Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ලග්න පලාඵල (2022 ජුලි මස 11 ෙවනි දින සිට ජුලි 17 දක්වා)

1 year ago 7 Min read
Subha.lk

මේෂ

 

උපතේදී මේෂ ලග්නයේ ලග්නාධිපති 8,9,10 යන භාවවල සිටි ජන්මින්ට මෙම සතිය එතරම් ශුභ නොවන්නට පුළුවන. කලකෝලාහල හෝ සතුරු පීඩාවලට ලක්විය හැකිය. නාසයේ, පෙණහැල්ලේ ඇතිවන ආබාධ මතුකරයි. හදිසි අනතුරු, බඩවැලේ දෝෂ, උණ ලෙඩ රෝග වශයෙන් පෙන්වයි. ආයුධවලින් තුවාල වීමටද හිතවතකුට විපතක් වීමටද ඉඩ ඇත. වියදම් අධික වේ. වංචා ප්‍රයෝගවලට හසුවිය හැකිය. කෙණ්ඩා ප්‍රදේශයේද තුනටියේද අපහසුතා මතුකරයි. නියම වේලාවට ආහාර ගැනීමට නොහැකි වේ. සැකසහගත බවක් සිතේ පවතියි. අනෙක් භාවවල සිටි අයට වුවද උසස් අයගේ හෝ වැඩිහිටියන්ගේ තර්ජනවලට ගොදුරුවීමට සිදුවේ. ගෞරවයට හා නම්බුවට හානිවිය හැකිය. සමහර විට දුර ගමනකට හේතුවේ. ඒ අතරම ඥාතීන් ඔබ ගැන සතුටුවේ. ඔවුන් ඔබගෙන් යම් විශේෂ සේවාවක් හෝ උපදේශයක් ලබා ගනී. නැතිනම් ඔබට අවනත වේ. මවගෙන් යම් යම් දේ ලැබීමට වාසනාව ඇත. ගොවිතැනින් හා වෙළෙඳාමෙන් විශේෂ ලාභ අත්වේ.

 

ශුභ දිනය - අඟහරුවාදා

ශුභ වර්ණය - දම් පාට

ජය අංක - 03, 12

 

 

වෘෂභ

 

සිකුරු 7,8,9 යන භාවවල සිටියදී උපන් වෘෂ භ ලග්න හිමියන්ට මිල මුදල් ලාභ ලැබීමට ඉඩ ඇත. අලුත් ඇඳුම් පැලඳුම් ලැබීමක් හෝ මිලදී ගැනීමක් විය හැකිය. රසට කෑමට ආශා කරයි. ස්පර්ශ සැප ලැබේ. කලා කටයුතුවලට ප්‍රිය වේ. වැඩිහිටියන්ගේ අමනාපයකට හේතුයි. නිෂ්ඵල වියදම්ද අධික විය හැකිය. සුවපහසු නින්දකට අවස්ථාව උදාවේ. ආහාර නොදිරවීම හෝ විෂවීම නිසා ඇති වන අපහසුතා වැඩිවේ. කරගෙන යන කටයුතුවල යම් පසුබෑමක් සිදුවිය හැකිය. වෙනත් භාවවල සිකුරු සිටියේ නම් අවුල් වියවුල්වලට මැදිවිය හැකිය. ශරීර සනීපයේ විකෘතීන් ඇතිවී යයි. කනගාටුවෙන් දිවි ගෙවීමටද සිදුවේ. සිතේ සැකයක් හෝ බියක් ඇතිවිය හැකිය. සමහරවිට එය මරණ බියට සමාන විය හැකිය. සර්පයන් පිළිබඳවද විය හැකිය. මිල මුදල් ලාභ, ප්‍රණීත ආහාර පාන වර්ග සතිය අවසානයේදී ලැබීමට ඉඩ ඇත. දියුණුව සඳහා ශුභයි. අන් අයගේ උදවු උපකාර ලැබේ. අයිස් ක්‍රීම්, කිරි, බීම වර්ග දිලිසෙන බඩු අලෙවි කරන අයට විශේෂ ලාභ,

 

ශුභ දිනය - සිකුරාදා

ශුභ වර්ණය - නිල් පාට

ජය අංක - 06, 15

 

 

මිථුන

 

උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා 6,7,8 යන භාවවල සිටි ජන්මින්ට මෙම සතියේ චිත්ත චෛතසික ක්‍රියාවලියේ වැඩ් වේගයක් පවතියි. පොත්පත් ලිපි ලේඛන ආදී කටයුතුවලට ප්‍රිය වේ. විශේෂයෙන් පුවත්පත් හා ලේඛන කලාවට සම්බන්ධ මිථුන ලග්න හිමියන්ට ඉතා ශුභ සතියකි. කතාව මිහිරි වේ. ප්‍රියමනාප වේ. අන් අය සමඟ තමා වෙත ඇදබැඳ ගැනීමට හැකිවේ. ඇවිදීමට ආශා කරයි. තරුණ හා කුඩා ළමුන් සමඟ ආශ්‍රය වැඩිවේ. ශාස්ත්‍රිය කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. වෙනත් භාවවල ලග්නාධිපති සිටින ජන්ම පත්‍ර හිමියන්ට මෙම සතිය මිශ්‍රඵල සහිතව ගෙවී යයි. මිල මුදල් ලාභයක් සහිතයි. තරග වාද විවාද ආදියෙන් ජය හිමි වේ. ගෞරවය වැඩිවනු ඇත. ආශාවන් අධික විය හැකිය. සුළු වශයෙන් හෝ යම් දෙයක් ලැබීමට නියමයි. අදහස් ඉටුවන සතියකි. ජල, මල අඩස්සියකට හෝ විශේෂයෙන් මුත්‍රා අමාරුවකට හේතුවේ. බඩ පිපුම හෝ බඩේ කැක්කුම ඇතිවිය හැකිය. දණහිස්වල හෝ තුනටියේ කැක්කුමක් ඇති කරයි.

 

ශුභ දිනය - බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය - සුදු පාට

ජය අංක - 09, 18

 

 

කටක

 

ආලයට, ආදරයට කරදර පැමිණෙන බවක් මෙම සතියේ කටක ලග්න හිමියන්ට දැනෙනු ඇත. වියදම් වැඩිවීමට බොහෝ ඉඩ ඇත. ලෙඩ රෝග වැලඳීමේ වැඩි ඉඩක් පවතී. සෙම් රෝග අධික කරයි. වසංගත, ධෝවන රෝග, වයිරස් ආසාදන, අජීර්ණ ආදිය රෝග වශයෙන් වැලඳීමට නියමයි. සතිය ආරම්භයේ තිබුණ තත්ත්වයට වඩා දින කිහිපයක් ගතවන විට ශුභ තත්ත්වයක් ඇතිවේ. බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවේ. කෑමබීම අඩුවක් නොමැතිව ලැබෙනු ඇත. තමාගේ දියුණුවට කටයුතු කිරීමට සිදුවේ. ඒවා සාර්ථකද වන සතියකි. නිවෙස තුළදී පවා ගරු සැලකිලි ලැබෙනු ඇත. විනෝදයෙන් කාලය ගත කිරීමට හැකිවේ. ජන්ම ලග්නයේ සඳු 5,6,7 භාවවල සිටි ජන්මින්ට වැදගත් ප්‍රීතිමත් ගමනක් යෑමට සිදුවේ. අලුත් මිත්‍රයන් ඇතිවීමට නියමයි. ස්ත්‍රීන් හා ආශ්‍රය වැඩිවේ. ඒ අතරම අලාභයන් සිදු වීමටද නියමයි. වැඩට කම්මැළි වීමට ඉඩ ඇත. උණ, සෙම් කෝපවී සෑදෙන රෝග ශරීරයේ පහළ කොටසේ ආබාධ ඇතිවිය හැකිය.

 

ශුභ දිනය - සඳුදා

ශුභ වර්ණය - කොළ පාට

ජය අංක - 06, 15

 

 

සිංහ

 

තම ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා 4 හෝ 5 හෝ 6 යන භාවවල සිටි අයට මෙම සතියේ තරමක් උසස් තත්ත්වයකට ගමන් කිරීමට හැකිවේ. සිංහ ලග්න හිමියන්ගේ ප්‍රසිද්ධිය වැඩිවේ. එහෙත් සතියේ මුල් දිනවල කනගාටු ඇති වීමට නියමයි. පියාගෙන් හෝ ස්වාමියාගෙන් හිරිහැර විඳීමට සිදුවිය හැකිය. ඒ අතරම ලාභ ලැබීම්ද සිදුවේ. වෙනත් භාවවල රවි සිටි අයටද මෙය මිශ්‍රඵල ගෙන දෙන සතියකි. සතිය මුල උදරාබාධයන් වැලඳීමට ඉඩ ඇත. ගෙදර දොර අගහිගකම් වැඩි වේ. ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ අවුල් වියවුල් ඇති කරගනී. සිතේ ප්‍රීතිය නැතිවී යයි. පෙම්වතුන්ගේ සිත් රිදීමක් විය හැකිය. සබඳතා කැඩී බිඳී යෑමටද කරුණු යෙදේ. එබැවින් මෙම සතියේ හැකි තරම් ඉවසීමෙන් කටයුතු කිරීම වටී. වැය වැඩිවනු ඇත. තමා සතු මුදල් පවුලේ වෙනත් අයකු විසින් පරිහරණය කරන්නේ නම් යහපති. ශරීරයට සනීපයක් සුවපහසුවක් දැනෙන්නට පටන් ගන්නේ සතියේ අවසන් භාගයේ දීය. සතුරු කරදර පහව යයි.

 

ශුභ දිනය - ඉරිදා

ශුභ වර්ණය - අළු පාට

ජය අංක - 04,13

 

 

කන්‍යා

 

බුධ හෙවත් ඔබගේ ලග්නාධිපති ජන්ම කේන්දරයේ 3,4,5, යන භාවයක සිටී නම් අලාභයක් විය හැකිය. වියදමද අධික කරයි. යහන් සුව අහිමිවීමට ද ඉඩ තිබේ. ණයකරුවන් ඇත්නම් ඔවුන්ගෙන් කරදර වේ. එහෙත් පොත්පත්වල වැඩකටයුතු දිගටම කරගෙන යන බවක් පෙනේ. ලියකියවිලි සම්බන්ධ ලාභ පෙන්නුම් කරයි. බලවත් සිතිවිලි ඇති කරයි. විභාගවලට මුහුණ දීමට සිටී නම් ශුභ ප්‍රතිඵල ලැබිය හැකි බවක් කන්‍යාවෙන් පෙන්නුම් කරයි. අනෙක් අය තමා වෙත අවනත කරගැනීමට තරම් ප්‍රබලතාවක් මෙම සතිය තුළ පවතී. වෙළෙඳාම් කරන අයට විශේෂ ලාභ ලැබීමට පුළුවන. අසල්වැසි හිතවතුන්ගේ සහයෝගය නොඅඩුව ලැබේ. කතාව නිසා සතුරන් ඇති වන බවක්ද පෙන්නුම් කරයි. අනෙක් භාව වල බුද්ධ සිටියත් හිතවතුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීමට ඉඩ තිබේ. කේලාම් බහකට මැදිවිය හැකිය. ගෙදර දොර පිරිසිදුතාව රැක ගැනීමට අපහසු වේ. පෙම් සබඳතා වලට එතරම් ශුභ නොවනු ඇත.

 

ශුභ දිනය - බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය - රතු පාට

ජය අංක - 09,36

 

 

තුලා

 

සිකුරු ග්‍රහයා 2,3,4 යන භාවවල සිටිදී උපන් ජන්මින්ට මෙම සතිය තුළ සිතට ගතට ප්‍රීතිදායක විය යුතුය. මිල මුදල් ලැබීමටද හේතුයි. ඇඳුම් ලැබීමක් හෝ මිලදී ගැනීමක් විය හැකිය. රසවත් කෑමබීම ලැබීමද ඒවාට දැඩි අශාවක්ද ඇති විය හැකිය. පිරිසිදුකම පිළිබඳව වෙනදාට වඩා දැඩිව සිතයි. හිතවත් ඥාති ස්ත්‍රීන්ගේ උපකාරය ලැබෙන සතියකි. සංගීතය රසවිඳීම, චිත්‍රපට නැරඹීම, ප්‍රීතිමත් ගමන් බිමන් යෑම ආදිය සිදුවිය හැකිය. නමුත් මේ කියන ශුභ පලයන් සතියේ මුල් දිනවල නොලැබී යෑමටද ඉඩ තිබේ. එනම් නිෂ්ඵල වියදම් අධික වනු ඇත. හිතවතුන් සමඟ හිත් නරක් කර ගැනීමක් විය හැකිය. උපකාර පිණිස සිටි අය ඉවත බලා සිටිනු දැකිය හැකිය. සමහරවිට ලැජ්ජාවෙන් මුලුගැන්වී සිටීමටද සිදු විය හැකිය. අන්‍ය භාව වල සිකුරු සිටි අයටද අලාභහානියක් සතිය මුල සිදු වීමට නියමයි. සුළු හෝ ආබාධයක් වැලඳෙනු ඇත. සිත තුළ දෙගිඩියාවක් පවතියි. මුදල්, ආදායම නැතිකම පිළිබඳව කරදර වේ.

 

ශුභ දිනය - සඳුදා

ශුභ වර්ණය - නිල් පාට

ජය අංක - 03, 07

 

 

වෘශ්චික

 

අඟහරු ලග්නයේ හෝ 2,3 යන භාවවල සිටියදී උපන් වෘශ්චික ලග්න හිමියන්ට ආදිය සතිය මුලදීම අත් දකින්නට සිදුවේ. අප්‍රවේශම් නොසැලකිලිමත්කම නිසා අලාභ වීම්, පාඩු වීම් සිදුවිය හැකිය. සොරබියද ඇති වේ. ගිනි ගැනීමක් හෝ ගිනිබියක්ද ඇතිවිය හැකිය. අයුධවලින් තුවාලවීමටද නියමයි. හිතවත් අයකුගේ විපතක් අසන්නට සිදුවිය හැකිය. හදිසි අනතුරු ආදියෙන්ද වෘශ්චික ලග්න හිමියන් ප්‍රවේශම් විය යුතුය. සෙම අධික වීම, බෝවන රෝග ආදිය වැලඳීමට ඉඩ තිබේ. සිතිවිලි චංචලව පවතී. ගෙදර අවුල්සහගත විය හැකිය. අනෙක් භාවවල කුජ සිටි අයටද වියදම් අධික විය හැකිය. දියුණුවට ඇති මාර්ග ඇහිර යා හැකිය. කරගෙන එන කටයුතු වුවත් දැඩි උත්සාහයකින් කරන්නට සිදුවේ. කතා කිරීමේ වෙනසක් දැකිය හැකිය. එය වාචාල වීමක් හෝ තෘෂ්ණිම්භූතව සිටීමක් විය හැකිය. සති අග සිතේ සතුටට කරුණු යෙදේ. දියුණුව පිළිබඳව සිතයි. මිතුරන්ගේ ආධාර උපකාර ලැබේ.

 

ශුභ දිනය - අඟහරුවාදා

ශුභ වර්ණය - දම් පාට

ජය අංක - 12, 21

 

ධනු

 

ඔබගේ උප්පත්ති කේන්දරයේ බ්‍රහස්පති ග්‍රහයා 1,2 හෝ 12 යන භාවයක සිටියේ නම් මෙම සතියේ මුල් දින කිහිපය ගත වීමෙන් පසුව සිතට සැනසීමක් උදාවනු ඇත. හිතවත්කම් වැඩිදියුණු වේ. බලාපොරොත්තුවක් ඉෂ්ට වීමට නියමයි. වැදගත් ගමනක් යෑමට සිදුවේ. අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට යහපත් වේ. දියුණුව දැකිය හැකි කාලයකි. කරුණාවන්ත අදහස් පහළ වේ. යමෙක් යම් දෙයක් ඉල්ලා සිටියොත් නොපැකිළිව එය පරිත්‍යාග කරයි. තැන්පත් ධනයටද අලුතින් මුදල් තැන්පත් කිරීමටද ඉතා ශුභයි. රෝගයකින් පෙළෙමින් සිටියේ නම් එයින් සුවය ලැබෙනු ඇත. නඩු හබ ආදියෙන් ජය අත්වීමට නියමයි. වෙනත් භාව වල ගුරු සිටි අයට මිශඵල උදාවනු ඇත. මුලදී තිබුණ්‍යාට වඩා තත්ත්වය තරමක් හෝ යහපත් වනු ඇත. රාග සිතිවිලි අධික විය හැකිය. අතීතය මතක් වීමට පුළුවන. යම්කිසි දෙයක විපාක දීමක් සිදු විය හැකි කාලයකි. එසේම ලොකු වාසියක් ලැබෙන්නටද ඉඩ තිබේ. විවාහක අයගේ සහකරුට සුළු හෝ අසනීපයක් ඇති වේ.

 

ශුභ දිනය - සිකුරාදා

ශුභ වර්ණය - නිල් පාට

ජය අංක - 06, 24

 

මකර

 

සිත්තැවුලකට හෝ කනගාටුවකට හේතු මකර ලග්න හිමියන්ට මෙම සතියේ උදාවිය හැකිය. යම් අවනම්බුවක් විඳීමට සිදුවේ. තරමක් හිරිහැරකාරි දින කිහිපයක් ගෙවී යයි. වියදම්ද අධිකය. ඥාතීන් සමඟ ගනුදෙනු කිරීමට ශුභ සතියක් නොවේ. විවිධ වැරදීම්, මුළා වීම්වලට ලක්විය හැකිය. කරගෙන යන කටයුතුවල යම් පසුබෑමක් දැකිය හැකිය. හදිසි කැපුම් කෙටුම් තුවාල සිදුවිය හැකිය. ආදරය පසුපස හඹා යෑමට සිදුවේ. නමුත් වැරදි ක්‍රියාවකට යොමුවන්නේ නැත. සිතිවිලි චංචල වේ. දුක හා සතුට වරින්වර වෙනස් වෙවී මතුවේ. ජන්මයේදී ශනි 11,12 හෝ 1 යන භාවයක සිටියේ නම් ශුභ කටයුතුවලට අත නොතැබිය යුතුය. සිතටද කයටද පීඩා ඇති කරයි. ශරීරයේ දුර්වල ගතියක් හෝ කම්මැළිකමක් දැනෙනු ඇත. වතුර නිසා අසනීප වීමක් විය හැකිය. තම බිරියට හෝ මවට අසනීප වීමට ඉඩ ඇත. වාතයද සෙමද කුපිත කර අසනීප වන්නට පුළුවන. දයානුකම්පාසහගත සිතක්ද පවතී. ත්‍යාගවන්තභාවයද ඇති වන සතියකි.

 

ශුභ දිනය - බදාදා

ශුභ වර්ණය - රන්වන් පාට

ජය අංක - 05, 14

 

කුම්භ

 

කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති ශනි 10,11,12 යන භාවයක උපතේදී සිටියේ නම් මෙම සතිය තුළ තරමක් කරදර අධික විය හැකිය. මූල්‍යමය අතින් අපහසුතා ඇති වේ. තරමක් උදාසීන ගතියක් පවතී. ශරීරයේ දැඩි ශීතල ගතියක් දැනෙනු ඇත. රෝගී කරවයි. ගෙවල්වල වැඩද, පොළොව කැණීමෙන් කරන වැඩද කුම්භ ආරම්භ කිරීමට ශුභ නැත. සෙම්ප්‍රතිශ්‍යාව හෝ බෝවන රෝගවලින් දැඩිව ප්‍රවේශම් විය යුතුය. වැඩ කටයුතු පිළිබඳව සිතනවා විනා ඒ සඳහා ඉදිරිපත් වීමක් නොමැති විය හැකිය. සතියේ අග භාගය වඩාත් ප්‍රවේශම් විය යුතුය. වෙනත් භාවවල ශනි සිටි අයට බලාපොරොත්තු ඉටුකර ගැනීමටත් දියුණුවට මං විවර කර ගැනීමටත් හැකි වේ. කරගෙන යන කටයුතුද දියුණු වනු ඇත. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට විශේෂ ලාභ අත්වෙනු ඇත. ව්‍යාපාරය තුළ පෙරට වඩා දියුණුවක් දැකිය හැකිය. අලුත් මිතුරු මිතුරියන්ද මුණගැසෙන කාලයකි. පෙම් සබඳතාද ධන ලාභද පෙන්නුම් කරයි. පැරණි මිතුරකු තමා සොයාගෙන පැමිණෙනවා ඇත.

 

ශුභ දිනය - සෙනසුරාදා

ශුභ වර්ණය - අළු පාට

ජය අංක - 08, 17

 

 

මීන

 

ලග්නාධිපති ගුරු 9,10 හෝ 11 යන භාවවල සිටියදී උපන් ජන්මින්ට මෙම සතිය තුළ සැපදායකව කල්ගෙවීමේ භාග්‍ය උදාවේ. වැදගත් මෙන්ම ප්‍රීතිමත් ගමන් බිමන් සඳහා කරුණු යෙදේ. කරන කියන සියලුදේ සාර්ථක වීමට හේතුයි. අපේක්ෂා ඉටුවනු ඇත. ප්‍රයෝජනවත් දේවලට මුදල් වියදම් කිරීමට සිදුවේ. දරුවන් ලැබීමට හෝ දරුවන් නිසා සතුටු වීමට හේතුයි. මිත්‍රයන් සමඟ යහපත් ඇසුරකට ඉඩ ඇත. ත්‍යාගවන්තය. කරුණාවන්තය. නව ව්‍යාපාර ආරම්භයට ශුභදායක සතියකි. ආදායම් වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී. නිරෝගී භාවය සහිත සතියකි. විභාගවලින්ද නඩුහබවලින්ද ජය අත්වේ. විදෙස් ගතවීමටද අවස්ථාව සැලසෙනු ඇත. අනෙක් භාවවල සිටියේ වී නමුත් තදබල අපල නොයෙදේ. පවුලේ ඥාති ස්ත්‍රීන් තමා පිළිබඳව සතුට පත්වේ. ප්‍රේම සම්බන්ධතාවලටද ශුභයි. ධන ලාභද පෙන්නුම් කරන සතියකි. පවුලේ වැඩිහිටියකුගේ යහපතක් දෙස බලා සතුටු වීමට හැකිවේ.

 

ශුභ දිනය - බ්‍රහස්පතින්දා

ශුභ වර්ණය - සුදු පාට

ජය අංක - 09, 45

 

 

ජ්‍යොතිෂවේදී, වාස්තුවේදී

නෙල්සන් කුමාරසිංහ පල්ලේපොල,

මාතලේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk