හදන්න ගත්තු ගේ පොඩ්ඩ හදා ගන්න බැරි වුණා නම් මෙන්න විසඳුම

සුබ ග්‍රහ, කල දශා කාලයක් බලා ඒ අනුව අලුත් නිවෙසක් සෑදීමට සුබ නැකැතක් දක්ෂ ප්‍රවීණ නම්බූ නාම පදක්කම් ලබා ඇති ජේයාතිෂාචාර්ය මහතකු ලවා සකස් කරවාගෙන ඔහු දෙන උපදෙස් අනුව නියමිත දිනයේ සුබ වේලාවට අත්තිවාරමට ලණු ඇද ඉන් අනතුරුව සුබ මොහොතට පස් කපා පසුව සර්ව සම්පත් යෝග සහිතව පිළියෙල කර දුන් සුබ මුහුර්තයට මුල් ගල තැබුවා යැයි සිතමු. එදින සිට දින දෙක තුනක් පමණ පෙදරේරු මහතුන් වැඩ කර පසුව ක්‍රමයෙන් ඉදිකිරීම් කටයුතු මග නතර වේ. ඒ අතර මුල් ගල තැබූ නිවාස හිමියා බලවත් රෝග තත්ත්වයක් මත එකතැන්වේ.
මෙවැනි සිද්ධීන් අද සමාජය තුළ දකින්නට ලැබේ. සමහර නිවාස හිමියන් කරමින් සිටි රැකියාව අහිමි වී බලවත් ගැටලුවකට මැදි වී සිටින අවස්ථා මා දැක ඇත්තෙමි. සමහර ස්ථානවල නිවෙස ඉදිකරනවාට අහල පහල ඉඩමේ මායිම් සීමාවල පදිංචි අයගෙන් බාධා, සතුරු බලපෑම් මේ ආදී නොයෙක් ගැටලු මුල්වීම නිසා ඉදිකිරීම් කටයුතු අතරමඟ ඇන හිටිමින් ප්‍රමාද වෙමින් පවතී. මුදල් තිබුණත් මෙවැනි අනියම් බාධා නිවෙසේ ඉදිකිරීම් කටයුතු ආරම්භයේ සිටම බලපෑමෙන් නිවෙසක් සෑදීමේ සොඳුරු සිහිනය ක්‍රමයෙන් අඳුරු වී යයි. එසේ සිදුවන්නේ මොනයම් හේතු නිසාද? යන්න මෙතැන් සිට විමර්ශනයක යෙදෙමු. නිවෙස සෑදීමට යෝජිත භූමිය පරීක්ෂා නොකිරීම ප්‍රධාන හේතුවක් වන්නේය. අන් අයකුගෙන් මිලදී ගත් ඉඩම් කොටසක්නම් විශේෂයෙන් බැලිය යුතුවේ. භූමියේ හෝදාපාළුව, ජලය ගලා බැසීම, පසෙහි ස්වභාවය හා අන්තර්ගත ද්‍රව්‍ය, විශාල වළවල් තිබුණාද යන වග, භූමියේ පාරම්පරික තත්ත්වය මේ ආදී කරුණු සොයා බැලිය යුතුය. විකුණන සමහර ඉඩම්වලට නිතර නිතර අකුණු සැර වැදුණ ඒවාගේම කෝලාහල ඇතිවී මිනීමැරුම් සිදුවුණ ස්ථානයක් නම් ඒ දෝෂ තත්ත්වයන් මිලදී ගන්නා අයට බාධා කරනු ඇත. නිවෙස ඉදිකරන අතරතුර නොයෙකුත් සතුරු බලපෑම් ඇති වී වැඩ ඇන හිටියි.
ඉඩමක හෝදාපාළුව බැස්ම බටහිරට, දකුණට, ගිනිකොනට අසුබදායක වේ. මේ තත්ත්වය අද බොහෝ අවස්ථාවල තීරණය කළ නොහැකිය. පිට ස්ථානවලින් පස් ගෙනැවිත් ඉඩම මට්ටම් කිරීම මේ නිසා ඉඩමේ බැස්ම හෝදාපාළුව වැසී යන නමුත් යට පිහිටි පොළොවේ එය පවතී. කෙසේ නමුත් ඉඩමක ඊසාන දෙසින් ඇතුළුවන අන්තරීක්ෂ බලය ගබඩා වන නිරිත දිසාවට හෝදාපාළු බැස්ම අසුබ වේ. ධන හානි විනාශය ඇතිවේ.
පැරණි ඉඩමක් නම් එහි පොළොව මතු පිට සිට රියනක් පමණ දක්වා කළු පැහැති මඩ සහිත පස තිබේ නම් මනුෂ්‍ය වාසයට අසුබදායක වේ. නිවෙස ඉදිකිරීමේදී නොයෙකුත් බාධා කරදර ඇතිවේ. ළා කහ පැහැති පස, ළා රතු පැහැති පස, සුදු පාටින් යුක්ත පස පොළොව මතුපිට සිට රියනක් යන තෙක් තිබේ නම් නිවෙස සෑදීමට සුබවේ. උතුරට ඊසානට, නැඟෙනහිරට බෑවුම ජලය ගලා බැසීම පවතී නම් එය සුබදායක වේ.
ඉඩමේ විහිදීම හැඩය හරියාකාරව පරීක්ෂා කළ යුතුය. අද මේ දෝෂය බොහෝ දෙනා පිළිනොගෙන කටයුතු කරනු ස්ථාන මා දැක ඇත්තෙමි. පැති තුනක් වූ ත්‍රිකෝණ ඉඩම ඉතා අසුබ බව වාස්තුවේ සඳහන් වේ. චක්‍ර, විෂම බාහු, ශකට පනවස්සාන, මුරජාකාර, ව්‍යාංජන, ධනු, ශූර්ය මේ ආදී වශයෙන් අසුබ ඉඩම්වලට නම් යෙදී ඇත. කෙසේ නමුත් චතුරශ්‍රාකාර ආයත චතුරශ්‍රාකාර, වෘත්තාකාර, ශදාසන(උස්වූ හතරැස්) මෙම ඉඩම් ඉතා සුබදායක වන්නේය. අද වනවිට ඉඩම් සම්බන්ධව මිල ගණන් සංකීර්ණත්වය නිසා අසුබ හැඩයක් ඇති ඉඩම් කොටසක් වුවත් මිලදී ගතහොත් තාප්ප බැඳ හෝ හතරැස් කරගැනීම නුවණට හුරුය. එසේ නොවුවහොත් සුබ නැකැතකට ආරම්භ කළත් පසුව නොයෙකුත් කරදර ඇති වී වැඩ කටයුතු ඇන හිටී.
ඉඩම අවට ස්වාභාවික පරිසරය ගැනද සොයා බැලිය යුතුවේ. ඉඩමේ මායිමට ආසන්නව පැරණි නුග ගසක්, රුක්අත්තන ගසක්, අඹ ගසක්, කටු සහිත ඉඹුල් ගසක්, ගොරක ගසක්, බෝ ගසක්, විශාල කළු ගල් පර්වතයක්, නා ගසක් තිබේ නම් රාත්‍රි කාලයේ යම් යම් ගුප්ත බලවේග මෙම ස්ථාන ආශ්‍රිතව ගැවසීම නිසා අහිතකර බලපෑම් නිවෙසට ඇතිවෙයි. ඒ අනුව නිවෙස හිමියාට ලෙඩදුක් කරදර සතුරු බලපෑම් ආදිය ඇතිවීමෙන් වැඩ කටයුතු ඇනහිටියි.
අත්තිවාරම දිසා ගත කිරීමේ දෝෂ නිසාද, මුළුතැන්ගෙය ප්‍රධාන උළුඅස්ස, පිටුපස උළුඅස්ස නිවෙසේ විහිදීම, යටලී බාල්ක ආදී නිවැරදිව ස්ථාන ගත කළ නොහැකිය. මේ නිසා දහසක් කරදර මධ්‍යයේ නිවෙස ඉදිකර පදිංචිවීමෙන් පසුව දරුණු අසුබ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. නිවාස ඉදිකිරීමේදී මුල සිටම කරදර ඇති වෙමින් බාධා ගෙන දෙනවා ඇත. විටින් විට ඉදිකිරීම් කටයුතු ඇනහිටී. ඉඩමක් මිලදී ගැනීමේදී එහි මැදට මාලිමාව තබා ප්‍රධාන දිසා හතර පරීක්ෂා කර බැලිය යුතුය. අත්තිවාරම ලණු ගැසීමේදී මෙය විශේෂයෙන්ම පරීක්ෂා කර ඒ අනුව කටයුතු කළ යුතුය. මෙය පරීක්ෂා නොකිරීම නිසා සමහර නිවාසවල ප්‍රධාන ෙදාර ගිනිකොනට එල්ල වී ඇති අවස්ථා මා දුටුවෙමි. වැසිකිළිය ඊශාන දෙසටත් මුළුතැන්ගෙයත් ඒ ආශ්‍රිතවම යොදා ඇති ස්ථාන මා හට හමුවිය. බලවත් කරදර රැසකට එම ස්ථානවල නිවාස හිමියන් මුහුණ දී සිටියේය. මුළුතැන්ගෙයත් කාමරයකුත්පමණක් සාදා පදිංචි වී ඇති අතර ඉතිරි කොටස් ඇන හිට තිබුණා. ඊළඟට බැලිය යුතු වන්නේ නිවෙසක් ඉදි කිරීමට පිළියෙල කරන සුබ නැකැත කෙසේද කියාය. මේ නිසා බොහෝ අවස්ථාවල නිවෙසක් ඉදිකිරීමේ කටයුතු ඇන හිටී. නිවෙසක් ඉදිකිරීමට යොදා ගන්නා සුබ නැකැත බලවත් වන්නේ නිවෙස හිමියාගේ කේන්දරයේ සිවු වැන්නද බලවත් වීමෙනි. විශේෂයෙන් සිවුවැන්න අධිපතියා සිවුවැන්න තුළ මහෝ ලග්නයේ ස්වකේෂ්ත්‍ර,උච්ච, මිත්‍ර බලයෙන් සිටිය යුතුය. එය තමා පෙර පින, පෙර භවයේ කුසල්වල බලය ඒ සඳහා මුල් වන්නේය. සිවුවැන්න අධිපති කේන්දරයේ අටවැන්න, ෙදාළොස්වැන්න මෙම භාව තුළ සතුරු හෝ නීච වී සිටීම නිවෙසක් ඉදිකිරීමට තදබල බාධාවකි. සිවුවැන්නේ සෙනසුරු, රාහු, කේතු උපතින් අසුබව පිහිටීමෙන් නිවෙසක් සෑදීමේදී නිතර බාධා ගෙන දෙයි. මෙම ග්‍රහයන් කේන්දරයේ අටවැන්න, ෙදාළොස්වැන්න භාවයක උපතින් යෙදීම නිසාද නිවෙසේ ඉදිකිරීම අතරමඟ ඇනහිටී. සෙනසුරු සිවුවැන්න දැකීමෙන් හෝ යෙදීමෙන් බොහෝ අවස්ථා පැරණි නිවෙසම කඩ කඩා සාදනවා විනා නව නිවෙසක් සෑදීමට උනන්දුවක් නැත. සුබ නැකැතකට උළුඅහු ගලවනවා නැවත තබනවා. කාමර එකතු කරනවා වැඩ ඇන හිටිනවා. අවසානයේ ආර්ථික අපහසුතාවද ඇති කරයි.
ඊළඟට සුබ නැකැතට අදාළ කේන්දරය හිමියාගේ ලග්නයට සිටින බාධක ග්‍රහයාගේ පංචම හෝරාව තුළ සුබ මොහොතකට නිවෙසේ මුල්ගල තැබුවොත් නිතර නිතර නිවෙසේ ඉදිකිරීම් කටයුතු ඇනහිටිනවා. අප සියලු දෙනාට තමන්ගේ ලග්නය අනුව කටයුතුවලට බාධා කරන ග්‍රහයකු සිටින බව දැනගත යුතුය. කේන්දරයේ වෙනත් යෝග කාරක සුබ ග්‍රහයකුගේ බලපෑමෙන් බාධක ග්‍රහයා දෝෂ භංග නොවේනම් නිවෙසේ ඉදිකිරීම් කටයුතුඇන හිටිනවා. එම නිසා ඔබේ බාධක ග්‍රහයාගේ විනාඩි හතර තුළ මුල්ගල තබන්න එපා. ඊළඟට අද බොහෝ අවස්ථාවල නිවාස නැකැත සඳහා අධෝමුඛ නැකැත් බෙරණ, කැති, මා, විසා, අස්ලිස, පුවපල්, පුවසල, පුවපුටුප, මෙම නැකැත් යොදා ගන්නා බව පෙනේ. මේවා මැණික් ගැරීමට, ළිං කැපීමට පමණයි ගන්නේ. මේවා උඩට විහිදෙන නැකැත් නොවේ. මේවා පොළොව යටට බලවත්ම නිවාස සඳහා උඩට විහිදෙන නැකැත්, රෙහෙන, අද, පුෂ, සියාවස, සුවණ, දෙනට, උත්‍රපුටුප, උත්‍රපල්, උත්‍රසල මේවා යොදා ගත යුතුය. එසේ නොවූවහොත් නිවාස සෑදීම අතර මඟ නවතිනු ඇත.
අස්විද, මුවසිරස, හත, සිත, සා, අනුර පුනාවස, දෙට, රේවතී යන හරහට විහිදී යන නැකැත්ද නිවාස නැකැත්වලට සුබවේ. නිවෙසේ වැඩ කටයුතු නිසියාකාරව එක දිගට ඉටුවේ. ඊළඟට අද බොහෝ දෙනා නිවෙසක් ඉදිකිරීම ප්‍රමාද වන විට ඇනහිටින විට අත්තිවාරම නැවත නැවත මනිමින් වර්ගඵලයේ දෝෂ සොයමින් ඒ පසුපස දුවනවා. බොහෝ වාස්තු පරීක්ෂක මහත්වරු පුන පුනා කියන්නේ වර්ග පිණ්ඩය වැරදියි. ඒකයි දෝෂෙ. මේ නිසා නිවෙස් වැඩ ඇනහිටිනවා. ඕක තමයි කතාව. නිවෙසක්, පරීක්ෂක මහත්වරු තුන්දෙනෙක් මැන්නොත් වර්ගඵල තුනක්. මේසන් බාස් මැන්නොත් ඊටත් වෙනස් වර්ගඵලයක්. කෙසේ නමුත් වර්ගඵලය ගැන පසුවට කතා කරමු. එය පසුවට තබා මා මෙතෙක් පෙන්වා දුන් කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කර බලන්න
.
කෙසේ නමුත් මෙහිදී විශේෂයෙන් කිවයුතු කරුණක් සඳහන් කළ යුතුයි. එදා පැරණි මිනිසා විශේෂයෙන් දැනට වසර පනහකට පමණ ඉහතදී ගම් ප්‍රදේශවල නගරවල බොහෝ තිබුණේ ලී කණු සිටවා මැටි වරිච්චි බිත්ති හතරෙන් වටවූ පොල් අතු සෙවිලි කළ ගැමි පන්නයේ ගෙවල්. ඒවායේ මවුපිය දූ පුතුන් සතුටින් සමඟියෙන් නිරෝගීව ජීවත් වී ඉගෙනුම ලබා උසස් දියුණුවක් ඇතිව රැකියා කටයුතු කරමින් යහපත් විවාහ ජීවිත ගත කරමින් ජීවත් වුණා. එදා ඒ ගැමි පරිසරය තුළ තිබුණේ අමුතුම ජීවන රටාවක්. සැන්දෑ සමය වන විට නිවෙස් කුප්පි ලාම්පු දල්වා ආලෝක කරගෙන දරුවෝපාඩම් කරති. මව සහ පියා කෑමවේල සකස් කරන්නේ වරිච්චි බිත්තිවලින් ආවරණය වූ කුස්සියේ ඉතා සතුටෙන්. මේ සියල්ල සිදු වුණේ කිසිම වර්ග ඵලයක් නොබලා ඉදි කළ අර වරිච්චි මැටි ගෙවල් තුළ. මෙම නිවාස තුළ පෝෂණය වූ එම දරු දැරියන් අද වනවිට උසස් රැකියාවල යෙදී විශ්‍රාම ගිය අයත් වනවා. එම නිසා නිවෙසක ඉදිකිරීම් කටයුතු ඇන හිටින්නේ වර්ගඵලයේ වැරදි නිසාම නොව මා මෙහි මුලින් පෙන්වා දුන් කරුණු මුල් කරගෙනය. තව විස්තර කරුණු ඇතත් මෙවැනි ලිපියකින් විස්තර කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවේ.
ජේයාතිර්වේදී ජේ. ගුණපාල
Advertisements


