නිවාස සැලසුමක අඩංගු විය යුතු ප්‍රධාන අංග

මා දන්නා මහත්මයකු කලකට ඉහතදී ඇමරිකාවේ සංචාරය කර දිවයිනට පැමිණ පසුව ඔහුගේ කටේ නිතරම රැඳී තිබුණ හා මතකයේ තිබුණ දෙයකි, ඇමරිකන් පැට්න් එකට තමාගේ නිවස ඉදිකර ගැනීම. කෙසේ හෝ නිවාස විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ විසූ කාලයේ ඡායාරූපයකට නඟාගෙන පැමිණියේ, මේවා පෙන්වා තමන්ගේ ඇමරිකන් නිවාස සිහිනය සැබෑකර ගැනීමට ය. උස බිත්ති මත විශාල වහල පල ආනතිය සමගින් විශාල පිරිවැයක් යොදා නිර්මාණය කරන ලදී. එලියේ පවතින ජනෙල් සඳහා වෙනම පල දමා වහල නිර්මාණය කරන ලදී. කෙසේ හෝ නිවස ඉදිකර වැඩිකල් යන්නට මත්තෙන් මෙය ඔහුට එපා විය. නිවසේ අව්ව වැඩි කාලයන්හි අධික රස්නය හා ශීත කාලවල දී අධික සීතල වගේම නිවස අභ්‍යන්තරයේ අධික අඳුරු ස්වභාවයක් ද පැවතුණි. මේසන් බාස්වරුන් වඩුකාර්මිකයන් මෙන්ම මෙම නිවස නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියාට ද මෙම නිවාස සැලසුමේ ගැටලු බාධා පැනනැඟුණ අතර පදිංචියට යෑමට සිදුවුණේ වාස්තු දෝෂවලින් පිරිපුන් නිවසකට ය. නිවසේ පදිංචි වූ දා සිට නොයෙක් ලෙඩ රෝග, ධන හානි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිණි. මෙම සත්‍ය සිදුවීම ද උදාහරණයට ගනිමින් අද වාස්තු ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ දේශීයව හෝ විදේශීය හෝ ඡායාරූපයක දුටු පමණින් යම්කිසි නිවසක් එහි බාහිර ඔපයට අලංකාරයට වශී වූ පමණින් තමන් ද එය කොපි කරගෙන නිවසක් සැදීම කොතරම් ප්‍රායෝගික ද නැද්ද යන්නයි. නිවාස සැලසුමක් නිර්මාණයේදී තමන්ගේ මනසේ නැගෙන තමන් දුටු නිවසක්, එහි කොටසක් තමන් නිර්මාණය කරන සැලසුමට එක්කිරීමට සමහර ගෘහ සැලසුම් නිර්මාණ ශිල්පීන් ද පෙලඹේ. තම සේවාදායකයා සතුටු කිරීමට වගේම එම නිර්මාණය කළසැලසුම කිසිම ස්ථානයක නොමැති බවට ද තමන් පුදුම දක්ෂයකු බවට ඔප්පු කිරීමට ද ඔවුන්ට අවශ්‍ය නිසාය. ඇමරිකාව, ඉතාලිය, ප්‍රංශය ආදී උත්තරධ්රැවයට සමීප රටවල් එම රටවල පවතින කාලගුණික හා දේශගුණික විපර්යාසවලට අනුකූලව නිවාස සැලසුම් නිර්මාණය කරන්නේ, ශීත කාලවලදී හිමකැට පොළොවට පතිත වන හෙයිනි. එහිදී හිමකැට වහලය මතට වැටී රූටා පතිත වන අයුරින් නිවෙස්වල වහළයන් වැඩි ආනතියක් හෙවත් ලොකුවට බෑවුම් හැඩයට නිර්මාණය කිරීමටත් වටේ තබා ඇති ජනෙල් හිමෙන් වැසෙන නිසා ඒ ජනෙලයන් උඩින්ද වහල පල ඉදිකරනු ලබයි. අරාබිය වැනි රටවල නිවාස ඉදිකිරීමේදී උස් බිත්ති සහිත නිවාස, ජනෙල් තැබීමේදී බිත්තියට උසින් තබා නිවස නිර්මාණය කරයි. ඒ තුළින් ඔවුන් අපේක්ෂා කරන්නේ දූවිලි, සුළං කුණාටුවලදී නිවස ඇතුළට දූවිලි පැමිණීම පාලනය කර ගැනීමයි. බංග්ලාදේශය, ඉන්දියාවේ පහත් බිම් ආශ්රිත කලාපවල නිවාස ඉදිකිරීමේදී අත්තිවාරම තරමක් උසින් ඉදිකර නිවාස තනයි මේවා සිදුකරන්නේ පහත් බිම්වල ජලය නිවස ඇතුළට පැමිණීම වළක්වා ගැනීමටයි.
මෙලෙස බලන කල නිවාස සැලසුමකදී මූලික වශයෙන්ම අනුගමනය කළ යුතු ප්‍රධාන කාර්යයන් අතර
ජීවත්වන ප්‍රදේශය
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ සමකයට ආසන්නවය. වර්ෂය පුරාවට සමානව වර්ෂාපතනයක් හා වියළි දේශගුණයක් සහිත රටකි. මේ නිසා වර්ෂාවටත් වියල දේශගුණයටත් සරිලන ආකාරයට වහල නිර්මාණය කරමින් නිවාස ඉදිකිරීම කළ යුතුයි. මෙහිදී කඳුකර, බෑවුම් හා මුහුදට ආසන්න ප්‍රදේශවල සුළං තත්ත්වයන් හා ජලගැලීම්, නාය යෑම් ආදිය සාධක වශයෙන් ගෙන, ඒ සියල්ලට සරිලන ආකාරයට නිවසක් ඉදිකිරීමට ප්‍රථම නිවාස සැලසුම පිළියෙල කරගත යුතුයි. සුළඟ ගැන සැලකීමේදී විශේෂයෙන් වහල නිර්මාණයේදී සුළං මුහුණතට පියැසි දික්වීමෙන් නිවස අනතුරට ලක්විය හැකි වගේම වහලට බර තැබීම. උදා: වැලිකොට්ටා තැබීමට ද සිදුවන්නේ සුළඟ පිළිබඳ සැලකිල්ලට නොගෙන නිවාස ඉදිකිරීමත් නිවාස සැලසුම් නිර්මාණයත් නිසාවෙනි. ඒ වගේම නිතර නිතර ගංවතුර තර්ජනයන්ට මුහුණ දෙන ප්‍රදේශවල ජල පහරට බිත්ති පෙඟීම නිවස ඇතුළට ජලයගලා ඒම නිසා හානි සිදුවේ. එම ගංවතුර නිසා නිවසේ සිදුවන හානි වළක්වා ගැනීම සඳහා ජලය ගලාගෙන යන දිශාවන් පිළිබඳ පරීක්ෂා කර බලා පහසුවෙන් ජලය ගලාගෙන යන දිශාවන්වල ජනෙල්, උළුවහු තැබීම සිදුකළ යුතුය. ප්‍රධාන මාර්ගවල, නගරය මාධ්‍යයේ පවතින භූමි සඳහා නිවාස සැලසුම් සකස් කිරීමේදී ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉදිරිපස විශාල ජනෙල් විශාල කවුළු තබා සැලසුම් නිර්මාණය කිරීම ද සුදුසු නොවේ. ජනෙල් තැබීමක් තුළින් අපේක්ෂා කරන්නේ නිවසට ආලෝකය ලබාගැනීමයි. වාහන ගමනාගමනය කරන මාර්ග දෙපස ඉදිකිරීමටඅපේක්ෂා කරන නිවාස සැලසුමක් සඳහා ජනෙල්, කවුළු ද්වාර තැබීමේදී වාහනවලින් නිකුත්වන දුමාරය, දූවිල්ල ගැන සැලකිලිමත්ව, එයට සරිලන ආකාරයට නිවාස ඉදිකිරීමට සැලසුම් නිර්මාණය කළ යුතුය. මේ අනුව නිවස ඉදිවෙන ප්‍රදේශය, ස්ථානය සලකා බලා නිවාස සැලසුම් නිර්මාණය කළ යුතු අතර, නිවාස සැලසුම නිර්මාණය කිරීමට ප්‍රථම අදාළ ස්ථානයට ගොස් අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතුම ය.
2 නිවසේ ආරක්ෂාව තහවුරු වන අයුරින් සැලසුම නිර්මාණය කිරීම
අප සමාජයේ විවිධාකාරයේ පුද්ගලයන් සිටී. සමහර පුද්ගලයන් සමාජයේ රටේ තොටේ ඉහළ නිලතලවල සිටී. සමහර අය නිතර මිනිසුන් සමග එකට වැඩ කරමින් සමාජශීලීව ජීවත්වෙති. සමහර අය ඉතා ආරක්ෂිතව විරුද්ධවාදීන්ගෙන් ආරක්ෂා වීමට නිතර විමසිලිමත්ව ජීවත්වෙති. ඒ වගේම පොදුවේ ගත් කල සියලු දෙනාටම පොදු ගැටලුවකි, සොරබිය හා නිවසේ මිල මුදල් භාණ්ඩ ආරක්ෂාව. මේ සම්බන්ධයෙන් නිවසක් ඉදිකිරීමේදී එක් එක් පුද්ගලයන්ගේ පිළිගැනීම, වත්පොහොසත්කම් ගැන සැලකිලිමත්ව තමන් ඉදිකරන නිවසේ ද්වාර, ජනෙල් ආදිය දැමීමේදී පූර්ණ ආරක්ෂාව සැලසෙන ආකාරයටම එහි නිවාස සැලසුම සකස් කළ යුතුයි. යම් නිවසක ප්රධානදොරින් ඇතුළු වූ සැණින් නිවසේ සෑම ස්ථානයකටම කිසිම ආවරණයක් ආරක්ෂා විධි නොමැතිව ඇතුළු වී එසැණින් පිටවිය හැකි නම් එම නිවසේ අභ්‍යන්තර ආරක්ෂාවක් නොමැති තරම්ය. ඒ වගේම එය ග්‍රාමීය හා ජනාකීර්ණ ප්‍රදේශයක එකිනෙකට වෙනස් අයුරින් පැවතිය යුතුය.
නිවාස සැලසුමක් සකස් කිරීමේදී තම නිවසේ මිල මුදල් ස්වර්ණාභරණ ආදී වටිනා වත්කම් වගේම වාහන හිමිකම් ඔප්පු තිරප්පු ආදිය තැන්පත් කර තැබීමට ඒ ඒ පුද්ගලයාගේ තරාතිරම අනුව සේප්පු, කබඩ්, ආදී තබන ස්ථාන සඳහා සුවිශේෂීව ආරක්ෂාව හිමිවන ආකාරයට නිවාස සැලසුමේදී රහසිගත කාමර හා ඒවාට ප්රවේශයන් තැබිය යුතුයි.
ඇතුළත සැලසුම්
නිවාස සැලසුමක සුවිශේෂී අංගයන් වන නිවසේ සාලය, කාමර, මුළුතැන්ගෙය, නාන කාමරය යනාදිය නිවස තුළ වෙන් කිරීමේදී ඒ ඒ දිශාවන්ට අනුකූල වන පරිදි ඒවා සකස් කිරීමයි. එසේ නොපැවතීම වාස්තු දෝෂවලට ප්‍රධානතම හේතුවක් වන්නේය. එම නිසා සෑම ගෘහ සැලසුමක්ම අවසන් කිරීමට ප්‍රථම එහි දළ පිටපත ගෘහ හිමියාට ලබා දී ඔහු ලවා වාස්තුවේදියකුගේ උපදෙස් හා පරීක්ෂාවන්ට යටත්ව නිවසේ කලින් කී ගෘහ උපාංග ස්ථාපිත කළ යුතුයි. සාලය සඳහා, කාමර සඳහා ප්‍රධාන නිදන කාමරය, මුළුතැන්ගෙය, නාන කාමර මේ සියල්ල සඳහාම වාස්තු විiාවේදී පංච මහා ධාතූන්ට අනුකූල වූ දිශාවන් පවතී. එම දිශාවන්ට පටහැණිව විපරීතව කරන ඉදිකිරීම් තුළින් වාස්තු දෝෂයන්ට ලක්ව නිවසේ විනාශය ළඟාවනු ඇත. උදාහරණ වශයෙන් නිවසක ප්‍රධාන නිදන කාමරය පැවතිය යුත්තේ නිරිත දිශාවටය. එය ඊශාන දිශාවට යොදා ගැනීම වාස්තු දෝෂයක් වනු ඇත.
රජයේ නීතිමය කරුණු
නාගරිකව නිවසක් ඉදිකිරීමේදී නගර සභාවේ නීති රීති රෙගුලාසි පවතී. ප්‍රධාන මාර්ගයේ සිට නිවසට දුර ප්‍රමාණයන්, වාතාශ්‍රය ලැබෙන ආකාරයට ජනෙල් තැබීම, වැසිකිළි වළ ඇතුළු බොහෝ කරුණු පවතී. බොහෝ ජනයා වෙසෙන නගර ආශ්‍රිතව මහ නගර සභා, නගර සභා, සුළු නගර සභා ගම් සභාවල නොයෙක් ආකාරයේ නීතිමය කරුණුවලට යටත්ව එකඟව නිවාස සැලසුම නොමැති නම් එකී ආයතනවලින් ඒ සඳහා අනුමැතිය නොලැබේ.
මේ ආකාරයට බැලීමේදී පැහැදිලිව පෙනෙන කරුණක් නම් නිවාස සැලසුමක් අනුව යම් අයකු තමන් වෙසෙන පළාතක නිවසක් ඉදිකළ පසු තවත් අයකුට එම සැලසුම ඔහුගේ හෝ ඇයගේ නිවස ඉදිකිරීමට ගත නොහැකි බවයි. මේ සියලු කරුණු නිවැරැදි වුව ද නිවසක් ඉදිකරන විටදී එම නිවාස සැලසුම අදාළ ගෘහ හිමියාගේ උපන් නැකත අනුව ගෘහ පොරොන්දම් ගළපා තමාගේ ජන්ම නැකත නිවසේ නැකතට ක්ෂේම, සම්පත්, සාධක, මෛත්‍රි, පරම මෛත්‍රි යන නැකතකින් එකකට සීහුම් කර සකසා ගත යුතුයි.
Advertisements


