Blogs - Subha.lk
Subha.lk Menu
Log in Register

විදෙස් ගතවන්න පුළුවන්ද බැරිද – හදහනෙන් දැන ගන්න

1 year ago 7 Min read
Subha.lk

රටේ පවතින අස්ථාවර ආර්ථික තත්ත්වය තුළ බොහෝ දෙනා විදේශ ගතවීමට උත්සාහ කරනු පෙනෙයි. මෙතෙක් ඉටුකර ගැනීමට නොහැකි වූ අරමුණු ඉටු කර ගැනීමට මෙන්ම තම සිහිනය සාක්ෂාත් කර ගැනීමට ඇති එකම මාවත විදේශ ගතවීම බැව් අද බොහෝ දෙනා විශ්වාස කරනු පෙනෙයි.

නමුත් අප මෙහිදී උත්සාහ ගනුයේ ඔබගේ කේන්දරේ ඔබට විදේශගත වීමට සත්‍ය වශයෙන්ම භාග්‍යය තිබේ ද යන්න විමසා බැලීම වේ. එයට හේතුව වන්නේ ඇතමුන් රට සිහිනය සෑබෑ කර ගැනීමට හොරුන්ට හසුවී කබලෙන් ළිපට වැටෙන තත්ත්වයන් ද අද බහුලව විද්‍යමාන වීම වේ. එනම් එවැනි විවිධාකාර වංචනිකයින්ට හසුවී මාස ගණන් කල් ප්‍රමාදවීම්වලට ලක්වන්නේත් අතේ තිබෙන දේ නැතිකර ගෙන ගේ දොර පවා නැතිවී දුක් සුසුම් හෙළන්නට සිදුවන්නේත් ජන්ම පත්‍රයේ ග්‍රහ බලය විදෙස් ගමන් සඳහා බලාත්මක නොවන විටය. විදේශගත ගතවීමට පෙර සමස්ත ජන්ම පත්‍රයේ ග්‍රහ බලය මැනවින් විග්‍රහ කරගැනීම මේ නිසා ඉතා යෝග්‍ය වේ.

ලග්නාධිපති හතර වැන්නේ පිහිටීම හෝ හතරවැන්නාධිපති ලග්නයේ පිහිටීම ජන්මියා ජන්ම භූමියෙන් වෙනත් රටකට යෑම සීමා කරනු ලබයි. ලග්නාධිපති දෙවැන්නේ සිටින පුද්ගලයින් හා දෙවැන්නාධිපති ලග්නයේ පිහිටි ජන්මියා පවුලට බැඳී සිටින පවුලෙන් ඈත් නොවේ. මෙවැනි ජන්මින් කෙටි ගමන් සඳහා විදේශගත වුවද පදිංචිය සඳහා විදේශගතවන බවක් නොපෙන්වයි. යම් ජන්මියකුට විදේශගත වීමේ යෝග්‍යතාවය ජන්ම පත්‍ර පරීක්ෂාව තුළින් අනාවරණය කර ගතහැකිය. එහිදී උත්පත්ති ග්‍රහ පිහිටීම් ද, මහ දශා අතුරු දශා සහ ගෝචර ගමන් ආදී සාධක ද ඔස්සේ විමර්ශනාත්මක විග්‍රහයක යෙදිය යුතුවේ. මේ අනුව විදේශගත වීමේ යෝග්‍ය කාලවකවානු නිශ්චය කරගත හැකිය.

විදේශගත වීම යනු තමා උපන් ස්ථානයෙන් වෙන් වීමකි. උපන් ස්ථානය ජන්ම කේන්දරයේ 4 වැන්නෙන් කියවේ. ඊට අමතරව ලග්නය ද උපන් ස්ථානය වෙනුවෙන් බලපවත්වයි. 8 වැන්න තුළින් උපන් ස්ථානයේ පදිංචිව සිටීම හෝ ඉන් පිටවීම පෙන්වා දෙයි. 12 වැන්න තුළින් දුර බැහැර , පිට පළාත්, විදේශ රටවල්, විදේශිය සංස්කෘතින්, විදේශිකයන් ගැන ද කියවේ.

විදේශ ගතවීමේ භාග්‍ය ගැන විමසනවිට කටක රාශිය ද විශේෂ වන්නේ එය ජල රාශියක් වන හෙයිනි. උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු සහ මීනය ද විශේෂයෙන් රාශි චක්‍රයේ 9 වැන්න වන ධනු සහ12 වැන්න ජල රාශියක් වන මීනය ද සුවිශේෂ ය. ජල රාශියක් මෙන්ම තිර වර්ගයකට අයත් වෘශ්චිකය ද විදේශගතවීමේ භාග්‍ය ගැන විමසනවිට වැදගත් වේ. සුබ තත්ත්වයේ පිහිටා ඇති9 වන භාවය සහ ලග්න භාවය තුළින් ජන්මියාට විදේශ ගමන් හිමිවීමමෙන්ම එහි සාර්ථකත්වය පිළිබඳව ද කියැවේ. ලග්නය, තුන්වැන්න, හත්වැන්නහා දසවැන්න, අධිපතීන්, චර රාශිවල තැන්පත්ව තිබීම,

ලග්නය හා 12 වැන්න අධිපතීන්, රාහු සමග සංයෝග වීම එනම් රාහු එම භාවවල තැන්පත් වීම ද විදේශ ගමන් සඳහා භාග්‍ය පෙන්වන පිහිටීම් ලෙසින් විද්‍යමාන වේ.

විදේශ ගතවීමේ අරමුණ ඒ ඒ ග්‍රහයින්ගේ නිවේදකත්වයන් තුළින් ද තහවුරු කර ගැනීමට පුළුවන. යම් ජන්මියෙක් විදේශ ගතවන්නේ අධ්‍යාපනික අරමුණක් සඳහා නම් සිවුවැන්න, පස්වැන්න සහ කාරක බුධ ඉහත සඳහන් කළ භාවයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සමග බලවත් අයුරින් සම්බන්ධතා තිබීම අවශ්‍ය වේ. එනම් මේෂ, කටක, තුලා, මකර වැනි චර රාශියක බලවත්ව බුධ තැන්පත් නම් ජන්මියා විදේශගත වන්නට දැඩි ඇල්මක් දක්වයි. මෙය බොහෝවිට අධ්‍යාපන කටයුතුවලට අදාළ වීමට ද පුළුවන.

එමෙන්ම නොයෙක් ව්‍යාපාර අරමුණු සඳහා විදෙස් ගතවන පුද්ගලයින්ගේ දසවැන්න හා එහි අධිපතීන්ගේ නිවේදකත්වය ප්‍රබල අයුරින් ක්‍රියාත්මක වේ.

මෙහි සාර්ථකත්වය සඳහා ආදායම් සහ ලාභ තත්ත්වයන් නිවේදනය කරන11 වෙනි භාවයේ ද යහපත් දායකත්වයක් අවශ්‍ය වේ. රජයේ අනුග්‍රහයෙන් රැකියා සම්බන්ධ වැඩිදුර පුහුණුවක් වැනි අවශ්‍යතාවන් සඳහා විදේශගතවන්නේ නම් දසවැන්න එහි අධිපති රවි සහ බුධද බලවත් විය යුතු බැව් මනාව විද්‍යමාන වේ.

තවද 12 අධිපති 9 වැන්න හා 3 වැන්න අතර සම්බන්ධතා මත සිදුවන විදේශ ගමන් බොහෝවිට සිදු වන්නේ රැස්වීම්, සම්මන්ත්‍රණ මෙන්ම වන්දනා ගමන් සඳහා ද වැඩි නැඹුරුවක් දක්වයි. 1, 7, 9, 12 යන ස්ථානයන්ගේ අභියෝග සබඳතා පරිවර්තනය පිහිටි අයද ඥාති සබඳතාවයකින් හෝ රාජකාරි හේතූන් නිසා විදෙස් ගමන් ජන්ම පත්‍රය තුළ විදේශගත වීමට 9 වැන්න හා 12 වන භාවය යන භාව දෙක කුමන ආකාරයකින් හෝ රාහු ගුරු යන ග්‍රහයින් හා සම්බන්ධව තිබිය යුතුය යන්න ජ්‍යොතිෂය තුළ නිතර කියවෙන සිද්ධාන්තයක්ව ඇත. එසේම රාහු සහ ශනි යන ග්‍රහයින් සඳු මත ගමන් කරන වකවානුවලදී විදේශ ගමන්වල යෙදීමෙන් දුක් විපාක ඇති විය හැකි බවද කියැවෙයි. 9 පාපී ග්‍රහයින්ට අයත් දශා අතුරු දශා කාලවලදී මෙම තත්ත්වය වඩා අයහපත් විය හැකිය.

ජන්ම කේන්ද්‍රය තුළ ගුරු9 වැන්නේ සිටීම ද විදේශ ගමන් සඳහා ඉතා යහපත්ය. මේෂ ලග්නය වී භාග්‍යස්ථානය වන නම වැන්නේ ගුරු සිටියහොත් එම ජන්මියා විදේශගතව ඉතා ඉහළ ආදායමක් උපයනු ලබයි.4 වන භාවය සහ එහි අධිපති12 වන භාවයේ බලපෑමට හසුවීම හෝ12 පිහිටීම ඇතිවිට එම ජන්මියාට ජීවිත කාලයෙන් වැඩි ම ප්‍රමාණයක් විදේශ ගතව ජීවත් වීමට හැකියාව ද ලැබෙයි. ජන්ම කේන්ද්‍රය තුළ ලග්නාධිපති12 පිහිටීම හා12 අධිපති හා සංයෝග වීම හෝ12 අධිපති ලග්නයේ පිහිටා ඇතිවිට ජන්මියාට විදේශ රටක ඉඩකඩම් නිවාස වැනි දේපළ ලැබීම හා එහි පදිංචිය ද නිරූපණය වේ.

විශේෂයෙන් 12 අධිපති ලග්නයේ පිහිටීම තුළ ජන්මියා විදේශ ගතව එරට භාෂාව හා සංස්කෘතිය වැළඳගෙන ඒ රටේ ම අයෙක් බවට ද පත්වෙනු ඇත. එසේම 4 අධිපති 12 පිහිටිම ද විදේශ පදිංචිය පෙන්වයි. 4 අධිපතිගේ පරිවර්තනය ද විදේශයන්හි නිවාස හිමිවීමේ භාග්‍ය පෙන්වයි. නමුත් මේ සඳහා අදාළ ග්‍රහයන් බලවත්ව පිහිටිය යුතුය. තවද 12 අධිපති 1, 4, 5,7,9,10 යන ස්ථානයක පිහිටීම ද විදේශ ගතවීමේ භාග්‍ය ඇති කරන්නකි. කේන්ද්‍රයක4 වැන්නෙන් තමාගේ උපන් ස්ථානය පෙන්වන අතර එහි අධිපති වශයෙන් තැන්පත් ග්‍රහයා පීඩා වී ඇති  නම් උපන් ස්ථානයෙන් පිටවීමක් පෙන්නුම් කරයි.

තවද ලග්නාධිපති සිටින රාශියෙන් 12 වැන්න අධිපතියා සතුරුව නීචව හෝ දුර්වලව සිටී නම් ඔහුට යෑමට සිදුවන්නේ එතරම් වත් පොහොසත් රටකට නම් නොවේ.

12 අධිපති 7 වැන්නේ හෝ 7 අධිපති 12 වැන්නේ තැන්පත් වීම පර්වර්තනය වීම තුළින් එම ජන්මියාට සිය විවාහයෙන් පසු විදේශ ගතවීමේ භාග්‍ය ඇති කරන බැව් කියවේ.

මෙම විදේශ ගතවීමේ භාග්‍ය ඇති කරන ග්‍රහ පිහිටීමිවල අදාළ ග්‍රහයින් උච්ච බලයෙන් සිටින අවස්ථාවල දී අදාළ තත්ත්වයන් ඉතා පහසුවෙන්ම තමා වෙත ළඟා වේ. මේ අනුව විදේශ ගතවීමට පෙර ඒ සඳහා තමන්ට අවස්ථාවක් ලැබේද යන්නත් එමෙන්ම එම ගමන යහපත් ද යන්නත් විමසීම මේ අනුව වඩාත් වැදගත් ය. එහෙත් කොතරම් යහපත් ග්‍රහ පිහිටීම් තිබුණ ද ජන්මියා ගත කරන දශා අන්තර් දශා කාල විදේශ ගමන් සඳහා ජන්මියාට සුදුසු නොවීමට ද පුළුවන.

එවැනි අවස්ථාවල දී කලබල නොවී කළ යුත්තේ අදාළ ග්‍රහයන්ට අදාළ ශාන්තිකර්ම සිදු කර ගැනීම ය.

 

 

කැලණිය විශ්වවිද්‍යාලය-ශාස්ත්‍රපති, කොළඹ විශ්වවිද්‍යාලය මනෝවිද්‍යා උපදේශක, ජ්‍යොතිෂවේදී
චසිත නුවන්තික බුලත්සිංහල

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk