Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අපේ පැරැන්නෝ සටන් වදින්නත් සුබ මුහුර්ත යොදාගත් හැටි

1 year ago 7 Min read
Subha.lk

බිලිඳකු මවු කුසින් බිහිවූ දා සිටම, ජීවිත කාලයේ විවිධ අවස්ථා වෙනුවෙන් ජේ‍යාතිෂයට අනුව සිය අවශ්‍යතා සාධනය කර ගන්නා බව පෙනේ. දුරාතීතයේ සිටම බොහෝ දෙනකු මෙම  විශ්වාසය අනුව යොදා ගනු ලබන කාර්යයන් නකත නමින් හඳුන්වනු ලැබේ. සාමාන්‍ය ජනතාව මෙයටම“වෙලාවක් බලාගන්නවා” යැයි සඳහන් කරති. එහෙත් ජේ‍යාතිෂයේදී මෙය‘මුහුර්ත’  යනුවෙන්  හැඳින්වේ.

 

නකත යනු ‘අස්විද’ සිට ‘රේවතී’ දක්වා නකත් විසි හතය. මුහුර්තයක් යොදා ගැනීමේදී නකතක් අනුවම එය සිදුවෙයි. සාමාන්‍ය ජනතාව දැන හෝ නොදැන කරතත් මෙම භාවිතය නිවැරදි යැයි හැඟේ. කෙසේ වෙතත් බොහෝ දෙනකු නොදන්නා හෝ නොසිතන අවස්ථාවලදී ද නකත් වශයෙන් ප්‍රකට ‘මුහුර්ත’ යොදා ගත් බවට සාක්ෂි ලැබෙන එක් අවස්ථාවකි. යුද්ධයක් කිරීම සඳහා  පිටත් වීම සහ යුද්ධය ආරම්භ කිරීමේ ‘මුහුර්තයක් තිබූ බවට හටන් පද්‍ය තුළින් හෙළි වේ. “පරංගි හටන” නම් වූ කෘතියෙහි එය මෙසේ සඳහන් වේ.

 

“යුද්ධය සඳහා පිටත්වීමද, සුබ නකත් යෝගයක් අනුව කිරීම සිරිත විය. පිටත්වීම පමණක් නොව යුද ඇරැඹීම ද කරන ලද්දේ සුබ නකත් යෝගයක් අනුවය” යනුවෙන් එහි දැක්වේ. එය ‘පරංගි  හටන’ නම් කෘතියෙහි පද්‍යමය ලෙස මෙසේ දැක්වේ.

 

“යුදට යන ගමනේ

ඇත්තේ ඇසළ එදිනේ

වඩිනුව නකති නේ

කියා සැලකළ සඳෙහි එදිනේ”

ඇසළ අට එකොළොස්

වක් ලත් දිනිඳු එදවස්

පුවපල් ගුණ වෙසෙස්

නකත නියමින් බලා තතු ලෙස්”

යුද වැදීමට යොදා ගන්නා ලද්දේ ඇසළ මාසයේ (ජූලි මාසයේ) දින දෙකකය. අට වැනිදා ඉරු දින දීය. (දිනිඳු එදවස්) දිනකදීය. එදින එකොළොස්වක ලත් තිථිය සහ පුවපල් නකත පවතින බව සඳහන්ය.

“පරංගි හටනෙහිම සඳහන් පරිදි නකත් පිළිබඳ නිල අධිපතියකු ද සිටියේය. ඔහු ‘දිය කෙළින වල’ නම් මැතිය. ඔහු මෙම යුදයට මුහුර්තය (නකත) නියම කළේ සියලු තතු ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙනි. එය මෙසේ දැක්වේ.

“නකත් නිල අධි පති

දියකෙළිනවල නම් මැති

ගෙන්වා ගෙන කැමැති

බලව ජාතකයේ ගතා ගති”

තවද, එම නකත් මුහුර්තයේදී පැවැති ග්‍රහ රාශින්හි යෝගයන්හි බලයද ප්‍රකාශ වේ.

“සෙනරත් රජ පවර

වදාළෙන් ඒ තොරතුර

එමැතිඳු මනෝහර

ගහන් සිටි රැස් යෝග එමවර”

යන ග්‍රහ යෝග බලය පැහැදිලි කර සෙනරත් රජුට පැවැසීය.

එම මුහුර්තයට යෙදෙන ග්‍රහ බල අනුව පින්වත් කාලයක් හා මහිමයක් පවතිමින් ඇතැයි දිවැසින් දුටු සේ ප්‍රකාශ කරන ලද බව සඳහන් වේ.

“සදදෝ ශිල්ප සිදූ

බලා නියමෙන් මොහොතු දූ

දිවැස් දුටු සෙයිනු දූ

පිනැති කල මහිම දැක පිරිසු දූ”

යන්නෙන් එය ප්‍රකාශ වේ. යසසින් රාජධානිය තුළ සක්දෙව් සේ වික්‍රමයෙන් යුතුව ගත වන බවද මෙසේ සඳහන් කෙරේ.

“වවමින් රජ දහන්

යස සිරි සදෙව් නොසහන්

විකුමෙන් නත යහන්

සදිසි බල පෑ සිතින් එපහන්”

එම මුහුර්තය සමඟ රජුගේ ග්‍රහ බලයද අනුව ත්‍රි සිංහලයත් ලෝක ශාසනයත් රැක සතුරන් බිඳ, දීප සක්විති බවට පත්වන රජෙකැ’යි දක්වන ලදී.

යුදයට යන ගමන හා ග්‍රහ බල එසේ ප්‍රකාශ කිරීමෙන් පසු, ඇසළ මස දෙදින නකතට (මුහුර්තයට) අනුව ගමන යොදා ගැනීමට උපදෙස් ලැබිණ.

“යුදට යන ගමනේ

ඇත්තේ ඇසළ දෙදිනේ

වඩිනුව නකති නේ

කියා සැල කළ සඳෙහි එදිනේ”

ගමනට සුදුසු කාල හෝරාව දැක්විණ.

පසු දින උදෑසන විජය නම් සුබ මොහොත තුළදී යුද සෙනඟ සමඟ පිටත් වූ බව මෙසේ සඳහන් වේ.

“පසු දින උදෑසන

විජය නම් සුබ මොහොතින

සිය සෙනඟ සමගින

වැඩමවා එම තැනින් විගසින”

එසේ යුද සෙන් සමඟ ගමන් කළ රජ, සෙංකඩගල පුරවරයට සමීප වූ තැනෙක නැවතී සිට සුබ මොහොත උදා වන විට සතුරු සේනාව සිටි ප්‍රදේශය බලා ප්‍රථම වෙඩි ප්‍රහාරය තැබූ බව මෙසේ  සඳහන් වේ.

“සෙංකඩගල් පුරට

නුදුරුව තැනෙක වැඩ සිට

සතුරන් උන් දෙසට

වෙඩිල්ලක් තැබුවේය නකතට”

මෙම ප්‍රවෘත්තිය “පරංගි හටන” කෘතියෙහි විස්තර වේ. එකල යුදයට පිටත් වීමට පෙර ආගමානුකූල

පිළිවෙත්වල යෙදීම සියලු ආගමිකයන්ගේ සිරිතක් විය. ශ්‍රී  වික්‍රම රාජසිංහ රජ යුද ඇරැඹීමට පෙර මීට වඩා විසිතුරුව කටයුතු සිදුවිය.

සිංහල බෞද්ධයෝ ආපදාවන්හිදී දළදා වහන්සේ මෙන්ම පරිත්‍රාණ ධර්මයෙන් ආරක්ෂාව පැතීමේ සිරිත කඩ නොකළාක් මෙන්ම සුබ මොහොතින් කටයුතු කිරීම අනුගමනය කළහ.

අතීතයේදී මෙකලටත් වඩා ජේ‍යාතිෂ විශ්වාසය පැවැති බවට හේතු සාධක පවතී. යුද වැදීමේදී මුහුර්ත යොදා ගැනීමට සුදුසු යැයි දැක්වෙන දින, නකත්, තිථි, රාශි මෙන්ම පක්ෂි, මුහුර්ත  වෙනුවෙන් මෙම ශාස්ත්‍රයේ සඳහන්ව තිබේ.

 

පැරැණි ආචාර්ය පරපුර රහසිගතව භාවිත කළ මුහුර්ත විදි අතර දිවා , රාත්‍රි විනාඩි හතළිස් පහ බැගින් ලබා ගෙවෙන සතියේ දින සතෙහි ක්‍රියාත්මක වන මුහුර්ත දහසයක්ද දැක්වේ. මෙය ශෝඩෂ මුහුර්ත නමින් හැඳින්වේ. ඒවාට නාම සහ ලැබෙන සුබ,අසුබ විපාකද දක්වා තිබේ. එම මුහුර්ත අතරින් යුද ඇරැඹීම සඳහා ‘බාල වදන’ නමින් මුහුර්තයක් දැක්වේ. එමෙන්ම සතුරන්  දමනය කිරීම පිණිස “සෝමෝදර” නම් මුහුර්තය යෝග්‍ය වේ. මෙම ක්‍රමය ඵලදායකව පැවැතීමට ඉහත දැක්වූ අංග සමඟ සම්බන්ධ කිරීම ශක්තියක් වෙතැ’යිද සඳහන් වේ..

 

 

 

 

උපුටාගැනීම - මව්බිම තරුපති

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk