දරු සම්පත් හිමිවේද අත බලා දැනගන්න
විවාහ ජීවිතයට එළඹුණු යුවළකගේ එකම ආශාව, බලාපොරොත්තුව වනුයේ දරු සම්පතක් පිළිබඳවයි. සමාජයේ පැවැත්මට මෙන්ම ක්රමික විකාශනයද සිදුවනුයේ දරුවාගේ පැවැත්මෙනි. සමහරු දරුවන් නැතිව පසුතැවෙති. තවත් සමහරු බිහිවුණු දරුවන් නිසා දුක් විඳිති. මේ හැම දෙයක්ම සිදුවනුයේ පෙර ආත්මයේ තමන් කළ පින් පව් අනුවය. අපිට දරුවන් අහිමි වේවිද? ලැබෙන දරුවන් වාසනාවන්ත අය වේවිද? මෙවැනි නොයෙක් සිතිවිලි නව යුවළකගේ මනස තුළ ඇතිවීම ස්වාභාවිකය. මෙවැනි ගැටලුවලට විසඳුම් ඔවුන්ගේ අත්වල පිහිටි දරුපල රේඛාවලින් පැහැදිලි කරගත හැකිය. අත්ලක පිහිටන දරුපල රේඛා අත්ලේ ස්ථාන කිහිපයකින් හඳුනාගත හැකිය. පළමුවෙන්ම අපි විවාහ රේඛාවෙන් පෙන්නුම් කරන දරුපල පිළිබඳව සලකා බලමු. සුළැඟිල්ලත්, හෘදය රේඛාවත් අතර ප්‍රදේශයේ විවාහ රේඛාවන් පිහිටා තිබෙන බව පසුගිය ලිපිවලින් ඔබ දැනුවත් වූ බව මතක ඇතැයි සිතමි. එසේ නම් දැන් ඔබේ අවධානය එම රේඛා දෙසට යොමු කරන්න. මේ සමඟ පළමු වන රූප සටහනින් එම රේඛාවල පිහිටීම තේරුම්ගත හැකි වේවි. එම රේඛා මත (1) සුළැඟිල්ල පැත්තට (උඩුපැත්තට) විහිදෙන සියුම් රේඛා දරුපල රේඛා වශයෙන් බටහිර හස්ත රේඛා විශේෂඥයෝ හඳුන්වති. සමහර අයගේ මෙම රේඛා හෘදය රේඛාව පැත්තටත් විහිදිය හැකිය. දැන් ඔබ පළමුවෙන්ම එම ස්ථානයේ සටහන් වී ඇති දීර්ඝ හා ඍජු රේඛාවලින් පිරිමි දරුවන්ගේ ගණනත් කෙටිව ඇදවූ රේඛාත් වෙන වෙනම නිරීක්ෂණය කරන්න. දීර්ඝ හා ඍජු රේඛාවලින් පිරිමි දරුවන්ගේ ගණනත් කෙටි හා ඇදවූ රේඛා තුළින් ගැහැනු දරුවන්ගේ ගණනත් දැනගත හැකිය. රූප සටහනේ දැක්වෙන ආකාරයට වමේ සිට දකුණට මෙම රේඛා ගණන් කළ යුතුය. මේ අනුව කුලුඳුල් පුතා හෝ දුව වෙනුවෙන් වැටෙන රේඛාව පිටිඅල්ල පැත්තෙන් මුලටම පිහිටන බව දැනගත යුතුය.
විවාහ රේඛාවට අමතරව දරුපල පිළිබඳව සටහන් වෙන තවත් ස්ථාන කිහිපයක් අපේ අත පරීක්ෂා කිරීමෙන් දැකිය හැකිය. මහපට ඇඟිල්ලත් එක ස්ථානයක් වෙයි. මහපට ඇඟිල්ල පාමුල (2) මහපට ඇඟිල්ල හා සිකුරු මණ්ඩලය වෙන් කරන රේඛාව පිහිටා ඇත. යවාකාර (වී ඇට – ලකුණු) වී ඇට මාලයක් ලෙසින් එය පිහිටා ඇති බව රූප සටහනින් පැහැදිලි වනු ඇත. මෙහි දිස්වෙන ලොකු වී ඇටවලින් පුතාලගේ ගණනත්, පුංචි වී ඇට දුවලගේ ගණනත් තීරණය කළ යුතුයි. මෙම රේඛා ගණන් කළ යුත්තේ උඩ සිට පහළටයි. පැහැදිලි වී ඇටවලින් විශේෂ දියුණුවක් ලබන දරුවන් ගැනත් නොපැහැදිලි වී ඇටවලින් දියුණුවෙන් අඩු දරුවන් ගැනත් ප්‍රකාශ වෙයි.
දරුවන් ගැන සටහන් වන තවත් ස්ථානයක් නම් සුළැඟිල්ලේ තුන්වැනි පුරුකයි (3). එම පුරුකේ කෙළින් අතට විහිදෙන සියුම් රේඛා තුළින්ද දරුපල ගැන අනාවැකි පැවැසිය හැකි බව හස්ත රේඛා විශේෂඥයෝ සොයා ගෙන ඇත. එහිදීද එම රේඛාවල ප්‍රබල හෝ දුබලතා අනුව පිරිමි ගැහැනු වශයෙන් දරුපල තීරණය කළ යුතුය.
4. අතේ මැද ඇඟිල්ලේ මැද පුරුකට අයිති කොටසද දරුපල පිළිබඳව අනාවැකි කිවහැකි තවත් ස්ථානයකි. මෙම පුරුකට අයිති කොටසේද සියුම් රේඛා ඇත්තේ නම් එම රේඛා ගණන් කර තමන්ට හිමිවන දරුපල ගණන නිශ්චය කරගත හැකිය.
5. මහපට ඇඟිල්ල පහළින් සිකුරු මණ්ඩලය මත වැටෙන කෙටි රේඛා සලකුණු ඔබ දැන් නිරීක්ෂණය කරන්න. එහි දැක්වෙන ගැඹුරු සහ ශක්තිමත් රේඛාවලින් පිරිමි දරුවන්ගේ ගණනත් දුර්වල රේඛාවලින් ගැහැනු දරුවන්ගේ ගණනත් තීරණය කරගත හැකිය. මෙම රේඛාද උඩ සිට පහළට ගණන් කළ යුතුය. මෙම සියලු දරුපල රේඛා මත කළු ලප හෝ දූපත් ලකුණු පිහිටීමෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුත් දරුවන් බිහිවන බවත් දැනගත යුතුය. එකම ස්ථානයකින් දරුපල රේඛා දෙකක් ගොඩනැඟුණොත් නිවුන් දරුවන් විය හැකිය. දරුපල අනාවැකි පැවැසීමේදී පළමුවෙන්ම මතක තබාගත යුතු දෙයක් නම්, සිකුරු මණ්ඩලය පරීක්ෂා කිරීමය. අත්ලේ දරුපල රේඛා පිහිටා තිබුණත් සිකුරු මණ්ඩලය දුර්වල නම් දරුපල නොලැබිය හැකිය. එම ස්ථාන බලවත් නම් අනිවාර්යයෙන්ම දරුපල වාසනාව හිමිවේ. එමෙන්ම හෘදය රේඛාවේ කෙළවර ඉදලක ආකාර සලකුණක් ඇති නම් එවැනි සලකුණක් ඇති ගැබිනි මාතාවන් ප්‍රවේශම් විය යුතුය. දරුවන් බිහි කිරීමේදී ජීවිත හානි පවා විය හැකිය. මේ අයුරින් අඹු සැමි දෙදෙනාගේම අත් පරීක්ෂා කිරීමෙන් නිවැරදිවම දරුපල කිව හැකි බව ඔප්පුවී ඇත. දරුපල රේඛා ඉතා සියුම් හෙයින් බොහෝ විට ඒවා පියවි ඇසට නොපෙනෙන්නට පුළුවන. මේ නිසා කුඩා දේ විශාල ලෙස පෙන්වන කැඩපතකින් පරීක්ෂා කළ යුතුය.
හිඹුටානේ පියතිලක ද අල්විස්