Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගුරු මණ්ඩලයේ කතිරයක් තිබුණොත්  වාසනාවන්ත විවාහයක් වෙනවලු

1 year ago 7 Min read
Subha.lk

සාමුද්‍රිකා ශාස්ත්‍රය අනුව අත්ලේ සුවිශේෂ ස්ථාන හතක් මණ්ඩල වශයෙන් හඳුන්වනු ලබයි. මෙහිදී රවි, චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් හය දෙනාට මණ්ඩල හයක්ද කුජ ග්‍රහයාට මණ්ඩල දෙකක්ද වශයෙන් හිමි කර ඇත. එයට අමතරව අල්ලේ මැද පිහිටි ප්‍රදේශය කුජ ග්‍රහයාට අයිති වන බැවින් එය කුජ තලාව වශයෙන්ද හඳුන්වයි. ගුරු පීතෘවරයා ලෙස පෙනී සිටින බැවින් ගුරු මණ්ඩලය ප්‍රධාන කොට සැලකේ.

රූපසටහනින් දක්වා ඇති පරිදි දඹරැඟිල්ලට කෙළින්ම පහළ සිට ජීවන රේඛාවට මඳක් ඉහළින් ඇති ප්‍රදේශය ගුරු මණ්ඩලයට අයත් වෙයි. කෙනකුගේ ගාම්භීරත්වයේ පදනම බ්‍රහස්පති මණ්ඩලය හෙවත් ගුරු මණ්ඩලයයි. නායකත්වය, අධ්‍යාපනය, දියුණුව, බල තණ්හාව ආදී ගුණාංගද මෙයින් පෙන්නුම් කරයි. ඕනෑම ක්‍ෂේත්‍රයක නායකත්වය දරන්නේ ගුරුය. මේ නිසා ගුරු මණ්ඩලය ප්‍රධාන වෙයි.

බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගෙන් නිකුත්වන කිරණ ශක්තීන් රැස් කෙරෙන ගබඩාවක් වශයෙන් ගුරු මණ්ඩලය හඳුන්වා දිය හැකිය. ගුරු මණ්ඩලය මනාව උස්ව ගොඩැලි ආකාරව පිහිටියේ නම් එම අයට ගුරු ග්‍රහයාගෙන් සුබපල අධිකව ලැබෙයි. මනා ලෙස වැඩුණු දේහයක්  හිමි ඔවුහු යුක්ති ගරුක, කාරුණික, සත්‍යවාදී අය වෙති. එමෙන්ම ගුරු මණ්ඩලය පහත්ව පැතලි ආකාරයට පිහිටීම, නොදියුණුව හෙවත් ගුරුගේ බලපෑම් අඩුවීමට හේතුවක් වෙයි. මෙම මණ්ඩලයට ලම්බාකාරව හෙවත් සිරස් අතට රේඛාවක් වැටී ඇත්නම් ගුරුගෙන් ලැබෙන බලය වඩා හොඳින් පෙන්නුම් කෙරේ. ගුරු මණ්ඩලයේ උස් මස්පිඬු උපතින්ම පිහිටා ඇති නමුත් කෙනකුගේ කැපවීම හා උත්සාහයන් අනුව මෙම ස්ථානය උස්ව හෝ පහත්ව පිහිටයි. මෙම මණ්ඩලය කුඩා වීම හෝ ලම්බාකාරව හෙවත් සිරස් අතට රේඛාවක් හෝ නොමැති නම් එම අය දියුණුවීමට උනන්දුවක් නොදක්වන ඔවුනට කොයිම අවස්ථාවකවත් මූලිකත්වයක් ලබාගැනීමටද නොහැකිය. ඒ අනුව ඔබට ඔබේ අත බලා ගුරු මණ්ඩලයේ ප්‍රබලතාව හෝ දුබලතාව හඳුනාගත හැකිවනු ඇත.

යමකුගේ අතේ ප්‍රබල ගුරු මණ්ඩලයක් පවතින්නේ නම් ඔහු හෝ ඇය කාරුණික බවින් යුතු අන් අය කෙරෙහි මෛත්‍රිය දක්වන ආත්ම අභිමානයෙන් යුතුව කටයුතු කරන, තේජාන්විත, අන් අයගේ ගෞරවය, ප්‍රශංසා ලබන අයකු වෙයි. මනා දේහයකින් යුතු ඔවුන් යුක්තිගරුක, සුචරිතභාවයෙන්ද යුතුය. බොහෝ ශිල්ප ශාස්ත්‍රයෙහිද දක්‍ෂ, තීක්‍ෂණ බුද්ධියක් ඇති ඔවුන් වාස්තු විද්‍යාව, ජේ‍යාතිෂය වැනි විවිධාකාර ශාස්ත්‍ර කෙරෙහිද ළැදියාවක් දක්වති. විශේෂයෙන් ගුරු වෘත්තිය වැනි රජයේ රැකියා ඔවුනට බොහෝ විට ගැළපේ. තම අභිලාෂයන් කෙසේ හෝ ඉටුකර ගැනීමට උනන්දුවන ඔවුහු ඒ හැම උත්සාහයකින්ම ජයග්‍රහණ ලබති. ගුරු මණ්ඩලයෙන් ඉහළටම නැඟුණු රේඛා පිහිටියේ නම් උපතින්ම ධනවතකු බව පෙන්නුම් කරයි. කවාකාර රේඛාවක් පිහිටීම ධාර්මික බව ප්‍රකට කෙරෙන අතර ත්‍රිශූල ලක්‍ෂණයක් පිහිටීමෙන් ධනයෙන්, බලයෙන් මෙන්ම ඤාණයෙන්ද පරිපූර්ණ වියතකු බව පෙන්නුම් කෙරේ. මෙම ස්ථානයේ කොටුවක සලකුණක් තිබේ නම් හේ හොඳ නායකයකු ලෙස බැබළෙන අතර කුඩා ත්‍රිකෝණයක සටහනක් ඇත්නම් තියුණු දේශපාලන ඤාණයක් ඇති අයකු බව ප්‍රකටය. ගුරු මණ්ඩලයේ දැලක සලකුණ හා කළු තිතක සලකුණක් තිබීම සුබදායක නොවේ. දැලක සලකුණ චරිතයේ දූෂිත බවද, තිතක සලකුණ තත්ත්වයෙන් පහත වැටීමක්ද පෙන්නුම් කෙරේ.

ඔබේ අත්ලෙහි පිහිටි ගුරු මණ්ඩලය මත ඉතා පැහැදිලි පුංචි කතිරයක් පිහිටා ඇත්නම් ඔබ සැබෑම වාසනාවන්තයෙකි. ආදරවන්තයන්ගේ කතිරය හෙවත් “වැලන්ටයින්” කතිරය නමින් මෙය බොහෝ දෙනකු හඳුන්වයි. මෙම කතිර සලකුණ වෙනත් බාධක රේඛාවලින් තොරව පැහැදිලිව තිබීම වඩාත් සුබපල ගෙනදෙයි. ඔබේ අත්ලේ මෙම කතිර සලකුණ පිහිටා ඇත්නම් ඔබට උගත්, ධනවත් දේපොළ සම්පත් ඇති ආදරණීය පෙම්වතියක හෝ පෙම්වතකු ලැබීම නිසැකය. අත් දෙකේම මෙම සලකුණ ඒ ආකාරයෙන්ම පිහිටියේ නම් එම සුබපල අනිවාර්යයෙන්ම සාර්ථක වන බව සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් වෙයි. එය පසු කලෙක  මැකී ගියහොත් යුගදිවියේ සතුට, සැනසුම පලුදුවීමටද එය හේතුවක් විය හැකිය.

ගුරු මණ්ඩලය පැහැදිලිව පහතට එබුණු ස්වභාවයක් හෝ විසිරී ගිය ස්වභාවයෙන් යුතුව පිහිටියේ නම් එය දුබල ගුරු මණ්ඩලයක් ලෙස සලකනු ලබයි. එසේ වූ විට පාසල් දරුවකුගේ නම් අධ්‍යාපනයද අතරමඟ කඩාකප්පල් වෙයි. එමෙන්ම ඔවුන් අනුන් පහත් කොට සලකන්නාවූද, ආත්මාර්ථකාමී ගතිගුණවලින්ද පිරුණු අයකු වෙයි. අසීමිත බලාපොරොත්තු, සිහින මවා ඒවා බිඳ වැටෙද්දී කලකිරීමටද පත්වන්නකු වේ. තමා දත් ශිල්ප ශාස්ත්‍රවලින්ද ප්‍රතිඵලයක් නොලබනු ඇත.

ජේ‍යාතිර්වේදි හිඹුටානේ පියතිලක ද අල්විස්

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk