මහා අනුසස් ලබාදෙන පත්තිනි දේව වන්දනාව
සත් පත්තිනි මෑණියන් ශ්‍රී ලංකාව පුරාවටම අනාදිමත් කාලයක සිට බොහෝ ගෞරවයෙන් පුද සත්කාර ලබන උත්තමාවියකි. මෙතුමිය මනුෂ්‍ය ආත්ම භවයේදීම සිය පතිවෘතතාවයේ බලයෙන් සත්‍ය ක්‍රියා කර තම නිර්ෙදා්ෂී ස්වාමිපුරුෂයා සාපරාධී ලෙස මරා දැමූ පඩිපුර රජුට ශාප කොට, තම දකුණු පියයුර කඩා පොළොවේ ගසා මහා ගිනි කඳක් මවා මුළු මහත් පඩිපුරයම දවා අළු කර ප්රාතිහාර්ය පාන්නට තරම් බලවත් විය. පසුව “කන්නගී” නම් ඒ මනුෂ්‍ය ආත්මභාවයෙන් මිදී, මහා දෙවියන් වූ ශිව දෙවියන්ගෙන් වරම් ලැබ, උතුම් දේවත්වයට පත් වී, “සත් පත්තිනිය” නමින් ප්‍රකට විය. මෙතුමිය කුඩා දරුවන්ට හා කාන්තාවන්ට විශේෂයෙන් මුල් තැන දී පිහිට වන්නීය. දරුපල ප්‍රමාද අයට පත්තිනි මෑණියන්ගෙන් විශේෂ අනුග්‍රහයක්, පිහිටක්, ආශීර්වාදයක් ලබාගත හැකි බවට විශ්වාසයක් පවතී. පත්තිනි මෑණියන්ට විශේෂ වූ දිනය ලෙස “බදාදා” දිනය සලකනු ලැබේ. ඒ වගේම පත්තිනි මෑණියන් සඳහා පහන් දැල්වීමට සුදුසු කාල හෝරාව වශයෙන් රාත්‍රි 11.36ත් 12.00ත් අතර කාලය සඳහන් වේ. පත්තිනි මෑණියන් සඳහා කැපවූ ප්‍රධාන මහ දේවාලය ලෙස නවගමුව පුරාණ සත් පත්තිනි මහා දේවාලය හැඳින්විය හැකිය.
පත්තිනි මෑණියන්ට පූජා කිරීම සඳහා පූජා ද්‍රව්‍ය වශයෙන් එළඟිතෙලින් පහන් දැල්වීම ද, විශේෂයෙන් කහ වර්ණ මල් පූජාවද, දාස්පෙතියා, සුදු නෙලුම්, ඉද්ද, සමන් පිච්ච මල් පූජාවද, කහ සහ සුදු වර්ණ මලින් මල් දම් ගොතා පැලඳවීමද, පිරිසුදු පැන් පූජාවද, ඔෟෂධ පානයන්, පලතුරු බීම, ගිලන්පස වශයෙන් පූජා කිරීමද, කැඳ වර්ග පූජාව, ඉදුණු අඹ පූජාවද, නාගවල්ලි බුලත් සමඟ පුවක් පූජාව ද, විළඳ මීපැණි සමඟ සූකිරි පූජාව, කහ පැහැති සළු පැලඳවීමද, එළකිරෙන් තැනූ කිරිබත් පූජාවද, මුරුතැන් බත් පූජාව, කිරියා පූජාව, සලඹ පූජාවද, කිරි ඉතිරවීමේ පූජාවන් පැවැත්වීම ද, අංකෙළිය ක්‍රීඩාව සිදු කිරීමද, මෑණියන් වැඩසිටිනා ස්ථානයන් අඹ පත්රයන්ගෙන් සැරසීම පත්තිනි මෑණියන් වෙනුවෙන් කරනු ලබන විශේෂ පූජාවන් ලෙස සඳහන් කළ හැකිය.
- පත්තිනි දේව නමස්කාරය -
මාතරං පත්තිනිං වන්දේ,
සර්ව සත්ව ශිවංකරං,
දදතාං සතතං මය්‍යහං,
ආරෝග්‍යං රක්ෂණං බලම්,
පතිබ්බතා යා සහ සාමිකෙන,
ගන්ත්වා පුරං පණ්ඩු නාරාධිපස්ස,
දාහෙසි තං ආගු මසයිහ මා නා,
සා පත්නි පාලයතං සදාමං,
නානා සුන්දර ජන වනිතාගුණ,
තාර පතී ඉව ශ්‍රී දෙහං,
නානා වර්ණක ශාටක ධාරණ,
මාලා දාම පිලන්ධං,
නානා ශාස්ත්‍ර ප්‍රජාන විජානන,
ඥාන විශාරද කීර්ති ධරං,
නානා ශෝභිත රත්න නිරන්තර,
දදාතුතෙ පත්තිනි මාතා,
නානා නාගා සුර නර චන්දන,
මාන නිරන්තර ලද්ධානං,
නානා ජාතික පූජක භක්තික,
චිත්තන කුන්ද විකාසිතං,
නානා දෙසික නානා භූමික,
දේවා මන්දිර ප්‍රජානං,
නානා ශෝභන දෙහ විරාජිත,
දේවි පත්තිනි රක්ෂා තුරං,
පීනා යන මෘදු නාගාභෝගිව,
බාහුං යුග්මා රුචිරායං,
දීර්ඝා ලෝචන මෘග අක්ෂි ඉව,
ප්‍රවාල අංකුර අධ්‍රාවං,
දීර්ඝාංගුලි පංකජ පත්‍රානක,
විංසතියං සුමනා පුෂ්පං,
දානාති නිත්‍යා පත්තිනි,
ශුභ මංගල මායුෂ ශාන්ති ශ්‍රී,
අතතය විතතය විතතාතය,
ඝන සුසිරය පංචාංගික තූය,
ග්‍රාහික සුර නර පූජිත,
නිත්‍යාභිලාෂි ජන පූජා කෘත්‍යං,
වාදන ගායන ගීතික ඝෝෂා,
කීර්තිති අශෙෂා චිරකාලං,
ආතුර රක්ෂතු තෙ ජය මංගල,
ආයු ශ්‍රියා සුබ දාන කෘතං
- පත්තිනි දේව ආරාධනය කවියෙන් -
ලුහුඬු කවියෙ සීමා,
ලොබ කර රැක දෙවම්මා,
වරද නොකරමි මා,
සිද්ධ පත්තිනි දෙවි සුරම්මා,
උමා සිරි දෙන්ට,
කමා කර දුට වරදට,
පමානොවී එන්ට,
දමා දෑතේ වළලු තදකොට,
සලඹ සිරි වෙව්ලති,
යක්ෂ උවදුරු පහවෙති,
දුලබ සිරි දෙති,
මෙගර ගැසුවොත් දෙරණ වෙති,
දුහුල් පට වියනින,
සුනිල් තිරගත බඳිමින,
සියල් මල් පඬුරෙන,
මෙමල් යහනට දිෂ්ටිලා එන,
ගිනි පත්තිනි දෙවියන්,
ගිනි මල් සරඹ දරමින්,
ගිනි වලා ගැබ යෙන්,
සෙත් කළ රන් සලඹ වන්,
මධුරාපුර පසිදු,
රජකළ පඩි නරනිඳු,
නොකියන්න සිරිඳු,
මමයි කීදේ වැසෙන දෙවිදු,
ජලෙති දැලෙති සුරන් දබෙති උපන්නා,
ගලෙති කුලෑති සදුවෙති එක් වරක උපන්නා,
එවෙති සවෙති සත්වෙති රන් අබේහි උපන්නා මෙවැනි පත්තිනි තෙදැති,
ලක්දිව බබළන්නා,
පුරා සලඹ නද ගොසකර වැඩම කරනවා,
නුරා ළැමැද පියයුරු රන්දමෙන් වසනවා,
ගිරා තුඩුයේ ගෝමර රන් බඳ දිලිසෙනවා,
සරා ලාපු මල් අස්නට වැඩම කරනවා,
බලා එර්දි චන්ද්‍ර මඬල දෙනෙත් දෙක රුවින්,
නිලා වර්ණ රුවන් තෝඩු දමා නෙක රුවින්,
බලා මෙසක්වළ දිවැසින් බැල්ම,
එලාලන්,
අඹෙන් උපන් මල් පත්තිනි මේරඟ මඬල එන්,
රතේ සලඹ ගෙනේ විදුලි තිනේ පල කලා,
කනේ තෝඩු ගෙතේ වරල කිනේ පල කලා,
මෙතේ සුවඳ ගෙනේ විදුලිකිනේ සල සලා,
අතේ පත්තිනියනි මෙරග සිතේ බල බලා,
-පත්තිනි දේව ආරාධනා කවි 02 -
බැතිනි සත් කපෙන් බුදු බව පතන්නේ,
බැතිනි රාග ගුණයෙනි ලොව බලන්නේ,
බැතිනි සිතිනි දුන් පින්පෙත් ලබන්නේ,
පතිනි දේවි මල් යහනට වඩින්නේ,
අමා සිරි දෙන්නට,
කමා වන් දුටු වරදට,
පමා නොව මෙරඟට,
දමා දෑතේ හලඹ නදකොට,
පුරා අත හලඹත්,
පුරා තද තෙද අගපත්,
විරාජිත කොමළත්,
සරා නමදිමි සුරඹ මුදුනත්,
මෙමා කී කවියෙනී,
දමා උවදුරු හරිමිනී,
යොමා තෙද දෙවියනී,
දමා දෑතේ හලඹ නද දුනී,
දුහුල් පට වියනෙන්,
සුනිල් තිර හත බඳිමින්,
සියල් මල් පඬුරෙන්,
මෙමල් යහනට දිෂ්ටිලා එන්,
පුරා සලඹ නද ගොසකර වැඩම කරනවා,
නුරා ළැමැද පියයුරු රන් දමින් වසනවා,
ගිරා තුඩුුසෙ ගෝමර රන් බඳ දිලිසෙනවා,
සරා ලාපු මල් අස්නට වැඩම කරනවා,
ලොබේ වඩන දිව ඔසරිය පවන් සලා ලන්,
නුඹේ මුදුන වලා ගැබෙන් එන පුන් සඳමෙන්,,
ලැබේ මෙදලු මුර දිවසින් බලා හෙලා ලන්,
අඹේ උපන් පත්තිනි දෙවි රඟමඬලට එන්,
අඹයෙන් උපන්නේ යයි පතළව තිබෙන්නේ,
රටින් රට යන්නේ දුකින් සත මුදවා හරින්නේ,
ළමා ළපටින්නේ අමා මව කිය උන්නේ,
සැමා මවු වන්නේ මෙමා පතිනිට දුක කියන්නේ,
-සත් පත්තිනි දේව කන්නලව්ව-
පස්වාන් දහසකට අවසර මෙලොව සත් වාරයක් පහළ වූ හෙයින් සත් පත්තිනි යන නාමයකින් ප්‍රසිද්ධ වන ඔබ දෙවියන් වහන්සේ, දෙමට මලෙන්, ගිනිජාලාවෙන්, පිනි බිදුවෙන්, නයි කදුළෙන්, සිඟා රැල්ලෙන්, මීවිත අඹෙන් යනාදී ලෙස සත්වාරයක් ලොව පහළ වූ සත් පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්ස, සුර ලොවින් අසුර ලොවට වරම් ලබාගෙන, අසුර ලොවින් නාග ලොවට වරම් ලබාගෙන නාග මානවිකාවන් පිරිවරා පුන්කලසක් ශ්‍රී හස්තයේ දරාගෙන පිහිටි දිව්‍ය මන්දිරා මත වූ නවගමුව හිම දේවාලයට අධිපතිනිය වූ ඔබ දේවතාවුන් වහන්සේගේ දිව්‍ය තේජානුභාවයෙන් ලලමි සිතා ශක්‍රයෝ විසින් සුර ලොවින් සතර පැත්ත කපා, අට බොරදත් ගා එවි මල කොස් කණුව පොරකවුලා අළු ඇඳ තුන්දාමාව බලන්ඩ වරම් දුන්නා සත්‍යවාදී සැබෑ නම්, පරංගි සමයක්කාරයන්ගේ යුද්ධය තුන් මාසයක් කල් තියා නවගමු දේවාලයෙන් රුවන් සලම් සත් නමක් මැදගොඩ ඇල්ලට ඇළි කිඹුල් වාහනේ පිටින් වැඩම කරවා මැදගොඩ ඇල්ලේ කෙළි පුද ගන්නට වරම් දුන්නා සත්‍යවාදී සැබෑ නම්, තවද ඔබවහන්සේ අඳුන්ගිරි පර්වතය මුදුනේ තපස් රකින තැනට ශක්‍රයෝ මහලු වෙසකින් වැඩ “නැඟණියනි මට දානයක් දෙවවයි” සැල කළ තැනේදී, කුමන දානයක් අවැසිදැයි ඇසූ විට, අදුන්ගිර පයින් මඩ කොට, දියෙන් ගිනිගෙන, බොජුන් තනා දෙන්ට ඕනැයි කිව් තැනේදි, “ඕකත් මහා වැඩක්දැයි” කියා, සත්‍ය ක්‍රියා කර බුදු බව අධිෂ්ඨාන කොට අදුන් ගිර පයින් මඩ කොට, සුවඳ ඇල් වී ඉස, පැළ වෙන්ඩ ගොයම් පස්සවා, වී කොටා සත් පැය ඇතුළත දන් දී ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කර ශක්‍රයාගේ ආධාරයෙන් පඩිපුර අඹේ පිළිසිඳගෙන පඩියාගේ තුන් නෙතින් නළලෙත මැකෙන්ඩ වරං දුන්නා සත්‍යවාදී සැබෑ වී නම්, මතු බුදු වෙන දිව්‍යාංගනාවන් වහන්සේට මා විසින් මෙසේ මලින් පහනෙන් සුවඳ දුමින් සිසිල් පැනින් පුදා වැඳ නමස්කාර කොට කරන්නා වූ මේ කන්නලව්ව ඔබවහන්සේගේ දිව්‍ය කන් ආභරණයට ගන්ඩයි, නිල්මිණී කාන්ති වූ දිව්‍ය නෙතට පෙනෙන්ඩයි, පිනට පිහිට වෙන්ඩයි, දැන වැරදි නොදැන වැරදි සිය දහසක් වරදට සමා වෙන්ඩයි!
ඔබ කීර්ති පස්වාන් දහසකට ආයුබෝ වේවා! ආයුබෝ වේවා! ආයුබෝ වේවා!
(දැන් ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතුව පත්තිනි මෑණියන්ට වැඳ ඔබට අවශ්‍ය කරුණු කාරණා ප්‍රාර්ථනාවන් සිදු කරන්න)
පත්තිනි මෑණියන්ට පින් දෙන කවිය -
“ඇල්ලේ වැල්ලේ වසනා දෙවියනි,
පොළවට නායක මිහිකත් දෙවියනි,
බුදු බණ ඇසූ මේ සක්වළ දෙවියනි
පින් අනුමෝදන් පත්තිනි දෙවියනි”,
පසුව “ආකාසට්ඨාච භුම්මට්ඨා” ආදී ගාථා කියා දෙවියන්ට පොදුවේ පින් අනුමෝදන් කර පූජාව අවසන් කරන්න.
ඔබ සැමට සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
ජෙරම් නෙහාර්
(දේවගැති, ගුප්ත ආචාර්ය)