Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

භාව දොළහයි ග්‍රහයෝ නවයයි – අටවැන්න සහ නවවැන්න හඳුනා ගනිමු

1 month ago 7 Min read
Subha.lk

අටවැන්න ත්‍රික(දුෂ්ට) ස්ථානයකි. මෙම ස්ථානයෙන් දැක්වෙන කරුණු අතර උරුම හිමිකම්, ආයුෂ මෙන්ම මරණය සිදුවන ආකාරය ද අට වැන්න ආශ්‍රයෙන් විග්‍රහ වේ. අනුන්ගේ දේපළ අයිතිවීම, නොවීම, විවාහයේ දායාද ලැබීම හෝ නොලැබීම ද බැලිය යුත්තේ අට වැන්නෙනි. හිත අවුල්වීම, මානසික ව්‍යාකූලත්වයට පත්වීම, ව්‍යාපාරයන්ගේ ලාභ පාඩු, භාර්යාවගේ සෞඛ්‍ය තත්ත්වය ද බැලිය යුත්තේ අටවැන්නෙනි. මෙම භාවයේ සිටින ග්‍රහයන්ගෙන් නියම ආකාරයෙන් ශුභ ඵල ලැබිය නොහැක. මිනිස් ශරීරයේ රහස් ප්‍රදේශ ද අටවැන්නට අයත් වේ. එබැවින් රහස් රෝග පිළිබඳ බැලිය යුත්තේ අටවැන්නෙනි.

රවි: අට වැන්නේ රවි බලවත් වූ විට රජයෙන් හෝ මියගිය අයගේ හෝ පියාගේ දේපළවලට උරුමය ලැබේ. පියාගේ අවසන් කටයුතු ගරු ගාම්භීර අයුරින් සිදුකරයි. පිය පාර්ශ්වයෙන් ආදරය හා  රජයෙන් රැකියා ලැබීම සිදුවේ. රවි දුර්වලව අටේ පිහිටා ඇත්නම් පියාගේ උරුමයන් ලබාගැනීම සඳහා නඩු මඟට බසින්නට සිදුවේ. හවුල් ව්‍යාපාරවලට නොගැළපෙන්නකු වන අතර නීති  විරෝධී කටයුතුවල නිරතවීම නිසා රාජ භය ඇතිවේ. දායාද නොලැබෙන විවාහයක් උරුම වේ.

සඳු: බලවත් සඳු අටවැන්නේ නම් මවගේ හෝ බිරිඳගේ දේපළ ඔවුන්ගේ මරණවලින් පසු උරුම වේ. මෙවැන්නන් ආහාර ගබඩා පරිපාලකවරුන්, ආහාර සැපයීමේ ව්‍යාපාර ආදිය සිදු කිරීමට   යෝග්‍ය වේ.

සඳු දුර්වලව පිහිටා තිබේ නම් ඉතා අශුභ පිහිටීමකි. වැව් ළිං ආදියේ වැටී අනතුරුවලට ලක්විය හැක. මසුන් මැරීම වැනි වෘත්තීන් හිමිවේ. ස්ත්‍රී වියවුල් නිසා අකාලයේ දිවි හානිකර ගනී.

මිථුන ලග්නය වී සඳු අටේ සිටීම නිධන් වස්තු ලැබෙන පිහිටීමකි. එසේම දැඩි දෝෂාරෝපණයන්ට ද ලක්වේ. එසේ වුවත් ආයුෂ හීන වන පිහිටීමකි.

කුජ: කුජ බලවත් වූ විට රෝහල් බන්ධනාගාර, බෙහෙත් ගබඩා ආදිය ආරක්‍ෂා කිරීමේ රැකියා උරුම වේ.

කුජ දුර්වලව පිහිටිවිට සොර සතුරන්ගෙන් බියට පත්වීම, රාජ බය, සහෝදරයන්ට විපත්, ගම් බිම් උරුමයන් අහිමිවීම, මෙන්ම දරුණු ශල්‍ය කර්මයන්ට භාජනය වීමට ද සිදුවේ.

බුධ: අටවැන්නේ බලවත් නම් සූර චෞරයකු බිහිවේ. කූට උපායාදියේ කෙළ පැමිණියෝ වේ. (ලාංකීය දේශපාලනයට සුදුස්සන්) පැහැපත් ශරීරයක් උරුම වේ. මිල මුදල් හිඟවේ. කෙසේ නමුත් බුධ අට වැන්නේදී යම් යම් ශුභ ඵල ද ලැබේ.

අට වැන්නෙහි බුධ දුර්වල නම් අනුන්ගෙන් යැපෙන යාචකයන් මෙන්ම අනුන්ගේ මෙහෙකාරකම් සිදු කරන දුර්වලයකු වේ. මෙවැන්නන්ගේ වචනය ද අන්‍යයන් නොපිළිගනී.

ගුරු: මෙම භාවයේ ගුරු බල සහිතව සිටිවිට අනුන්ගේ දේපළ උරුම වේ. සමිති සමාගම් ආදියේ නායකයෙකි. අනුන් සතු ව්‍යාපාරයන් තමන් සතුවීම, විවාහයෙන් දායාද ලැබේ. කෙසේ නමුත්  පියාට අපල කරන පිහිටීමකි.

දුර්වල වූ ගුරු මේ භාවයේ තැන්පත් වූවිට බිරිඳට හා දරුවන්ට විපත් ඇතිවේ. වස්තු විනාශය, මෙවැන්නන්ගේ ගේ දොර අනුන් සන්තක වේ.

ශුක්‍ර: සිකුරු බලවත් වූවිට ඔහුගේ වසඟයට පත්වන ස්ත්‍රීන්ගේ දේපළ ලැබේ. එසේ ම මේ පිහිටීම ඇති අය අනුන්ගේ ස්ත්‍රීන් බියවද්දා වසඟයට ගනී. පිටරටක හෝ පිට පළාත්වල වාසය කිරීමට  සිදුවේ.

දුර්වලව සිකුරු අට වැන්නෙහි පිහිටිවිට උපදින අය අභ්‍යන්තර ශක්තිය දුර්වල වූවෝ වෙති. ස්ත්‍රීන්ගෙන් විපත් ඇතිවේ. මෙවැන්නන්ට සෙම් රෝග, ධාතු ක්‍ෂයවීම මෙන්ම ආයුෂ හානිය නිසා  හදිසි මරණයන්ට ලක්වේ.

ශනි: ශනි බලවත් ව අටවැන්නේ තැන්පත් වී නම් ඔහුට දීර්ඝායුෂ උරුමවේ. වස්තුව රැස්කිරීමට හොඳම පිහිටීමකි. මෙහෙකරුවන් පීඩාවට පත්කරමින් මෙවැන්නන් ධනය උපයයි. මේ භාවයේ  ශනි දුර්වලව පිහිටා ඇත්නම් ඔහු බේබද්දෙකු, සූදුකාරයකු, සත්ව ඝාතනයට ලොල් වූවකුවේ. නින්දා අපහාසයට ලක්වේ. සුළං, ගල්, මුල් ප්‍රහාර ආදියෙන් මරණය හෝ මරණයට සමාන විපත්තීන්ට මුහුණ දීමට සිදුවේ.

රාහු: 

රාහු අටවැන්නේ පිහිටිවිට හිසට බලවත් තුවාල සිදුවේ. වාත රෝගයන්ට භාජනය වේ. මනුෂ්‍ය සමාජයෙන් කොන්වී උන්මත්තකයකු බවට පත්වේ.

කේතු: කේතු අටවැන්නේ පිහිටා ඇතිවිට අර්ෂස් රෝග, බඩවැලේ තුවාල හෘදයාබාධ, සම මතුපිට ඇතිවන හොරි දද ඇතිවේ. මෙවැන්නන්ට වාහන අනතුරුවලින් විපත් ද යක්ෂ, ප්‍රේත භූත දිෂ්ටි වැටීමෙන් ද යම් යම් රෝග වැළඳේ.

නව වැන්න පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය, ගුරු ස්ථානය යන නාමයෙන් හැඳින්වේ. කේන්ද්‍ර හිමියාගේ උකුල, කලවා යන ශරීරයේ අවයව නියෝජනය වන්නේ ද නව වැන්නෙනි. දෙමාපිය ගුරු  දෙගුරුන්ට සැලකීම පියාගේ දුක සැප බැලීම ද ප්‍රකාශ වන්නේ නව වැන්නෙනි. ඔහුගේ ආගමික භක්තිය මෙන් ම විදේශ ගමන් පිළිබඳව ද විමසීමේ දී මේ භාවය වැදගත් වේ. වෘත්තීය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳව ද විමසීමේදී නවවැන්න විශාල කාර්යභාරයක් ඉටු කරයි.

රවි : මෙම භාවයේ රවි බලවත්වූවිට යහපත් සිතුම් පැතුම් ඇති මනා හික්මීමෙන් යුතු ආගමික භක්තිය ඇති, අනුන්ගෙන් වැඳුම් පිදුම් ලබන, පැවිදි බවට පත්වන හෝ පූජකයන් ඇසුරු කරන ආණ්ඩුවෙන් තනතුරු ලබන ගෞරවනීය පිනැත්තෙකි. මෙවැන්නන් වැව්, ළිං, පොකුණු, වෙහෙර විහාර දේවාලාදිය ඉදිකරන මහා පුණ්‍ය වන්තයින්ය.

රවි දුර්වලව පිහිටා ඇතිවිට මිසදිටු අදහස් ඇත්තන්, ප්‍රාණඝාතය විනෝදයක් ලෙස සලකන්නන් මෙවැන්නන් වේ. දෙමාපියන් වැඩිහිටියන් නොසලකන අතර දුෂ්චරිතය නිසා රාජ බයට ලක්වීම නඩු හබවලට පැටලීම ද සිදුවේ. එසේම මෙවැන්නන්ට දෙපාවල පීඩා ආබාධ ඇතිවීම ද නියතයකි.

චන්ද්‍ර – බලවත් සඳු නව වැන්නෙහි පිහිටිවිට භික්‍ෂූන් වහන්සේ නමකි. යම් හේතුවක් නිසා පැවිදි නොවුවද ඒ හා සමාන ජීවිතයක් ගතකරයි. වාසනා ගුණයෙන් යුතු දැකුම්කලු ප්‍රියමනාප ශරීරයක්  උරුම වේ. මෙවැන්නන් අනුන්ගේ දුක් හමුවේ සංවේදීවන සිතැත්තන් ය. ජල යාත්‍රා ගමනාගමනය කරන, ප්‍රීතියෙන් ගමන් බිමන් කරන කෙනෙකි. එසේ ම කාන්තාවන්ගේ ආචාර්යවරයකු වන මොහු කාන්තාවන් පාලනය කරන අයෙකි. සතර වර්ගයේ නෑදෑයන්ගේ වන්දනා මානයට ලක්වේ. දුර්වල සඳු නම් රාජ භය හේතුවෙන් තැතිගත් සිතැත්තෙකි. ගැහැනු ගැටවලට හසුවන්නෙකි. ස්ත්‍රීන්ගේ අභූත චෝදනාවලට ලක්වේ. මවට අපලයි. වතුරට බිය වේ. මෙවැන්නන්ට ජල ගැලීම් ආදියෙන් විපත් ඇතිවේ. දෙපාවල තුවාල වණ කුෂ්ට සහිත පෙර පින් මහිමය අඩු ජීවිතයකි.

කුජ බලවත් වූයේ නම් ආණ්ඩුවේ හෝ යුද හමුදාවේ, බන්ධනාගාර, තැපැල් යන අංශවල රැකියා ලැබේ. වෛiවරුන් ඖෂධ නිෂ්පාදනාගාරවල සේවය කරන්නන්, ආයුධ බෙහෙත් ගින්දර ගෑස් විදුලිය සැපයීම් කරන්නන් මෙම ග්‍රහ තත්ත්වය පිහිටි අය වේ. මොවුන් කාර්යයේ දී නිර්භීත වේ.

දුර්වලව කුජ පිහිටි අය රාජ බයට ලක්වීම නඩු හබවලට පැටලීම, තහනම් මත්ද්‍රව්‍ය විකිණීම සිදුකරනු ලබයි. ගින්නෙන් දෙපා පිළිස්සීමෙන් තුවාල සෑදීම, ආයුධ ප්‍රහාරයන්ට ලක්වීම සිදුවන අතර මෙවැන්නෝ සහෝදරයන් සමග නඩු හබවලට පැටලේ. රැකී රක්‍ෂා අහිමිවන අතර පරාක්‍රමය තේජස නැති දුර්වලයෙකි.

බුධ : 

මෙම ස්ථානයේ බුධ බලවත්වූ විට රාජ්‍ය මුද්‍රණ අංශයේ, කච්චේරි, රෙජිස්ට්‍රාර් කාර්යාල, ආදායම් බදු කාර්යාල ආදියේ රැකියා උරුම වේ. උගතුන් නිරන්තරයෙන් ඇසුරට ලැබේ. මාමලාගේ  උපකාර හිමි අතර ඔවුන්ගේ මාර්ගයෙන් රැකියා හිමි වේ.

බුධ දුර්වලව පිහිටිවිට උගතුන් සමග විරෝධතා ඇතිවේ. නිලධාරීන් සමග නඩු හබ ඇති කරගනී. පොත් පත් විනාශ කරන්නෙකි. මෙවැන්නන්ට නිරන්තරයෙන් දෙපාවල ආබාධයන්ට ලක්වීමට සිදුවේ.

ගුරු : 

ගුරු බලවත්ව පිහිටා ඇති අය මහා පුණ්‍ය වන්තයන් වේ. අන්‍යයන් සඳහා නිරන්තරයෙන් පිහිට වන්නන් වේ. ධර්මකාමී උසස් සිතිවිලි ඇත්තෙකි. සමාජයේ ගෞරව බහුමාණය හිමිවේ.  වාසනාවන්ත ජීවිතයකි.

ගුරු දුර්වලව පිහිටීම නිසා බොරු කියන්නෙක්, බොරු බණ කියන්නෙක් උපදී. අධර්මවාදී වේ. ලාභය වෙනුවෙන් අන්‍ය ආගම් වැළදගනී. රැකියා බිඳ වැටේ. ව්‍යාපාර තුළින් පාඩු ලබයි. මිල මුදල්  හිඟව අන්ත අසරණ වේ. දරුවන් දේපළ සඳහා නඩු හබ ඇතිකර ගනී.

සිකුරු : මෙම ස්ථානයේදී සිකුරු බලවත් වූ විට මව් පිය ගුරු දෙගුරුන්ට ඉතා ලැදිවේ. කාන්තා පක්‍ෂයෙන් සැප හා ගෞරවයට පාත්‍රවීම සිදුවේ. උසස් තනතුරු ලැබේ. පින් කිරීමට සිතැත්තෙකි.  උපබෝග පරිභෝග සම්පත්තියෙන් පින් කිරීම හේතුකරගෙන රටේ තොටේ පුණ්‍ය වන්තයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වේ.

සිකුරු දුර්වලව පිහිටිවිට නහරගත වේදනාවන් ඇතිවේ. පාදවල රෝග කැඩුම් බිඳුම් ආදියට භාජනය වේ. ස්ත්‍රීන් නිසා නඩු හබවලට පැටළේ. බූදල් නඩුවලට ද යොමුවීමට ඉඩ ඇත. දුෂ්ශීල  පැවැත්මක් ඇත්තෙකි.

ශනි  ශනි බලවත් වූ විට එම ශනිට සඳු පෙනේ නම් ඒකාන්තයෙන්ම පැවිදි බවට පත්වේ. ජනප්‍රිය ධර්ම කථිකයන් වහන්සේ නමක් වේ. තේජස බලය මෙන්ම වැඳුම් පිදුම් ලැබීමට ද උරුමයි. ප්‍රනීත  ආහාර පාන ලැබේ. මුළු ජීවිත කාලය ම විහාර දේවාල ආරාම ආදියේ ගතකිරීමට ආසාව ඇති අයෙක් වේ. මෙම භාවයේ ශනි දුර්වලවූ විට කොරගතිය ඇති මුදල් සම්මාදමේ යන පැවිදි  වේෂධාරියෙකු වේ. මෙවැන්නන් පහත් අය ඇසුරු කරයි. මත්පැන්, කූට වෙළෙඳාම කරන්නන් වේ. මොන දේ කළත් දුප්පත්කම නිසා මුළු ජීවිත කාලය ම තැවෙන්නෙකුවේ.

රාහු : 

පිළිබඳ විස්තර ශනිට සමානවද කේතු: කේතු පිළිබඳ කුජට සමානවද ඔවුනොවුන්ට සම්බන්ධ ග්‍රහයන්ට සමානවද ප්‍රතිඵල ප්‍රකාශ වේ.

මේ වනවිට මෙම ලිපි පෙළ මගින් කේන්ද්‍රයේ භාව අටක් පිළිබඳ, කේන්ද්‍රය ගැන සාමාන්‍ය දැනුමක් ඇති පාඨකයන්හට ස්වයං අවබෝධයක් ලබාගත හැකි අයුරින් ඉදිරිපත් කොට ඇත.

 

ජ්‍යොතිෂවේදී,
එස්.ඩී.ජේ. පතිරණගේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk