දුකට පිහිටවෙන ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයා
දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා පුද පූජා සත්කාර පැවැත්වීම, දේව කන්නලව් කිරීම පුරාණයේ සිට ජනතාව ගෞරව බහුමානයෙන් යුතුව අද දක්වාම පවත්වාගෙන එති. අපට යම් විපතක් වූ විට සෙත්, ශාන්තියක් අවශ්‍ය වූ විට අපේ මුවඟට නැඟෙන්නේ අනේ දෙවියනේ යනුවෙනි. නියම මනුෂ්‍ය ගති ඇත්තවුන්මයි දෙවියන් විදිහට සලකන්නේ. ඊර්ෂ්‍යාව, කේරා්ධය, වෛරය වැනි වූ කුරිරු කුහක පහත් ගති ඇත්තවුන්ට දෙවියන්ගේ බැල්ම තියා යක්‍ෂ, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩයන්ගේ පිහිටක්ද නොමැත. විෂ්ණු – කතරගම – සමන් – විභීෂණ – පත්තිනි – දෙවොල් – දැඩිමුණ්ඩ – නාථ – මහසෙන් – අයියනායක – අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අරක්ගත් කළු බණ්ඩාර යනාදී වශයෙන් දේවත්වයට පත් වූයේ නියම මනුෂ්‍ය ගති ඇති මනුෂ්‍යයන්ය. මනුෂ්‍ය වේශයෙන් සිටින තිරිසනුන් නොවේ.
දෙවියන්ගේ පිහිට පැතීමෙන් බලාපොරොත්තු වන්නේ මෙලොව මිනිසාගේ සෞභාග්‍යය ළඟා කර ගැනීම, නිරෝගී සුවය වැනි වූ විවිධ මනුෂ්‍ය ගැටලුය. ඒ සඳහා ගඳින් – මලින් – දුමෙන් – දීපයෙන් – වචනයෙන් නාමික මනුෂ්‍යයාට වඩා ඉහළින් වැජඹෙන යහපත් මනුෂ්‍ය ගුණධර්මයන්ගෙන් සිට ස්වර්ගස්ථ වූ අදෘශ්‍යමාන දෙවියන්ගේ සිත් ප්‍රසාදයට පත් කර තම ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට යත්න දරනු ලබයි. අවිහිංසාව – අවංකව – පිරිසුදු චරිතය – සත්‍යවාදී බව – යහපත් සංකල්පනාවන්ගෙන් ඔබ සපිරි නම් අදෘශ්‍යමාන දෙවියන්ගේ අන් පිහිටක් අනවශ්‍යය. අප අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ මුවින් දෙසා වදාළ පංචශීලයෙහි ඔබ රැඳේ නම් ඔබත් මෙලොව තුළම දෙවියෙකි. මියගිය පසු ඔබද දේවත්වයෙන් පුදනු ලබයි. ප්‍රතිමා, දේවාල, කෝවිල් ඔබව සිහිවීම පිණිස ඉදිකරයි. රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය, කතරගම දෙවොල, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය එවැනි යහපත් මිනිසුන් වෙනුවෙන් මියගිය පසු සිහිවීම පිණිස කෘතගුණ සැලකීම පිණිස කළ ඉදිකිරීම්ය. අප ලොවුතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේද වයස අවුරුදු විසි නවයේදී අභිනිෂ්ක්‍රමණය කරන තෙක් කාමභෝගී දිවි පෙවෙතක් ගත කළ රාජ කුමරුවෙකි. සාමාන්‍ය තරුණයෙකි. නමුත් උන්වහන්සේ පිරිනිවන් පෑ පසු අද දක්වාම උන්වහන්සේ දෙසා වදාළ අනුදැන වදාළ බුදු දහම වෙනුවෙන් කෙතරම් වෙහෙර, විහාර, දාගැබ්, ප්‍රතිමා නිර්මාණය කොට ඇත්ද? සාමාන්‍ය මනුෂ්‍යයෙක්මය උතුම් වූ සම්බුද්ධත්වයට පත්වූයේ. වයස තිස් පහේදී. සියලු කෙලෙසුන් උන්වහන්සේ නැසූ සේක.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ බවට පත් වූයේ දහම වටහා ගත්තේ වයස 30දීය. එතකන් ඔහු සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස ජීවත් විය.
මෙයින් පැහැදිලි වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන්ම දෙවිවරුන්, රහතුන් ලෙස සලකන බවයි. මෙලොවට වැඩදායී පුද්ගලයන් දෙවිවරුන් ලෙස සැලකුවාට එහි වරදක් නැත. ඒ මහත්තයා නම් දෙවියෙක්. ඒ නෝනා නම් දේවතාවියක් වගේ අපට පිහිට වුණේ ආදී ලෙස අපේ මුවින් විටෙක එවැනි තැනැත්තන් ගැන කියැවේ. මිහිපිට දෙවිවරුන් වන්නේ තම අම්මා හා තාත්තාය. අදෘශ්‍ය දෙවිවරු පූජා වට්ටි, මිල මුදල්, මල් මාලා බලාපාරොත්තුවෙන් අපට පිහිට නොවෙති.
ලංකාරක්‍ෂිත දේව සභාවේ අග්‍රස්ථානයේ වැජඹෙන දෙවියන් අතර විෂ්ණු – කතරගම – සුමන සමන් – විභීෂණ යන දෙවියන් ප්‍රමුඛ වෙති. පත්තිනි – දෙවොල් – දැඩිමුණ්ඩ – නාථ යනාදී දේවතාවන් පොදු මහජන ශුභසිද්ධිය, ආරක්‍ෂාව සලසයි. මහසෙන් – අයියනායක දේවතාවන් ප්‍රාදේශීය ආරක්‍ෂාව සලසයි. ශාසන භාර කළු බණ්ඩාර දෙවියන්ය. දේශයේ මුර දේවතාවුන් ලෙස ත්‍රිවිධ හමුදා පොලිසියේ සාමාජිකයන් සලකන්නේ ඔවුන් දිවිහිමියෙන් රට ආරක්‍ෂා කරනා පියවි ඇසට පෙනෙන දෙවිවරුන් එසේත් නැත්නම් නියම මනුෂ්‍ය දෙවිවරු බැවිනි.
උතුම් වූ සෝවාන් ඵලයෙහි පිහිටා වැඩ සිටින දිව්‍ය රාජයෙකි. උන්වහන්සේගේ ආරාධනයෙන් තමයි බුදුන් වහන්සේ සමනල ගිරි මුදුනේ ශ්‍රී පාද පද්මය පිහිටුවා ඇත්තේ. බුදුන් වහන්සේගේ ලොවුතුරු දහම අසා සෝවාන් ඵලයට පත් දෙවියෙකි. උතුම්වූ ශ්‍රී පාදස්ථානය රක්‍ෂා කරන්නේද මෙතුමාය. ධවල වර්ණයෙන් යුක්තය ධවල (සුදු) ඇත් වාහනයකින් ගමන් කරයි. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ සමනල කන්දට, ශ්‍රීපාද පද්මයට, දිවා ගුහාවට, බෑන සමනලට, සපරගමුවේ සුමන සමන් දේවාලයට, එල්ලක්කලට, නිවිතිගලට, දැරණියගලට, බොල්තුඹේට, උණවටුනට, රන් තැඹිලි විමානයට දිවැස් හෙළනු ලබයි.
ගංගා – යමුණා – අචිරවතී – සරභූ – මහී යන පංච මහා ගංගාවන්ටද, යුගන්ධරය – ඊශධරය – කුරවීකය – තේමින්ධරය – චින්තකය – සුදස්සනය – අශ්වකර්ණය යන සප්තකූට මහා පර්වතයන්ටද, හිමාල මහා වනය දක්වා බැල්ම හෙළන බව කියැවේ. වරමුද්‍රාව, දුන්න, උත්පලය, කසාවර්ණය දරයි.
සමන්නකූටය ප්‍රධාන සබරගමුව පාලන වාසභූමිය කරගත් සමන් දෙවි පුරාවෘත්ත කතාව මතභේදයට තුඩු දෙන්නෙකි. මෙම දෙවියන් පිළිබඳව මහා වංශයෙහි සඳහන් වේ. බුදුරදුන්ගේ ධර්මය ඇසූ දෙවියෙකි. රාම කුමරුගේ මලණුවන් වූ ලක්‍ෂ්මණ කුමරු සමන් දෙවියන් වී ඉපදුන බවට මතයක් පවතී. රාවණ රජු පරාජය කොට විජයග්‍රහණය කළ රාම කුමරු කැලණිය විභීෂණටද, ඊට දකුණින් පිහිටි ප්‍රදේශය ලක්‍ෂ්මණට පවරා දී ඇත. ලක්‍ෂ්මණ කුමරු සමන්ත භද්‍ර නමින් පසුකාලීනව දේවත්වයට පත්වූ බව පුරාවෘත්ත මතයකි. මෙකී මතය මහායානික ධර්මය ලංකාවේ ව්‍යාප්ත වීමට පෙර ඇතිවූවකැයි විශ්වාස කළ හැක්කේ බෞද්ධ සාහිත්‍යයේ සමන්ත භද්‍ර නම් බෝධිසත්වයකු ගැන සඳහන් වී ඇති බැවිනි.
නමුත් වඩාත්ම පිළිගත හැකි මතය වන්නේ මෙකී ලංකාවෙහිම ජනිත වූ වික්‍රමාන්විත පුද්ගලයකු පසු කලකදී සුමන නමින් දේවත්වයට පත්වූ බවයි. ලංකාවෙහි රජ කළ රජුන් ප්‍රභූන් ප්‍රධාන ලක්වැසියන්ගේ භක්ත්‍යාදරයට පාත්‍ර වූ දෙවියෙකි.
මැණික් ගැරීමේ අභිරුචියක් ඇතිව පුරාණයේ විසූ ආර්ය කාමදේව නම් ඇමැති දෙපළ විසින් සමන් දෙවියන්ට මනරම් දෙවොලක් තනාදීමට වූ බාරයක් නිසා අදහස් ඉෂ්ට සිද්ධ වීමෙනි රත්නපුරෙහි පිහිටි සපරගමුව මහා සමන් දෙවොල ගොඩනැඟී ඇත්තේ. සමන් දෙවියන්ද ලංකාවේ බෞද්ධ සැදැහැවතුන්ගේ ගෞරව නමස්කාරයට පාත්‍ර වූ සිංහල බෞද්ධ දෙවියෙකි.
වර්තමානයේ රත්නපුරේ ඇති සමන් දේවාලය කරවා ඇත්තේ ධ්ධ් වැනි රාජසිංහ රජු වන අතර රජු විසින් එය ඉදිකිර ඇත්තේ පෘතුගීසි බලකොටුව හා දේවස්ථානය කඩා ඉවත් කිරීමෙනි. සබරගමුව අල්ලාගත් පෘතුගීසීහු සිංහල බෞද්ධ අපගේ වෙහෙර, විහාර, දේවාල, ප්‍රතිමා, දාගැබ් විනාශ කොට ඒ තුළ වූ වටිනා දෑ සොරකම් කොටගෙන රැගෙන ගියහ. ඒ අතර පුරාණ සමන් දෙවොලද විය. පෘතුගීසීන් එම සමන් දෙවිඳුන් විසින්ම ප්‍රධාන ලද සමන් දෙවොල විනාශ කර බලකොටුවද සහිත රෝමානු කතෝලික පල්ලියක් ඉදිකළහ. සමන් දෙවිඳුන්ගේ දිව්‍ය විමානය ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය කරගත්හ. කාලය 1618 – 1620 අතරය. එම පල්ලියේ හා බලකොටුවේ නටබුන් තාමත් එම විනාශය කියාපාමින් පවතී. තවද සෙල්ලිපි කොටස්ද, ගල්කණුද නටබුන්ව විසිර පවතී. අද සමන් දෙවොලේ වීදුරු කුටියක ඇති පැළවෙන ගල සමන් දෙවිඳුන්ගේ ආශ්චර්යයකි. සමන් දෙවොල සේම පෘතුගීසීන් විසින් දෙල්ගමුව, පොත්ගුල්, සමන් යන සබරගමුවේ ඓතිහාසික වෙහෙර විහාරද සමතලා කර දැමූහ. පෙරදිග රටවලින් කුළුබඩු, ඇත්දළ, මුතු, මැණික් වැනි වාණිජ ද්‍රව්‍ය ලබා ගැනීම හා රෝමානු කතෝලික ආගම ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ලක්වැසස්සන් මහත් ගෞරවාදරයෙන් රැකගෙන ආ සංස්කෘතික දායාද බොහොමයක් බටහිර ජාතීහු එක් රැයින් ගිනිබත් කර විනාශ කළහ. ඒ සඳහා මිල මුදල් වරප්‍රසාද තනතුරු තානාන්තර වෙනුවෙන් කතෝලික ආගම වැලඳගත් සිංහල බෞද්ධයෝද බටහිර ජාතීන්ට සහාය දැක්වූහ. අප දෙවියන් බුදුන් පිදිය යුත්තේ උන්වහන්සේලා දෙසූ දහම මැනවින් අවබෝධ කොට ගෙනය.