Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කුජගේ අපලයට පිළියම්

6 months ago 7 Min read
Subha.lk

අඟහරු හෙවත් කුජගෙන් අපල යෙදුණු කල, කුජ නියෝජනය කරන සියලුම කරුණුවලට හානි සිදුවේ. දුරදිග නොබලා කරන කටයුතු වලින් පාඩු සිදුකර ගනී. කායික වශයෙන් මෙන්ම  මානසික වශයෙන් ද අවුල් වියවුල් තත්ත්වයන්ට පත්වේ. කලකෝලාහල, හදිසි අනතුරු, දේපළ වලින් පාඩු, හොරුන්ගෙන් මැරවරයන්ගෙන් කරදර, නිෂ්ඵල වියදම් වැනි අපල යෙදේ. රෝග  වශයෙන් උණ, ඉදිමුම්, රුධිරගත රෝග, ලිංගික අකාර්යක්‍ෂමතාවය, තුවාල, පිළිස්සීම, මුහුණේ සම ඉරිතලා යෑම වැනි ආබාධ ඇතිවේ. අඟහරු ග්‍රහයා බලපාන හිස පෙදෙස, ඇඩ්රිනලින් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය, ශරීරයේ උෂ්ණත්වය, පේශි සහ පටක, බල නහර, ලිංගික අවයව සහ එහි ක්‍රියාකාරිත්වය, රුධිරයේ හිමොග්ලොබින් සහ ශ්වේතාණු ශෛල ආදි ග්‍රන්ථි සහ ස්ථානවලට  අයහපත් බලපෑම් ඇති වේ.

ඉහත කී අපලය සමනය වීම සඳහා ජ්‍යොතිෂයේ සඳහන් ශාන්තිකර්ම පද්ධතියන් මෙසේය.

  1. අභිසම්භිදානය, ආඝෝරය, රතන සූත්‍රය, කන්ධ කුමාර යන්ත්‍රය වැනි යන්ත්‍රවලින් එකක් ශාස්ත්‍රානුකූලව සාදා පළඳින්න.
  2. අපලකරුගේ කේන්ද්‍රය පුද්ගලිකව පරීක්‍ෂා කරන්න. එහි බලවත්ම ග්‍රහයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵලදායී බව අත්දැකීම් අනුව පසක් වී තිබේ.  එබැවින් බලවත්ම ග්‍රහයාට අදාළ මැණික තෝරා එම මැණික ඇතුළත් කර ග්‍රහයාට අයත් ඇඟිල්ලේ හෝ එම ග්‍රහයාට මිතුරු ඇඟිල්ලක පළඳින්න.
  3. කතරගම දෙවියන්ට පූජාවක් තබා යාතිකාවක් කර බාරයක් වෙන්න.
  4. කතරගම දේව නාමයට සෙත් කවියක් කියන්න.
  5. රාත්‍රී නින්දට යෑමට පෙර කුජ ස්තෝත්‍රය හැකි තරම් වාර ගණනක් ගායනා කරන්න.

 

 

 

ධරණී ගර්භ සම්භූතං
විද්‍යුත් කාන්ති සමප්‍රහම්
කුමාරං ශක්ති හස්තානං
මංගලම් පුණ මාම්‍යහම්

  1. කුජ ඖෂධීය ජලය ස්නානය කරන්න.

රත් හඳුන්, බෙලි මද, කොහොඹ කොළ, පුවඟු, බැබිල, ජටාමාංශ, රත්මල්, ඉරිවේරිය, නාමල් රේණු, බඳු වද යන ඖෂධයන් සම සමව ගෙන හොඳින් තම්බා සකස් කරගත් ඖෂධීය ජලය,  සාමාන්‍ය ජලයට මිශ්‍රකර ස්නානය කරන්න.

  1. කුජ පූජාව තබන්න.

පබළු, තිරිඟු, පරිප්පු, රන් පැහැය ආලේප කළ ගව රූපයක්, සීනි, රතු රෙදි රියනක්, අරලිය මල්, තඹ කැබැල්ලක්, උක් හකුරු, කනේරු මල්, ඇතුළත් වන ලෙස පූජා වට්ටිය සාදන්න. කොකුන් ගසක් පාමුල ශුද්ධ කර එහි දකුණු පැත්තේ මැස්සක් ඉදිකරන්න. ඉහත සඳහන් පූජා වට්ටිය එහි තබා කුජ සුවඳ ධූපයෙන් දුම් දී කුජ යාදින්න කියන්න.

කුජ යාදින්න සිංහලෙන්

සුරත්ත රක්ත මාලාම්බර ධර ශූල ශක්ති ගදා ධර චතුර් භුජ මේෂ වාහනාරූඪ මහී සුත මංගලානී මංගල සර්වකාම බල පුද සර්වරෝගා පහාරක අංගාරක වෘෂ්ටි කර්කෘත කුජ ග්‍රහාභිධාන තාපපාප විවර්ජන භාර්ද්වාජ කුලෝද්හව භක්ත පාලන තත්පර නා නා භය විනාශක ශරණාගත පරිපෝෂක සුබදායකයාණන් වහන්ස.

කුජ දෝෂයෙන් සිදුවන මාගේ අපල නමැති අමිත දුර්විපාක සමූහය ක්ෂණයෙන් මුලිනුපුටා හැර සෙත්දී සුවපත් කරන සේක්වා.

ෂෂ කුජ යාදින්න සංස්කෘත භාෂාවෙන්

රක්ත, වර්ණං රක්ත මල්‍යාම්බර ධරං, රක්ත ගන්ධානු ලෙපනං රක්තාශ්වං රක්ත ජත්‍ර ධ්වජ රථ පතාකානී ශොභිතං දිව්‍ය රථ සමාරූඨං සවාහනං සශක්ති සපත්ති සපුත්‍ර සපෞත්‍ර පරිවාර  සමෙතං අධි දෙවතා ප්‍රත්‍යධි දෙවතා සහිතං සූර්ය ග්‍රහස්‍ය දක්ෂිණ දිග්හාගේ ත්‍රිකෝණාකාර මණ්ඩලේ ප්‍රතිෂ්ඨතං දක්ෂිණාභිමුඛං අංගාරක ග්‍රහ මාහ්වයාම් උධි දෙවතා ආහ්වයාම් ප්‍රත්‍යධි දේවතා ආහ්වයාමි

කුජ සුවඳ දූපය යනු රත් හඳුන් කුඩු සහ හල් දුම්මල කුඩු මිශ්‍රණයකි.

  1. පෙරවරු කාලයේ පලා වර්ගයන් සහිත බතක්, රසකැවිලි, රත්මල් ආදිය බෝ සමිඳුන් වෙත පුදන්න. ආගමික වතාවත් වලින් පසු බුද්ධක ජින පංජරය යන පිරිත නවවර බැගින් කියන්න. මෙය දින 09 ක් කරන්න.
  2. අඟහරුවාදා දවසක අංගවිකල පුද්ගලයකුට රසකැවිලි දානයක් දෙන්න.
  3. කේන්ද්‍ර හිමිකරු බෞද්ධයකු නම් ආගමික වතාවත් වලින් පසු පහත සඳහන් කවිය 09 වරක් කීමට උපදෙස් දෙන්න.

පසළොස් චරණය ගුණ පිරි මුනිඳා
සදහම් මඟ පෙන්නා දුනි පහදා
විජ්ජාචරණය ගුණ බල විහිදා
කුජ ග්‍රහ අපලය දුරලන් සැමදා

පහත සඳහන් ග්‍රහ බලි ශාන්තියක් උපයෝගී කරගන්න.

  1. කුජ දිෂ්ටිය
  2. කුජ සක
  3. අධන්නාධිපතිය
  4. මාංශකල්‍යාණය
  5. අංගම්මඩුල්ල
  6. ජයකොත් මංගල්‍යය
  7. රතඟරාක්‍ෂය
  8. කාල මර්තුව
  9. කුජ රාක්‍ෂය

 

හේළි සරත් රාජකරුණා
විද්‍යා ජ්‍යොතිෂ

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
    Link : https://subha.lk/astrologers

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk