Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ඔබ නොදත් වාස්තු දෝෂ ගැන දැනගන්න

1 year ago 7 Min read
Subha.lk

ජේ‍යාතිර් විද්‍යාව හා සමානවම වාස්තු විද්‍යාවද අතීතයේ සිට මේ දක්වාත් මෙයින් ඉදිරියටත් මානව සමාජය තුළ නොනැසී පවතිනුයේ එහි ඇති සත්‍යතාව නිසාම බව මොනවට පැහැදිලිය. වර්තමාන ශ්‍රී ලාංකිකයන් මානව ශිෂ්ටාචාරය අවුරුදු 4,500 හෝ 5,000කට සීමා කරමින් කතා කරන නමුත් වාස්තු විද්‍යාව ජේ‍යාතිර් විද්‍යාව වැනි ප්‍රබල විෂයයන් මෙලොවට බිහිව ඇත්තේ මේ මහා යුගයේ ප්‍රථම හා දෙවැනි උප යුගයන් වන කෘත හා තේත්‍ර යුගයන් අතර බව අතීතයට එබී බැලුවොත් සොයාගැනීමට හැකිවේ. ඒ සඳහා බුද්ධ ධර්මයත්, හින්දු ධර්මයත් මූලාශ්‍ර කරගත හැකිය. මෙම විෂයන්හි කෙළ පැමිණි ඍෂි – මුණිවරුන් වන වශිෂ්ඨ, විශ්වමිත්‍ර, අගස්ති, දුර්වාස ආදී බොහෝ පූර්වාචාරීන් සිට ඇත්තේ තේත්‍ර යුගයේය. රාම කුමරුන්ගේ මුල් ගුරුවරයා මෙන්ම රාජකීය උපදේශකයාද වශිෂ්ඨ මුණිවරයාය. චතූර්වේදයේ කෙළ පැමිණි ලංකා පාලක මහා රාවණයන්ද එකල විසූවෙකි. එකල මෙම විෂයන්ගෙන් විපුල ඵල නෙළාගත් ස්වර්ණමය යුගයක් වූවාට කිසිදු සැකයක් නැත. මෙම මහඟු අතීතය පිළිබඳව ඉඩක් ලද විටෙක පාඨක ඔබට කෙටියෙන් හෝ ලියන්නට සිතමි. ඉහත කරුණු ස්වල්පය සටහන් කරන ලද්දේ මෙම විෂයන් වසර ලක්ෂ ගණනක් පැරණි බව අවබෝධ කරවීමට පමණි.

ප්‍රධාන වශයෙන් වාස්තු විද්‍යාත්මක ‍දෝෂ ක්‍රම පහක් පවතී. සකල වාස්තු විද්‍යාවම මෙම ක්‍රම පහ විසඳීමට නිර්මාණයවී ඇත. එම ‍දෝෂ පහ පහත පරිදිවේ.

1.ආරම්භක ‍දෝෂ,

2. නිර්මාණ ‍දෝෂ ,

 3. පරිසර ‍දෝෂ ,

 4. හැසිරීමේ ‍දෝෂ,

5. අනියම් ‍දෝෂ,

යන පහ වේග වාස්තු විද්‍යාව තුළ උගන්වනුයේ ‍දෝෂ  රහිත ගෘහයක් සකස්කර ගන්නේ කෙසේද, එම ගෘහය පරිහරණය කරන්නේ කෙසේද, එය ආරක්ෂා කරගන්නේ කෙසේද යන කරුණු පිළිබඳවය. එසේම ගෘහය තුළ සිටින සියලුදෙනාට එම ගෘහය තුළ සතුටින්, පිරිසුදුව ශුභඵල සහිතව දිවි ගෙවීමට වාස්තු විද්‍යාව තුළින් පිහිට පතන බවද පෙනීයයි. ඉතා ගැඹුරු වාස්තු විද්‍යාවේ ලඝු හැඳින්වීම එසේය.

වාස්තු විද්‍යාවට ආගමක් හෝ ජාතියක් නොමැත. ජීවත්වන ගෘහය තුළ සමස්ත මානවයාටම විශ්ව ශක්තිය අඩු වැඩි වශයෙන් ලැබෙනු ඇත. එම විශ්ව ශක්තිය ශුභ තත්ත්වයෙන් පවත්වා ගැනීමට නම් වාස්තු ‍දෝෂ  පිළිබඳ අධ්‍යයනය, අවබෝධය ඉතාම වැදගත් වනු ඇත. එයින් පවතින ‍දෝෂ  නි‍ෙදාස්කොට සාදන නිවෙස තුළ හෝ සාදාගත් නිවෙස තුළ සුවසේ වාසය කළ හැකිය.

1 ආරම්භක ‍දෝෂ-

කූඤ්ඤ ගැසීම, මුල්ගල් තැබීම ආදී ගෘහාරම්භ අවස්ථාවේ යොදාගන්නා නැකැත් ගෙහිමියාගේ උපන් නැකැතට නොගැළපීම, යොදාගන්නා තත්කාල ලග්නය උපන් ලග්නයට නොගැළපීම, තත්කාල ග්‍රහ පිහිටීම අශුභවීම ආදිය ආරම්භක ‍දෝෂ  ගණයට වැටේ.

නිවෙසක් තැනීමට ප්‍රථම එම ස්ථානයේ භූමි ‍දෝෂ, භූත ‍දෝෂ, බහිරව ‍දෝෂ  ආදිය ඉවත් නොකිරීම, ගෘහාරම්භ මොහොතේ කූඤ්ඤය, නූල, ආයුධය ආදිය කැඩීයෑමද ආරම්භක ‍දෝෂ යන්ය.

මුල්ගල් තැබීම සඳහා වන චාරිත්‍ර වාරිත්‍ර විධි අනුගමනය නොකිරීම,  නොසලකා හැරීම, නිවෙසේ ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණෙන පෙදරේරු, වඩු කාර්මිකයන්, අත් උදව්කරුවන් ආදීන්ගේ කෑමබීම, හැසිරීම, කතාව ආදියද ආරම්භක ‍දෝෂ  ලෙස හදුන්වයි. එසේම ගෘහණිය ගැබ්බරව සිටින විට හා දැරියක මල්වරව සිටින විට ගෘහාරම්භ කිරීමද ප්‍රබල ‍දෝෂයකි.

2. නිර්මාණ ‍දෝෂ  -

 අශුභ දිශාගත කිරීම්, දිග පළල ආදී සැලසුමේ ‍දෝෂ, අත්තිවාරමේ දුබලතා, ‍ෙදාර උළුවහු, වහල ගැසීම් ආදිය නිසා ඇති වන්නේ නිර්මාණ ‍දෝෂ යන්ය.

3. පරිසර ‍දෝෂ -

 ගෙට වේධ ‍දෝෂ  ඇතිවීම වැසිකිළි කැසිකිළි, කුස්සිය, මුරකුටි, මඩු ආදී අනු ගොඩනැඟිලි නිසාද කුළුණු වෘක්ෂ ආදිය නිසාද දෝෂ ඇතිවේ. (වේධ ‍දෝෂ  18කි.)

4. හැසිරීමේ ‍දෝෂ   - මෙම ‍දෝෂය වැඩි වශයෙන් යෙදෙන්නේ පදිංචිවීමෙන් පසුවය. ඉදිකිරීම් සිදුවනවිට එහි සේවකයන් අතින්ද ‍දෝෂ  සිදුවන අවස්ථා දැකිය හැකිය. අසභ්‍ය වචන කීම, රණ්ඩු කිරීම, ගිනි මෙළවීම, නිදාගැනීමේ දිශාවල මිරිස් ඇඹරුම් ගල් ආදිය බටහිරට හරවා තැබීම, සපත්තු ආදිය ගෙතුළ භාවිතය හා තැබීම, හිස් වැසුම් භාවිත කරමින් ගෙතුළ හැසිරීම, ‍ෙදාරට හිරකර කුකුළන් වැනි සතුන් මැරීම, ගෙතුළ ප්‍රාණඝාත කිරීම, රෙදිවැල් බැඳීම, ගණිකා සේවය හා එම ක්‍රියා, සුරා වෙළෙඳාම, සූදු ක්‍රීඩාව, මස්මාංස වෙළෙඳාම, ආයුධ වෙළෙඳාම, අනාචාරයේ හැසිරීම ආදිය හැසිරීමේ ‍ෙදා්ෂ ලෙස හැඳින්වේ.

5. අනියම් ‍දෝෂ -

 බාහිර පුද්ගලයන් විසින් කරනු ලබන හදි හූනියම් අණවින, කොඩිවින, ශාප කිරීම්, ඇස්වහ, කටවහ, හෝවහ ආදී ‍දෝෂද ගෙතුළ ගෙලවැලලා ගැනීම, වස විස පානය කර සියදිවි නසාගැනීම, ගිනි තබාගැනීම හෝ පිලිස්සී මියයෑම, ගෙවත්තේ මිනී දැවීම, මිනී ඇටකටු ආදිය ගෙතුළ තබාගැනීමද මියගිය අයගේ භූත ආත්මවල බැල්ම වැටීම, ගුප්ත ශබ්ද හා දුර්ගන්ධය පැතිරීම, ක්ෂණිකව කෑම පිළුණුවීමද නුසුදුසු ලෙස දේවරූප ආදිය තැබීම, ආගමික හෝ ගුප්ත කටයුතු වැරදි සහගතව සිදුකිරීම හා පහන් තැබීමද කබරුන්, සිවළුන්, මස්කන පක්ෂීන් ආදී සතුන් ගෙතුළට පැමිණීම හා ගෙතුළ දෙබර බැඳීමද, මයිනන්, ගිරවුන්, සැළලිහිණින් ආදී සතුන් හිරකර තබාගැනීමද, අකුණු වැදීම හෝ මුදුන් බිත්තිය පුපුරායෑම පදිංචියක් නොමැතිව දිගු කලක් ගෙය පාළුවට හැරීමද, ගෘහණිය හැර වෙනත් ස්ත්‍රියක් වැන්දඹු හෝ වඳ කාන්තාවක් ලෙස සිටීමද අනියම් ‍දෝෂ  නම් වන්නේය. විවාහය නොයෙදුණු කාන්තාවක් ගෙයි සිටීමත් හින්දු ජේ‍යාතිෂයට අනුව අනියම් වාස්තු ‍දෝෂයකැයි හින්දුන් විශ්වාස කරයි.

– ජේ‍යාතිෂවේදී- වාස්තුවේදී නෙල්සන් කුමාරසිංහ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk