Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කේන්ද්‍රයට අනුව ඔබේ වෘත්තීය ජීවිතය

1 month ago 7 Min read
Subha.lk

කෙනෙකුගේ රැකියාව කුමක් දැයි විනිශ්චය කිරීම ඉතාම අසීරු කටයුත්තකි. ඒ සඳහා නිවැරදි තීරණයකට  එළැඹීම සඳහා කේන්ද්‍රයේ ස්ථාන කීපයක්ම හොඳින් සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. මේ අතරින් 03 වැන්න, 05 වැන්න සහ 09 වැන්න ඉතා වැදගත් වෙනවා. කෙනෙකු තමා නියැළෙන්නේ උපතින් ගෙනා දක්ෂතාවයන්  මුල්කොට ගත් ක්ෂේත්‍රයක ද, එහෙම නැත්නම් අධ්‍යාපනය මුල්කොටගත් ක්ෂේත්‍රයක ද යන්න පළමු  තෝරා බේරා ගතයුතුව තිබෙනවා.

කෙනෙක් මෙලොවට බිහිවූ දා පටන්ම ජීවිත කාලය පුරාවටම යම් යම් සුවිශේෂී වූ අවධි පසු කරයි.

 

● මුල් ළමා විය සංවර්ධනය,

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, නැතිනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෘත්තීය ක්ෂේත්‍රය, විවාහ ජීවිතය යන කරුණු ඒ අතරින් මුල් තැනක් ගන්නවා. මේ සියලු කාරණා අතරිනුත් තම වෘත්තීය ක්ෂේත්‍රය ඉතාම වැදගත්  සන්ධිස්ථානයක් ගන්නවා. වෘත්තීය ක්ෂේත්‍රය වෙනුවෙන්ම උසස් අධ්‍යාපනය තෝරාගෙන හදාරන අය තම  විවාහ ජීවිතයේ උසස් පැවැත්මක් සඳහා ඉහළම වෘත්තීය ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට කැමැතියි.

 

මේ සියලු කාරණා ඔබගේ කේන්ද්‍රයේ සඳහන් වෙලා තියෙනවා කියලා ඔබ දන්නවද?

 

ඒවගේම ඔබ පෙර ආත්මවල කරපු කුසල් සහ අකුසල් මේ හැම කරුණකටම බලපානවා කියලත් ඔබ දැනගෙන සිටියා ද?

 

● එහෙනම් අපි බලමු ඔබේ වෘත්තීය ක්ෂේත්‍රය කොහොමද තෝරාගන්නේ කියලා.

කෙනෙකුගේ රැකියාව කුමක් දැයි විනිශ්චය කිරීම ඉතාම අසීරු කටයුත්තකි. ඒ සඳහා නිවැරදි තීරණයකට  එළැඹීම සඳහා කේන්ද්‍රයේ ස්ථාන කීපයක්ම හොඳින් සැලකිල්ලට ගතයුතුව තිබෙනවා. මේ අතරින් 03 වැන්න, 05 වැන්න සහ 09 වැන්න ඉතා වැදගත් වෙනවා. කෙනෙකු තමා නියැළෙන්නේ උපතින් ගෙනා දක්ෂතාවයන්  මුල්කොට ගත් ක්ෂේත්‍රයක ද, එහෙම නැත්නම් අධ්‍යාපනය මුල්කොටගත් ක්ෂේත්‍රයක ද යන්න පළමු  තෝරාබේරා ගතයුතුව  තිබෙනවා.

 

ඒ වගේම සහජ දක්ෂතාවය, නිර්මාණශීලිත්වය පිළිබඳ බැලීමේදී03වැන්නත් මුල් තැනක් ගන්නවා. ඊට අමතරව අභ්‍යන්තර ආශාවන් පෙන්නන පස්වැන්න ද උවමනා වෙනවා. එම ස්ථාන අධිපතින් ජන්ම පත්‍රයේ සිටින  ආකාරය ද නැතිනම් ඒ ස්ථානවල සිටින ග්‍රහයන් සිටින ආකාරය ද, ඔවුන්ට වැටෙන ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ සංයෝග  ආදිය අනුව ද රැකියාව තීරණය කළ හැකි වෙනවා.

 

මේ අතර රැකියාව අධ්‍යාපනය මුල්කරගෙන ලැබෙන එකක් ද බැලීමට නම් 04 වැන්න, 05 වැන්න සහ 09 වැන්න ගැන ජන්ම පත්‍රය තුළින් ඉතා සියුම් පරීක්ෂාවකට ලක්කොට විමසා බැලිය යුතු වෙනවා. මෙහිදී  තුන්වැන්න සහ පස්වැන්න අතරින් වඩාත්ම බලවත් ස්ථානය රැකියාව සඳහා පසුබිම නිර්මාණය කරනවා.

 

ඇතැම් අය මෙම ස්ථාන දෙකෙන්ම ප්‍රයෝජන ගන්නවා දකින්නට පුළුවන්. එකවර වෘත්තීන් දෙකක නිරත වන  අය ලෙසත් මේ අයව සඳහන් කරන්න පුළුවන්. මේ අතර ඇතැමෙකුගේ 03 වැන්නේ බලපවත්වන ග්‍රහයෙකුගේ  ස්වරූපයටම ගැළපෙන ග්‍රහ බලයක් 10 වැන්නේ ද නිර්මාණය වන්නේ නම් ඔහු හෝ ඇය නියත වශයෙන්ම  තම ජීවන වෘත්තීය සඳහා තෝරාගන්නේ එම බලවත් ග්‍රහයන් වෙතින් නිවේදනය කරන රැකියාවයි.

 

කෙනෙකු අධ්‍යාපනය මුල්කරගෙන රැකියාවක නිරත වන්නේනම් 05 වැන්න සහ 09 වැන්න ඉතාම බලවත්  වියයුතුමයි. ඊට අමතරව ලග්නයේ ද යම් බලයක් තිබිය යුතුමයි. මෙහිදී 05 වැන්නේ සිටින ග්‍රහයා ගැන 05 වැන්න  අධිපති ග්‍රහයා ගැන ද ඊට ලැබෙන ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ සංයෝග ආදිය ගැන ද හොඳින් විමසිලිමත්ව බැලිය යුතු  වෙනවා.

 

05වැන්නේ 06/08/12 අධිපතියෙකු සිටීම හා 05වැන්නාධිපති 06/08/12 යන ස්ථානයක තැන්පත් වීම ද තරමක නරක පිහිටීමක් ලෙස සලකනු ලබනවා.

 

05වැන්නාධිපති 05වැන්නේ හෝ 09වැන්නේ සිටීම ඉතාම යහපත් පිහිටීමක් වෙනවා. මේ අතර 05වැන්නාධිපති 02/09 අධිපතින් හා පරිවර්තනය වීම ද උසස් අධ්‍යාපනය ලැබීමේ වාසනාව පෙන්වනු ලබයි.

 

එමෙන්ම රවි /ගුරු /සිකුරු යන ග්‍රහයන් බලවත්ව05වැන්නේ හෝ09වැන්නේ සිටීමෙන්ද අධ්‍යාපනය සඳහා ඉතා වටිනා පිහිටීමක්  ලෙස සලකනු ලබනවා. මේ ආකාරයේ පිහිටීම් තිබෙන ජන්මියෙකුගේ අධ්‍යාපන මට්ටම උසස් ලෙස අවසන්කර උසස් රැකියාවකට හිමිකම් කීමට ද පුළුවන.

 

කෙනෙකුගේ උගත්කම හැකියාව යන මේ දොරටු දෙකම විවර කරගෙන තිබුණත් ඇතැම්විට පෙර පින නොමැතිකමින් තම සුදුසුකම් දක්ෂතාවලට ගැළපෙන රැකියාවක් සොයාගැනීමට නොහැකිව ඔහේ ඉබාගාතේ ඇවිද යන චරිත බවට පත්ව තිබෙනවා අපි දැකලා තිබෙනවා.

 

තවත් අයෙකුට උගත්කම, හැකියාව නැතිව ඊට අදාළ සුදුසුකම් අවම මට්ටමේ තිබියදීත් සංසාරයේ කරපු කුසල කර්ම, පෙර පින නිසාම ඉතා හොඳ වෘත්තියක නියැළීමට වාසනාව උදාවෙලා තිබෙනවා.

 

ජන්මියෙකුගේ හැඟීම් අනුව දියුණු කරනු ලබන දැනීම, ක්‍රියාත්මක කරනු ලබන්නේ කේන්ද්‍රයේ 10වන  ස්ථානයෙන්ය.

 

එම නිසා කේන්ද්‍රයේ 10වැන්න කර්ම ස්ථානය ලෙස ද හඳුන්වනු ලබනවා.

 

මෙහි සිටින ග්‍රහයන්ගේ බලය ජන්මියාගේ කටයුතු, පිළිවෙළ කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරනවා. 10 අධිපතිගේ තත්ත්වය අනුව හා උත්පත්ති ගතිපැවතුම් හා හැඟීම් අනුව දියුණු කරනු ලබන දැනීම නැතිනම්  ඉගෙනීම අනුවද ජන්මියකුගේ රැකීරක්ෂා පිළිවෙළට හේතු සාධක වෙනවා.

 

මේ නිසා කේන්ද්‍රයේ ලග්නය සඳු, රවි හා ඔවුන් සිටි රාශිත් එහි අධිපතියනුත් කේන්ද්‍රයේ 10වැන්න අධිපතියා  සිටින රාශිය, ස්ථාන, වර්ග ආදියටත් අධිපති ග්‍රහයන්ගේ බලය ගැන ද පරීක්ෂා කර බැලීමෙන් ජන්මියෙකුගේ  රැකියාව ගැන දැන ගැනීමට පහසු වනු ඇත.

 

● ගුරු වෘත්තීය ලැබීමට හේතු කාරණා වන ග්‍රහ පිහිටීම් මොනවද කියලා අපි බලමු

ගුරුවරයෙක් තුළ ආත්ම ශක්තිය, පාලන බලය, සැකසුරුවම්කම, ඥානය, අන්‍යයන්ට උපදෙස් දීම සහ අදහස්  ප්‍රකාශ කිරීමෙහි ඇති දක්ෂතාවය,ගෞරවයට, ආදරයට, කීර්තියට පත්වීමට ඇති වාසනාව, ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි ඇති ආශාව, පොත්පත් සමග කටයුතු කිරීමට ඇති කැමැත්ත, අන්‍යෝන්‍ය සම්බන්ධය, ක්‍රියාශීලීභාවය උසස් අදහස් ඇතිවීම පොදු වශයෙන් කරන සේවය යහපත් ඇවැතුම් පැවැතුම් හා උසස් ගුණාංග රාශියකින්  යුක්ත අයෙකු ද යන බව ජන්ම පත්‍ර පරීක්ෂාවක් තුළින් වැඩිදුරටත් දැනගත හැකි වනු ඇත.

 

● එහෙමනම් ඒ ග්‍රහ පිහිටීම් මොනවද කියලා අපි බලමු

ගුරු, බුධ ආදී ග්‍රහයන් 10වැන්නේ සිටීම ද, 05 වැන්න09 වැන්න අධිපති ග්‍රහයන් 10වැන්නේ සිටීමද,10 වැන්නාධිපතියා සහ03වැන්න,05වැන්න09වැන්න අධිපතියන් බුධ ග්‍රහයාගේ රාශි, අංක ආදියෙහි සිටීමෙන් ද රවි, සඳු යන ග්‍රහයන් දෙදෙනා මිථුන,කන්‍යා රාශිවල සිටීමෙන් ද ශාස්ත්‍රීය කටයුතු හා ගණිත මිනිත ආදී දේටත්  කලාත්මක දේටත් ඇති ආශාව දියුණු කරනවා

 

කේන්ද්‍රයේ 03වැන්න ජන්මියෙකුගේ දැනීම තැන්පත් කරන ස්ථානය වන අතර 05වැන්න හා 09 වැන්න දැනීම  දියුණුකිරීමට ඉවහල් වන ස්ථානයන්ය. කේන්ද්‍රයේ 05වැන්න ජන්මියකුගේ අභ්‍යන්තර හැඟීම් තහවුරු කරන  ස්ථානය  වන අතර, 09වැන්න උසස් අවබෝධයකට හේතුවන ස්ථානයයි.

 

කේන්ද්‍රයේ අවබෝධ ඥානය දියුණු කිරීමට හේතු වන ස්ථානය හෙවත් 09වැන්නෙන් 06වැන්න වන කේන්ද්‍රයේ 02වැන්නේ බල දුබලකම අනුව අවබෝධ ඥානයෙන් යුක්තවද, පාලන බලය දියුණු වීමට ද ඉවහල් වෙයි. එම නිසා ගුරු වෘත්තිය සඳහා ඇති කළ යුතු පාලන බලය කේන්ද්‍රයේ 03වැන්න සහ 09වැන්න සම්බන්ධ බලවේගය 02වැන්නේ බල දුබලකම් අනුව සිදුවන බව පැහැදිලියි.

 

පොත්පත් සහ ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි ඇති ආශාව හා සමාජය කෙරෙහි පවතින ලැදිකම කේන්ද්‍රයේ 11වැන්න පරීක්ෂා කිරීමෙන් දැනගත හැකි වනු ඇත. පොදු වශයෙන් කරන සේවයත්, සැකසුරුවම්කමත්  කේන්ද්‍රයේ දොළොස් වැන්න තුළින් මැනවින් බලා ගත හැකි වේ.

 

මේ ආකාරයට ගුරු වෘත්තීය සඳහා කේන්ද්‍රයේ 02/03/05/09/10/11/12 යන ස්ථාන සියල්ලම පරීක්ෂා කර බැලිය යුතු වෙනවා.

 

● ඊළඟට අපි බලමු වෛද්‍ය වෘත්තියට හේතු කාරණා වන ග්‍රහ පිහිටීම් මොනවාද කියලා

වෛද්‍ය ශාස්ත්‍රයේ සැඟවුණු දේවල් ගැන සෙවීමේ ඥානයෙන් යුතුවෙන් කළ යුතුයි. රසායනික කටයුතු, විද්‍යා  පර්යේෂණ ආදිය සඳහා ගුප්ත ඥානයක් ඇතිවිය යුතුයි. සාමාන්‍ය දැනීම, උගත්කමට ඇති ආශාව, කල්පනා  ශක්තිය, උද්යෝගීවන්තබව, ක්‍රියාශූරත්වය, ආදී දේවල් මේ සෑම එකක්ම ඇති වියයුතු විශේෂ ගුණාංග වෙයි.

 

සෑම සැඟවුණු ක්‍රියාවක්ම ස්ඵුට වන්නේ කේන්ද්‍රයේ අටවෙනි ස්ථානයෙනි. එසේම රාශි චක්‍රයේ 08වැන්න වූ  වෘශ්චිකය ද සැඟවුණු දේවල් පිළිබඳව මැනවින් තතු හෙළි කරන බව පෙනේ.

 

කේන්ද්‍රයේ හයවැන්න ලෙඩ රෝග පිළිබඳව ස්ථානය වන අතර, ලෙඩ රෝගවල තත්ත්වය රඳා පවතින්නේ  කේන්ද්‍රයේ 07වෙනි ස්ථානය එනම් 06වැන්නෙන් 02වැන්නේය.

 

මේ නිසා වෛද්‍ය කටයුතු පිළිබඳව 07වැන්නද විශේෂයෙන් බලපාන ස්ථානයකි. හැඟීම් දියුණු කරන ස්ථානයක්  දවෙයි. එම නිසා හැඟීම් දියුණු කරන ස්ථානයන් වූ 05/09 අධිපතියන් 07වැන්නේ සිටීමත්, වෘශ්චික රාශියේ  සිටීමත් වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව ඇතිකරවන ග්‍රහ පිහිටීම් වේ.

 

මේ අනුව වෛද්‍ය වෘත්තිය ගැන බලනවිට කේන්ද්‍රයේ 03/05/07/08/09/12යන ස්ථාන ද ගුරු/බුධ/සිකුරුගේ  පිහිටීමත් සියුම් පරීක්ෂාවකින් විමසා බැලිය යුතු වෙනවා.

 

● ඊළඟට අපි බලමු ඉංජිනේරු වෘත්තිය සඳහා ග්‍රහ පිහිටීම් කොහොමද කියලා

ජන්මියෙකුගේ හැඟීම් අනුව දියුණු කරන දැනීම පිළිබඳ ස්ථානයන් හා ඥානකාරක ග්‍රහයාගේ ප්‍රකෘති ගුණය ඒ  අනුව ම බලවත් වීම හා කේන්ද්‍රයේ 03/05/09/10 යන ස්ථානයන්ට අධිපති ග්‍රහයන් තේජෝ රාශිවල සිටීමෙන්  හා තෙත් ගුණය හා පඨවි ගුණයෙන් යුක්ත නොවීමත් කුජ ග්‍රහයාගේ බලවත් වීම අනුව මේ ස්ථාන අධිපතියන් කෙරෙහි ලබන ආකර්ෂණාත්මක පිහිටීමත් ජන්මියාගේ කටයුතු පිළිවෙළ කාර්මික අංශයට යොමු කරවන බව වටහා ගතයුතුයි. මෙම ග්‍රහයන්ගේ බලයෙන් අඩු වැඩි වන ආකාරය අනුව තත්ත්වයේ උස් පහත් බව තීරණය  කළ යුතුයි.

 

● ඉංජිනේරු වෘත්තිය කෙරෙහි පැවැතිය යුතු ගුණාංග ගැන කියනවනම්

සියුම් ඥාන ශක්තියක් තිබිය යුතුවම ඇත. ඒ වගේම උද්යෝගීවන්තකමත් ක්‍රියාශූරත්වයත් තිබිය යුතුම  ගුණාංග වෙනවා. ඒ වගේම කේන්ද්‍රයේ 10වැන්නාධිපතියා ගිනි රාශිවල සිටීමත්, මේ ගිනි රාශීවලට හිමි  වර්ගවල බලයෙන් යුක්ත වීමත්, ජන්මියාගේ ක්‍රියාත්මක පිළිවෙළ නොපසු බට වේගයෙන් ක්‍රියාත්මක කරවන  ලක්ෂණයක් වෙනවා. මෙය ද බොහෝවිට කාර්මික බලවේගයන් දියුණු තියුණු කරවීමට ආධාර වන පිහිටීමක් වෙනවා.

 

එසේම03/05/09 අධිපති ග්‍රහයන් ගිනි රාශිවල සිටීමද, 03 වැන්නේ තෙත් ගුණය සහ පඨවි ගුණය අඩුවීම සහ  ගිනිකාර, වාත, ප්‍රකෘති ගුණයක් තුන්වැන්නේ පැවැතීම ද සියුම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට විශේෂ වෙයි.

 

ඒ වගේම කාර්මික කටයුතු ගැන සෙවීමේදී ශනි ග්‍රහයා ගැනම කල්පනා කළ යුතු නැත. සෙනසුරු ග්‍රහයන් අතර කම්කරුවා ලෙස හැඳින්වුවද කාර්මික කටයුතු සඳහා මූලික බලය ශනීගෙන් ඇති නොවන බව මතක තබා  ගතයුතුව ඇත. කාර්මික අංශය කෙරෙහි පැවැතිය යුතු ගුණාංග ගැන පළමුවෙන් සිතිය යුතුයි. සියුම් ඥානයක්,  උද්යෝගීවන්තකමක්, ක්‍රියාශූරත්වයක් ගුණාංග වශයෙන් පැවැතිය යුතුමය.

 

● ඊළඟට අපි බලමු දේශපාලනය හා සමාජ සේවය ගැන කොයි විදිහට ද ඔබගේ ජන්ම පත්‍රයේ තිබෙන්නේ  කියලා

කේන්ද්‍රයේ 07වැන්න සෑම හවුල් කටයුත්තකටම ප්‍රධාන වේ. ප්‍රසිද්ධියත් ප්‍රචාරයත් සහයෝගීතාවයත් 07වැන්නේ බලය අනුවම සිදුවන දෙයකි.

 

එහෙත් සමාජය හා ආශ්‍රය කරන්නන්,යහළු මිත්‍රයන් පිළිබඳවත් දැනගැනීමට කේන්ද්‍රයේ 11වැන්න බැලිය යුතුව  ඇත.

 

ඒ වගේම සමාජය පිළිබඳවත්, හවුල් කටයුතු පිළිබඳවත් ලබන කීර්තිය තැන්පත් වන්නේ කේන්ද්‍රයේ 03වැන්නේය.

 

මේ සෑම දෙයකම තත්ත්වය රඳා පවතින්නේ කේන්ද්‍රයේ 02වැන්නේ ඇති බලය අනුවම වේ.

 

එම නිසා දේශපාලන කටයුතු හා සමාජ සේවය පිළිබඳ දේ කේන්ද්‍රයේ 06 වැන්නෙන් ලබන බලයත්, 07වැන්නෙන්  සහ 11වැන්නෙන් ලබන ප්‍රසිද්ධියත්, ප්‍රචාරයත්,අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සහ සහයෝගීතාවයත් තැන්පත්  වන කේන්ද්‍රයේ වික්‍රම ස්ථානයේ පවතින බලය හා ඒවායේ තත්ත්වය රඳා පැවැතීම ඉවහල් වන බලය කේන්ද්‍රයේ 02වැන්නෙනුත් විකාශනය වන බව මෙයින් පැහැදිලි වෙනවා. දේශපාලනයත්, සමාජ සේවයත් එකම විෂයෙහි  නියැළී කාරණා ලෙස ගන්න බැහැ.

 

එහෙමනම් අපි බලමු ඒ දෙකෙහි වෙනස මොකක්ද කියල.

 

දේශපාලන විද්‍යාව, නීතිඥ වෘත්තිය, පාලන බලතල, අන්‍යයන් අබිබවා කටයුතු කිරීමේ බලය, චණ්ඩිකම්,  මැරකම්, මැරබලය ආදී දේ එක් කොටසකට ද සමාජ සේවා කටයුතු, අන්‍යයන්ගේ සුබ සිද්ධියට යොදන කටයුතු, පරෝපකාරය බැරි දුබල දුර්වල අයට උපකාර කිරීම ආදී දේ අනිත් කොටසට අයත්වේ.

 

එසේම කේන්ද්‍රයේ 06වැන්නේ රවි/කුජ/රාහු ආදි ග්‍රහයන් බලයෙන් යුක්තව සිටීමත් යහපත් කාරණාවක් වෙයි.  මෙය සතුරන් මෙල්ල කිරීමට ප්‍රධාන බලවේගයක් වෙයි. පාලන බලයක් ලැබීමට ද මෙම පිහිටීම ඉවහල් වෙනවා.

 

විශේෂයෙන් කුජ/සිකුරු යන ග්‍රහයින් දෙදෙනා බලයෙන් යුක්තව 06වැන්නේ සිටීම බලය ප්‍රකෘතිමත් වී තිබීමට  හා බලය තහවුරු වීමට යහපත් වන පිහිටීමක් වෙයි. තවද ජන්මියාගේ හැඟීම් උපදවන බුධ/ සිකුරු දෙදෙනාගේ පිහිටීම සහ සුමඟට හෝ නොමඟට යොදවන කුජ /ශනි දෙදෙනාගේ බලය විකාශනය වන ආකාරයත් ප්‍රධානය.

 

මධ්‍යස්ථතාවය ආරක්ෂා කරන ගුරුගේ බලපෑම ද, ආත්ම ශක්තියට හේතුවන රවිගේ ශක්තිය ද, සෑම බලවේගයක්ම පෘථිවිය මත ක්‍රියාත්මක කරන සඳුගේ තත්ත්වය ද බලය ද විශේෂයෙන් බැලිය යුතුය.

 

ඒ සියල්ල විමසා බැලියයුතු වගේම ජන්ම පත්‍රයේ පවතින විශේෂ රාජයෝග ගැන ද සූක්ෂමව විමසා බැලිය යුතුයි. මෙම රාජයෝග ක්‍රියාත්මක කරන ග්‍රහයාගේ කාලයේ පාලන බලය, පිරිස් බලය, ලෞකික සැප උසස්ම අයුරින් ලැබුණ ද, එම ග්‍රහයාට ලැබෙන ග්‍රහ දෘෂ්ටිවල බල දුබලතාවය අනුව බලය,ප්‍රසාදය, කීර්තිය රඳා පවතී.

 

● ඊළඟට අපි බලමු ව්‍යාපාර කටයුතු වෙළහෙළඳාම් කටයුතුවලට කොහොමද කෙනෙකුගේ ජන්ම පත්‍රය තුළින් නිවැරදිව නිගමනයට එන්නේ කියලා

 

පාලන බලයත්, ක්‍රියාශූරත්වයත්, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයත්, යටහත් පහත් ස්වාභාවය මෙන්ම  ආත්මාර්ථකාමීත්වයත් විශේෂයෙන්ම වෙළහෙළදාම් පිළිබඳ දේ කෙරෙහි පැවැතිය යුතු ගුණාංගයන් වෙනවා.  ආත්මාර්ථකාමී වීම තමාගේ දියුණුව කෙරෙහි පවතින බලවත් ආශාවට හේතුවක් ලෙස පෙනී යනවා.  පරාර්ථය උදෙසා වැඩ කරන්නා වෙළහෙළදාම් ආදී කටයුතුවලින් පාඩු සිදු කරගන්නවා.

 

ජන්ම පත්‍රයේ ස්ථාන වශයෙන් අනුපචය ස්ථානවලට වඩා උපචය ස්ථානයන්ගේ බලය ප්‍රධාන වෙනවා. 10/11  ආදි ස්ථානවල පවතින බලය විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු කෙරෙහි බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. 07 වැන්නේ තියෙන බලය අනුව ප්‍රසිද්ධිය හා ප්‍රචාරය ඇතිවන බැවින් එම ස්ථානය දුර්වල වීම මේ පිළිබඳ කටයුතු ඉක්මනින් දියුණුවීමට බාධාවක් වෙයි.

 

10 අධිපතියා දුර්වල වීමද කටයුතු කෙරෙහි බාධක ඇතිවීමට හේතුවන අතර 07/10 අධිපතියන් වායු රාශි හා  අංශකවල බලයෙන් යුක්ත වීම තම කටයුතු පිළිවෙළ ඉතා ඉක්මනින් පැතිර යෑමට හේතුවක් වෙනවා.

 

කුජ ග්‍රහයා 10වැන්නේ සිටි තැනැත්තා අන්‍යයන් අබිබවා කටයුතු කර බොහෝ ඉක්මනින් දියුණු වන  තැනැත්තෙකි.

 

කුජ 10වැන්නේ බලයෙන් යුක්ත වීම අන්‍යයන් යටතේ කටයුතු කිරීමට කැමැත්තක් නැති බව පෙන්වන පිහිටීමකි.

 

වායෝ රාශියක් වූ 10 වැන්නේ කුජ ග්‍රහයා සිටීම ව්‍යාපාර කටයුතු කෙරෙහි පවතින විශේෂ බලවේගයකි.

 

10 වැන්නේ පඨවි රාශිවල සිටි කුජ ග්‍රහයාගේ පැතිරීමේ බලය අඩුවෙයි. එම රාශිවල බලය ව්‍යාපාර කටයුතු  කෙරෙහි එතරම් ප්‍රයෝජනයක් වී නැත.

 

10වැන්නේ තේජෝ රාශීවල සිටි කුජ ග්‍රහයා බලය විකාශනය කිරීමේ සමතෙක්. මෙයද යටහත් පහත් ස්වාභාවය මකා දමන්නකි. වෙළ හෙළඳාම් කටයුතු කෙරෙහි එයද බාධාවක් විය හැක.

 

එහෙත් 10වැන්නේ ජල රාශිගත වූ කුජ ග්‍රහයා අන්‍යයන් තම අදහස්වලට අනුව අවනත කරවාගෙන ඒ අයගේ සහයෝගීතාවය දියුණු කර ගනිමින් උසස් වැඩ පිළිවෙළක් අනුගමනය කිරීමට යහපත් වේ.

 

රවි ග්‍රහයා 10වැන්නේ සිටීම

හොඳ පාලකයෙක් වීම වගේම කොයිදේ වුවත් ඉතා උසස් අයුරින් මෙහෙය වීමට හේතු වන පිහිටීමක් වෙයි.  ව්‍යාපාර කටයුතු ඉතා උසස් ලෙස කරයි.

 

07 අධිපතියා 06වැන්නේ වර්ගෝත්තම වීමද විශාල ප්‍රසිද්ධියක් ඇති කරන ව්‍යාපාරයකින් දියුණුව සැලසෙන  බව කියයි.10 අධිපතියා 07වැන්නේ සිටීම ද ප්‍රසිද්ධියට, ප්‍රචාරයට බලවත් කාරණාවකි. වර්ගෝත්තම බලයෙන්ද  යුක්ත නම්  විශාල ප්‍රසිද්ධියක් ගෙන දෙන පිහිටීමක් වෙයි.

 

මේ ආකාරයට ව්‍යාපාරවලින් හිනි පෙත්තටම ගිය ව්‍යාපාරිකයන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාවක් කළහොත් ඔවුන්ගේ 03/06/07/10/11 යන රාශි බලවත්ව එහි අධිපතියන් ද බලවත්ව සිටිනු දැකගත හැකි වේවි. මෙහිදී මෙම  ග්‍රහයන්ගේ බල දුබලතාවය මත සාමාන්‍ය ව්‍යාපාරද එසේත් නැතිනම් මහා පරිමාණ ව්‍යාපාරද යනුවෙන්  තක්සේරු කළ හැක.

 

● දැන් අපි බලමු සංගීතය හා කලාත්මක දේ පිළිබඳව ජන්ම පත්‍රයට අනුව තියෙන ග්‍රහ පිහිටීම් කොහොමද  කියල

බුධ / සිකුරු යන ග්‍රහයන් දෙදෙනා ලෝකයාගේ හැඟීම් උපදවන්නන් බව ඔබ දන්නවා ඇති. ඒ වගේම කේන්ද්‍රයේ 03/05/09 සියලු හැඟීම් අනුව ජන්මියාගේ දැනීම දියුණු කිරීමටත් තැන්පත් කිරීමටත් ඉවහල් වන ස්ථානයන් බවද ඔබ දන්නවා ඇති. 03 වෙන්නේ දැනීම තැන්පත් වේ. සියලු අභ්‍යන්තර හැඟීම් දියුණු කරනු ලබන්නේ කේන්ද්‍රයේ 05 වෙනි ස්ථානයෙන.ි බාහිර වශයෙන් මෙන්ම සියලු උසස් හැඟීම්වලට ද හේතු වනුයේ කේන්ද්‍රයේ 09වැන්නයි.  ජන්මියකුගේ අභ්‍යන්තර හැඟීම් උපදවන්නේ කේන්ද්‍රයේ 05 වෙනි ස්ථානයෙනි. අභ්‍යන්තර හැඟීම් රාගය,  කාමය, සැපය, සුවය ආදියෙන් සත්වයා කුල්මත් කරන්නා වූ ශෘංගාර රසය ඇති කරනු ලබන්නේ සංගීතය හා  කලාත්මක දේවල් කෙරෙන්ය.

 

ශෘංගාරය උපදවන්නේ බුධ/ සිකුරු යන ග්‍රහයන් දෙදෙනාය. කාමය පිළිබඳ හැඟීම් අතරට ඥානය පිළිබඳ හැඟීම් සංයෝග වීම ශෘංගාර රසය ලෝකයේ දියුණු වීමට ඇති ප්‍රධාන හේතුවයි.

 

සංගීතය, චිත්‍ර කර්මය නර්තනය, පිළිබඳවූ සෑම දෙයක්ම ශෘංගාරය ගෙනදෙන කරුණු වෙති. ඒ නිසා ශෘංගාරය ගෙනදෙන ග්‍රහයන්ගේ ආකර්ෂණාත්මක බලයක් කේන්ද්‍රයේ ස්ථාන පිළිබඳවත් අවබෝධයක් ඇතිව මෙය  නිරීක්ෂණය කළ යුතුයි. බුධ/සිකුරු යන ග්‍රහයන් දෙදෙනා ලෝකයේ හැඟීම් උපදවන ග්‍රහයන් බව ඔබ දනී. බුධ  ග්‍රහයා ඥානය පිළිබඳවත් සිකුරු ග්‍රහයා කාමය පිළිබඳවත් හැඟීම් ඇති කරයි. දෙදෙනාගේ සංයෝගය ශෘංගාරයගෙනදෙන පිහිටීමක් වෙනවා.

 

මේ ආකාරයට 02/03/05/07/09/10/11 යන ස්ථානවල ග්‍රහ පිහිටීම්, අධිපතියන්, ලැබෙන ග්‍රහ දෘෂ්ටි, සංයෝග  අනුව ලැබෙන බල දුබලතා අනුව කෙනෙක් කලාවේ හිනි පෙත්තටම ගමන් කරයි ද, නැතහොත් සාමාන්‍ය  කලාකරුවෙක් ලෙස ජීවත් වෙයි ද යන්න තීරණයකට එළඹිය හැකි වනු ඇත.

 

● මීළඟට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව කෙනෙකුගේ ජන්ම පත්‍රයක පිහිටන ආකාරය සියුම්ව නිරීක්ෂණය කරමු.

කේන්ද්‍රය 08 වැන්න සැඟවුණු අදහස් පිළිබඳව පවසන ස්ථානය වන අතර ජන්මියාගේ ගුප්ත කටයුතු  පිළිබඳවත්, රහසිගත දේ පිළිබඳවත් මෙම ස්ථානය ප්‍රධාන වෙයි. එසේම ගුප්ත ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි ප්‍රධානවන්නේ කේතු ග්‍රහයාය.08වැන්නේ ස්වාභාවය මෙන්ම කේතුගේ ගතිපැවැතුම්ද ගුප්ත බලවේගයන් පැතිරීමට  හේතු වෙයි.

 

ලෝකයාගේ හැඟීම් උපදවනු ලබන බුධ/සිකුරු යන ග්‍රහයන් දෙදෙනා සමග කේතු එකතු වූවිට නොයෙක්  ගුප්ත දේ පිළිබඳව හිත යොදවන බව කිව යුතුය. මේ නිසා බුධ සමග යෝග වූ කේතු ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි හිත යොදවන අතර සියුම් ඥානය ඉතා උසස් අයුරින් බෙදා දෙයි. කේතු සමග යෝග වූ බුධ විසින් උපදවනු ලබන හැඟීම් ගුප්ත කටයුතුවල යොදවන බව ස්ථිරවම කිව හැකියි.

 

ජ්‍යොතිෂ ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ආදී නොයෙක් විදිහේ ගුප්ත ශාස්ත්‍ර ක්‍රම හැදෑරීමෙහි යොදවනවා  ඇත.

 

නමුත් සිකුරු සමග යෝග වී නම් කේතුගේ ගුප්ත ගති අනුව හැඟීම් උපදවන සිකුරු ලෝකයා බොහෝවිට  නොමඟ යවන බවක් පෙනේ.

 

05 වැන්නාධිපතියාත් 09වැන්න අධිපතියාත් සමග කේතු සංයෝග වීමෙන් සැඟවුණු දේ පිළිබඳව අවබෝධය  දියුණු කරයි.

 

08වැන්නාධිපතියා සමග යෝග වූ බුධ ග්‍රහයා ද සැඟවුණු අදහස් දියුණු කරන අතර, සිකුරු ග්‍රහයා ද 08  වැන්නාධිපති සමග යෝග වූවිට රහසිගත හැඟීම් පතුරුවයි.

 

08 වැන්නාධිපතියා සමග යෝග වූ 05/09 අධිපතියන්ද පහත් ගුණධර්මයන් අනුව අවබෝධ ඥානය දියුණු  කරගනී.

 

ගුප්ත ශාස්ත්‍ර කටයුතු කිරීමෙහි දී ග්‍රහයන්ගේ බල දුබලතා, සංයෝග, ග්‍රහ දෘෂ්ටි අනුව ඒ ඒ කෙනාගේ ජන්ම  පත්‍රයට අනුව ශාස්ත්‍රය අවබෝධ ඥානයෙන් යුතුව වැඩි දියුණු කරගෙන විද්‍යාවක් ලෙස ප්‍රගුණ කර උසස් ආකාරයෙන් එම වෘත්තීය කරන පිරිසක් සිටින බව පැහැදිලිව කියන්න පුළුවන්.

 

මේ ආකාරයට කෙනෙකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා රැකියාව ගැන සියුම් නිරීක්ෂණයකට එළැඹිය  හැකියි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk