Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පලාපල කථනයේදී සඳු ග්රහයාගේ වැදගත්කම

3 weeks ago 7 Min read
Subha.lk

කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක අනෙකුත් සෑම ග්‍රහයෙකුගේම පිහිටීමට වඩා චන්ද්‍රයාගේ පිහිටීම ඉතාම තීරණාත්මක වෙයි. යම් අයෙකුගේ උත්පත්ති නැකත සහ දශා ශේෂය ආදිය තීරණය කරන්නේද චන්ද්‍රයා තැම්පත්ව ඇති රාශිය සහ චන්ද්‍රයා ගමන් කර ඇති අංශක ප්‍රමාණයයි. සැබවින්ම යම් අයෙකුගේ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් සුබ මුහුර්තියක් පිළියෙල කිරීමේදී  උත්පත්ති නැකතට ගැළපෙන පරිදි එම නැකත පිළියෙල කළ යුතුය.

 

නමුත් කේන්ද්‍ර සටහන තුළ චන්ද්‍රයා පිහිටුවා නොගතහොත් උත්පත්ති නැකත පිළියෙල කළ නොහැකි අතර ඒ අනුව සුබ මුහුර්ත පිළියෙල කිරීමටද නොහැකි වේ. එමෙන්ම බොහෝ ජ්‍යොතිර්වේදීන් පලාපල කථනය සඳහා දශා, අතුරු දශා ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. කෙසේ වෙතත් කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා පිහිටුවා නොමැති නම් දශා ශේෂය පිළියෙල  කිරීමට නොහැකි වේ. ඒ අනුව පෙනී යන්නේ කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා පිහිටුවා නොමැතිනම් එම කේන්ද්‍ර සටහන සඳහා පලාපල කථනය ඉතාම අපහසු බවය.

 

මුල් කාලයේදී පලාපල කථනය සඳහා ලග්න කේන්ද්‍රය භාවිත කළ, වැඩිහිටි වියේදී පලාපල කථනය සඳහා සමහර ජ්‍යොතිර්වේදීන් විසින් චන්ද්‍ර කේන්ද්‍රය භාවිත කරන බව පෙනේ. එමෙන්ම  පලාපල කථනය සඳහා ලග්න කේන්ද්‍රය භාවිත කරන ජ්‍යොතීර්වේදීන්ද පලාපලය ප්‍රකාශ කරන්නට පෙර චන්ද්‍ර කේන්ද්‍රය කෙරෙහිද අවධානය යොමු කරන බව පෙනේ. ඒ නිසාම ඇතැම්  ජ්‍යොතිර්වේදීන් විසින් ජන්ම පත්‍ර පිළියෙල කිරීමේදී“ලග්න කේන්ද්‍රයට” අමතර ලෙස“චන්ද්‍ර කේන්ද්‍රයක්ද පිළියෙල කරන බව පෙනේ. මීට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක  ඒරාෂ්ටකය  තීරණය කරන්නේද නොඑසේනම් බොහෝ ඒරාෂ්ඨක තීරණය කරන්නේද  උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයාගේ පිහිටීම අනුවය.

 

උදාහරණ ලෙස යම් උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයාට12 වැන්නේද, චන්ද්‍රයා මතින්ද, චන්ද්‍රයාගෙන් දෙවැන්නේද ගෝචර ශනි ගමන් කරන විට එම ජන්මියාට ජන්ම ඒරාෂ්ඨක ගත වෙයි.  තවද උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයාගේ අට වැන්නේ ගෝචර ශනි ගමන් කරන විට චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය ගත වෙයි.

 

උදාහරණ ලෙස කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා4 වන භාවය තුළ හෝ10 වන භාවය තුළ තැම්පත්ව ඇති නම් එවන් පුද්ගලයෙකුට බොහෝ විට ජීවිතයේ වැඩි කාලයක් ඒරාෂ්ටක ලෙස ගතවෙයි.

 

කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක් වෙනුවෙන් අනාවැකි පැවසීම සඳහා එම කේන්ද්‍ර හිමියාට ඒරාෂ්ටකයක් ගතවේද යන්න අතිශය තීරණාත්මක වෙයි. නමුත් යම් කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා පිහිටුවා නොමැතිනම් සමහර ඒරාෂ්ටක හඳුනා ගැනීම ඉතාම අපහසු වන අතර ඒ අනුව ඒරාෂ්ටක ඇසුරින් සිදුකරන පලාපල කථනයද කළ නොහැකි වනු ඇත.

 

එමෙන්ම කිසියම් පුද්ගලයෙකු තම උපන් දිනය දැන සිටියද උපන් වේලාව නොදන්නේනම් එවැනි අයෙකුට පලාපල කථනය සඳහා චන්ද්‍ර කේන්ද්‍රය භාවිත කරනු ලැබේ. උදාහරණ ලෙස බොහෝ විදේශිකයින් තම උපන් දිනය දැන සිටියද උපන් වේලාව නොදන්නා බව පෙනේ.

 

එවන් අවස්ථාවලදී ඔවුන්ට චන්ද්‍ර කේන්ද්‍රයක් නොහොත් චන්ද්‍රයා පළමු කොටුවේ තබා පිළියෙල කරන කේන්ද්‍ර සටහනක් මඟින් යම්තාක් දුරකට හෝ නිවැරදි පලාපල ප්‍රකාශ කළ හැකි වනු  ඇත.

 

විශේෂයෙන් යම් උත්පත්ති කේන්ද්‍ර සටහනකට අදාළව රැකියාව වෙනස් වන කාල වකවානු මොනවාද යන්න තීරණය කිරීමටද රැකියාවෙන් උසස්වීම් ලැබෙන කාල වකවානු තීරණය කිරීමටද, පදිංචි ස්ථානය වෙනස් වන කාල වකවානු තීරණය කිරීමටද, විදෙස් ගමන් සිදු වන කාල වකවානු තීරණය කිරීමටද අන් සියලු ග්‍රහයින්ට වඩා අදාළ කර ගත යුත්තේ චන්ද්‍රයාය.

 

 

මීට අමතර ලෙස යම් පුද්ගලයෙකුට විදෙස් පුහුණුවක් හෝ විදෙස් අධ්‍යාපනයක් ලැබිය හැකිද යන්න සොයා බැලීමටද යම් පුද්ගලයෙකුට විදේශ රැකියාවක් කළ හැකිද යන්න සොයා බැලීමටද  යම් පුද්ගලයෙකුට විදේශගත වීමට වාසනාව ඇත්ද යන්න විමසා බැලීමටද අන් සෑම ග්‍රහයෙකු පිළිබඳව පරීක්ෂා කරනවාට වඩා තීරණාත්මක වන්නේ චන්ද්‍රයාගේ පිහිටීම පරීක්ෂා කිරීමය.

 

 

 

පාරින්ද්‍ර සුගතදාස

 

ඔබට වඩාත් මේ පිළිබඳව සහ ඔබගේ ජන්මපත්‍රය පිළිබඳව දැනගැනීමට අවශ්‍යද? ලංකාවේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදීයෙකුගෙන් ඒ සම්බන්දව විමසන්න.
Link : https://subha.lk/astrologers

 

පාරින්ද්‍ර සුගතදාස මහතාගෙන් ඒ සම්බන්දව විමසන්න
Link: https://subha.lk/astrologers/7/online-services

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk