Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අපිළිවෙළ නිසා වරදින වාස්තු

1 month ago 7 Min read
Subha.lk

වාස්තු මූලධර්ම පිළිබඳව අපගේ අධ්‍යයනය නිරන්තරයෙන් යොමු වන්නේ තම තමන් ජීවත් වන ඉඩම හා  නිවෙස ඉලක්ක කර ගනිමිනි. එයට හේතු බොහෝ  පවතී. සමස්ත ජීවිතය වටහා ගැනීම සඳහා එවැනි සමස්තයක් පිළිබඳව විග්‍රහයක් අත්‍යවශ්‍ය වේ. එහිදී අප සලකනුයේ ඉඩමට හා  නිවෙසට ඒ ඒ දිශාවන්ගේ ක්‍රියාකාරිත්වයන් අනුව ඇතිවන බලපෑම පිළිබඳවයි. නිදසුනක් ලෙස ඉඩමේ බෑවුම ඊශානයට තිබීමෙන් නිවසේ පොදු සාර්ථකත්වයක් හිමි වන අයුරු දැක්විය හැකියි. නිවසේ ඊශානයට මුළුතැන්ගෙයක්, වැසිකිළියක්, පඩිපෙළක්, ගරාජයක් වැනි යමක් පිහිටුවා තිබීමෙන් සමස්ත නිවසේම විවිධ ස්වරූපයෙන් වියවුල් ඇතිවීම ද දැක්විය හැකියි.

එමෙන්ම ඉතා  මැනැවින් ගෘහ අංග දිශාගත කර තනා  ඇති නිවෙසක යම් නිදන කාමරයක ජීවත් වන්නකුට එකී කුටියේ පිහිටුවීමේ ස්වභාවය අනුව වියවුලක් හට ගත නොහැකි යැයි සැලකීම සාධාරණ දැයි විමසා බැලිය යුතු සිදුවීමකට අපි මෑතකදී මුහුණ දී සිටින්නෙමු. පිළියන්දල ප්‍රදේශයේ එක්තරා  නිවසක් පරීක්ෂා  කිරීමේදී ආරම්භයේ දී සැලසුම පමණක් ගෙන පරිශ්‍රයට (නිවස පිහිටි තැනට) නොගොස් කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ නිවෙසක වාස්තු සකස් කිරීම සඳහා   නිදර්ශනයක් පෙන්විය හැකි තරම් නිවැරදි ආකාරයකින් එහි නිවස සකස් කර ඇති බවයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් නිවසේ මුළුතැන්ගෙය පිහිටා ඇත්තේ ගිනිකොනෙහිය. ගරාජය වයඹට පිහිටා  ඇති අතර, ප්‍රධාන වැසිකිළියද ඊට යාබදව විය. ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට නිවැරදිව පිහිටුවා තිබේ. තවත් වැසිකිළියක් ගිනිකොනට බරවන ලෙස දකුණේ පිහිටුවා  තිබේ. සාලය සමඟ බද්ධව ඇති කෑම ගන්නා කොටස උතුර, ඊශාන, නැඟෙනහිර කොටස්වලට ඇතුළත්ව පිහිටා  තිබේ. මේ තරම් නිවැරදි ලෙස වාස්තු සකස් කර තිබීම පිළිබඳ අපගේ ප්‍රකාශයට හේතුව අපගේ සේවාලාභියාගෙන් ලැබිණි. එයට හේතුව ඔහු රැකියාව කරන ආයතනය විදේශ රටකට සැලසුම් සකසා දෙන ආයතනයක් නිසා  අවශ්‍ය පරිදි සැලසුම් කරමින් ඉතා  නිවැරදි ලෙස නිවෙස සැකසීමට හැකි වීමයි. එකී සැලසුම පරීක්ෂා  කර අපි එයට අදාළ ගාස්තුවද ලබා  නොගෙන මෙහි කිසිදු දෝෂයක් නොමැති බවත් ජන්ම පත්‍රය මඳකට දෙන ලෙසත් පැවසීමු. ජන්ම පත්‍රය ඔවුහු අත නොතිබූ බැවින් පසුදිනෙක එය රැගෙන එන බව පවසමින් ඔහු නිවස බලා පිටත් වූයේය.

එසේ වුවත් තමන්ගේ කටයුතුවල ඇති ගැටලුකාරි තත්ත්වයන්, පාඩු ලැබීම් , අසාර්ථකත්වයන්, කලකිරීම් ආදිය පිළිබඳව විටින් විට දුරකතන ඇමතුම් හරහා  මැැසිවිලි නැඟූ අපගේ “සේවාලාභියාට වාස්තු වියවුලක් නැත.” යන්න පහදා දුන්නද ඔහුගේ ඇවටිලි, ඉල්ලීම් ඉවතලිය නොහැකි වූයෙන් අදාළ සේවාලාභියාගේ නිවස කරා යෑමට අපි තීරණය කළෙමු.

පෙර සැලසුම පිරික්සා ගත් නිගමනයට වැඩි යමක් නිවසට ගිය විටද අපට කීමට නොමැති බවක් පෙනිණි. සාලයේ වාඩි වී අඳින ලද සැලසුමත් සමඟ නිවෙස සසඳමින් බැලීමේදී අපගේ පෙර නිගමනයට වැඩි යමක් සිතා  ගැනීමට අපට අපහසු විය. සාලයේ සිටි අපට දෙඅත්ල යොදා ගනිමින් හා ලීමර් ඇන්ටනාව නම් මෝලම යොදා ගනිමින් පරීක්ෂා කළ විටද ඉතා හොඳ අන්තරීක්ෂ (ඛ්ධඵථඪජ) ශක්තියක් එහි ඇති බව තහවුරු කර ගත හැකි විය.

සාලයේ සිටම අනෙකුත් ගෘහ අංග පරීක්ෂා  කර බැලීමු. පෙර කී පරිදිම මුළුතැන්ගෙය, ගරාජය, ප්‍රධාන නිදන කාමරය, වැසිකිළි ආදිය ඉතා  නිවැරැදිව පිහිටුවා  ඇති බව තහවුරු විය. එසේ වුවත් සේවාලාභියාගේ විඩාව අද පෙරටත් වඩා  බරපතළව අපට දැනෙන්නට විය. මේ තත්ත්වය අනුව කළ යුතු යැයි අප නිරන්තරයෙන් වාස්තු ශිෂ්‍ය ශිෂ්‍යාවනට පවසන උපදේශය වන ජන්ම පත්‍ර ගෙන ඊට මදක් අවධානය යොමු කළෙමු.

ජන්ම පත්‍රයේ සුළු සුළු දොස් තිබුණද බරපතළ හේතු සාධකයක් සොයාගත නොහැකි විය. බොහෝ ශිල්පීන් මෙවැනි තත්ත්වයකදී පහත් ආත්මයන් වන භූත පේ‍්‍රත කුම්භාණ්ඩ ආදීන්ගේ බලපෑමක් ඇතැයි ප්‍රකාශ නොකර සෙන්ටිමීටර් 3.3කට ලීමර් ඇන්ටනාව සීරු මාරු කර එවැනි යමක් ඇත්තේදැයි විමසා  බැලීමු. තැනින් තැන සුළු චලනයන් දැක්වුවද එවැනි පහත් ආත්මයන්ගේ බලපෑමක් ඇත්තේ දැයි උපකරණය ඇසුරින් හා  වෙනත් ක්‍රමවලින් විමසා බැලුවද එවැනි බලපෑමක් සුළු වශයෙන් මිස නොමැති බව තහවුරු කර ගැනීමෙන් තත්ත්වය වඩාත් ව්‍යාකූල විය.

මෙයින් අනතුරුව ලීමර් ඇන්ටනාවත් දිශා  දක්නයත් (මාලිමාවත්) රැගෙන නිවසේ තැනින් තැන යමින් (මිදුලේ ගැටලුවක් නොමැති බැවින්) සංකීර්ණ පරීක්ෂණයකට ප්‍රවේශ වීමු. මුළුතැන්ගෙයි හා වැසිකිළිවල බලපෑම එතරම් බරපතළ නොවන බව යළිත් තහවුරු විය. අපගේ සේවාලාභියාගේ නිදන කාමරය ඉතා  නිවැරදි පරිමාණයට පිහිටා  ඇති බැවින් විශේෂයෙන් බැලිය යුත්තක් නැතැයි සිතමින් මුත් අපි ප්‍රධාන නිදන කාමරයට ඇතුළු වීමු. මෙතෙක් අපගේ සිතට වධ දුන් ගැටලුව නිරාකරණය විය.

මහත් අපිළිවෙළකින් යුතු ප්‍රධාන නිදන කාමරය පතපොතින් ගහන අපිරිසුදු තැනක් විය. නිදන ඇඳ වටා  බොහෝ  බඩු මුට්ටු තබා  අවසානයේ ඇඳ යටටද දමා  ඇති සමහර දේ පිටතට පෙනෙන තරම් තදබදයක් ඇති කර ඇත්තා  මෙනි. දෝෂ සහිත ලෙස උතුරට හිස දමා  නිදා සිටින ඔහුගේ පැරණි අල්මාරියේ ඇති කණ්ණාඩිය නැඟෙනහිරට මුහුණලා  පිහිටුවාතිබේ. විවාහක මුත් බිරිය නිවසින් බැහැර යෑමෙන් වන අපිළිවෙළ ඉක්මවා,තවත් බොහෝවියවුල් ඇති මේ තත්ත්වය උපකරණ ඇසුරෙන්ද බරපතළ ව්‍යාධියක් බව අපට තහවුරු කර දෙන ලදි. මේ තත්ත්වය වෙනස් කිරීමට කළ යුතු මූලික පියවර වූයේ නිදන කාමරය අස්පස් කිරීම සහ ඇඳ දකුණු දිශාවට හිස සිටින පරිදි වෙනස් කිරීමය. එමෙන්ම කණ්ණාඩිය නැඟෙනහිරට සහ උතුරට නොවන දිශාවකට හැරවීමට මූලික උපදෙස් දී අපි ඒ නිවෙසින් පිටත් වීමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk