මෝහිනී යක්ෂණියක්ද දේවතාවියක්ද ?
ශ්‍රී ලංකාවේ ජන සමාජයේ පවතින සම්මතයට අනුව මෙම මෝහිනී දෙවඟන යනු පුරුෂ පක්ෂයට පමණක්, විශේෂයෙන්ම තරුණ පිරිසට හිංසා පීඩා කරදර හා වින කරනු ලබන ප්‍රබල යක්ෂණියකි. එහෙත් අප ශ්‍රී ලංකාද්වීපයේදී දරුණු යක්ෂණියක් ලෙස හංවඩු ගසන ලද මෙම මෝහිනී දෙවඟනට ඇගේ උපන් නිජබිම වන ඉන්දියාවේදී එක්තරා ප්‍රබල දිව්‍යමය ආරෝපණයක් ලබාදී ඇති බව සඳහන් වේ. ඒ අනුව හින්දු දේව පුරාණයට අනුව ත්‍රි මූර්තියට අයත් විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස මෝහිනී දෙවඟන ප්‍රකට වී ඇත.
හින්දු ආගමට අනුව දේව කථා සහිත හින්දු දේව පුරාණයේ සඳහන් කර තිබෙන අන්දමට බ්රහ්මා හෙවත් භෂ්මා නම් අසුරයෙක් ෙදාළොස් වසරක්ම ඊශ්වර දෙවියන්ට බැළ මෙහෙවරකම් කරමින් ඔහුගේ හිත පහදවාගෙන “ඊශ්වර දැහැන” නම් ප්‍රබල මන්ත්‍රය ලබා ගත්තේය. එම මන්ත්‍රය කොතරම් බලවත්ද යනු, තමන්ගේ අතට මතුරාගෙන එම අත කිසිවකුගේ හිස තැබුවොත් ඔහු හෝ ඇය ක්ෂණයකින් දැවී අළු වී විනාශ වී යනු ඇත. වසර ෙදාළහක් ඊශ්වර දෙවියන්ට සේවය කළද මෙම භෂ්මා අසුරයාගේ සිත තුළ ඊශ්වර හෙවත් ශිව දෙවියන් කෙරෙහි සියුම් වෛරයක් හා කේන්තියක් ඇති වෙමින් තිබිණි.
ඒ අනුව තමන් ලද ඊශ්වර දැහැනින් ගනු ලබන පළමු ප්‍රයෝජනය ලෙස ඊශ්වර දෙවියන්වම අළු කොට විනාශ කර දැමිය යුතු යැයි සිතූ මෙම භෂ්මා අසුරයා ඊශ්වර දැහැනින් තම අතට මතුරාගෙන ඊශ්වර දෙවියන් සොයාගෙන ගියේය. තමන් විසින් කරන ලද මහා මෝඩකම එලෙස ඊශ්වර දෙවියන්ට වැටහී ගියේ තමන්ව සොයාගෙන එන භෂ්මා අසුරයා දුටු විටය. භෂ්මා අසුරයාගේ අත තම හිසේ තැබුවොත් තමන්ව දැවී අළු වී විනාශ වන බව දැනගත් ඊශ්වර දෙවියන් භෂ්මා අසුරයාගෙන් බේරීම සඳහා විදුලි වේගයෙන් දුවන්නට විය. මෙය දුටු විගසම භෂ්මා අසුරයාද ඊශ්වර දෙවියන්ව අල්ලාගැනීම සඳහා ඔහු පසුපස දුවන්නට පටන් ගත්තේය. මෙම සිදුවීම දුටු මහා විෂ්ණු දෙවියන් තමන් සේම බලසම්පන්න කෙනකුට සිදුවෙන්න යන විපත ගැන දැනගෙන එය නතර කිරීමට පියවර ගත්තේය. ඒ අනුව විෂ්ණු දෙවියන් තම බලපරාක්රමයෙන් මවන ලද ඉතාමත් ලස්සන, දුටුවන් වශී කරවන සුරූපී මෝහිනියව දුෂ්ට භෂ්මා අසුරයා දුවගෙන එන දෙසට යවන ලදී. ඔන්චිල්ලාවක් පදිමින් සිටින මෝහිනියගේ රූපශ්‍රීය දුටු භෂ්මා අසුරයාට තමන් යන කාර්ය අමතක වී ගියේය. ඒ අනුව යන ගමන නවතා මෝහිනිය සමඟ කතාවට වැටී ඇයට ස්වාමි පුරුෂයකු සිටිනවාදැයි විමසුවේය.
මෝහිනිය පැවැසුවේ තමන්ට එවැනි ස්වාමිපුරුෂයකු නොමැති බවය. ඇයට හිමිකරුවකු නොමැති බව දැන ගත් භෂ්මා අසුරයා මහත් සතුටට පත්වී තමන් සමඟ විවාහ වීමට කැමැති දැයි විමසුවේය. එවිට මෝහිනිය භෂ්මාට පැවැසුවේ, කිසිදා තමන්ව අත් නොහරින ලෙසට තමන්ගේම හිසේ අත තබා දිවුරා පොරොන්දු වීමට හැකි නම් පමණක් භෂ්මාගේ එම ඉල්ලීමට එකඟ වී විවාහ වීමට කැමැති බවය. නමුත් මේ වන විටත් ඊශ්වර දෙවිඳුන්ව වනසා දැමීම සඳහා තම අතට ඊශ්වර දැහැනින් මතුරාගෙන සිටින බව භෂ්මා අසුරයාට අමතක විය. ඒ අනුව කෙසේ හෝ මෝහිනියව විවාහ කර ගැනීම සඳහා ඇය ඉදිරියේ එම පොරොන්දුව ඉටු කිරීමට ඊශ්වර දැහැනින් මතුරාගෙන තිබූ තම අත භෂ්මා අසුරයා විසින්ම තමන්ගේ හිසේ තබා ගත්තේය.
එසැණින්ම භෂ්මා අසුරයාව දැවී අළු වී විනාශයට ගොස් අළු ගොඩක් බවට පත්විය. පසුව ශරීරයක් හෙවත් අංග නොමැතිව යන අරුතින් උපන් නිසා “අනංගයා” ලෙස නම් තබා ඇත. ඒ අනුව ජනප්රවාදයේ සඳහන් වන්නේ මෙම භෂ්මා අසුරයා අනංගයා ලෙස පහළ වූ බවකි. ඉතා පැරණි හින්දු දේව කතා සාහිත්‍යයේ සඳහන් වන පරිදි මෝහිනී යනු එක්තරා අන්දමක ඉතා ප්රයෝගකාරී දෙවඟනකි. එහෙත් මෙම දෙවඟන එලෙස ප්රයෝගකාරී ලෙස ක්‍රියා කරන්නේ තම පාර්ශ්වය වන දෙවිවරුන්ගේ හෙවත් සුරයන්ගේ යහපත, රැකවරණය හා ආරක්ෂාව වෙනුවෙනි. විෂ්ණු දෙවියන්ගේ ප්‍රධානත්වයෙන් සුරයන් සහ අසුරයන් එක්වී කිරි මුහුද කැලඹුවේය. එහිදී හමුවූ “චතුදර්ශරත්න” නම් ලෝකයේ මහාර්ඝ වස්තු දාහතරට අයත් වන අමෘතය සඳහා අසුරයන්ද තම අයිතිය ඉල්ලා සිටි විට එය සර්ව සාධාරණව බෙදීමේ වගකීම පවරන ලද්දේද මෙම මෝහිනී දෙවඟනටය.
එමෙන්ම මෝහිනී දෙවඟනගේ සිත් වසඟ කරවන රූපශ්‍රීයට වශී වූ අසුරයන්ද ඊට සිය කැමැත්ත පළ කළේය. නමුත් ඉතා ප්රයෝගකාරී වූ ඇය එම අමෘතය අසුරයන්ට ලබාදීමෙන් වැළකී සිටියාය. මෝහිනියගේ මෙම ක්‍රියාව නිසා සුරඅසුර යුද්ධය යළි ඉතා දරුණු ලෙස ඇවිළී ගිය බව හින්දු දේව සාහිත්‍යයේද දේව පුරාණයේද සඳහන් වන බව පැවැසේ. මෝහිනී දෙවඟනගේ මෙම ඉතා ලස්සන අතිශය රූමත් විලාසය මනු ලොවටද බලපෑම් එල්ල කරන බවට හින්දු බැතිමතුන් තුළ ප්‍රබල විශ්වාසයක් පවතින අතර රාත්‍රි කාලයේ පාළු ස්ථානවල මධ්‍යම රාත්රියේදී තනිව වීණාව හෝ බටනළාවවාදනය කරන අයුරු දුටු අයද සිටී. තරුණ පිරිමි අය ඉදිරියේ මෝහිනී දෙවඟන අපූරු රංගනයක යෙදෙමින් පෙනී සිටින බව ඇතැම් අයගේ පොදු පිළිගැනීමයි. එය අෑත අතීතයේ සිට වර්තමානයේ මේ දක්වාම ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද පොදු පිළිගැනීමයි. එමෙන්ම තරුණ පිරිමින්ගේ සිත් අනුරාගයෙන් ව්‍යාකූලත්වයට පත් කර ඔවුන්ගේ ප්‍රේම සබඳතාවන් පවා කඩා බිඳ සිඳ දමන්නට හැකියාවක් මෝහිනී දෙවඟනට ඇති බව භාරතීය හින්දු බැතිමතුන් තුළ පවතින තවත් එක් විශ්වාසයකි. එම නිසා ඔවුන් ඇය එතරම් යහපත් ගුණගරුක විශ්වාසවන්ත දෙවඟනක් සේ සලකනු නොලැබේ.
නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් දක්ෂ ඇදුරන් මෝහිනියව වශී කර්මවලදී මෙහෙයවනු ලබයි. ඇයට පුද පූජා තබා මෝහිනී දිෂ්ටිය, මෝහිනී දැහැන්7 වැනි මන්ත්‍ර මේ සඳහා යොදා ගනී. කළු මෝහිනී, දෙමළ මෝහිනී, ශැරමදන මෝහිනී, පිස්සු මදන මෝහිනී, බත් මදන මෝහිනී, වෛශ්‍ය මෝහිනී, මල් මදන මෝහිනී, බුලත් මදන මෝහිනී, ආශා මෝහිනී, අඳුන් මෝහිනී, සඳුන් මෝහිනී යන නම්වලින්ද මැයව හඳුන්වනු ලබයි. සුදු පාට අලංකාර වූ සාරියකින් සැරසී සිටින ඇය මාල, වළලු, මුදු, කරාබු, පා සලඹද පැලඳගෙන සිටී. ප්‍රසන්න වූ සුවඳකින් යුතු ඇයට දිගු වරලසකි.
අවතාර හතකින් පෙනී සිටින බව පැවැසේ. ස්ත්‍රීපුරුෂ වශී කර්මයට අධිපති වේ. මෝහිනිය විසින් විනාශ කළ භෂ්මා අසුරයාගේ කතා පුවත නාට්‍යානුසාරයෙන් වර්තමානයේ මේ දක්වාම ඉන්දියාවේදී රංග දැක්වීම බහුලව සිදු වන බව පැවැසේ. “උදාගී” නම් හින්දු සංස්කෘතික උත්සවයේදී රඟ දැක්වෙන මෙම මෝහිනී භෂ්මා අසුර රංගනයේ ආස්වාදය අප රටේ පවත්වන දෙවොල් මඩු, ගම් මඩු, ගරා ශාන්ති කර්ම, කෝලම්, නාඩගම්, සොකරිවල එන රංගනය හා සමාන වන බව කියැවේ. සාමාන්‍ය පොදු ජනයාට මෝහිනී දෙවඟනව අදහන්න බැරි බවත් ඇගේ උදවු උපකාර දක්ෂ ඇදුරන්ට ලබා ගැනීමට හැකිය. ඇගෙන් වැඩ ගැනීමේදී ප්‍රවේශමෙන් දැනගෙන වැඩ කරනු. අතීත තොරතුරු සොයන පාඨකයන් උදෙසාමයි.