Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවසේ විශ්ව ශක්ති රේඛාව දුර්වලවීම නිවැසියන්ට මරු කැඳවයි

1 year ago 7 Min read
Subha.lk

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතුගල පේන මායිමක පිහිටි මෙම නිවසේ ජීවත් වුණේ මව පියා හා ඔවුන්ගේ එකම දරුවා වූ වයස අවු.35 ඉක්මවීමට ලංව තිබියදී ශීර්ෂයේ හටගත් හදිසි තත්ත්වයක් නිසා රෝගි වූ සමන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පවුලේ එකම දරුවාය. සමන් රැකියාව කළේ පෞද්ගලික ආයතනයකයි. වසර ගණනාවක් විදේශ සේවයේ මව හා පියා සේවය කර  තිබුණ අතර ආර්ථික වශයෙන්ද ඔවුන් හොඳ තත්ත්වයක සිටි අතර අගහිඟකමක් ඔවුන්ට නොතිබුණි. තරමක විශාල වූ ඉඩමේ පිහිටි අලුතින් ඉදිකරන ලද නිවසද ඉතා විශාල වූ අතර පියා හා මව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියහ. වසර35 ඉක්ම යෑමට සිටි සමන් එතරම් වැඩි වයස පෙනුමක් පෙන්නුම් නොකළේය. උසස් අධ්‍යාපනයත් සමන්ට සම්පූර්ණ කර ගැනීමට නොහැකි වුණද කඩවසම්, කඩිසර පුද්ගලයකු වූ හෙතෙම යහළු මිතුරන් නොමැති හුදකලාව ජීවත් වූ සුවිශේෂී චරිතයක් විය. නිසි වයස එළඹි දා සිට ඔහුට ගැළපෙන සහකාරියක් දෙමාපියන් සෙව්වද, එම කිසිම යෝජනාවක් ස්ථීර නොවිය. මෙසේ කල්ගත වෙමින් සිය දෛනික කටයුතුවල නියැළුණු සමන් තම රාජකාරි ස්ථානයේ හොඳින් සේවය කරමින් සමහර දිනවල ඉරිදා නිවාඩු දිනයන් හිදී  පවා සේවා ස්ථානයේ කටයුතු කරමින් ඉහළ වැටුපක් ලැබීය. නමුත් පසුගිය දිනක හිසේ ඇතිවූ තදබල හිස රුදාව සඳහා කොතරම් ප්‍රතිකාර කරද එය අඩුවක් නොවීය. අවසානයේ කුරුණෑගල වෛi මධ්‍යස්ථානයක විශේෂඥ වෛiවරයකු සමන්ව පරීක්‍ෂා කර අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබාගෙන දැනුම් දුන්නේ හිසේ ලේ නහරයක ලේ කැටියක් හිරවීමක් ඇති බවත්, වහාම රෝහල් ගතවන ලෙසත්ය. ඉන්පසු රෝහල් ගත කළ සමන් නේවාසිකව සතියකට වඩා ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණි අතර ඔහුව සුවවීමට සති මාස ගාණක් යන බවත්, ප්‍රතිකාර නිවසේ සිට දිගටම කරගෙන යන ලෙසත්ය. මේ අතරතුර කාලයේ සමන්ගේ මවගේ ඥාතියකුගේ නිවසක් පරීක්‍ෂා කිරීම සඳහා මා මහනුවර ප්‍රදේශයට ගියෙමි. එහිදී ඔය කතාව එම නිවසේ සමන්ගේ නැන්දා විසින්  මාහට පවසන ලදී. හොඳින් සිටි තම ඥාති පුත්‍රයා අද කකුල් අත පය පණ නැතිව රෝද පුටුවෙන් නිවසේ ගතකරන බව පැවසීය. මා එවිට ඇයගෙන් විමසුවේ සමන්ගේ නිවසේ වැසිකිළි වළ හා  කුස්සි පෝරණය ඇති දිශාව මතකද යන්නයි. ඒ සමග මා පැවසුවේ අනිවාර්යයෙන්ම ඊශාන දිශාවේ වැසිකිළි වළ තිබෙන්න ඕනේ මෙහෙම වෙන්න නම් කියලා. එය සනාථ කරමින් මා නුවරින් ආපසු පැමිණීමට පෙර සමන්ගේ නැන්දා ප්‍රකාශ කළේ ටොයිලට් වළයි, කුස්සියේ සින්ක් එකේ වතුර යන වළවල් දෙකම ඊශාන දිශාවේ පවතිනවා යන්නයි. ඒ අතර එම නිවසද හැකි ඉක්මණින්  පරීක්‍ෂාකර දෙන මෙන් මාගෙන් ඉල්ලා සිටි අතර එයට දින04 කට පසු එම නිවස පරීක්‍ෂාවට මා ගියෙමි. නිවසට ගිය විටම මව හා පියා සමගින් සමන්ව රෝද පුටුවේ තබාගෙන ප්‍රධාන දොරින්  වැරැන්ඩාවට පැමිණි අතර මෙම තරුණ කොල්ලා දුටු විට මාගේ හදවතද සංවේගී විය. කතාබහ අතරතුර සමන්ගේ කේන්ද්‍රයද පරීක්‍ෂා කළ අතර එම කාලසීමාවේ ශනි මහ දශාවේ හා රාහු  අතුරු දශාවේ පැවති අතර බුධ ග්‍රහයාද නීචව පැවතිණි. නිවස පරීක්‍ෂාවේදී හරියටම ඊශාන45ං කෝණය තුළ නිවසේ වැසිකිළි වළ හා කුස්සියේ සින්ක් එකේ අපද්‍රව්‍ය ජල ගබඩා ටැංකියක්ද මේ  අසල පැවතිණි. නිවසේ විදුලි මීටරයද ඊශාන දිශාවේ පැවතිණි. මෙම දෝෂවලට අමතරව නිරිත දිශාව අත්තිවාරමෙන් ශූන්‍යව පිහිටා නිවස ඉදිකර තිබුණ අතර, නිරිතට එම කොටස තුළ  වාහන ගරාජයක් පැවති අතර එහි කුඩා ලොරි රථයක් නවතා තිබුණි. නිවසේ වර්ගඵලයද වැරදි ගෘහ පිණ්ඩයක් ලබාදුන් අතර ඒ තුළින් නිවාස වර්ගීකරණයේද මෙම නිවස පැවතියේ ධූම යන  මාර්ගයට අයත්වය. ධූම යන මාර්ගයට නිවසක් අයත් වූ විට නොයෙක් රෝගාබාධ, ව්‍යවසන, මානසික අසමතුලිත බව, දුක් වේදනා අයත් වේ. ගෘහ පොරොන්දම් පරීක්‍ෂාවේදී සමන්ගේ  නැකත අනුව නිවස අයත් වුණේ විපත් නැකැතටයි. නිවසේ බ්‍රහ්ම පාදයේ මධ්‍ය රේඛාව හා වහලයේ මුදුන් යටලීයද වැසිකිළි වළට වැටී තිබුණි. නිවසේ ද්වාර සටහනද වැරදි ආකාරයට පැවතිණි. සමස්ථයක් වශයෙන් විශ්ලේෂණය කිරීමේදී

 

ඊශානයේ පිහිටි වැසිකිළි වළ හා අප්‍රද්‍රව්‍ය ජල වළ

නිවසක ඊශාන දිශාව යනු වාස්තු පුරුෂයාගේ හිස පවතින දිශාව වේ. හිස මුනින් අතට තබා නිරිත දෙසට කකුල් දෙක තබාගෙන නිවසේ බ්‍රහ්ම පාද ලක්‍ෂය මත පාදය පිහිටන ලෙසින් වැතිර  සිටින වාස්තු පුරුෂතුමාගේ ශරීර අවයවවලට සිදුවන හානි පෙරළා නිවසේ ගෘහ මූලිකයා ඇතුළු අනෙකුත් සාමාජිකයන්ට පීඩා ගෙන දේ. මෙම නිවසේ සමන්ගේ පියාගේ එම වකවානුවේ  පැවති බලවත් ග්‍රහ බලය නිසා ඔහුට පීඩාවක් නොතිබුණද තම දරුවා වන සමන්ගේ දුර්වල ග්‍රහ තත්ත්වයන් නිසා ඔහුගේ ඕරාවේ සෘණ ශක්තීන් බහුල වන අතර නිවසින්ද ලැබෙන්නේ සෘණ  ශක්තීන්ය. එවිට ඔහුගේ පවතින අශුභ දෙගුණ තෙගුණ වී ප්‍රතිඵල ලබාදේ. ඊශාන නිරිත දිශාවන් යාව සෑම නිවසකම ශක්ති රේඛාවක් පවතී. මෙම ශක්ති රේඛාව දුර්වල වීම නිසා එම නිවසේ වෙසෙන අයගේ ස්නායු පද්ධතිය දුර්වල වේ. ප්‍රතිශක්තීකරණ පද්ධතිය බිඳ වැටේ. ඒ තුළින් සුව නොවන රෝගයන් පිළිකා, අංශ භාග, ලේ කැටි බ්ලොක්වීම්, පාකින්සන් වැනි භයානක රෝග  ඇතිවේ.  එය මනාව පෙන්වමින් මෙම නිවසේ සමන්ගේ හිසෙහි ලේ කැටියක් සිරවී ඔහු අංශභාග තත්ත්වයට පත්වෙමින් පවතී. එයට ප්‍රධානම හේතුව ඊශානේ විශ්ව ශක්ති රේඛාව අපවිත්‍ර වීමයි.

 

නිවසේ ඊශාන පිහිටි විදුලි මීටරය

විදුලි මීටරය යනු දහනයෙන්, දැඩි රශ්මියෙන් උත්පාදනය වන දෙයකි. ගින්දරට සමානය. එම නිසා තේජෝ ගුණයෙන් යුක්තය. තේජෝ ගුණයෙන් යුක්ත විදුලි මනුව ජල මූලාශ්‍ර කලාපයක් වන ඊශාන කලාපය තුළ පැවතීමෙන් ආපෝ-තේජෝ ගුණය විපරිත වේ. එහි බලපෑම නිවැසියන්ට අත්වේ. මෙම නිවසේද (සමන්) එම සිදුවීම සිදුවේ. එහි ප්‍රතිඵලය වැඩිපුරම අත්වන්නේ දුර්වල ඕරා තත්ත්වයක් පවතින සමන් හටයි.

 

නිවසේ වර්ගඵලය වැරදී ගෘහ පිණ්ඩය අශුභ වීම

සමන්ගේ නිවසේ දිග × පළල අනුව වර්ගඵලය වැරදිය. ඒ තුළින් නිවසේ ගෘහ පිණ්ඩය අශුභව ගෘහ පොරොන්දම් නොගැළපේ. විශේෂයෙන්ම නිවසක නැකැත් පොරොන්දම එම නිවසේ බිරිඳට, සැමියාට හා වැඩිමහල් දරුවාට සීහුම් වන ලෙසින් ක්‍ෂේම, සාධක, සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රී යන නැකතට සීහුම් විය යුතු අතර වධ, විපත්, ජන්ම, ප්‍රත්‍යාරී යන නැකැත්වලට පැවතීම ඉතාම  අශුභ වේ. මෙම නිවසේද නිවාස නැකත සමන්ගේ උපන් නැකතට විපත් යෙදී තිබිණි.

 

වැරදි ආකාරයට පැවති ද්වාර සටහන

ප්‍රධාන දොර උතුරටත් අනෙක් දොර බටහිර දෙසටත් වන ආකාරයට සමන්ගේ නිවසේ ද්වාර සටහන යෙදී තිබුණ අතර වාස්තු විද්‍යාවට අනුව එය හඳුන්වන්නේ නාශ වර්ගය ලෙසිනි. මෙය ඉතාමත් අපල ගෙනදෙන හදිසි ලෙඩ රෝග සුව නොවන, රෝග, විපත්, සතුරු බිය දෙන ඉතාමත් වැරදි දොරවල් පිහිටීමකි.

 

ඒ වගේම නිවසේ ප්‍රධාන මුදුන් යටලීය වැසිකිළි වළට සෘජුව වැටී පැවතීමත්, නිරිත දිශාවේ අත්තිවාරමෙන් ශුන්‍යව පැවත එහි වාහන ගරාජය පැවතීමත් තුළින් විවාහය ප්‍රමාදවීමත්, අනාගත  පරපුර යාවත්කාලීන නොවීමත් යන වාස්තු දෝෂ තත්ත්වය නිසා සමන්ගේ විවාහයද මේ දක්වා සිදුනොවී පවතී. සමන්ගේ උපන් ලග්නය මේෂ ලග්නය නිසා වයස 35 ඉක්මවීම දරුඵල ඇති නොවීමට හේතුවක්ද වනු ඇත. කෙසේ වුවද පැවති වාස්තු දෝෂ සතියක් ඇතුළත දෛනිකව මාහට දුරකථනයෙන් විමසමින් වෙනස් කළ සමන්ගේ පියා සියලු වැඩ  අවසන්ව මාසයක් යන විට සමන් සම්පූර්ණයෙන්ම සුව අතට පත්විණි. මාගේ වාස්තු පරීක්‍ෂා කිරීම්වලදී මා ලත් තවත් ප්‍රීතිමත් කාර්යයන්ගෙන් එකක් වූ මෙම තරුණයාගේ සුවපත් වීම දෙවියන් විසින් ඔවුන්ටත් මටත් ඉතාම දුන් අනගි තිළිණයකි. අප වාස්තු ශිල්පීන් වශයෙන් මුදල් අයකර සේවයක් ලබාදුන්නද එහි සතුට භුක්ති විඳීමට හැකි වන්නේ අපගේ සේවාදායකයා ඒ තුළින්  ලබන සැනසීම සතුට තුළිනි. එසේ නොවන්නේ නම් අප සංසාරේ ණය කරුවන් වන්නෙමු. එම නිසා නිවසක් පරීක්‍ෂාවෙන් පසුව මම පෞද්ගලිකවම ඔවුන් හට දුන් උපදෙස් ඉටු කළාද ප්‍රතිඵලයක් ලැබුණාද යන්න කීප සැරයක්ම දුරකථනයෙන් විමසන බව මාගේ සේවා දායකයන් දන්නෙමු. මෙම ඉහත සිද්ධිය සිදුවී දැනට මාස3ක් සපිරුණු මොහොතේ ඊයේ මේ ලිපිය ලියන්න පෙර දින සමන් මා හට දුරකථනයෙන් පැවසුවේ ඔහුගේ විවාහය තීන්දු වූ බවත් එය ලබන මාසයේදී ගැනීමට බලාපොරොත්තු වන බවත්ය. කවුරු මොන අයුරින් විවේචනයන් වාස්තු විද්‍යාවට එල්ල කළද එහි බලපෑම හා ඒවා නිදොස් කිරීමෙන් සිදුවන යහපත වාස්තුවේදීන් වන අපටද තේරුම් ගැනීමට අපහසු බව මෙයින් අවබෝධ වේ.

 

 

 

නිවසේ විශ්ව ශක්ති රේඛාව දුර්වලවීම නිවැසියන්ට මරු කැඳවයි

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk