Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සැවොම උනන්දු කසාදය කෙනෙකුට සුබයි තව කෙනෙකුට අසුබයි… – ඇත්තම හේතුව සොයමු!

1 year ago 7 Min read
Subha.lk

විවාහය ප්‍රමාද කරන දහසකුත් පිහිටීම් අතර ලග්නාධිපති හා 7 අධිපති සංයෝග වීම, 6,8,2 භාවයක 7 අධිපති සිටීම, ලග්නය හා සඳු ප්‍රභල ලෙස පාප පීඩිත වීම, සඳු, කුජ, සිකුරු 1 හෝ 7 සිටීම, කුජ, ශනි, රාහු7හි යෝග වීම, ශනි කුජ යෝගය පිහිටීම,7වැනි භාවය දෙපස රවි හා ශනි පිහිටීම, රවි ශනි හා7 අධිපති කිසියම් භාවයක තැන්පත් වීම, සිකුරු ග්‍රහයා රවිට හා ශනිට  මැදිවීම, පාපී ග්‍රහයෙකු භංග නොවන නීචයක 7වැන්නේ තැන්පත් වීම ආදී පිහිටීම් වේ.

 

විශ්වාසය, වාසනාව, හඳුනා ගැනීම හා යහපත යන වචනාර්ථය යෙදෙන විවාහය ඕනෑම ජන්මියෙකුගේ දෙවන උපත ලෙස සලකනු ලබයි. ඇතැමෙක් විවාහය නිසා දිනෙන් දින දියුණු වී  සතුටෙන් ඉපිලෙන අතර ඇතැමෙක් දිනෙන් දින දිළිඳු වී දුකෙන් දුකටම පත්වනු ඇත. ඇතැමෙකුට තම විවාහය, තම ජීවිතය ලැබෙන ප්‍රබල රැකවරණයක් වන අතර තවත් අයෙකුට විවාහය  නිසා මරණය පවා සිදුවුණු අවස්ථා එමටය.

 

මෙලෙස කාසියක දෙපැත්තක් බඳු විවාහය ලොව උපදින සෑම ජන්මියෙකුම තමාට හිමි වාසනාව හෝ අවාසනාව උරගා බැලීමට පෙළඹේ. ජන්මීන් ගත් කළ ඇතැමෙකුට ඉතා අඩු වයසින් තම විවාහය සිදුවන අතර ඇතැමෙකුට බොහෝ කල් ගොස් විවාහය සිදුවනු ඇත. තවත් සමහරෙක් මුළු ජීවිතය පුරාවටම විවාහ නොවී තනිකඩව සිටිනු ඇත.

 

විවාහය ගත්කල එය ද හත් ආකාර වේ. ඒ බ්‍රහ්ම විවාහය, දේව විවාහය, අසුර විවාහය, ගාන්ධර්ව විවාහය, ස්වයංවර විවාහය, රාක්‍ෂ විවාහය හා ප්‍රේත විවාහයයි. මෙයින් බ්‍රහ්ම විවාහය හා  දේව විවාහය සුබ ගණයේ විවාහ වන අතර අනෙක් විවාහ වර්ග 5 ම අශුභ ගණයේ විවාහ වේ.

 

දෙපාර්ශ්වයේම මාපිය කැමැත්ත ඇතිව පොරොන්දම් ගලපා, උත්සවත්ශ්‍රීයෙන් කරන බ්‍රහ්ම විවාහය හා දේව විවාහය වුවද අසාර්ථක වනු අප දැක ඇත. එය සාමාන්‍ය ජනයා එක් එක් පුද්ගලයා කල පව් හෝ පිං ලෙස අර්ථ දැක්වුවද ජ්‍යොතිෂ ඇසින් එය මනාව පහදාලිය හැක. විවාහය අසාර්ථක වන හේතු අතර නාශාංශක දෝෂය, විෂ කන්‍යා යෝග පිහිටීම, අභිමුඛ කාලසර්ප යෝග හිමියෙක් වීම, කාම යෝග පිහිටීම, විවාහය අපායක් වන පිහිටීම්, විවාහය පෙන්නුම් කරන 7 වැන්න පාප පීඩිත වීම හෝ 7 වැන්නේ පාප කර්තරී වීම ආදිය සුලභව දැක්විය හැක.

 

නාශාංශක දෝෂය ජන්මපත්‍රයක් තුළ ආකාර දෙකකට යෙදේ. ඒ පුරුෂ ලග්න වන මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ ලග්න වල7වන නවාංශකය නාශාංශක වන අතර ස්ත්‍රී ලග්න වන වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර යන ලග්න වල 3 වන නවාංශකය නාශාංශක වේ.

 

නාශාංශක දෝෂය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම යෙදෙන අතර විෂ කන්‍යා යෝගය ස්ත්‍රීන්ට පමණක් යෙදේ. ස්ත්‍රීන්ගේ විවාහය අසාර්ථක කරන විෂ කන්‍යා යෝග කිහිපයක් ජ්‍යොතිෂයේ  සඳහන් වේ. ඒ අතර රවි 5 වැන්නේ වී කුජ භංග නොවන නීචයක වීම. මෙය ඉතා දරුණු විෂ කන්‍යා යෝගයකි. සුභ දෘෂ්ටි වැටුනද අශුභය, නැතිවී නොයනු ඇත. 7 වැන්න, 8 වැන්න,12 වැන්න යන රාශි වලින් එකක් මේෂ වෘශ්චික වී කුජ එහි වේ නම් එයද විෂ කන්‍යා යෝගයකි.8 අධිපතියා පාපයෙක් වී9 වැන්නේ වේ නම් එය විෂ කන්‍යා පිහිටීමක් වන අතර  ලග්නාධිපති ග්‍රහයා හෝ චන්ද්‍රයා පාප ග්‍රහයින්ට මැදිවීම ද විෂ කන්‍යා පිහිටීමකි. ඊට අමතරව ලග්නය මකර වී එහි රාහු හිඳ 9 වැන්නේ රවි, කුජ, ශනි පිහිටීම හා ලග්නය කුම්භ වී එහි කුජ හිඳ 6 වැන්නේ පාපීන් දෙදෙනෙක් පිහිටීම ද විෂ කන්‍යා යෝගයකි.

 

මෙම විෂ කන්‍යා යෝග පිහිටා ඒවා භංග නොවී ජන්මපත්‍ර තුළ ඇති ස්ත්‍රීන්ගේ විවාහය කඩාකප්පල් වී යනු දැකගත හැක. මෙවැනි දරුණු විෂ කන්‍යා යෝග භංග වන ක්‍රම ද ජ්‍යොතිෂයේ  සඳහන් වේ. ඒ අතර7 වැන්නාධිපති7 වැන්නේම සිටීම, ලග්නයේ සුභ ග්‍රහයෙකු සුභ ආකාරයෙන් සිටීම, සඳු සමඟ සුභ ග්‍රහයෙකු සිීටීම, ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු, ගුරු, ශුක්‍ර, බුධ ප්‍රභලව සිටීම ප්‍රමුඛ ස්ථානයක් ගනී.

 

විෂ කන්‍යා දෝෂය භංග වන පිහිටීම් ගණනාවකින් භංග වුවද නාශාංශක දෝෂය භංග වීමට නම්, නාශාංශක දෝෂය නොමැති කේන්දරයක් හිමි අයෙකු සමඟ විවාහ විය යුතුමය. නොඑසේ  නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය ඉතා කටුක එකක් වනු ඇත.

 

මීට අමතරව,4 වැන්නේ පාප ග්‍රහයන් බහුල වීම මෙන්ම එම පාප ග්‍රහයන් සතුරු වීම,4 වැන්නේ ග්‍රහයෙකු භංග නොවන නීචයක වීම,4 අධිපති නීච වීම,4 අධිපති සතුරු හෝ සතුරු මුඨ වීම ආදී පිහිටීම් හිමි ජන්මියාගේ විවාහය මිහිපිට අපායක් වනු ඇතැයි සෘෂි මතය වේ.

 

ජන්මපාත්‍ර සැලකීමේදී විවාහය අසාර්ථක වන පිහිටීම් මෙන්ම විවාහය ප්‍රමාද කරන පිහිටීම් හා කිසි දින විවාහයක් සිදු නොවන පිහිටීම් ද දැකිය හැක. විවාහය ප්‍රමාද කරන දහසකුත් පිහිටීම්  අතර ලග්නාධිපති හා7 අධිපති සංයෝග වීම,6,8,2 භාවයක7 අධිපති සිටීම, ලග්නය හා සඳු ප්‍රභල ලෙස පාප පීඩිත වීම, සඳු, කුජ, සිකුරු1 හෝ7 සිටීම, කුජ, ශනි, රාහු7හි යෝග වීම, ශනි කුජ  යෝගය පිහිටීම, 7වැනි භාවය දෙපස රවි හා ශනි පිහිටීම, රවි ශනි හා 7 අධිපති කිසියම් භාවයක තැන්පත් වීම, සිකුරු ග්‍රහයා රවිට හා ශනිට මැදිවීම, පාපී ග්‍රහයෙකු භංග නොවන නීචයක 7වැන්නේ තැන්පත් වීම හා සුභ දෘෂ්ටි නොලැබීම, සිකුරු පාපියෙකු සමඟ7වැන්නේ සිටීම, සඳු හා ශනි7වැන්නේ වීම, සිකුරු තැන්පත් රාශි අධිපති භංග නොවන නීචයක සිටීම, සිකුරු තැන්පත් රාශි අධිපති 6,8,12 හි සිටීම,

 

ශනි-ගුරු, ශනි – චන්ද්‍ර, ශනි – ශුක්‍ර ආදී යෝග පැවතීම, සිකුරු සඳු භංග නොවන නීචයක සිටීම, 7 අධිපතියා හා නවාංශකයේ 7 අධිපතියා නීචවීම සුලභව දැකිය හැකි පිහිටීම් වේ.

 

සාමාන්‍ය කේන්දර පරීක්‍ෂාව තුළින් නිර්ණය කළ හැකි විවාහ දෝෂ, විවාහ ඇති නැති බව මෙන්ම එහි සාර්ථක අසාර්ථක බව හා විවාහ වන කාලවකවානු ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය තුළින්ද නිර්ණය කළ හැක.

 

සාමාන්‍ය ක්‍රමයට විවාහයක් පරීක්‍ෂා කිරීමේදී කාම ත්‍රිකෝණයට අයත් වන 3,7,11 වැන්න අධිපතීන් හා එම අධිපතීන්ගේ බල දුබලතාව සොයා බලයි. මෙයින් 11වැන්නේ විවාහයට යොමුවීම, 3වැන්නේ විවාහයට ලැබෙන ප්‍රතිපාදන හා7 වැන්න තුළින් විවාහයේ පැවැත්ම පෙන්නුම් කරයි. මීට අමතරව8වැන්නෙන් විවාහයෙන් ලැබෙන ධනයද,2වැන්නෙන් විවාහයෙන් පසු ජීවිතය මෙන්ම පවුලේ ආරක්‍ෂාව හා 12වැන්නෙන් සායන සුවය සොයනු ලබයි. 4 වැන්නෙන් කලත්‍රයාගේ රැකියාව, 5වැන්නෙන් කලත්‍රයාගෙන් ලැබෙන ආදරය, දරුවන් හා රැකවරණය ගැන ද 6 වැන්නෙන් විවාහයක් වීම හෝ නොවීම පරීක්‍ෂා කරයි. මීට අමතර7වැන්නේ සිටින ග්‍රහයා,7වැන්න දකින ග්‍රහයා,7 අධිපති සිටින ස්ථානය,7 අධිපති යෝග වී හෝ දෘෂ්ටි ලබන ග්‍රහයා විවාහයක් ගැන බැලීමේදී බැලිය යුතු කරුණු වේ.

 

ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය අනුව විවාහයක් ගැන බැලීමේදී 2වැන්න, 5වැන්න, 7වැන්න හා 11වැන්න යන භාව පරීක්‍ෂා කළ යුතුය. මෙහිදී දෙවැන්නෙන් සහකාරිය හෝ සහකරු පවුලට එකතු වීම, 5වැන්නෙන් විවාහය සිදුවන්නේ ප්‍රේමයක් පදනම් වීද, නොඑසේ නම් යෝජනාවකින්ද යන්න,7වැන්නෙන් විවාහයේ නීත්‍යානුකූල පදනම හා බැඳීම මෙන්ම11 වැන්නෙන් විවාහයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි. මීට අතිරේකව ආධාරක භාව ලෙස 3 වැන්න හා 2 වැන්න ගත හැක.3වැන්නෙන් විවාහයට අදාළ ප්‍රතිපාදන හා යෝජනා ගැන ද2වැන්නෙන් පවුලට එකතු වීම ද පෙන්නුම් කරයි.

 

7වැන්නේ උප අධිපති 7වැන්න හෝ 5වැන්න හෝ 11වැන්න නිවේදනය කරයි නම් ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන් විවාහයක් සිදුවන බව ක්‍රිෂ්ණමූර්ති සෘෂිතුමාගේ මතයයි. එමෙන්ම 7 වැන්නේ උප අධිපති රවි හෝ ගුරුවී 7,5,3,11 නිවේදනය කරයි නම් ඔහු හෝ ඇය නීතියෙන් වෙන්වනු ඇත. 7වැන්නේ උප අධිපති බුධ හෝ ගුරු වී උභය රාශියක සිටින විට ඒ සමඟ 7 වැන්නේ උප අධිපති7,11 හෝ2,11 නිවේදනය කළවිට විවාහ කිහිපයක් සිදුවනු ඇත. තවද7 වැන්නේ උප අධිපති6,12 නිවේදනය කරයි නම් විවාහය සිදු වුවද ඔවුන් අතර අදහස් නොගැලපෙනු ඇත.

 

තවදුරටත් සැලකීමේදී7වැන්නේ උප අධිපති7 හෝ5 හෝ11 නිවේදනය කරමින්4,6,10,12 නිවේදනය කරයි නම් විවාහයක් සිදු වුවද එය අසාර්ථක වනු ඇත. ඒත් මෙම පිහිටීම විවාහය ප්‍රමාද වන පිහිටීමක් වේ.

 

ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අනුව විවාහයක් සිදු නොවීමට නම් 7වැන්නේ උප අධිපති 7 හෝ 5 හෝ 11 හෝ නිවේදනය නොකර 6 වැන්න, 4 වැන්න, 10 වැන්න, 12 වැන්න නිවේදනය කළ යුතුය.

 

විවාහය ප්‍රේම සම්බන්ධයකින් සිදුවන්නේ නම් 7වැන්නේ උප අධිපති 7, 5, 11 හෝ 5වැන්නේ උප අධිපති 7, 5, 11 නිවේදනය කරනු ලබයි. විවාහය යෝජිත විවාහයකින් සිදුවන්නේ නම් 7 වන්නේ උප අධිපති 7 හෝ 5 හෝ 11 නියෝජනය සමඟ 3, 9 සම්බන්ධයක් තිබිය යුතුය. විවාහය සඳහා ගෙදරින් පැන යයි නම් 7වැන්නේ උප අධිපති 7,5,11 ට අමතර 3,9,12 ද නිවේදනය කරයි.

 

සාමාන්‍ය ආකාරයට මෙන්ම ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට ජන්මපත්‍රයක් තුළින් විවාහය පිළිබඳ බොහෝ දේ පැවසිය හැක. සාමාන්‍ය ක්‍රමයට වඩා ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය කේන්දර පරීක්‍ෂාවට වඩා උචිත වන්නේ උප අධිපතිටම සුද්ද කර බලන නිසාවෙනි. එහිදී සාමාන්‍ය පරීක්‍ෂාවේදී හසුනොවන සූක්‍ෂම තැන් හසුවීමෙන් සාර්ථක පලාඵල ප්‍රකාශ කළ හැක.

 

ඉහත සඳහන් කුමන ක්‍රමයකින් හෝ ඔබගේ කේන්දරයේ විවාහ දෝෂ තිබේද, විවාහය ප්‍රමාද ද නොඑසේ නම් ඔබට ඇත්තේ සුන්දර හෝ කටුක විවාහයක්ද යන්න සොයා දැන ගන්න. තමන්ගේ ජන්මපත්‍රයේ විවාහ දෝෂ වේ යැයි දුක් නොවී ඊට අදාළ වත්පිළිවෙත් කිරීම තුළින් යම් ප්‍රමාණයකට හෝ දෝෂ මගහරවා ගත හැකි බව උතුම් සෘෂි මතය බව ද සිත තබා ගත යුතුය.

 

 

සැවොම උනන්දු කසාදය කෙනෙකුට සුබයි තව කෙනෙකුට අසුබයි… - ඇත්තම හේතුව සොයමු!

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk