Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිරයට පාර කපන අනවින කොඩිවින

1 month ago 7 Min read
Subha.lk

අද සෑම පවුලකටම පාහේ අනවින කොඩිවින දෝෂ බලපා තිබේ. මේ තත්ත්වය ගාල්ලත් මාතරත් තිබේ.  ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, බදුල්ල, මහියංගනය, කොළඹ ආදී සෑම ප්‍රදේශයකම සිටින අයට ද තිබේ. මම එසේ කියන්නේ යාපනය හැර අන් සියලු පළාත්වලින් මට කේන්දර සම්බන්ධව එන දුරකථන ඇමතුම්වලින්  ප්‍රකාශ කරන කරුණු අනුවය. මේ අනවිනකොඩිවින සම්බන්ධව අතීතයටගියහොත් මේවා සකස්වුණ ආකාරය දැනගත හැකිය. එදා හිමාල කන්ද ඇතුළු බොහෝ තැන්වල භාවනාවෙන් සිත දියුණු කළ අය සිටි අතර ඒ සිත  දියුණු කිරීම තුළින් මේ ලෝකයේ මියගිය මිනිසුන්ගේ ආත්ම දකින්නේය. එසේම එම ආත්ම අල්ලාගෙන තමන්  කැමැති වැඩ ඔවුන්ගෙන් ලබා ගැනීමට ‘ශබ්දය’ ඇසුරෙන් හැකියාව ලබාගත හැකි බව ඔවුන් දුටුවේය (එය ද  බයෝ තාක්ෂණයකි). එම ශබ්දයට ඔවුන්ගේ සූක්ෂ්ම සිරුරු අවනත වීම සඳහා ‘මන්ත්‍ර ශාස්ත්‍රයක්’ ඔවුහු  නිර්මාණය කළහ. එයට ඔවුන් බැඳී තමා වෙත එන අතර තමන්ට අවශ්‍ය වැඩය ඔවුන් ලවා කරවන්නට ඔවුන්  නැමෙන පරිදි මේ ශබ්ද ශාස්ත්‍රයක් ලෙස ඒ ඍෂිවරු තැනුවෝය.

 

ඒවා නූතන ලෝකයේ ‘මන්ත්‍ර’ යනුවෙන් හඳුන්වයි. අද ඒවා එනම් ඒ මන්ත්‍ර ප්‍රගුණ කරගත් අය ‘ඇදුරන්’ යන  විශේෂ නමකින් හඳුන්වයි. ඔවුන් මේ විශ්වයේ මියගිය අයගේ ආත්ම අල්ලාගෙන ඔවුන්ට අවශ්‍ය වැඩය කරගනී. අද වැඩිපුරම එයින් සිදුකරන්නේ මිනිසාගේ යහපත නැතිකර දමන ‘කොඩිවින’ කිරීමය.

 

මෙහිදී ඒ අල්ලාගන්නා අමනුෂ්‍යයන් මිනිස් ජීවිතය ගෙවූ කාලයේ ඔවුන්ගේ සිත් ලෝබ, ද්වේෂ, මෝහ අකුසල් මූල තුළම ජීවත් වූ අයයි. ඒ අය මියගිය පසු ඔවුන් අමනුෂ්‍යන් බවට පත්වී ඒ ලෝබ, ද්වේෂ, මෝහ තුළ අත්‍යන්ත දුක්  විඳී. මන්ත්‍ර බලයට ඔවුන් වේගයෙන් බැදෙන්නේද දුක් විඳීමටය. එසේ බැඳුණු පසු නැවතත් මන්ත්‍ර බලයෙන් ඒ  අමනුෂ්‍යා අහවලාගේ ගෙදර උඹ සිටිය යුතුයි කියා වැලි, අබ, මීනි අළු ආදී දේට බන්ධනය කර ඒවා ඒ ගෙදරට  ඉස්ස පසු ඒ අමනුෂ්‍යයා එම ගෙදර හෝ ගෙවත්තේ හෝ සිරගත වෙයි. ඔහුට එයින් මිදී යා නොහැක.

 

ඒ අමනුෂ්‍යයාගේ හිත තුළ පිරී ඇත්තේ ලෝබ හෙවත් තණ්හාව, ද්වේෂ හෙවත් වෛරය, මෝහ හෙවත්  මෝඩකමය. ලෝබය ඔහුට උග්‍රය. නමුත් කිසිවක් ලැබෙන්නේ නැත. ද්වේෂය නිසා වස්තු සම්පත් මිල මුදල්  ලබන්නන් සමග වෛරය ඊර්ෂ්‍යාව ඇති කරගනී. එම නිසා ඒ ගෙදර අයට ලැබෙන එම දේවල් ඒ අමනුෂ්‍යයාට  පෙනේ. එවිට ඒවා කෙරේ ඔහුට තණ්හාවත්, වෛරයත් ඊර්ෂ්‍යාවත් උපදී. ඒ දේවල් බලපාන්නේ ඒ ගෙදර ජීවත්  වන අයටය.

 

ඒ අමනුෂ්‍යා මිනිසකු වී සිටි කාලයේ යම් යම් රෝග පීඩා තිබුණා නම් ඒවාද ඒ ගෙහිමියන්ට ලැබේ. මේ සියලු  ක්‍රියාත්මකවීම් සිදුවන්නේ ‘කිරණ’ ජාලාවලිනි. ඒ අමනුෂ්‍යයාගෙන් විහිදෙන කිරණවල තැම්පත්ව ඇත්තේ එකී  කරුණුය. එම ගෙදර සෙනසුරු ඒරාෂ්ටක අපල ඇති කෙනෙක් සිටී නම් ඒ සෙනසුරු නම් ග්‍රහ ලෝකයෙන් ඒ  ඇත්තාට සම්බන්ධ වන පරමාණු කිරණ සමග අර අමනුෂ්‍යාගේ කිරණ ද මිශ්‍ර වී ඒ තැනැත්තාගේ අපල වැඩි  කරයි.

 

ඔය අනවින කොඩිවින පිළිබඳ පුරාවෘත්තය එයයි. ඇතැම් අමනුෂ්‍යයන් විශේෂයෙන් මිනිස් ආත්මයේදී  සොරකමේ යෙදී සිටි අයයි. අමනුෂ්‍යයන් බන්ධනය කර අනුන්ට අයිති මුදල් පවා ඒ අමනුෂ්‍යයා යොදාගෙන  ඇදුරා ළඟට ගෙන්වා ගත හැකි මන්ත්‍ර ද තිබේ. අමනුෂ්‍ය පිරිසක් බන්ධනය කර අනුන්ගේ ගෙවල්වලට ගල් ගැසීම් ද කළ හැකි මන්ත්‍ර තිබේ.

 

එවැනි මන්ත්‍ර ශාස්ත්‍ර ලෝකයට දුන් එම ඍෂිවරු අද සිටින්නේ මහා දුක් ඇති නිරයන් තුළ බව බුදුදහමෙන්  පවසයි. එසේම අද එම මන්ත්‍ර උපයෝගි කරගෙන මිනිසාට අනවින කරන අතැම් ඇදුරෝ ඒ කරන බලවත්  අකුසල් බලය තමා මැරෙන තුරු බලා සිටින බවත් මරණෙන් පසු නිරයට ඇදගෙන යන බවත් සඳහන් වේ.

 

එසේම එකී කොඩිවින කපා එයට බන්ධනය වූ අමනුෂ්‍යයන් ඒ බන්ධනයෙන් මිදී නිදහසේ වෙනත් සුදුසු  ස්ථානවලට දමන මන්ත්‍ර තිබේ. එමගින් බන්ධන කපා දමන ඇදුරෝ ද සිටිති.

 

අද වනවිට අපේ රට ඉතාම අධර්මිෂ්ට රටකි. යම්කිසි කාර්යයක් කර යම් දියුණුවකට යමෙක් පත්වන විට එය  බලාසිටින කෙනකුගේ සිතට ඇති වන්නේ අකැමැත්තකි. අද සිටින බොහෝ මිනිසුන් තුළ මුදිතා ගුණය නැත.  තමනුත් උත්සාහ කර ඒ මිනිසා දියුණුවට පත්වුණා සේ දියුණු විය යුතුයි කියා සිතට හැඟීම් එන්නේම නැත.  එහෙම එන හැඟීම වන්නේ ඌ කොහෙමද එහෙම දියුණු වෙන්නේ කියාය. සිත තුළ ඇතිවන මේ හැඟීමට එන  උත්තරේ වන්නේ ඒ මිනිසාට කොඩි විනයක් කර ඔහු පහත දැමීමට ගන්නා උත්සාහයකි. ඒවාට විශාල මුදලක් වැය කර කොඩිවින කර අර අමනුෂ්‍යයා ප්‍රශ්න කරදරවලට මුහුණපාන විදිය දැක හෙතෙමේ සතුටු වෙයි.

 

මේ කොඩිවිනවලට බන්ධනය වන අමනුෂ්‍යයෝත් මනුස්ස ආත්මවල සිටියදී කටයුතු කළේ ද ඒ අයුරිනි. අමනුෂ්‍ය වෙලත් එවැනි වැඩ කරනවිට ඔහු ද අනාගතයේ මහා දරුණු නිරයක වැටී අප්‍රමාණ දුක් වේදනා විඳගන්නට  සිදුවේ. අද අනවින කොඩිවින කරන මිනිසුන් මෙලොවට ගෙන ආ ආයුෂය අවසන් වනතුරු එවැනි වැඩ කරමින්  මුදල් උපයමින් සැප සම්පත් භුක්ති විඳිමින් සිටිය හැක. නමුත් මරණයෙන් පසු අර කොඩිවිනවලට බන්ධනය කළ අමනුෂ්‍යයන් වගේම තත්ත්වයට තමා ද පත්වෙයි. එවැනි තත්ත්වයන් නොදන්නාකමට ‘මෝහ’ කියා ධර්මයේ  උගන්වයි. ඒ මිනිස්සු තත්පරයක් පාසාම මිල මුදල් වස්තුවලට ඇලෙමින් මේ වැඩ කර මරණින් පසු අමනුෂ්‍යන්  බවට පත්ව ඉතා කෙටි කලකින් යකඩ, ගිනිගත් අඟුරු ගොඩවල් ඇති මහා දරුණු නිරයන්වලට වැටී අත්‍යන්ත  දුක් විඳීමට සිදුවේ.

 

කොඩිවිනය සැකසූ ඇදුරාටත් කොඩිවින ඔහු ලවා කරගත් කෙනාටත් මේ ආනිශංසයම අත්වන බව අපේ උතුම් බුදුදහම අනුව පෙන්වා ඇති බව සෑම කෙනෙක්ම අවබෝධ කරගනිත්වා.

 

මෙවන් අනවින කොඩිවිනවලට නීතියෙන් පිළිසරණක් නැතත් විශාල මහජන අපරාධයක් සිදුවෙයි. පෙර රජ  දවස අනවින කරන ඇදුරන් ද මිනිසුන්ට අනවින ඔවුන් ලවා කරන මිනිසුන් ද හිස ගසා මරන දඬුවම දුන් බව  ජනප්‍රවාදයේ එයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk