Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිරිත දිශාව බලවත් නම් නිවසට කිරි උතුරනවා නිසැකයි

2 weeks ago 7 Min read
Subha.lk

වාස්තු විද්‍යාව තුළ නිවසක නිරිත දිශාවට හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. වාස්තු පුරුෂ සංකල්පය තුළ වාස්තු පුරුෂයාගේ පා යුගල පිහිටා ඇත්තේ ද නිරිත දිශාවේය. නිරිත දිශාව  සැලකෙන්නේ‘ගෘහ මූලිකයාගේ දිශාව’ ලෙසය. නිවසක ජීව ගුණය රඳා පවතින්නේ නිරිත දිශාවේය. පවුල් සබඳතා බලවත් වීම, පරම්පරාව ආරක්ෂා වීම ආදිය සිදු වන්නේ නිරිත දිශාව බලවත් වීම මතය. එබැවින් කිසි විටක නිවසේ නිරිත දිශාව හිස් කිරීම හෝ දුර්වල කිරීම නොකළ යුතුය. නිරිත දිශාව පීඩාවට පත්වීම එම නිවසේ ජීවත්වන අයට බොහෝ කරදර පීඩා ඇති වීමට  ප්‍රධාන හේතුවක් වේ.

නිරිත දිශාවේ මුළුතැන්ගෙය, ගරාජ, නාන කාමර, වැසිකිළි වළ, වැසිකිළිය, ගේට්ටුව, පඩිපෙළ ආදිය තිබීමෙන් සහ නිරිත දිශාවට බෑවුම් සහිත විශාල මිදුලක් තිබීමෙන්ද, නිරිත දිශාව පහත් වීමෙන් ද නිරිත දිශාව දුර්වල වේ. නිරිත දිශාව දුර්වල කරන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ නිවසේ ප්‍රධාන දොර නිරිත මධ්‍ය රේඛාවට හසු වන සේ පිහිටා තිබීමයි.

නිවසේ නිරිත දිශාව අඩු වීම තවත් බරපතළ වාස්තු දෝෂයකි. විවිධ හැඩයේ නිවාස ඉදිකිරීමේදී මේ තත්ත්වය ඇති වේ. නිවස සැලසුම් කිරීමේදී කිසිම විටෙක නිරිත දිශාව හිස් නොකිරීමට ඔබ වග බලා ගත යුතුය. ඊසාන දිශාවෙන් නිවසේ බ්‍රහ්ම පාදය මතට එකතු වන විශ්ව ශක්තිය නිවස තුළ ආරක්ෂා කරන්නේ නිරිත දිශාව විසිනි. මෙම දිශාව ගෘහ මූලිකයාගේ දිශාව වන බැවින්  එය නිසි ලෙස ආරක්ෂා විය යුතුය. ගෘහ මූලිකයාට වාසය කිරීමට ඉතාම සුදුසු වන්නේ නිරිත දිශාවය. එම නිසා නිවසේ ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාම සුදුසු වන්නේ නිරිත දිශාවය.

නිවසේ නිරිත දිශාව දුර්වල වූ විට ගෘහ මූලිකයාගේ ශක්තිය හීන වේ. ගෘහ මූලිකයාට නිවස එපා වේ. හැම විටම නිවසෙන් පිටවීමට බලයි. පරම්පරාව ඉදිරියට ආරක්ෂා නොවේ. විශේෂයෙන් මෙවැනි නිවසක තරුණ දූ පුතුන් සිටීනම්, ඔවුන්ගේ විවාහයන් පමා වීම, වැඩිහිටියන්ට අකීකරු වී හිතුවක්කාර විවාහයක් සිදු කර ගැනීම, නොගැළපෙන විවාහයක් සිදු කර ගැනීම, නිසි වයස  එළඹීමට පෙර අසාර්ථක විවාහයක් සිදුකර ගැනීම ආදියට පෙළඹේ. තවත් අවස්ථාවල නිවසට සම්බන්ධ නොවන ලෙස රිජිෆෝම් වැනි දෙයක් බිත්තියට තබා නිරිත දිශාවට මුළුතැන්ගෙය හෝ නාන කාමර නිර්මාණය කරති. එවැනි කුස්සියක පෝරණුව දකුණු දිශාව හෝ බටහිර දිශාව බලා නිරිත මුල්ලේ තනා ඇත්නම් එම නිවසට බොහෝ කරදර, විපත් සිදු වේ. තරුණ වයසේ දූ  දරුවන් සිටී නම් ඔවුන් හිතුවක්කාර විවාහයන්ට යොමු වීම හෝ චරිතය විනාශ කරගැනීම වැනි දේ සිදු විය හැකිය.

විවාහක යුවළක් ඉහත දෝෂ ඇති නිවසක ජීවත්වීම විවාහය දෙදරා යාමට, දරුවන් නොලැබීමට, දරුවන් ලැබුණහොත් දැඩි ප්‍රසුත වේදනාවන්ට ලක්වීමට හේතු වේ. නිරිත මෙන්ම ඊශාන දිශාව ද දෝෂයන්ට ලක්වී ඇත්නම්, නිවසේ නිතර අඩදබර ඇති වේ. නිවැසියන් නිතර රෝගාබාධවලට ලක් වේ.

මේ අනුව නිවසේ නිරිත දිශාව සම්පූර්ණව තිබිය යුතු අතර, ප්‍රධාන නිදන කාමරය නිරිත කොටසේ ඉදිකළ යුතුය. ඉඩම තුළ ද නිරිත කොටසේ වැසිකිළි හෝ වැසිකිළි වළවල් නොතිබිය යුතුය.  නිවසේ නිරිත කොටසට කුඩා මිදුලක් තබා ගැනීම සුදුසු ය. පොළොවේ ද නිරිත කොටස උස් විය යුතු අතර, ජලය ගලා යා යුත්තේ ඊශාන දෙසටය. එවිට නිරිත කොටසේ බලපාන්නා වූ  දෝෂවලින් නිවස ආරක්ෂා වේ.

 

 

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී වාස්තු විද්‍යාවේදී දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

 

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
    Link : https://subha.lk/astrologers

  •     / කපිල ඉන්ද්‍රික ගුණදාස මහතාගෙන් ඒ සම්බන්දව විමසන්න
    Link: https://subha.lk/astrologers/363/online-services

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk