Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කෑමෙන් බීමෙන් අඟහිඟ නොවන්නට සීවලී හිමි රුව නිවැරැදිව තෝරා නිවෙසට ගෙන යමු

1 year ago 7 Min read
Subha.lk

කෑමෙන් බීමෙන් අග හිඟයක් ඇති නොවන්නට සීවලී හිමියන්ගේ පින්වන්ත වූත්, ශාන්තවූත් රුව සහිත සීවලී පින්තූරය තම නිවෙසේ තබා ගැනීමට බොහෝ නිවැසියෝ උත්සුක වෙති. මහත් භක්තියකින් යුතුව නිවෙසට ගෙන යන මෙම පින්තූරය සැබෑවටම නිවැරැදි රුව දැයි හරියටම දන්නේ ස්වල්ප දෙනෙක් පමණයි. එනිසාම වර්තමානයේ වෙළෙඳපොළේ ඇති විවිධ සිත්තරුන් සිතුවම් කළ වැරැදි ඉරියව් සහිත සීවලී හිමිරුව සහිත පින්තූර රැගෙන ගොස් තම නිවෙසේ ඇතුළු වන දොරටුවට ඉහළින්ම රඳවා තැබීමට නිවැසියෝ කටයුතු කරන සෙයක් දක්නට ලැබේ. සැබෑවටම නිවැරැදි සීවලී මහරහතන් වහන්සේ ගේ රුව තෝරා ගන්නේ කෙසේ ද එය නිවෙසේ ස්ථාපිත කරන්නේ කෙසේද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණ වේ.

 

සීවලී හිමියන්ගේ දෙනෙත් මහපට ඇඟිලි දෙසට යොමුව තිබේ නම් එනම් විලුඹ දෙසට සහ මහපට ඇඟිලි දෙස බලා සිටින ලෙසත් යටිපතුලේ සිට කේෂාන්තය දක්වා ඇති දුර දෙදණ අතරට සමාන වේ නම් සහ එලෙසම වම් සහ දකුණු කන් දෙකම රූපයේ විය යුතුය. වම්පාදය මතින් දකුණු පාදය එනම් දකුණු පාදය වම්පාදයට උඩින් හොවා සිටීමත් එසේම සෞම්‍ය ආකාරයෙන් නේත්‍රා දිස්විය යුතුය.

 

බුදුරජාණන් වහන්සේට පූජා කරන සියලු දානමය කොටස් මෙම සිතුවමේ සටහන්ව තිබිය යුතුය. සතරවරම් දෙවිවරුන්ගේ චිත්‍ර හතරක් සතර කොන ඇඳ තිබීම ද වැදගත් වේ. කහ සිවුර ඇඳ සිටින රූපය තෝරා ගැනීමටත් සීවලී මහ රහතන් වහන්සේගේ නියමිත සීවලී යන්ත්‍රය 1 ය 3 (එකට තුන) ලෙස අඳින ලද කොටුවක තිබීමත් වැදගත් වේ. එලෙසම රූපයේ ඇති පාත්‍රයට දකුණු අත ඇතුළු වූ රූපය විය යුතුය. දෑත උඩ පාත්‍රය වේ නම් එය නිවැරැදි රුව නොවේ.

 

තවද සීවලී හිමියන්ගේ රුව නිවෙසක තිබීමෙන් හා සීවලී මහ රහතන් වහන්සේ උදෙසා දේශනා කරන ලද පිරිත් ඇසීමෙන් හා භාවිත කිරීමෙන් ධන ලාභ, යස ලාභ, පරිවාර සම්පත් ලාභ , ආහාර පාන ලාභ, රජ සොර සතුරු බිය නැතිවීම, තුන්දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ සන්සිදීම ආදි අනුහස් ලැබේ.

 

සීවලී මහරහතන් වහන්සේගේ රුව සහිත සිතුවම් කිසිම විටෙක ප්‍රධාන උළුවස්ස උඩ නොතැබිය යුතුය. බිත්ති මත එල්ලා තැබීමද නොකළ යුතුය. එය නියමාකාරයෙන් තැබීම කළ යුතුයි.

 

මෙහිදී ඔබ බුදුන් වඳින ස්ථානයේම බුදු පිළිමයට වම් පසින් මදක් පහතින් තැබීම සුදුසු වේ. සීවලී මහ රහතන් වහන්සේ පිළිම, පින්තූර බුදුන් වහන්සේගේ පිළිමයට ඉහළින් හෝ සමාන්තරව නොතැබිය යුතුයි.

 

ඔබ රැකියාවට පිටත්වන විට සීවලී හිමි රුව තම අභිමුවට හමුවන ස්ථානයක තැනපත් කර එයට වැද නිවෙසින් පිටවීම යහපත ගෙන දෙයි.

 

සීවලී මහ රහතන් වහන්සේගේ පිළිම සහ පින්තූර නිවෙස්වල බිත්ති මත එල්ලීමට පටන් ගැනීමට හේතු පාදක වූ ඉතිහාසය පිළිබඳ කතාව මෙසේය.

 

එකල ශ්‍රී ලංකාවේ බොහෝ නිවෙස්වල එල්ලා තිබුණේ එංගලන්ත රජ පවුලේ චිත්‍රයයි. මේ පිළිබඳ මහත් සිත්තැවුලට පත්වූ අනගාරික ධර්මපාලතුමා ඒ වෙනුවට බෞද්ධ සිතුවම් නිවෙස්වල එල්ලීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ඇති කරන ලදී. එවකට පිටකොටුවේ ප්‍රසිද්ධ ව්‍යපාර හිමි විලියම් පේ‍්‍රද්‍රිස් මහතාට මේ ගැන පවසා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ වැඩ සිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට තම අවශ්‍යතාව දන්වා එම විහාරයේ සිතුවම් කර්ම කරමින් සිටි ඇම්.සාර්ලිස් නම් චිත්‍ර ශිල්පියාට මේ කාර්යය පැවැරීය. ඒ අනුව සාර්ලිස් මාස්ටර් විසින් දන් වළඳමින් වැඩ සිටින අයුරු දැක්වෙන සීවලී මහ රහතන් වහන්සේගේ රුව සිතුවම් කොට වර්ණාලේප කර පේ‍්‍රද්‍රිස් මහතා වෙත ලබා දුන්නේය. මෙම සිතුවම ජර්මනියට යවා වර්ණයෙන් මුද්‍රණය කරවා මෙහි අගය පසක් කරවා බෞද්ධයන්ට ලබා දෙනු ලැබීය. ඒ අනුව සීවලී මහ රහතන් වහන්සේගේ පින්වත් රුව එදා සිට අද දක්වා සෑම නිවෙසකම අඟ හිඟ ඇති නොවේවා යන ප්‍රාර්ථනය පෙරදැරිව වත්පිළිවෙත් සහිතව තැන්පත් කර තිබේ.

 

 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk