Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අල්ලේ පිහිටන විශේෂ සලකුණු හෙළිකරන සුබ අසුබ පල

2 weeks ago 7 Min read
Subha.lk

හස්ත රේඛා විද්‍යාව අනුව කිසිවකුගේ අල්ලක් පරීක්ෂා කිරීමේදී ප්‍රධාන වශයෙන් එහි පිහිටි රේඛාවල ස්වභාවය හා මණ්ඩලවල ප්‍රබලතාව අනුව පලාපල කීමට හස්ත රේඛා ශාස්ත්‍රඥයා පියවර ගනී. මේ අතර අල්ල සියුම්ව පරීක්ෂා කිරීමේදී අල්ලේ යම් යම් ස්ථානවල විශේෂ සලකුණු ද පිහිටා තිබෙනු දැකිය හැකිය. ඒ තුළින් පුද්ගලයාට ලැබෙන විශේෂ සුබ අසුබ පල සාමුද්‍රක විද්‍යාවේ  සඳහන් වෙයි. මේ එවැනි විශේෂ සලකුණු කීපයක් ගැනයි.

ත්‍රිශූලය

ත්‍රිශූලය යනු උල් තුනකින් සෑදුණු ලකුණකට බව අංක1 රූප සටහනින් ඔබට පැහැදිලි වනු ඇති. කිසියම් රේඛාවක මුල හෝ අග ත්‍රිශුලයක ලකුණක් වැටී ඇත්නම් එම රේඛාවෙන් උත්පාදනය වන බලශක්තිය තුන් ගුණයකින් වැඩිවෙන බව හස්ත රේඛා විද්‍යාවේ නිගමනයයි. මණ්ඩල මත ස්වාධීනව දිස්වෙන ත්‍රිශුල ලකුණ ගුරු මණ්ඩලය මත වැටී ඇත්නම් ඔහු හෝ ඇය ධනවත් වන බවට සලකුණකි. දැඩි ආගමික භක්තියක් ඇති අයගේ ශනි මණ්ඩලය මත ත්‍රිශුල ලකුණ විද්‍යමාන වන අතර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රවි මණ්ඩලයෙහි බොහෝ විට එවැනි ලකුණු දිස්වෙයි. බුධ මණ්ඩලය මත ත්‍රිශුල ලකුණක් තිබීම ව්‍යාපාර කටයුතුවලින් වඩා දියුණු විය හැකි අතර චන්ද්‍ර මණ්ඩලයෙහි පිහිටන ත්‍රිශුල ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු ඇය ගුප්ත විද්‍යාවන් කෙරෙහි සහජ දක්ෂතා ඇති අයෙකු බවයි. කුජ මණ්ඩලය මත පිහිටන ත්‍රිශුලයෙන් අභීත පුද්ගලයෙකු මූර්තිමත් වෙයි.

කාක පාදය

මෙම සලකුණ ඉතාම අශුභ පිහිටීමකි. ත්‍රිශුලයේ උල්තුන පහළට හැරී තිබුණොත් එය හඳුන්වනුයේ කාක පාදය ලෙසයි. 2 වෙනි අංකයෙන් කාක පාදයේ සාමාන්‍ය පිහිටීම දැන් බලන්න. කාගේ හෝ අතක කාක පාදයක ලකුණක් ඇත්නම් ඔහු හෝ ඇය කරන කියන හැම දෙයක්ම අසාර්ථක වන බව කිව හැකියි.

මත්ස්‍ය සලකුණ

රූප සටහනේ 3 වෙනි කොටුව දැන් බලන්න. එය මත්ස්‍ය ලකුණ ලෙස හැඳින්වේ. මත්ස්‍ය ලකුණ මණ්ඩල මත වගේම රේඛා ආශ්‍රිතවත් පිහිටිය හැකිය. රේඛා ඛණ්ඩි ගැසීමෙන් බොහෝ විට එම ලකුණ පිහිටන බව කිව යුතුයි. මත්ස්‍ය ලකුණ ඉතාමත් සුභ පලදෙන පිහිටීමක්. අනේක විධ භව භෝග සම්පත් ලැබීමට ද එය හේතුවක් වෙයි.

ස්වස්තිකය

අප භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවත්, ශ්‍රී පාද ගතවත් විද්‍යමාන වූ ස්වස්තික සලකුණ මහා මංගල ලක්ෂණයක් බවයි.

භාරත හස්ත රේඛා ශාස්ත්‍රයෙහි සඳහන් වන්නේ පුරාණ ග්‍රීක ජනතාවත් එය උත්තම ලක්ෂණයක් වශයෙන් පිළිගත් බව ඓතිහාසික මූලාශ්‍ර මඟින් පැහැදිලි වෙයි. මොනයම් ක්‍රමයකින් හෝ  උත්තරීතර භාවයට පත්වෙන පුද්ගලයෙක් ස්වස්තික ලකුණින් හඳුන්වා දෙයි. 4 වෙනි කොටුවෙන් එම සලකුණ හඳුනා ගන්න.

යව සලකුණ

යව සලකුණ යනු වී ඇටයකට සමාන හැඩරුව ඇති සලකුණකි. මෙය බොහෝවිට ඇඟිලිවලත්, ඇඟිලි පුරුක් අතරත් පිහිටිය හැකිය. වී හැඩයක හැඩයෙන් මහපටඟිල්ලේ මැද පුරුකේ පිහිටන  එම ලකුණේ සාමාන්‍ය පිහිටීම 5 වෙනි කොටුවෙන් දැක්වේ. පෙර අත්භවයන්හිදී කරන ලද නොමඳ පින්බල ඇති වාසනාවන්තයින්ගේ අත්වල පිහිටන ලකුණක් වශයෙන් එය විග්‍රහ කළ හැක.

රජයේ උසස් නිලධාරීන්, දේශපාලකයන්, ව්‍යාපාරිකයන් වැනි අයගේ අත්වල බොහෝ විට යව සලකුණ පිහිටිය හැක.

යව සලකුණ ඇති අයට කවදාවත්ම අග හිඟයක් නම් ඇති නොවේ.

කතිර සලකුණ

මෙම සලකුණු අල්ලේ පැහැදිලිව සටහන්වීම බොහෝ විට විපත්තිදායක වේ. සුබ පලයක් ඇතිවන්නේ කලාතුරකිනි. කතිර සලකුණ වඩාත්ම සුබ පල ගෙන දෙන්නේ ගුරු මණ්ඩලයටයි. වෙනත් රේඛා එක්වීමක් නොමැතිව හුදෙකලාව කතිර සලකුණක් ගුරු මණ්ඩලයේ පිහිටියේ නම් එය වාසනාවන්ත විවාහ දිවියකට හේතුවේ.

සිදුවන කාලය කතිරය පිහිටි ස්ථානය අනුව නිගමනය කළ යුතුය. ජීවන රේඛාව පටන් ගැන්ම අසල නම් අවුරුදු විස්සට නුදුරුවද, මණ්ඩලය මැද නම් මැදිවයසේදි සිදුවේ. දෛව රේඛාව ස්පර්ශ කරමින් ශනි මණ්ඩලයේ නම් ජීවිත හානිද, මැදඟිල්ලේ නිය සහිත පුරුකේ නම් දරුපල හීනවීමද, රවි මණ්ඩලයේ නම් ධන හානිද, බලාපොරොත්තු කඩවීම් ද, බුධ මණ්ඩලය යට පිහිටි කුජ  මණ්ඩලයේ නම් දරුණු තුවාල ඇතිවීමට ද චන්ද්‍ර මණ්ඩලයේ නම් දියේ ගිලීමෙන් සිදුවන අනතුරු ද පෙන්නුම් කරයි.

චතුරස්‍ර හෙවත් කොටු සලකුණු

මෙය අනතුරු විපත් ආදියෙන් ආරක්ෂා කිරීමේ සලකුණක් ලෙස සැලකේ.

කිසියම් රේඛාවක හෝ මණ්ඩලයක අනිෂ්ට පල ප්‍රකට කෙරෙන ස්ථානයක කොටු සලකුණ තිබීමෙන් උවදුරුවලින් ආරක්ෂා වෙයි.

ඇතැම්විට ප්‍රධාන විහිද යෑමේදී එම රේඛාව අතරමඟදී කැඩී ටික දුරක් කිසිම සටහනක් නොමැතිව හිස් වෙන්නට හැර එසේ තිබියදී නැවත රේඛාව විහිද යයි.

එබඳු අවස්ථාවක කැඩුණු රේඛා දෙක ස්පර්ශ වනසේ ඒ මැදින් කොටු සලකුණක් පිහිටීමෙන් ප්‍රධාන රේඛාව කැඩීමෙන් ඇතිවන අශුභ විපාක මඟ හැරේ.

ජීවන රේඛාව එසේ වූ විට මරණය සහිත රෝගවලින් ද, ශීර්ෂ රේඛාවෙන් නම් මානසික ආබාධවලින් ද රවි රේඛාවේ නම් කීර්තිය හා ධන හානිවලින් ද දෛව රේඛාවේ නම් ආපදා, ධන හානි  ආදියෙන් ද අත්හිමියාට ආරක්ෂාව සැලසේ.

 

 

හිඹුටානේ පියතිලක ද අල්විස්

 

  • ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
    Link : https://subha.lk/astrologers

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk