ගුරු මීනයට ඔබට කොහොමද ?
බ්‍රහස්පති “සුරගුරු” “ගරු” නමවලින් හඳුන්වනු ලබන ගරු ග්‍රහයා සිය ස්වකේෂත්ර රාශිය වන මීන රාශියට 2022 අප්‍රේල් මස 13 වැනිදා බුධ දින පව 3.50ට පිවිස 2023 අප්‍රේල් 22 අලුයම 05.13 දක්වා ගත කරනු ලබයි. ගුරු ඉතාමත් යුක්තිසහගත ග්‍රහයෙකි. එමෙන්ම ආධ්‍යාත්මික ග්‍රහයෙකි. මිනිසාගේ වැඩිදියුණුවට, උසස් වීමට වුවමනා කරන සියලු යහපත් දේට ගුරු බලපවත්වයි. ගුරු කටක රාශියේ සිටියදී උපන් අයගෙන් සියයට අනූවක්ම උපන් අවස්ථාවේ සිටි තත්ත්වයට වඩා සිය ගුණයකින් දියුණුවට පත් කරයි. ප්‍රකට භාවයට පැමිණේ.
මිනිසාගේ අභ්‍යන්තර හා බාහිර ශරීර වර්ධනය, දැකීමට, ආශ්‍රයට ප්‍රිය උපදවන කුලුපග ගතිය, කොතැනටත්, කාටත් ගැළපෙන සෞමය ගතිය, ලෞකික දේට සම්බන්ධ පතළ ඥානය, දුකට පත්වන අයට පිහිටවන අනුකම්පා ගතිය, විශ්වාසවන්තකම, මධ්‍යස්ථව යුක්තියෙහි පිහිටීම, සාමාන්‍ය දැනීම, කලබල නොවන වහා උස්පහත් නොවන හිත, නිතර මතු දියුණුව පිළිබඳව බලාපොරොත්තු, ජීවිත යාත්‍රාව, ගෞරවය රැක ගැනීම, දියුණුවේ ස්ථිර තත්ත්වය, සෘජුකම, සමාජයට ප්‍රිය වීම, ආගමේ හා රාජ්‍යයේ පවතින නීතිගරුක භාවය ආදී උසස් ගුණධර්මවලට ගුරු අධිපති වේ. ගුණවත්, නැණවත්, පැවිදි සඟරුවන ගුරුගේ බලපෑම නිසා රටම බබළවයි.
ගුරු ග්‍රහයා යහපත් අන්දමින් පිහිටි අවස්ථාවල තව තවත් යහපත් ප්‍රතිඵල ලැබේ. උසස් ඉගෙනීම, වාසනාවන්ත භාවය, නිරෝගීකම, මවුපියන්ට, ගුරුවරුන්ට සැලකීම, ගෞරව කිරීම, පිරිසුදු චරිතය, ධනය, ප්‍රසිද්ධිය ආදියයි. එපමණක් නොව ගුරු පුත්‍රයන්ගේ යහපත්කමද ඇති කරවයි. පුත්‍ර කාරක ග්‍රහයාද ගුරුය. යමකුගේ කේන්දරයේ සඳුට දෙවැන්නේ ගුරු නම් තීක්ෂණ ඥානය දෙන යෝගයකි. සඳුට 12 වැන්නේ බුධද 2 වැන්නේ ගුරුද සිටින අයද විශේෂ තියුණු ඥාන යෝගයකි. ගුරු ග්‍රහයාට බුධගේ දැක්ම ලැබීමට ඥාන යෝගයකි. මිනිසා ඊළඟ ආත්මය උසස් තත්ත්වයකට ගෙන යෑමට ගුරු උත්සාහ කරයි.
ගුරු, මීන රාශිගත වීම අප රට පැත්තෙන් කිනම් මඟකට ගමන් ගනීදැයි බලමු. ශ්‍රී ලංකා කේන්දරයේ ගුරු යන්නේ දෙවැන්නටයි. මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතුය. ගුරු, මීන රාශියට පැමිණ දින කිහිපයකදී සෙනසුරු ශ්‍රී ලංකා කේන්දරයේ ලග්නයටම පැමිණේ. එම සිද්ධියද අවධානයට ගෙන ගුරු මාරුව ගැන කතා කළ යුතු වේ. ගුරු ග්‍රහයාට 2 වැන්න යහපත් තැනකි. වැටුණු ගමන් නැඟිටීමට ශක්තිය ලැබෙන බව සඳහන්ය. සමහර විට කලින් සිටියාට වඩා උසස්ව නැඟී සිට අවශ්‍ය කටයුතු සඳහා මුදල් සොයා ගනී. දෙවැන්න හොඳ ධන යෝගයකි.
මේ අනුව බලන කල අප රට වර්තමානයේ පත්ව ඇති තත්ත්වයෙන් යම් සහනයක් ලබා ගත හැකි බව පෙනේ. ඒ කෙසේ වෙතත් සෙනසුරු යන්න වැඩ කරන කම්කරු, ගොවියන් සහ ඇඟ වෙහෙසා වැඩ කරන ජනතාවගේ ග්‍රහයාය. එ බැවින් එම ජනතාවට හිතන තරම් සහනයක් ලබා ගැනීම උගහටය. රටේ ආගමික සංවිධාන ශක්තිමත් වේ. මහ සඟරුවන, අන්‍ය ආගමික පූජක උතුමන්ලා රටේ
ප්‍රශ්න ගැන රජයට බලපෑම් කරනු ඇත. පොදු ජනතාවද බොහෝ දුරට ආගමික කටයුතුවලට මීට වඩා උනන්දුවෙන් ඉදිරිපත් වනු ඇත. ආගමික නායකයන් ගරු සම්මානවලටද පාත්‍ර වේ.
ගුරු, මීන රාශිගත කාලය තුළ මීන, ධනු, කන්‍යා, මිථුන යන ලග්නවලින් උපත ලබන දරුවන්ට ‘ගුරු හංස’ නමැති මහා පුරුෂ රාජයෝගය උදා කරන අවස්ථා පවතී. එම දරුවන් අනාගතයේ උගත්, නැණවත්, බුද්ධිමතුන්, වන්නාහ. ලෞකික සැප සම්පත්වලට හිමිකම් ලැබුවද වඩාත් ලෝකෝත්තර පැත්තට බර වේ. පිනට දහමට වැය කරති. මවුපියන්ට, ගුරුවරුන්, වැඩිහිටි අයට ගරු කරයි. නිකායවල නායකත්වය දැරීමට තරම් උගත්, බුද්ධිමත්, සඟරුවනද ගුරු, මීන රාශිගත කාලය තුළ උපත ලබනු ඇත.
ගුරු, මේෂ, කටක, සිංහ වෘශ්චික, ධනු, මීන ලග්න හිමියන්ට ශුභපල ගෙන දේ. වෘෂභ ලග්නයට පාපී ග්‍රහයෙක් වන අතර තදබල අපල ගෙන දෙන ග්‍රහයාද ගුරුය. මිථුන, කන්‍යා, තුලා කුම්භ ලග්න හිමියන්ට පාපී ග්‍රහයෙකි. මේ අතරින් තුලා ලග්න හිමියන්ටද තදබල අපල ගෙන දෙන ග්‍රහයා ගුරුය. අප මෙසේ සඳහන් කරන නමුත් ඒ, ඒ අයගේ ජන්ම කේන්දරයේ ගුරු තැන්පත් රාශිය, තැන්පත් භාවය ගුරුට දෘෂ්ටිය ලැබෙන ග්‍රහයන් අනුව ශුභපල හා අපල වෙනස් විය හැකිය.
මේෂ ලග්නය
ගුරු ඔබට හොඳම ශුභපල ගෙන දෙන ග්‍රහයා වුවත් දැන් පැමිණ සිටින 12 වැන්නදී ශුභපල ලබා ගැනීම උගහටයි. යම්කිසි අන්දමට ඔබගේ ජන්ම කේන්දරයේ ගුරු 12 වැන්නේ නම් නීති ප්‍රශ්න වලට, නඩුහබවලට පමණක් නොව හිරබත් කෑමටද සිදු විය හැකිය. මෙම අශුභපල නොලැබී යන්නට නම් 'ගුරු ලග්නයේ 9 වැන්නේ 5,8,9 තැන්පත් විය යුතුය. 12 වැන්නට ගුරු ස්වක්ෂෙත්ර වුවත් ඔබ දැන් ලබා ඇති දශා, අතුරු දශා සමඟ ඉහත අශුභපල නොලැබී යන්නටද, තදබල අශුභපල ග්‍රහයකුගේ දශා අතුරු දශා, ගත කරන්නේ නම් මුලින් ඒ අපල සිදුවීමටද ඉඩ ඇත. 4 වැන්නේ තැන්පත් අයට නම් ගුරු මාරුව යහපත් වේ.
වෘෂභ ලග්නය
ඔබට තදබල ලෙසම අපල ගෙනදෙන ගුරු 11 වැන්නට පැමිණේ. ගුරුට 11 වැන්න යහපත් තැනකි. ජන්ම කේන්දරයේ 11 වැන්නේ ගුරු සිටින අයට කරන කියන රැකියාවේ යම් දියුණුවක් ඇති වේ. විවාහ ත්‍රිකෝණයක් වන 3 වැන්නේ ශුභ ග්‍රහයකු සිටී නම් බිරියට යහපත් පිහිටීමකි. ගුරු ග්‍රහයා ලග්නයේ, 2 වැන්නේ, 5,6 තැන්පත් අයට මානසික පීඩා, කරදර, බාධක ගෙන දිය හැකිය. ආදායම් මාර්ග අවහිර වේ. කරන කියන දේවලින් පාඩු සිදුවේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් වෙහෙස මහන්සි වී පාසල් වැඩකටයුතුවල නිරතවීමට සිදුවේ.
වයස්ගත අය ඕනෑවට වඩා මහන්සිවීම, ලේ විසවීම, විදුරුමස් දියවීම, පීනස, බඩපුරවා දැමීම, සෙංගමාලය, මුත්‍රා සමඟ ධාතු පහවීම, දියවැඩියාව, සන්නිපාත උණ, ගුරු ග්‍රහයා අශුභ අන්දමට පිහිටීම නිසා ඇති විය හැකි රෝග වේ.
මිථුන ලග්නය
ගුරු 10 වැන්නට පැමිණේ. මිථුන ලග්නයටද ගුරු පාපී ග්‍රහයෙකි. ඒ කෙසේ වෙතත් ඔබේ ජන්ම කේන්දරයේ ද ගුරු පළමු වැන්නේ හෝ 7 වැන්නේ නම් ශුභපල ලබාගත හැකිය. 10 වැන්නේ තැන්පත් අයට රැකියා බලාපොරොත්තු ඉටු වේ. දැනටමත් රැකියාවල නිරත අයට උසස්වීම් ලැබෙනු ඇත. ලැබීමට යහපත්ය. යාන වාහන, ඉඩකඩම්, දේපළ, නිවාස හිමිකම් ලැබිය හැකිය. 7 වැන්නේ තැන්පත් විවාහ බලාපොරොත්තු තබාගෙන සිටින තරුණ තරුණියන්ට ගුරු, මීන රාශිගත වර්ෂය තුළ බලාපොරොත්තු ඉටු කරගත හැකි වනු ඇත. මැදි වයස් හා වයස්ගත මිථුන ලග්න හිමියන් දැනට වර්ෂ 2කට වැඩි කලක සිට සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරමින් සිටී. ගුරු ලග්නයේ හෝ 4,5 වැනි තැනක තැන්පත් අයට පසුගිය ඒ රාෂ්ටක කාලය තුළ රෝගාබාධ හටගත්තේ නම් තවදුරටත් එම රෝග ඉදිරියට ගෙන යනු ඇත.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ට ගුරු අධික ශුභපල ගෙන දේ. දැන් 9 වැන්නට පැමිණ ඇත. තරුණ වයස ගත කරන අයට යස ඉසුරු ලැබේ. උසස් ඉගෙනීමට ඉතාම යහපත්ය. බලාපොරොත්තු වූවාට වඩා උසස් ප්‍රතිඵල ලැබෙනු ඇත. මවුපියන්ට, ගුරු භවතුන්ට ගරු කරයි. තම පදිංචි ප්‍රදේශයේ ජනතාවට අර්ථයෙන් දැහැමි සිරිත් විරිත් උගන්වන ගුරු’ කෙනකු හා සමාන වේ. පිනට දහමට යොමු වේ. ගුරු හෝ සෙනසුරු අයහපත් තැනක තැන්පත් මැදි හා වයස්ගත අයට නම්, ඉදිරි වර්ෂ 2 1/2 පමණ කාලය තදබල අපල ගෙන දේ. අප්‍රේල් 29 සිට 2025 මාර්තු දක්වා සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකය ලබයි. විශේෂයෙන් නිදන්ගත රෝගවලින් පෙළෙන අයගේ රෝග තත්ත්වය උත්සන්න වේ. විශේෂයෙන් හන්දිපත් වල විකෘති භාවය ඇති වේ.
සිංහ ලග්නය
ගුරු ඔබටත් ශුභපල ගෙන දෙන ග්‍රහයෙකි. එහෙත් පැමිණ ඇති ස්ථානය නම් යහපත් නැත. ඔබගේ ජන්ම කේන්දරයේ ගුරු 2 වැන්නේ හෝ 3,10,11 යන ස්ථානයක නම් අට වැන්නට ගුරු පැමිණ ඇති බැවින් යම්කිසි අන්දමකට සෙනසුරු හෝ ඔබට පාපී ග්‍රහයකුගේ දශා, මත දශා ගත කරන්නේ නම් විවිධ රෝගාබාධ ඇතිවිය හැකිය. කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වයස්ගත සිංහ ලග්න හිමියන්ට සෑදිය හැකිය. ගුරු ලග්නයේ හෝ 4,5 යන ස්ථාන වලින් එකක ජන්ම කේන්දරයේ ගුරු තැන්පත් අයට ඉහත අශුභ පල නොලැබී යම් ශුභ තත්ත්වයක් ලැබිය හැකිය. ගේ දොර ඉඩකඩම් ලැබීම. ප්‍රාථමික අධ්‍යාපනය ලබන අයට විභාග ජය පෙන්වයි. රැකියා බලාපොරොත්තු ඉටුවේ. り
කන්‍යා ලග්නය ගුරු ඔබට පාපී ග්‍රහයෙකි. 7 වැන්නට
පැමිණ ඇත. උපතේදී ගුරු 7 වැන්නේ නම් යම් ආකාරයක ශුභපල ලබාගත හැකිය. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට තම බලාපොරොත්තු ඉටුකරගත හැකිය. යහපත් විවාහයක් විය හැකිය. රටේ ප්‍රසිද්ධ කෙනකු නම් ඉහළ නිලතල සොයාගෙන එයි. එහෙත් ගුරු ලග්නයේ 2 වැන්නේ 9 හෝ 10 වැන්නේ නම්, ඔබේ ආදායම් තත්ත්වය පහත වැටේ. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. තමා බලාපොරොත්තු වන තරමට ප්‍රතිඵල ලබාගැනීම උගහට වේ. එමෙන්ම රැකියා බලාපොරොත්තු ඉටු නොවේ. දැනට රැකියාවල නිරත අයට ස්ථාන මාරු චෝදනා එල්ල විය හැකිය. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විවාහකයන්ට තම දරුවන් නිසා ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවේ.
තුලා ලග්නය
ගුරු ඔබට තදබල අපල ගෙන දෙන පාපී ග්‍රහයෙකි. පැමිණ ඇති 6 වැන්නද යහපත්ම නැත. ඔබේ උපතේදී ගුරු 6 වැන්නේ නම්, කුඩා කල සිටම නොයෙක් රෝග ලෙහෙසියෙන් බෝවේ.
ගුරු ග්‍රහයා ඔබේ ජන්ම කේන්දරයේ ලග්නයේ හෝ 8,9,10 වැනි තැනක නම් වයස්ගත තුලා ලග්න හිමියන්ට හදිසි රෝගාබාධ ඇති විය. හැකිය. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ද යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නම් බොහෝ වෙහෙස මහන්සි විය යුතුයි. තරුණ වයස පසු කරන අය නීති ප්‍රශ්න වලට මුහුණ දීමට ද නඩු හබවලටද මුහුණ පෑමට සිදු වේ. ඔබ ගත කරන්නේ ඔබට පාපී ග්‍රහයකුගේ දශාවක් නම් සිරබත් කෑමටද තරම් අශුභය.
වෘශ්චික ලග්නය
ගුරු ඔබට ශුභ ග්‍රහයෙකි. පැමිණ ඇත්තේ ශුභ රාශියක් වූ 5 වැන්නටය. ගුරු ජන්ම කේන්දරයේද 5 වැන්නේ නම් ඉගෙනීමට ඉතාමත් ශුභ කාලයකි. විවාහකයන්ට පිරිමි දරුවන් ලැබේ. දරුවන්ද කීකරු අය වන්නාහ. බිරියට යහපත් කාලයකි. ගුරු 2 වැන්නේ හෝ 9,10 වැනි තැනක උපතේදී සිටී නම් ඔබේ ආදායම් තත්ත්වය යහපත් වනු ඇත. ඔබ යම් කිසි අන්දමකට තත්ත්වයෙන් වැටී සිටින අයකු නම් නැවත නැඟී සිටීමට කාලය උදා වී ඇත. උසස් පෙළ අධ්‍යාපනය ලබන හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අයට යහපත් ප්‍රතිඵල ලැබේ. රැකියා බලාපොරොත්තු අයට සතුටුදායක ආරංචි ලැබේ. රැකියාවල නිරත අයට උසස් වීම් ලැබේ. 7,8,11,12 වැනි තැන්වල උපතේදී ගුරු සිටින අයට නම් මෙහි දක්වා ඇති ශුභපල නොලැබිය හැකිය. විවාහ ප්‍රමාද වීම්, රෝගාබාධ නීති ප්‍රශ්න හා නඩු හබවලට මුහුණ දීමට සිදුවිය හැකිය.
ධනු ලග්නය .
ඔබේ ලග්නාධිපති ගුරු 4 වැන්නට පැමිණීම ඉතාමත් ශුභයි. ජන්ම කේන්දරයේද ගුරු 4 වැන්නේ නම්, යාන වාහන ඉඩකඩම්, නව නිවාස, දේපළ, වාසනාව මෙම කාලය තුළ ලැබේ. ගුරු ලග්නයේ හෝ 5,9 නම්ද මෙම ශුභපල සාමාන්‍ය තත්ත්වයේ හෝ ලැබේ. ලග්නයේ නම්
ඉතාම වාසනාවන්තය. කාටත් ප්‍රිය උපදවන පෙනුම, ඔබට ලැබී තිබිය යුතුය.
ප්‍රාථමික හා උසස් අධ්‍යාපනය ලබන අයට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ගුරු මීන රාශිගත කාලය තුළ ලැබෙනු ඇත. පිනට දහමට යොමු වේ. රැකියා බලාපොරොත්තු ඉටු වේ. රැකියාවල නිරත අයට උසස්වීම්ද හිමිය. 6,7,10,11 ස්ථානවල ගුරු තැන්පත් අයට නම් තරමක බාධක, කරදරවලට මුහුණපෑමට සිදු වේ. රෝගාබාධ හටගනී. විවාහ අපේක්ෂතා කල් යයි. රැකියාවල නිරත අයට චෝදනාවන්ට මුහුණ පෑමට ඉඩ ඇත.
මකර ලග්නය
මකර ලග්නයටද ශුභපල ගෙන නොදෙන පාපී ග්‍රහයෙකි. දැන් පැමිණ ඇත්තේ තුන්වැන්නටය. ගුරුට 3 වැන්න එතරම් යහපත් තැනක් නොවේ. ඔබේ ජන්ම කේන්දරයේද ගුරු 3 වැන්නේ නම් මෙම කාලය තුළ තැනින් තැන යෑමට සිදුවේ. ලෙහෙසියෙන් රෝග බෝවේ. අශුභ දශා, අතුරු දශා ගත කරන්නේ නම් වයිරස් උණ, දැනට රටේ පවතින කොරෝනා වැනි රෝග සෑදිය හැකිය. ජන්ම කේන්දරයේ ගුරු 4,7, 12 වැන්නේ නම් යම් ශුභපල ලබාගත හැකිය. ගුරු මහ දශාව හෝ අතුරු දශාව ගත කරන අධ්‍යාපනය ලබන අයට සතුටුදායක ප්‍රතිඵල ලබාගත හැකිය. සහෝදර සහෝදරියන් හිතවත්ව උපකාර කරනු ඇත. විවාහ අපේක්ෂතා ඉටු වීමට නම් ගුරු 7 වැන්නේ සිටිය යුතුය. 4 වැන්නේ නම් ඉඩකඩම් දේපළ වාසනාව ඇත. 5,6,9,10 යන තැන්වල ගුරු සිටින අයට නම් යම් යම් අපල තත්ත්ව උදා වේ. රෝගාබාධ, උසස් අධ්‍යාපනය ලබන අයට බාධක, අතපසුවීම්, රැකියාවල නිරත අයට චෝදනාවන්ට ලක්වීම පෙන්වයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්නයටද ගුරු පාපී ග්‍රහයෙකි. දැන් 2 වැන්නට පැමිණ ඇත. ජන්ම කේන්දරයේද ගුරු 2 වැන්නේ නම්, යම් යම් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. ඔබ යම් කිසි අන්දමකට ඔබේ ව්‍යාපාර කටයුතු හෝ වෙනත් ආදායම් මාර්ග අවහිර වී යන එන මං නොමැතිව සිටී නම් ටිකක් හෝ නැගී සිටීමට කාලය පැමිණ ඇත. මෙය සාමාන්‍යයෙන් ධනය ලැබෙන අවස්ථාවකි. 3,7,10,11 වැනි තැනක ගුරු සිටින අයට විවහ අපේක්ෂතා ඉටු වන හා රැකී රක්ෂා බලාපොරොත්තු ඉටුකරගත හැකි. කාලයක් ලබයි. 4,5,8,9 යන ස්ථානවල ගුරු තැන්පත් අයට නම් අපල තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. ගේ දොර, ඉඩකඩම් දේපළ ප්‍රශ්නවලට ඉඩකඩ ඇත. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉගෙනීමට බාධක පවතී. වයස්ගත මකර ලග්න හිමියන්ට නානාවිධ රෝගවලට ලක්වීමට හැකිය. උසස් අධ්‍යාපනය ලබන අයටද සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම් ඉතා වෙහෙස මහන්සි විය යුතුය. විවාහ අපේක්ෂාද කැඩී යනු ඇත.
මීන ලග්නය
ඔබේ ලග්නාධිපතියාද වන ගුරු ලග්නයටම පැමිණීම ඉතාමත් යහපත්ය. ගුරු ඔබේ ලග්නයේ නම් 'ගුරු හංස' නමැති මහ පුරුෂ රාජයෝගය ඇත්තෙකි. ඔබ උගත්, නැණවත්, පිනට දහමට යොමුවන අයෙකි. නිරෝගී ශරීරය ඇත්තෙක් වේ. සියලු වැඩ කටයුතුවල දියුණුව ගෙන දේ. ධනය, කීර්තිය, ගෞරවය ලැබේ. සියලු අපල උපද්‍රවවලින් ඔබව මුදාගනී. 5,9,10 යන තැන්පත් අයටද ඉතාම ශුභ කාලයකි. ඉගෙනීම ලබන කුමන වයසක දරුවකුට වුවත් ඔබ ඉදිරිපත් වන විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකිය. රැකීරක්ෂා බලාපොරොත්තු වන අයට ඉදිරිය යහපත් කාලයකි. රැකියාවල නිරත අයට උසස් වීම් ලැබේ. 3,4,7,8 යන තැනක ගුරු තැන්පත් අයට නම් ඉඩකඩම් දේපළ ප්‍රශ්න මතු වේ. විවාහ බලාපොරොත්තු තරුණ තරුණියන්ට තව කල් බලා සිටීමට සිදුවේ. වයස්ගත අය නිදන්ගත රෝග නිසා දුකට පත් වේ.
ජ්‍යොතිෂවේදී ඇස්.සිරිවර්ධන
හංවැල්ලේ