහ රජුගේ සෙල්ලිපියේ දක්වා ඇත්තේ එහෙයිනි. අවිහිංසාව, අවංක බව, පිරිසිදු චරිතය, සත්‍යවාදී බව, යහපත් සංකල්පයන් ඇති කරගන්න. කාර්යාලයේ  සමාජයේ කාටවත් විවේචනය කරන්න එපා. කේලම් කියන්න එපා. මුලින් තමන්ගේ වැරදි හඳුනගෙන හැදෙන්න. එවිට රට නිකම්ම හැදේ .‘හිටියොත් හොඳට හැදීදෙවියොත් නමට වඳී’ ගී දෙපදයෙන් කියවෙන්නේ එයයි.  එවැන්නන්ට දේව පිහිට, – ආකර්ෂණය නිරන්තරයෙන් හිමිවේ.

 

වෙදැදුරන්ට වෙද නළාව මෙන් ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාාධාරීන් වන අප ආතුරයන්ට ගුප්ත ප්‍රතිකාර කිරීමට  උපයෝගි කරගන්නේ ඔවුන්ගේ ජම්ම කේන්ද්‍ර සටහනයි. එහිදී දොස්තර මහතුන් නාඩි අල්ලා අදාළ දෝෂය  හඳුනාගන්නා මෙන් ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාාධාරීන් සූර්යයා ප්‍රධාන සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ තාරකා  අනුසාරයෙන් ආතුරයාගේ දෝෂය විනිශ්චය කර අදාළ ප්‍රතිකර්ම සිදුකරයි. ලෝකයට ජීවී බව ආලෝකය ගෙන  එන්නේ හිරු හෙවත් රවි ග්‍රහයාය. ඒකයි හිරු දේවත්වයෙන් සලකා පෙරදිග රටවල් හිරු දෙවියන් පිදීම සිද්ධ  කරන්නේ. අවුරුදු දහස් ගණනක් පැරණි මෙකී දේව සංකල්පයන්ට ගරහන්නේ ද පොහොය දිනකටවත්  පන්සලකට යන්නැති නාමික සිංහල බෞද්ධයෝමය. හින්දු මුස්ලිම්ක්‍රිස්තියානි යන සහෝදර ජනතාව තම  ආගම සංස්කෘතිය ඉහළින්ම ගරු කරති.

 

හැම කෙනාටම විභාග පාස් වෙන්න බැරිය. හැම කෙනාම විවාහ වෙන්නේ ද නැත. හැම කෙනාම නිරෝගී  වන්නේ ද නැත. කසාද බඳින හැම ස්ත්‍රියකටම දරුඵල පිහිටන්නේ ද නැත. හැම කෙනාටම රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා ලැබෙන්නේ ද නැත. හැම කෙනාටම මැණික්, භූමි ලාභ ලැබෙන්නේ ද නැත. ඒ සඳහා තමන්ගේ  උත්සාහය, කැපවීම වගේම පෙර පින් හා වාසනා මහිමයත් උත්පත්තියෙන්ම තිබිය යුතුය. අප ජ්‍යොතිෂ්‍ය  ශාස්ත්‍රානුකූලව ජම්ම කේන්ද්‍රයෙන් විශ්ලේෂණය කරන්නේ ද එයයි. කර්ම, ධර්ම, අර්ථ, මෝක්ෂ, කෝණ බලවත් නම් ඉමහත් පිනැත්තියකු වේ. ග්‍රහ සංයෝග, දෘෂ්ටි, ශුතැ, මිත්‍රතාවලට අමතරව ගරුක, ආචින්න, කටත්ත  වශයෙන් විශ්ලේෂණය කරන්නේ පෙර පව් පින්වල බලවත් බව මැන බැලීමටය. මේ භවයේ අප අත්විඳින සෑම  දෙයකටම හේතුව පෙර භවයේ අප කළ කී කුසල් අකුසල්ය. බුදුන් වහන්සේ ද යම් කෙනකුට පිහිට වී එකී  තත්ත්වයට හේතුව සෙවීමට දිවැසින් පරචින්ත විඤාණ ආදී තමන් වහන්සේ පුරුදු පුහුණු කරගත් ඥාන  ශක්තීන් අනුසාරයෙන් ඔවුන්ගේ පෙර භවය විමසුවේ එහෙයිනි.

 

දෙවියන් අපේ පියවි ඇසට නොපෙනෙන නමුත් අඛණ්ඩව එම දෙවි දේවතාවුන් වෙත පුද පූජා පවත්වමින්,  කන්නලව් කරමින් පින් පෙත් අනුමෝදන් කරනු ලබන්නේ නම් එම පුද පූජා කැප

 

භාරගනු ලබන එම පුණ්‍ය ශක්ති ඵලයෙන් ප්‍රයෝජන ගැනීමට හැකිවන දේවතා මණ්ඩලය තම තමන් වෙනුවෙන් භක්ත්‍යාදරය දක්වන මනුෂ්‍යයන් වෙත ඇල්ම, බැල්ම හෙළා මෙලොව පරලොව වශයෙන් ශුභ සිද්ධිය ඇති කරයි. මේ ලෝකයෙහි බල පවත්වන මහා පුදුම සහගත විශ්ව ආරක්ෂණ බලයක් තිබේ. මෙකී ආකර්ෂණ ශක්තිය ලබාඇසට නොපෙනෙන දෙවියන්ගේ දිවැස් කරුණාව ලබා මෙලෝ වශයෙන් පැමිණෙන දුක් පීඩා, විපත්ති කරදර බාධක ආදියෙන් යම්තාක්දුරට හෝ මිදීමට හැකිවෙන්නේය. එකී ආකර්ෂණ ශක්තිය ලබාගන්නා අයුරු පෙර  සෘෂිවරුන්, ධ්‍යානලාභීන් පෙන්වා දී ඇත. භාවනා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ක්‍රම ප්‍රගුණ කිරීමෙන් එම ශක්තිය  උකහා ගත හැකිය. ඒ සඳහා මානුෂීය ගුණධර්මයන්, භක්තිය, විශ්වාසය, උත්සාහය, කැපවීම, උනන්දුව යන  කාරණා පුරුදු පුහුණු කළ යුතුය. ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාවන්හි එම ක්‍රමවේදයන් අන්තර්ගත කර ඇත. එයින්  දරුඵල සාධනය සඳහා අත්දුටු බලගතු යන්තරයක් පාඨක ඔබ වෙත කරුණාවෙන් තිළිණ කරමි.

 

මෙන්න මන්තරය

 

ඕං හ්‍රීං යා හේ ඕං ගර්භං පුත්‍ර කිජං විශ්වඃ නමඃ ගුරුභ්‍යොං

මහා මදන කාම දේවි ගණේසාය සූතලං චන්‍දඃ ධාතු ගර්භාෂඃ

දිෂ්ට දිෂ්ටි වර වර නමඃ (1008 වරට සිද්ධියි)

 

මෙන්න ක්‍රමය

 

දරුඵල අපේක්ෂිත තැනැත්තියගේ ජම්ම කේන්දරයට සීහුම් වන සුබ දිනක, සුබ හෝරාවකින් රාහු කාලය  මඟහැර මරු සිටින දිශාවට පිටුපා යන්තරයේ ප්‍රමාණයට සරිලන තඹ තහඩුවක කොණ්ඩු තුනේ පස්ලෝ  සුරයක ලාගත හැකිවන පරිදි ප්‍රස්තාර කරගෙන සුදු හඳුන් කුඩුවලින් කළු මැද ගන්න. යන්තරය ද්විත්ව  රේඛාවලින් ඉරි නොකැපෙන සේ ඇඳගත යුතුය. පංචෝපචාර මල් බුලත් තටුවක(ගන්‍ධ, දීප, ධූප, භෝජන, තාම්බූල යනාදිය පංචෝපචාරයයි.) යන්තරය තැම්පත් කොට ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාානුකූලව සුබ දිනක දිෂ්ටි, ප්‍රාණ,  පලිප්පු, පුට, සිද්ධි කොටගෙන දක්වා ඇති මූල මන්තරයෙන් 1008 වර ජීවම් කොට සුරයක ලා ගෙලෙහි හෝ  ඉණෙහි පලඳින්න. මෙම කාලය තුළ මස් මාංස, බිත්තර යනාදී පිළී ජාති භෝජනයෙන් වැළැකී සිටින්න. දරුඵල  සාධනය සඳහා බලගතු මලයාල යන්තරයකි. ජ්‍යොතිෂ ගුප්ත විද්‍යා මූලික දැනුමැති අයට විශේෂයි.  ආධුනිකයන්ට හා ශාස්ත්‍ර අභිවෘද්ධිකාමී ප්‍රවීණ ගුප්ත විද්‍යාාචාර්යවරයකුගේ මූලික උපදෙස් මත අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි යන්තරයකි.

 

චිරං ජයතු

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk