Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පිරිතෙන් පස්සේ කරදර වැඩි වුණාද?

1 year ago 7 Min read
Subha.lk

පින් කරන්න ගිහින් පව් පුරවා ගන්න, දෙවියන් වඳින්න ගිහින් පහත් පෙළේ බලවේග ගෙට ගන්න නාමමාත්රික පින්කම්වලින් බැහැර වන්න. දෙවියන් නැති බිමේ පිනුම් ගසන්නේ යක්ෂ, ප්රේත බලවේගයි. මෙලොව සහ පරලොව ආරක්ෂාව සහ සසර දුකින් මිදී ලබන ලෝකෝත්තර ආරක්ෂාව යන තෙවැදෑරුම් ආරක්ෂාවම සත්ත්වයාට ලබා දෙන්නේ " පරිත්ත" හෙවත් පිරිත් ය. "අපේ ගෙදර පිරිතක් කියෙව්වාට පසු තිබුණ කරදර තවත් වැඩිවෙලා. මෙහෙම වෙන්නෙ ඇයි?" මේ බොහෝ දෙනකු විමසන ප්රශ්නයකි. මෙහිදී පළමුව ඉටු කරන චාරිත්ර වාරිත්ර පිළිබඳ විමසා බලමු. චාරිත්ර කියන්නෙ කළ යුතු දේ ළඟා කර ගතයුතු දේ වන අතර, වාරිත්ර කියන්නේ නොකළ යුතු දේ, ඉවත් කළ යුතු දේ ය. 

 

මීට හොඳම උදාහරණය කුල්ල සහ පෙනේරය යි. කුල්ල ඉවත් කළ යුතු දේ බැහැර කර තබා ගතයුතු දේ තබා ගනී. කුල්ලේ ඉතිරි වන්නේ අවශ්ය දේයි. පෙනේරය තබා ගත යුතු දේ බැහැර කර ඉවත් කළ යුතු දේ තබා ගනී. වර්තමානයේ අපි වාරිත්ර චාරිත්ර කරගෙන චාරිත්ර වාරිත්ර කරගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. පිරිතකදී පමණක් නොව දානයක්, විවාහ මංගල්යයක්, අවමංගල්යයක් සහ ගෙට ගෙවැදීමකදී ඇතුළු ආගමානුකූලව කටයුතු කළ යුතු බොහෝ අවස්ථාවලදී චාරිත්ර වෙනුවට බොහෝ දෙනකු ළඟාකර ගන්නේ බැහැර කළ යුතු වාරිත්රයි. විවාහ මඟුලකදී වටිනාම අවස්ථාව චාරිත්රානුකූල විවාහය නැත්නම් පෝරුවේ චාරිත්ර යි. තුනුරුවන් වන්දනා කර, දෙවියන්ට ආරාධනය කර, බුද්ධාෂ්ඨක,දේවතාෂ්ඨක ගායනා කර කරන මේ චාරිත්රය නිමා කර නව යුවළ පෝරුවෙන් බැස්සුවාට පසු පවත් වන පළමු කාර්යය වන්නේ මත් වතුර සාදයයි. සමහර තැන්වල පෝරුවේ චාරිත්ර ඉටු කළ කෙනා ද මේ මත් වතුර සාදයට එක්වෙනවා. පිරිතක්, දානයක් පින්කමක් වුවත් ඒ කාර්යය පැත්තක සිදු වෙද්දි තවත් පැත්තක තියෙන්නේ මත් වතුර සාදයක්. බුද්ධෝත්පාද කාලයේ සිට මේ දක්වා තවත් චිරාත් කාලයක් ජීවමානව වැඩ සිටින සම්යක් දෘෂ්ඨික අල්පේශාක්ය, මහේශාක්ය දෙවි දේවතාවුන් වහන්සේලා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ බුදු රජාණන්වහන්සේ දේශනාකොට වදාළ උතුම් ශ්රී සද්ධර්මය, පරිත්රාණ ධර්ම දේශනා ශ්රවණය කළ පින්වත් දෙවිවරු පිරිත් ශ්රවණයට මහත් ප්රියතාවක් දක්වනවා. පිරිත් දේශනා ආරම්භයට පෙර ත්රිවිධ රත්නය වෙනුවෙන් සහ දෙවියන් වෙනුවෙන් පහන් දල්වා මල්, සුවඳ දුම් ආදී බොහෝ පුද පූජා පවත්වා දේවාරාධනා ගාථාව ඇතුළු ගාථාවලින් පිරිත් ශ්රවණය සඳහා වැඩම කරන්න කියලා දෙවියන්ට ආරාධනය කරනවා. ශබ්ද පූජා මල් පහන් සුවඳ දුම් පූජා පවත්වනවා. මේ සියල්ල සමඟ පිරිත් ශ්රවණය සඳහා මහත් වූ කැමැත්තකින් දෙවියන් එම පරිත්රාණ ධර්ම දේශනාව පවත්වන ස්ථානයට වඩිනවා. 

 

එහෙත් එම ස්ථානයේම පැත්තක මත් වතුර, කට ගස්මට හදපු මස්,මාළු පුළුටු තබාගෙන පිරිසක් මත්වතුර සාදයේ නම්, එම ස්ථානවලින් එන පුළුටු සහ මත්වතුර ගඳ දෙවිවරුන්ට ගෙන එන්නේ මහා පිළිකුලක්.. ඒ පිළිකුලත් සමඟ දෙවිවරු ආපසු වඩින්නෙ දැඩි කෝපයෙන්. දෙවියන්ගෙ පිහිට වෙනුවට ඒ පිරිත් දේශනා කරන ස්ථානය, මත් වතුර සාදය පවත්වන අය පමණක් නෙමේ එම ස්ථානයේ සිටින සියලු දෙනා දේව පිහිට දේවාකර්ෂණය වෙනුවට දේව කෝපයට පාත්ර වෙනවා. මේ මත්වතුර සාදවලට සහ පුළුටුවලට පහත් පෙළේ භූත ප්රේත, පිසාච බලවේග ඉතා ප්රියයි. ඒ අය ඉතා කැමැත්තෙන් මේ වගේ තැන්වලට ඇවිත් අරක් ගන්නවා. දෙවියන් නැති බිමේ පිණුම් ගසන මේ අය මේ වගේ තැන් තම තමන්ගෙ නිත්ය වාසස්ථාන බවට පත් කර ගන්නවා. දෙවියන් සතුටු වෙන්නේ සියලු සත්ත්වයන්ට පිහිට වෙලා. එහෙම පිහිට වෙනකොට දෙවියන්ට පින් පිරෙනවා. දෙවියන්ගේ පංච බලය වර්ධනය වෙනවා. එවිට දෙවියන් තව තවත් බලවත් වෙනවා. නමුත් මේ පහත් පෙළේ බලවේග සතුටු වෙන්නෙ සියලු සත්ත්වයන්ට වෛර කරලා. ඔවුන් කැමති මිනිස්සු පිරිහෙනවටයි, දුකින් ඉන්නවටයි. ලෙඩ දුක් රෝග පීඩාවලට මිනිස්සු ගොදුරු වෙනවටයි. මෙහෙම මත්වතුර පුළුටු සාද එක්ක පැවැත්වෙන නමට විතරක් පින්කම් වෙන මේ ඊනියා පින්කම් නිසා අපට නැති කරදර ඇති වෙන්නෙ එහෙමයි. ඒ නිසා මෙහෙම වැරදි විදිහට පින්කම් කරලා දේව කෝපයට දේව සාපයට ලක්වෙන්න එපා කියලා මම ඉතා කරුණාවෙන් මතක් කරනවා. 

කාලයක් වෙහෙස මහන්සි වෙලා කාලය ධනය ශ්රමය වැය කරලා දේව කෝපයට පාත්ර වෙලා තමන්ගෙ නිවෙස, ව්යාපාරික ස්ථානය දෙවියන්ට පය තියන්න බැරි අමනුස්සයන්ට වාසස්ථාන බවට පත් කරගන්න එපා. දැන් දැන් පිරිතක් පින්කමක් පවත්වන බොහෝ දෙනකු උත්සව භාණ්ඩ සපයන, ආහාරපාන සපයන ආයතනවලට මුළු පින්කමම බාර දෙනවා. නමුත් ඒ ‘කේටරින් දානය හෝ පිරිත’, ගමේ අහල පහල අයත් එකතු කරගෙන පරිසරයේ තියන ස්වාභාවික දේවල් උපයෝගි කරගෙන පිරිත් මණ්ඩපය,මඟුල් පෝරුව, ආහාරපාන නිවෙසේම පිළියෙල කරගෙන පවත්වන පිරිත, දානය තරම් පිරිසිදු පිරිසුදු නැහැ. බුදුපියාණන් වහන්සේ අනු දැන වදාළ පංචශීලය ආරක්ෂා කරගෙන පවත්වන පින්කම්වලට නැවත අපි පිවිසිය යුත්තේ ඒ නිසයි. පින් කරන්න ගිහින් පව් පුරවා ගන්න, දෙවියන් වඳින්න ගිහින් පහත් පෙළේ බලවේග ගෙට ගන්න නාම මාත්රික පින්කම්වලින් බැහැර වන්න. පංචශීලය ආරක්ෂා කරගෙන එකිනෙකාට උදවු උපකාර කරගෙන තවකකුගේ දුක, වේදනාව තමන්ගෙ කරගෙන ධර්මානුකූලව කටයුතු කරන අය ළඟට දෙවියන්ගේ අපමණ පිහිට, ආරක්ෂාව ඇල්ම බැල්ම ආකර්ෂණය නොඅඩුවම ලැබෙනවා. දෙවියන්ට අවශ්ය පූජා වට්ටි, පඬුරු නොව පින්. තවත් කෙනෙකුට පින් දෙන්න නම් පින් දෙන කෙනා ළඟ පින් තියෙන්න ඕනෑ. මේ ප්රතිපත්තිමය ජීවන රටාව අප තුළ නැත්නම්, මොන තරම් පුද පූජා හඳුන්වලා දුන්නත් ඵලක් නැති බව මතකයේ තබා ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk