Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අත්ලෙන් කියැවෙන ඔබේ දෛවය

1 year ago 7 Min read
Subha.lk

සමුද්‍ර ඍෂිවරයා විසින් ලොවට හඳුන්වා දුන් සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා විද්‍යාව භාරත දේශයෙන් ආරම්භ වී මේ වන විට ලොව පුරාම පිළිගැනීමට ලක්ව ඇත. අත්ලක් පරීක්ෂා කිරීමේදී පුරුෂයකුගේ දකුණු අතත් ස්ත්‍රියකගේ නම් වම් අතත් පරීක්ෂා කළ යුතු බව බොහෝ දෙනකුගේ මතයයි. හස්ත සංජීවනී නම් භාරතීය ග්‍රන්ථයේ ද මේ මතයම සඳහන් වෙයි. කෙසේ වුව ද බොහෝ දෙනකුගේ අදහස වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වම හා දකුණු අත් දෙකම පරීක්ෂා කිරීම වැදගත් බවයි.

 

අතක් පරීක්ෂා කිරීමේදී පළමුවෙන්ම අපේ දෙනෙත් යොමු වන්නේ අත්ලටයි. අත්ලේ හැඩරුව, වර්ණය හා රේඛා සහ විශේෂ සලකුණු අනුව අත් හිමියාගේ පලාඵල පැරණි සාමුද්‍රික විද්‍යා ග්‍රන්ථවල පැහැදිලිව දක්වා ඇත. එම ග්‍රන්ථවල සඳහන් පරිදි දියුණු මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් කියන පුරුෂයන්ට හතරැස් හැඩයකින් යුත් අත්ලක් පිහිටයි. ඔවුන් සිතන්නේත්, කතා කරන්නේත් තර්කානුකූලවයි. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට බොහෝ විට මෙවැනි පිහිටීම් තිබිය හැකිය. පැහැපත් සමකින් හා මෘදු මාංස පේශීන්ගෙන් සැදුණු අත්ල හිමියා කලාකාමියෙකි. විසිතුරු දේ අගය කිරීම ඔවුන්ගේ ජීවන චරිතයේ ලක්ෂණයක් වෙයි.


කෝණාකාර හැඩයක් ගන්නා අත්ලෙන් බුද්ධිමත් පුද්ගලයකු හඳුනා ගත හැකිය. බුද්ධි හීන පුද්ගලයාගේ සම ගොරෝසු බවක් පෙන්වයි. රේඛා දෙක තුනක් පමණක් පිහිටීමත් ශීර්ෂ රේඛාව කෙටිවීමක් ද එවැනි අත්ලක දැකිය හැකි වෙයි. සියුම් වැඩට දක්ෂ අයගේ අත්ල කුඩාය. මසින් පිරි වියළි ගතියෙන් යුත් අත් හිමියා වාසනාවන්තය. දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඕනෑම බරපතළ කාර්යයකට වුවත් අත ගසන එවැනි අය එය නිම කිරීමෙන් ඉමහත් තෘප්තියක් ලබයි. දක්ෂ පාලකයන්ට ද බොහෝ විට එවැනි අත්ල පිහිටයි. හැමවිටම දහඩිය දමන අල්ලක් ඇති අය ද අප අතර සිටිති. රක්තවාතය, ස්නායු දුර්වලතාව වැනි අසනීප එවැනි අයට තිබිය හැකිය. ළා රෝස පාට අත්ල වඩාත් සුබ පල දෙන පිහිටීම් වේ. අත්ල කළු පාට හෝ දුඹුරු පැහැ ගැන්වීම් අසුබය. දුක්බර ජීවිතයක් එමඟින් පෙන්නුම් කරයි. මොළොක් ගතියෙන් යුත් මඳක් රතු පැහැති පැහැදිලි අත්ලක් පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. ළඳ බොළඳ සිතුවිලි හා ආචාරශීලී හැසිරීම් විලාසයක් ඇති ඇය සැබැවින්ම කාරුණිකය. පැරණි දේහ ලක්ෂණ විද්‍යා පොත්වල සඳහන් පරිදි රතු පැහැති හෝ තඹ පැහැති රේඛා ස්ත්‍රීන්ගේ අත්වල පිහිටා තිබීම ද ඉතාමත් සුබය. ජීවිතයේ උපරිම වින්දනය, තෘප්තිය, වින්දනය කිරීමේ වාසනාව හිමි එවැනි අය යහපත් චරිත ඇත්තියෝ ද වෙති. අත්ල තද කහපාටින් යුක්ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක් ඇත්තාවූ ද, එමෙන්ම කාමුක අශෝභන සිතිවිලිවලින් යුක්ත වූ අයකු ද වේ. අන්‍යයන්ගේ දියුණුව නුරුස්සන මොවුන් දියුණු වීමට කොතෙක් උත්සාහ කළත් පලක් නොවේ. අන් අයගෙන් ඈත්වී හුදෙකලාව ප්‍රිය කරන කොටසක් ද අප සමාජයේ දැකිය හැකිය. හැමවිටම මොවුන් නිහඩ කල්පනා ලෝකවල සැරිසරන්නෝ වෙති. දැඩි අලසකම නිසාවෙන්ම ඔවුන් ධන හීනයන් වන්නට ඇති ඉඩකඩ ද වැඩිය. මෙවැනි ගති ලක්ෂණ ඇති අයගේ අත්ල සුදු පැහැයක් ගනී. වෙනත් අයුරකින් සඳහන් කළහොත් අත්ල සුදුමැළි ස්වභාවයකින් යුක්තය.

 

අත්ල කළු පැහැයෙන් යුක්ත අයකු නම් හේ ආත්මාර්ථකාමී අයකු විය හැක. නිතර මුසාබස්වලින් කලදවස ගෙවන හෙතෙම තම හැකියාවන් සියල්ලම අයහපතට යොදවයි. අත්ල රක්ත වර්ණයෙන් යුක්ත වී නම් වස්තු සම්පත් නොඅඩුව ලබයි. අත්ල නිල් පැහැයෙන් යුක්ත වූයේ නම් මත්ද්‍රව්‍ය නිසා ජීවිතය මෙන්ම තම වස්තුව ද විනාශ කර ගන්නකු වෙයි.

 

මසින් පිරි සමතලා අත්ලක් පිහිටි අය ත්‍යාගශීලීය. අත්ල තුනී වීම ද සුබ නොවේ. එවන් අත්ලක් පිහිටීමෙන් මවුපියන්ගෙන් ලැබෙන උරුමයන් අහිමි විය හැකි අතර, අත්ල නොගැඹුරුව වටකුරුව පිහිටියේ නම් එම උරුමයන් උරුම වේ. පිළිවෙලකට නොමැති අත්ල හිමි අයගේ ජීවිතය අවාසනාවන්තය.

 

දූපතක සලකුණක් අත්ලේ රේඛාවක් මත හෝ ග්‍රහ මණ්ඩලයක් මත සලකුණු වී ඇත්නම් අසුබය. ජීවන රේඛාව මත මෙම දූපත් සලකුණු පෙන්නුම් කරයි නම් ශරීරයේ කොතනක හෝ ඇතිවෙන ආබාධයකි. මේ අයුරින් ශීර්ෂ රේඛාවේ පිහිටියේ නම් ශීර්ෂාබාධයක් හෝ මානසික පීඩා ද හෘදය රේඛාවේ නම් හෘදය රේඛාවේ නම් හෘදය, පෙනහලු ආශ්‍රිත ආබාධ ද ප්‍රකට කෙරේ. කොඩි සලකුණු, ත්‍රිශූල සලකුණු, හක්ගෙඩි, ඊතල, මත්ස්‍ය ආදී සලකුණු පිහිටියේ නම් සුබ ඵල ගෙන දේ. නෙළුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුණු, නොකැපුණු රේඛා පිහිටීම ධනය හා වාසනාව පෙන්නුම් කරන්නෙකි. රේඛා කාලවර්ණ වීම, ප්‍රධාන රේඛා මැකී යෑම අවාසනාවන්තය. එමඟින් හෙළි කරන්නේ දිලිඳු බවයි.

 

ස්ත්‍රියකගේ අත්ලක මත්ස්‍ය (මාළුවා) සලකුණු රේඛා ආශ්‍රිතව ද පිහිටිය හැකිය. එකී මත්ස්‍ය ලකුණ ඉතාමත් සුබඵල දෙන්නකි. අනේක විධ භව භෝග සම්පත් ලැබීමට හේතු වන්නකි. කාන්තාවකගේ අතක මාළුවකුගේ සලකුණ පිහිටා තිබේ නම් ඇයට ලක්ෂ්මී යෝගය උදා වන බව ශාස්ත්‍රීය නියමයයි. වාසනාවන්ත පුරුෂයකු ලබන ඇය සුපින්වත් දූ පුතුන් ද ලබන ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය. එමෙන්ම යම් ස්ත්‍රියකගේ අත්ල කොට ද, මනා හැඩහුරුකමින් යුක්ත ද, රතුපාටින් දිලිසෙයි ද කැපී ගිය රේඛා නොමැති, රේඛාවන් කීපයකින් පමණක් යුක්ත ද, එම රේඛාවන් පැහැදිලිව අල්ලේ මැද දෙසට ඒවා විහිදී පවතී නම් එම කාන්තාව ගෞරව ලබන උතුම් වූ කාන්තාවක් වන්නීය. ඇය ධනයෙන් හා වාසනාවෙන් ද යුක්ත වන බව සාමුද්‍රික විද්‍යාවේ පෙන්නුම් කර ඇත.
 

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk